පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, December 10, 2025

දොස් දකින මහවැලිය සහ කුස් පිරවූ මහවැලිය

 

                              


           සුළි කුණාටුවත් සමග ඇතිවූ නාය යෑම් සහ ගං වතුරාව නිසා රට තුළ ඇති වූ ව්‍යසනය සුළු පටු නොවේ. 1947 වර්ෂය 1957 සහ 1969 මෙන්ම 1978 වර්ෂ වල ඇති වූ මහා ගං වතුර සහ සුළං තත්වයන්ට වඩා දිට්වා සුළි කුණාටුවෙන් සිදු කළ පීඩාව බිහිසුණුය.මෙම ව්‍යසනයේ පැති කීපයක් ඇත. ඉන් එකක් නම් සුළි කුණාටුව සහ කාල ගුණ වෙනස්කම් පිලීබඳ අනාවැකි කලින් දැනුම් දී තිබිය දී ව්‍යසනය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමයි . එම කාල ගුණ අනාවැකි අනුව අවධානයෙන් සිට ජලාශ වල දොරටු ක්‍රමානුකූලව විවෘත නොකිරීම සහ කල්වේලා ඇතිව දැනුම් නොදීම මේ ව්‍යසනයට හේතු වූ තවත් පැතිකඩකි.පසුගිය දශක පහක කාලයක් තුළ විවෘත ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසට මධ්‍ය කඳු කරයේ බරපතල සංවේදී පෙදෙස් වල ඇති වූ ඔරොත්තු නොදෙන නාගරීකරණය මෙම ව්‍යසනයට තවත් හේතුවක් ලෙසට  උළුප්පා දැක්විය යුතුමය.හැත්තෑව දශකයේ ඇති කළ කඩිනම් මහවැලියේ අනිසි බලපෑම් මේ ව්‍යසනයට හේතු වූ ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනතාව දැනටමත් මත පළ කර තිබේ.මේවා සියල්ල මිනිසා ගේ අනිසි මැදිහත් වීම් සහ අනිසි කළමනාකරණය නිසා සිදූ වූවක් ලෙසට ගත හැකිය.එහෙත් මේ පිටුපස තිබෙන අදෘෂමාන යථාර්ථය නම් දිට්වා සුළිය කැරකි කැරකී මධ්‍යම කඳුකරය මත නැවතී නැගෙනහිර දිශාවට ගමන් ගත් ආකාරයයි.එය එක්තරා දේව කෝපයක් යැයි විග්‍රහ කිරීමට ද මේ අවස්ථාවේ උත්සාහ කිරීම දක්නට හැකිය.

        නුවර එළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන ආරවල් කීපයක් එකතුවී කොත්මලයේ දී කොත්මලා ඔය බවට පත් වේ. අනතුරුව එයට පහළින් වූ මාවිල්ලුවේ දී මෙයට මාවිලි ගඟ යනුවෙන් ව්‍යවහාරයක් ලැබේ.එතැන් සිට ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක්ම මහවැලිය විසින් පෝෂණය කරන ගම්බිම් කෙත්වතු අති විශාලය.1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමළ මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය.පසුව 1965 -1968 වසර වල දී සකස් කරන ලද මහවැලි මහ සංවර්ධන සැලැස්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මැදිහත්වීමෙන් යෝජනා කරන ලද්දකි. වියළි කලාපය යයි සැළකෙන භූමි ප්‍රදේශයෙන් සියයට පණස් පහක් පමණ කලාපයක ජල සම්පාදනය කළ හැකි වන පරිදි යෝජනා කරන ලද ඉලක්කයන් අවස්ථා දහතුනකදී සම්පූර්ණ කළ යුතු යැයි එහි දක්වා තිබුණි. මහවැලිය මගින් ඉලක්ක කර ගන්නා ලද්දේ වී ගොවිතැන සඳහා වාර්මාර්ග පහසුකම් සැලසීම පමණක් නොවේ.ඉහළ කඳුකරයේ තනන ලද ජලාශ මගින් ටර්බයින් කරකවා විදුලි උත්පාදනය ද එහි මූලික් අරමුණු අතර තිබුණි.ඒ අනුව උකුවෙල  මෙගවොට් 20 ක් ද බෝවතැන්න මෙ.වො. 40 ක් ද වික්ටෝරියා මෙගා වො.210 ක් ද රන්දෙණිගල මො.වො.121.60 ක්  ද රන්ටැඹේ මො.වො. 50 ක් ද කොත්මලේ මො.වො.201 ක් ද ඉහළ කොත්මලේ මෙ.වොට් 150 ද මෙරගහකන්ද මො.වො. 50 ක් ද වශයෙන් රටේ සමස්ත විදුල් බල පද්ධතියට ජල විදුලි ශක්තිය සියයට විස්සක් පමණ එක් කර තිබේ. එසේම මහවැලි එච් කලාපය තුළ හෙක්ටයාර් 24 700 ක් ද ජී කලාපය තුළ හෙක්ටයාර් 3900 ක් ද සී කලාපය තුළ හෙක්ටයාර් 23700 ද් ද බී කලාපය තුළ හෙක්ටයාර් 25 340 ක ද   උඩවලව වම් ඉවුර හෙක්ටයාර් 13000 ක් ද  උඩවලව දකුණූ ඉවුර 11900 ක් ද එල් කලපය තුළ හෙක්ටයාර් 2500 ක් ද  කෘෂීකාර්මික වගාබිම් අස්වද්දා ඇත. රජරට බිඳ වැටීමෙන් පසු පස් අවුරුද්දක් වැනි කොටි කාලයකින් මේ සා මහා විශාල ඉඩම් ප්‍රමාණයක් අස්වැද්දීමට හැකි වීමද ගොවි පවුල් 80000 ක් පමණ පදිංචි කරවීමට ලැබීම ද සැබවින්ම විශ්ම ජනක ක්‍රියාවලියිකි. ඒ සමගම එම මහවැලි කලාප ආශ්‍රිතව දියණු වු ග්‍රාමීය ප්‍රදේශ සහ නව නගර විශාල ප්‍රමාණයකි. මහා මාවත් මෙන්ම ග්‍රාමීය පාරවල් රැසක්ම දියුණු තාක්ෂණය යටතේ සංවර්ධනය වී තිබේ. මොරගහකන්ද සංවර්ධනය අවසන් කර වැඩි කලක් නැත. මහවැලි බී කලාපයේ මාදුරු ඔය දකුණු ඉවුර පෙදෙස තුළ ඇළමාර්ග තනා මඩකලපුව වාලච්චේන ආදී කලාපයන් සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. මෙම සංවර්ධනය නිසා වී වගාවේ අස්වනු ඉලක්කයන් ඉක්මවා ගියේය. මිරිස් බඩ ඉරිඟු කෙසෙල් ලොකු ලූණු ආදී අතිරේක භෝග සහ එළවළු විහාල ප්‍රමාණයක් වෙළෙඳ පළට පැමිණියහ.ඒ වෙළෙඳ පළ ජය ගැනීම පිණිස ආර්ථික මධ්‍යස්ථාන ගොඩනැගූ අතර ඒ නිසා මහවැලිය පදනම්ව විශේෂ වෙළෙඳ ප්‍රජාවක් මෙන්ම මහා පරිමාණ මොල් හිමියන් රැසක් සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් විය.මෙම තත්වය රටේ ආර්ථිකයේ ඉදිරිගමනක් ලෙසට දක්වා ලිය හැකිය. වෙළෙඳ පළ ආර්ථික සංකල්ප වල ව්‍යාප්තියත් සමග ඉහළට ඔසවා පෙන්නූ එක පැතිකඩක් ලෙසට ගත් හැකි වුවද එහි අඳුරු පැතිකඩක් ද තිබේ.

     විදේශ ආධාර නිසා නව තාක්ෂණය නව යන්ත්‍ර උපකරණ මහවැලියට ලැබුණි.අධිකාරිමය බලතල ලැබුණි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලද දරුවන් ඉංජිනේරුවන් බවට පත් වී මහවැලි උසස් නිලතල වලට පත්වූහ.කඩිනම් මහවැලිය යටතේ වසර පහකින් එය නිම කිරීමට සැලසුම් කෙරිණ. අනතුරුව සිදු වූයේ කුමක්ද එලිච්චියකගේ ගමන අනුව සමෝච්ච වැටි දිගේ ගලා ගිය කලාවැව යෝධ ඇළ කෙළින් කර ගැඹුරු කළහ.පැරැන්නන්ගේ තාක්ෂණය නොදත් මහවැලි දරුවන් කුඩා වැව් එකින් එක කපා දැමූහ. විදේශිකයයන් කියාදෙන අයුරින් සිය ඉංජිනේරු ශිල්පය මෙහයවූ එක් මහවැලි ඉංජිනේරුවරයෙකු වන මහින්ද පනාපිටිය මහතා මේ කළ විනාශය පිළිබඳ වසර ගණනාවකට පසු සිය පාපෝච්චාරණය ඉදිරිපත් කළේ මෙසේය.

     'හැත්තෑ ගණන් වලදී පැරණි යෝධ ඇළ යටතේ තිබූ ඉඩම් සංවර්ධනය කිරීමේ අප නියැලී සිටි අතර ප්‍රදේශයේ තිබුණු වැව් බොහොමයක් නවීන සැලසුමට අනුව අවශ්‍ය වූ පරිදි විනාශ කිරීමට අපට සිදු විය. ප්‍රදේශයේ සාම්ප්‍රදායික ගම්වල මුල් පදිංචිකරුවන්ගෙන් එල්ල වූ බලපෑම් හේතු කොට ගෙන වඩා විශාල වැව් කීපයක් එසේ විනාශ නොකොට ඉතිරි කිරීමට ද සිදු විය මහවැලි අධිකාරිය විසින් වැව් කඩා බිඳ දැමීම වැළැක්වීමට මහජනතාව විසින් එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාද කැඳවන ලදී. අප තවදුරටත් නිරීක්ෂණය කලේ කපා එළි කොට ගොවි බිම් බවට පත් කිරීමට නියමිතව තිබූ කැලෑ ප්‍රදේශ වල නිම්න හරහා කුඩා වේලි රාශියක් තනා තිබූ බවය. අපේ සැලසුම් නිර්ණායක අනුව එම වේලි අපට පෙනුණේ කිසිසේතම් නොවටිනා දේවල් හැටියටය.ඉඩම් සංවර්ධන මුල් අවදියේ ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු  ලෙස මා කටයුතු කළ ප්‍රදේශයේ ම පුනරුත්ථාපන වැඩ සටහනකට සාභාගි වීමට වසර 30 කට පසු 2003 දී මට අවස්ථාව සැලසුණි. පෙරදින වල සිට මේ ප්‍රදේශයේ සිට ගෙදර යන විට මී පැණි මී කිරි සහ කුරක්කන් මුං ඇට වැනි ධාන්‍ය වර්ග බොහොමයක් මිලදී ගෙන රැගෙන යෑමට පුරුදු වී සිටියෙමි. වර්තමානයේ මේ ප්‍රදේශ වල මී පැණි නැත.මක් නිසාද යත් රසායනික වස විස  යෙදූ ඉඩම් ආශ්‍රිතව  මී මැස්සන් වද නොබදින බැවිනි.  දේශීයව පහසුවෙන් වගා කළ හැකි ධාන්‍ය වෙනුවට ඔවුන් ආනයනය කළ පරිප්පු සහ පාන් පිටි මත යැපෙති. මෙහි මුල් පදිංචි කරුවන් හැම කෙනෙකුම පාහේ ගෙවත්තේ ගවයන් සිටි අතර මේ ගවපට්ටි වලට සිදු වූයේ කුමක්ද ජනතාව තමන්ගේ උදෑසන තේ පානය සඳහා  ආනයනය කළ කිරිපිටි මත යැපෙති.'

     මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව තිබුණි. ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව තිබුණි.එසේම අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම් භාරදීමට පළමු සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා කරන ලදහ.

       මේ ආකාරයට යෝජනා කරන ලද මහවැලි සැලැස්ම කිසිසේතම අතීතයෙන් ආදර්ශය ගෙන සකස් කරන ලද්දක් නොවීය. දේශීය අත්දැකීම් අතර යහපත් විද්‍යාත්මක පසුබිමක සංවර්ධනය වූ වැව් ඉදි කිරීම තුට්ටුවකට මායිම් නොකොට බොහෝ ගම් වැව් උළුප්පා දමන ලදී.වැව් සහ කුඹුර එක මට්ටමකට සමතලා කරමින් භූවිෂමතා සම කරමින් එහි අඩංගුව තිබූ කැලෑ මූකලාන්ද විනාශ කර දමන ලදී. ඒ ව්‍යාපෘතිය පිටිපස සිටි දැව හොරුන් සහ  කොන්ත්‍රාත්කරුවන්ට මහවැලිය අගනා ඉල්ලමක් විය. 1995 දී පමණ මා විසින් විමසුමට ලක් කරන ලද මහවැලි ප්‍රදේශ වලට අතරින් කණ්ඩලම ව්‍යාපාරය සඳහන් කළ යුතුය. උතුරු මැද පළාතේ කිරලව කෝරළයට අයත් දුනු මදලාඔය තුලානට අයත් මේ පුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර 7280 ක් පිහිටා තිබුණි. මහවැලි සංවර්ධන  ව්‍යාපාරය අනුව දකුණු ඉවුර  වශයෙන් බෙදා වෙන් කරන ලද කණ්ඩලම කලාපයේ අලුතින් ඉඩම් අක්කර 17000 ක් වෙන්වී තිබූ අතර ඉන් සියයට 15% ක් ගෙවතු වලටද 22% පළතුරු සහ පොල් වැවිල්ලටද 63% ක් හේන්වලටද වෙන්ව තිබුණි. ඒ ඉඩ කඩම් සියල්ල සමතලා කොට නව සංවර්ධන ව්‍යාපාරයට ඇතුලත් කරගන්නා ලද්දේ 1969 1981 ආදී වර්ෂවල ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන අණ පණත්වලට අනුවයි. සැබවින්ම මේ ප්‍රදේශය පුරා ගම් වැව් 70 කට වැඩියෙන් පිහිටා තිබූ බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. බතලවත්ත බක්මීගහ උල්පත මඩාටුගම හැවැන්තැන්නේගම මුරුංගහිටි කන්ද උඩහිඟුර උඩකොරසගල්ල මහ ඇළ ගමුව ආදී සුන්දර ගම්මාන වලින් යුතු මේ පරිසරයේ ජීවත් වූ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන උරුමක්කාරයන් නිම්නයේ නිජභූමි අයිතිය පමණක් නොව සොබාදහම පිළිබඳ උරුමයද කියාපෑවේ පුරාණ සිරිතට අනුව ජීවත් වීමෙනි. කණ්ඩලම කොටසේ තිබූ වැව් හැත්තෑවෙන් මඩාටුගම සහ මහ ඇළගමුවට වැව්ඉතිරි කර ගත් අතර අනෙකුත් සියළුම වැව් උළුප්පා දමන ලද්දේ නව යටත් විජිත වාදී ව්‍යුහය අනුව ජනපද බිහිකරන්නට බව දැන් වටහා ගත හැකිය.

     අද මහ වැලි ගොවීහු සිය නව නිෂ්පාදන විකුණා ගත නොහැකිව උපවාස කරති. ඇතැම්හු වස පානය කරති.ඒ සිය කාසි වැවිලි වලට සරිලන මිලක් නොලබීමේ හේතුවෙනි. රජරට පුරා පැතිර පවතින් වකුගඩු රෝගය මහවැලි සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයකි.ලොකු ලූනූ මිරිස් එළවුලූ ආදී ආර්ථික බෝග මගින් ගොවි ජනතාවගේ අතමිට සරු වූ බව ඇත්තකි. එහෙත් මේ ආර්ථික ඉදිරිගමනට දේශීය ජනතාව තල්ලු කරන ලද්දේ සිය නිජ භූමියේ අයිතිය විදේශිකයන්ට උගස් කරලීමෙනි. තම නිජ භූමියෙන් ඉවත් වීමෙනි.ගම් වැව් නිවුන් වැව් ආදී වැව් පද්ධති ක්‍රමය තුළ පැවති වරිග සම්මුතිය ආදී ජනතා බැදීම් ඉවත් කරලීමට සැලසුම් කිරීම මහවැලි සැලැස්මේ එක අරමුණක් විය. කෙත් ඇළ මගින් බෙදා හැරෙන ජලයෙන් තෙත් වන ඒකක බිමක් යුනිට් එකක් ලෙසට සැලකීම නවයටත් විජිතකරණ මූළධර්මයකි. පැරණි සමාජ සංවිධාන ක්‍රම සමතලා කොට ඒ මත්තෙහි නව ගොවි සමාගම් බිහිකිරීම මගින් විදේශ ආයෝජන වලට මහවැලියේ දොරටු විවර කරලීම දැන් සිදු වෙයි. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බිත්තර වී ගොවිපළවල් බොහොමයක් බහුජාතික සමාගමකට විකුණා දමා අවසන්ය. මහවැලි කලාප තුළ සහ ඉන් පිටත ඇවිළෙන සමස්ත ගොවි අර්බුදය පුපුරා යමින් පවතී.

   වර්තමාන ව්‍යසනය තුළින් දකින කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජලාශ විසින් ගම්පොලට සහ  හාත්පස ගම්මාන වලට කරන ලද ව්‍යවසනය පිළිබඳ පූර්ව කථනයක් මහාචාර්ය විතානගේ මහතා විසින් අසූව දශකයේ දී කර තිබුණි. මහනුවර උඩ පළාත සම්පූර්ණ වශයෙන් පිපිරීමකට ලක් වන බව එදා ඔහු පවසා තිබුණි. එය සත්‍යය වී ඇත.  මහවැලි ගඟ වක් වී ගමන් කරන ගම්පොල නගරය කාලයක් තිස්සේ අවිධිමත් නාගරික සංවර්ධනයට බඳුන් වීම තුළින් ද මෙම ව්‍යසනය දෙගුණ තෙගුණ වී ඇත.. තෙවැන්න නම් ගම්පොල අවට කොත්මලේ දක්වා තිබෙන පාරම්පරික ගම්මාන ඉහළ කඳු මුදුන් වල හෝටල් රෙස්ටුරන්ට් සහ නිවාඩු නිකේතන වලට  සහ අවිධිමත් වගාවන්ට පස නිරාවරණය වීමයි. කොත්මලෙන් ක්ෂණිකව පිට කල ජලයට වර්ෂාවෙන් තෙත බරිත වූ මහා උල්පත් සක්‍රීය වී ගඟ කරා ඇදී යෑම සිදුව තිබේ.ජලය විදුලි ශක්තිය උත්පාදනය කරන්නේ නම් එහි චාලක ශක්තිය කෙතරම් බලවත්ද යන්න සිතා ගත හැකිය. ගම් ගලවා ගෙන ඉවුරු කඩාගෙන ආවතුර හා සමානව ඉහල පස් ස්ථරයක් කඩාගෙන ගොස් තිබේ.

    දැන් මහවැලිය වියපත් සංවර්ධන ව්‍යාපාරයකි. එහි බොහෝ දේවල් නැවත හරවා ගත නොහැකිය. එහෙත් ඉදිරියට කළ යුතු මහවැලි කලාප වල දී අපගේ රටේ තිබූ පැරණි තාක්ෂණයත් තිරසර පරිසර හිතකාමී සංවර්ධන ක්‍රියාදාමයත් උපයෝගී කර ගනීමට උත්සාහ කළ යුතුය.විශේෂයෙන් මාදුරු ඔය දකුණු ඉවුර තුළ එය කළ හැකිය.එහෙත් ඒ සැලසුම් වල ඇත්තේ ද එදා යෝජනා කළ විනාශ කාරී ක්‍රියාමාර්ගයන්ය.ජනයා පදිචි කරවීමේ දී නූතන ජනාවාස කරණයේ බටහිර සංකල්ප ඉවත්කර දේශයට උචිත ජනාවාස සංකල්ලප අනුගමනය කළ යුතුය.එසේ නොවුණහොත් අපට සිදු වන්නේ මහවැලියට දොස් කියමින් සිටින්නටවත් ජනතාවක් රටේ ඉතිරි නොවීමයි. එක්කෝ ඔවුන් මිය යනු ඇත. නැතිනම් විදෙස් ගත වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment