පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, November 13, 2025

මිනිසුන් විසින් විනාශ කළ අනුරාධපුර පරිසර පද්ධතිය

 

                


           ඓතිහාසික අනුරාධපුර රාජධානිය වසර 1600 ක් තිස්සේ විකාශනය වන්නේ ග්‍රාමීය පරිසරයක සිට දියුණු නාගරික ජනාවාසයක් දක්වා ක්‍රමිකව පරිවර්තනය වෙමිනි.ඒ සඳහා ඒ නගරයේ තිබූ ජයවාපිය අභය වැව තිසා වැව ලෝලුගස්  වැව නුවර වැව ආදී වැවි රැසක් මගින් පෝෂණය වූ කාෂිකාරික පරිසරය උපයෝගී විය.සල්ගහ වත්ත සහ ගෙඩිගේ පුරාවිද්‍යෘ ගවේෂන සහ කැණීම් වලින් සනාථ වන පරිදි ක්‍රි.පූ. නවවන  සියවස දක්වා දිවයන ග්‍රාමීය සභ්‍යත්වයක් අනුරාධපුරයට හිමි බවයි.මෙම කැණීම් වලදී ලැබුණු වළන්කටු වල බියඅනුරධි යන නාමය සටහන්ව ඇත. ඒ මැටි වළන් ක්‍රි.පූ. 450 කාලයට අයත්ය.දේවානම්පියතිස්ස රජ දවස දී රජුගේ මෙහෙයවීම මත අනුරාධපුර මහා සීමාව සළකුණු කොට මහා සංඝ රත්නයේ උපදෙස් මත සුරක්ෂිත නගරයක් බිහිවිය. සියවස් ගණනාවක් රාජධානිය පැවතීමේ රහස පවතින්නේ මෙම පදනම මතයි.අනුරාධපුරයේ පිහිටීම අනුව ක්‍රමානුකූලව සිදු වූ පරිවර්තනය කිසි ලෙසකවත් පරිසරය පද්ධතියට බලපෑමක් සිදු කර නොමැත.ඒ නිසා වැව් රක්ෂිත මනා ලෙස සුරැකුණි.

         පණ්ඩුකාභය රජ දවස දී කළ පරිපාලන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ වූයේ ගම් හා නගර මනාලෙස  පිහිටුවා ලීමයි.ඒ වන විට පැවති කුඩා ග්‍රාමීය වැව්  ප්‍රයෝජනයට ගෙන ජාතස්සරය නොහොත් ජය වැව බිහි කරන ලද්දේ  මුල් අනුරාධග්‍රාමය පදනම් කරගෙනය.පණ්ඩුකාභය රජු සිය ජයග්‍රහණය සැමරීම සඳහා මේ වැවෙන් ලබා ගත් ජලය පරිහරණය කළ බැවින් ජය වාපිය විය. වර්තමාන බුලන් කුලම මේ ජය වැව ලෙසින් හඳුනාගෙන තිබේ.ජය වැවට දකුණු පසින් රජුගේ මාළිගය විය.පණ්ඩුකාභය රජු ඒ මාළිගයේ වෙසෙමින් නව රාජධානිය එයට නැගෙනහිරෙන් පිහිටවූ බව පැහැදිලිය. වර්තමාන ඇතුලු නුවර වශයෙන් හඳුන්වනුයේ ඒ නව නගරයයි.නව නගරය පිහිටුවීම සිදු වුවද පැරණි මාළිගය පරිහරණයෙන් ඉවත් වූයේ නැත. අද මාපා මාළිගය ලෙසින් එය හැඳින ගත හැකිය.ජය වාපියට ජලය සැපයීම උදෙසා උල්පත් ජලය ගලා ආ මහා වනාන්තරයක් විය. එයට නිරිත දෙසින්  ලෝලු ගස් වැව කරඹෑව ආදී වැව් එල්ලංගා පද්ධතියක් විය. පන්ඩුකාභය රාජ්‍යත්වයට පත් විමෙන් පසු සිය නමින් අභය වැව නිර්මාණය කරන ලද්දේය. ඉතිහාසයේ බයා වැව යනුවෙන් හඳුන්වා වර්තමානයේ දී බසවක්කුලම වී ඇත.එවිට අතීත අනුරාධග්‍රාමායේ සිට අනුරාධපුර නාගරික ශිෂ්ඨාචාරය විකාශය වූ ආකාරය පැහිදිලි කර ගත හැකිය. ඉන්පසු නගරය ක්‍රමයෙන් දියුණු පවුණුවත්ම ජනගහනය වැඩිවත්ම තිසා වැව සහ නුවර  වැව ඉඳි කරන්නට යෙදුණි.වැව් බැඳි රට නොහොත් කලාඔය නිම්නයේ සිය සැතපුම් පනස්හතරක යෝධ ඇළක් උපයෝගී කොට ගෙන අනුරාධපුරයට ජලය රැගෙන එන ලද්දේ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන මහා ශිෂ්ඨාරයක් පවත්වාගෙන යන හෙයිනි.ඒ මහා ජල කඳ වැටෙන්නේ තිසාවැවටයි.පස්වන සියවස වන විට අමුණු බඳවා ඇළවල් නිර්මාණය කොට මහා ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් බිහිකර තිබේ. අනුරාධපුර නගරය තිබෙන්නේ මල්වතු ඔයෙන් උතුරට දකුණට සහ බටහිරට බරවය. මල්වතු ඔයෙන් එගොඩ කටුපත් කඳු සිඛර වලින් ගලාඑන ජලයෙන් පෝෂිත වැව් එල්ලංගා පද්ධිතයකි.ඒවායේ ජලය ද තැනින් තැන සිරකර වර්තමාන කුරන්දන් කුලම කීරිකුලම කවරක්කුලම ආදී වැව් ද පසුබිම් කරගෙන නුවර වැව නිර්මාණය වෙයි.මල්වතු ඔය හරස් කර නාච්චදූව වැව බඳවා ඒ වැඩි ජලය නවුර වැවටත් පසුව මහකනදරාවටත් ගෙන ගොස් තිබේ. මෙම වැව් බිහි වන්නේ අනුරාධපුර අවදියේ උච්චතම අවස්ථාවේ දීය.ඒ ප්‍රදේශයේ තිබෙන විශාලතම වැව නුවර වැවයි ..මෙම ඓතිහාසික විකාශනයෙන් තේරුම් ගත යුතු වන්නේ රටේ අග නගරයේ දියුණුව සඳහා වැව් සහ එයට යටත් කුඹූර වතුපිටි කළමනාකරණය කර ගන්නා ලද ආකාරයයි.

         තිසා වැවේ රන්මසු උයන සහ මහා මේඝවන උද්‍යානය මේඝවරණ්ණ දෙවිඳුන්ගේ ආශිර්වාදය ලත් තැනකි. මේවා ඉසුරුමුනියේ ගල් තල වල සටහන් ඇත.ඉසුරුමුණි වෙල් යායේ ජලයෙන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් හීනටි වී පාස්සනවා විනා. මුන් වැපිරිම තහනම් කර ශිලා ලේඛනයක් පිහිටුවා තිබේ.ඒ අනුව කල්පනා කළ හැක්කේ ශාසනික දියුණුවත් සමග තිසා වැවේ ජලය සහ ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී යොදා ගත් සූක්ෂම ආකාරයයි.විශේෂයෙන්ම රහතුන් වහන්සේලා වැඩ සිටි මහා විහාරය පිරිවෙන් සහ හාත්පස ආරණ්‍ය සේනාසන නඩත්තු කරලීම  උදෙසා  වාපී ශිෂ්ඨාචාරය මනා ලෙස කළමනාකරණය කර තිබේ.අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන කල්හි එයට සමගාමීව පොලොන්නරුව රජධානියක් වශයෙන් සකස්ව තූබූ අතර ඒ සඳහා යොදාගෙන තිබුණේ ද ආනුරාධපුර  ආකෘතියයි.ජලය නොමැතිව මේ මහා ශිෂ්ඨාචාරයන්ට පැවතිය නොහැකි බව රජවරු තේරුම් ගෙන තිබුණි ජල උල්පත් සකස් කරන පරිසර පද්ධතිය මනා ලෙසට රැක ගැනීම මගින් අවුරුද්ද පුරාවටම අවශ්‍ය ලෙසට ජලය ගෙන යා හැකි ආකාරය තේරුම් ගෙන තිබුණි. වලගම්බා රාජ්‍ය කාලයේ දී ඇති වූ බැමිණිතියා සාගතය රජරට ශිෂ්ඨාචාරයට මහා අභියෝගයක් විය. ජලය නොමැතිව ආහාර නොමැතිව භික්ෂූන් වහන්සේලා දඹදිව වැඩියහ . නැතිනම් දකුණට මලය කඳුකරයට වැඩියහ.



          කාලිංග මාඝ ආක්‍රමණ වලින් පසු රාජධානිය පොලොන්නරුවෙන් ද මෑත්ව දඹදෙණිය කුරුනෑගල යාපහුවට විතැන් වන විට රජරට වනගත විය. වෙහෙර විහාර කඩා බිඳ දැමූ ආක්‍රමණකයන් ඒවායේ වස්තුවද කොල්ල කෑහ. තැන තැන කුඩා ගම් ඇරණු කොට ආර්ථික සමෘද්ධීයක් ඇති කළ හැකි නාගරික සභ්‍යත්වයක් යළි පැණ නොනැගිණ. දාසයවන සියවස වන විට මෙරටට පැමිණි පරංගි සහ ලන්දේසි ආක්‍රමණ හේතුවෙන් රජරට පමණක් නොව මුලු උතුරුකරයම විදෙස් ආධිපත්‍යයට යට විය.ඉංග්‍රීසීහු ගිවිසුමකින් රට භාරගත් පසු ආර්ථික ප්‍රතිසංස්කරණයන් මගින් පැරණි වාරි ශිෂ්ඨාචාරය නඩත්තු කිරිමට පණවා තිබූ නීති රීති අවලංගු කරන ලද්දේය. ඒ නිසා මහා වර්ෂාවෙන් පසු ඇතිවූ ගං වතුරාවට ඒවා කැඩි බිඳි ගියේය.යළි ඒවා ප්‍රතිසංස්කරණය ආරම්භ වන්නේ දහනව වන සියවස අග භාගය වන විටය.අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ය ගමන් කරවීමට සහ උතුරට මහා මාර්ග තැනවිමට රජරට තුඩා හා මධයම පරිමාණයේ වැව් රැසක් කපා හෙළනු ලැබීය.අනුරාධපුර දුම්රිය ස්ථානය නිර්මාණය කරලීමේ දී නුවර වැවට ආසන්නයේ තිබෙන පහත් බිම් සියල්ල ගොඩ කරනු ලැබුණි. ඒ නිසා නගරය ගංවතුරාවට යට වන්නට පටන් ගැණින.මුඩුබිම් පනත මගින් සියලුම ඉඩම් රාජසන්තක කරනු ලැබිම නිසා ඒ ඉඩම් සම්බන්ධ වෙළඳ පලක් නිර්මාණය කරන ලද්දේය. ඉංග්‍රීසිහු අනුරාධපුර ඉඩම් වෙන්දේසි කරන ලද්දේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙනි. මේ එවැනි එක් ගැසට් නිවේදනයකි.

වර්ෂ 1881 ජනවාරි 07 කොලඹ මහ නොතාරිස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.       මෙහි පහත සඳහන් කරන නුවර කලාවියේ නුවරගම් කෝරලේ තිබෙන ඉඩම් කැබලි  1881 ජූනි මස 29 වන සිකුරාදා දවස උතුරු මහ දිශාවේ ආන්ඩුවේ ඒජන්ත උන්නාන්සේ  විසින් අනුරාධපුර කච්චේරියේ දී විකුණන්ට නොහොත් බේරා දෙන්නට  යෙදේ.     

 මුලික පිඹුර 169   අයිති කියන්නා  ටී.බී. තිඹිරිවැවේ මුදියන්සේ රාලහාමි සභාපති තැන.  නො. 44     ගමේ නම බුලන්කුලම .

 අන්දම -. මූකලන් කැලේ සහ වැව  අක්කර 24 පර්චර්ස් 11   .මෙම ඉඩම ගැන වැඩිපුර කාරණා වංශාධිපති සර්වේ ජනරල් උන්නාන්සේගේන් දැන ගන්න පුළුවනි.    උතුමාණන් වහන්සේ ට ආඥාව පිට අත්සන් කලේ  ඩබ්.ඒච්. රෙවන්ස්කාෆ්  වැඩ බලන සෙකරතාරිස්වම්හ.

     අනුරාධපුර පූජා නගරය තුළ කඩපිල් රජයේ ගොඩනැගිලි නිවාස ආදිය බහුල වන්නට පටන් ගැනුණේ දහනව වන සියවස අග භාගයේ සිටය.නටබුන් තහවුරු කරලීමත් රුවන් වැලි සෑය වැනි උතුම් පූජා ස්ථානයක් නැවත පිළිසකර කිරිමත් සමගම වන්දනා කරුවන් පැමිණෙන්නට විය.අනුරාධපුර නගරය වටා සර්කියුලර් පාර යනුවෙන් වට පාරක් ඉංග්‍රසීන් විසින් නිර්මාණය තරන ලද්දේය.මෙම මාවත පසුකාලයේ දී වට වන්දනා පර යනුවෙන් ව්‍යවහාර විය. වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා පූජා නගරය තුළ පවතින ආක්‍රමණයට විරුද්ධව සටන් කළ නමුත් එතුමා 1913 දී මිය යාමත් සමගම ඒ බලපෑම තුනීව ගියේය. පසුව 1941 වර්ෂයේ දී ජනාකීර්ණ පූජා නගරය වෙනුවට නව නගරයක් සෑදීම සඳහා බණ්ඩාරනායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කර මුදල් වෙන් කර ගත්තේය. පසුව අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය පිහිටුවා එහි සභාපති වශයෙන් නිශ්ශංක විජේරත්න මහතා පත් වූ  පසු අදියර කීපයකින් නව නගරය සකස් කරලීම ඇරඹුණි.ඒ දුම්රිය ස්ථානය අසල තිබෙන බිම්කඩත් පැරණි බස් නවතුම් පල ප්‍රදේශයේ සිට දකුණටත් වන්නටය. මේ නිසා අනුරාධපුර අවට තිබු කුඩා වැව් රැසක් ගොඩ කරනු ලැබිණ.1978 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවා ලීමෙන් පසුව 1979 ජූලි 01 අංක 38 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනුරාධපුර නාගරය සංවර්ධන බල ප්‍රදේශයක් ලෙසට නම් කර තිබේ.එසේම 2001 අංක 1179/11  ගැසට් පත්‍රය මගින් වර්.කි.මී. 1925ක් කාගරික සංවර්ධන බල ප්‍රදේශයක් බවට පත් කර ඇත.ඒ අනුව නුවර වැව තිසා වැව බසවක් කුලම සහ බුලන් කුලම වැනි නගරය ආසන්නයේ තිබෙන සියළුම වැව් වල පෝෂක ප්‍රදේශ ආක්‍රමණය ඇරඹුණි.2000  වසරේ සිට ගූගල්සිතියම් පරීක්ෂා කරන කල්හි එය පැහැදිලි වෙයි. නුවර වැව ඉහත්තාව දක්වා ප්‍රවේශ මාර්ග ඉදි කිරීම අරඹා ඇත්තේ ඒ 9 මාර්ගයේ සිට පහසුවෙන් ළඟ වීම සඳහාය.මේවා සියල්ල රජයේ නාගරික සැලසුම්ය.

         මේ අනුව අනුරාධපුර නගරයේ වාපී ශිෂ්ඨාචාරය නූතන යුගයේ විනාශ වීම ඇරඹීම අහඹු වක් නොවේ.අනුරාධපුර මහා වැව් වල එල්ලංගා පද්ධති ගැන සලකා බලන කල්හි ඒවායේ තිබෙන විශේෂත්වය අපට මැනවින් පසක් වේ.ජලය නැතිව නගරයකට පැවතිය නොහැකිය. පුරාණ රජවරු උමං මාර්ග වලින් පවා නගරයට ජලය ගෙන ආහ. නූතන නාගරික සැලසුම් මගින් ඒවා සියල්ල විනාශ තරමින් ඇත. නුවර වැව සහ අනිකුත් වැව් වල රක්ෂිත මැන මායිම් ගල් දැමිම මෙන්ම මේ සමස්ත පරිසර පද්ධතියටම මනා සැකැස්මක් අවැසිය.ඒවා මැන මායිම් ගල් දමන නිළධාරීන් මාරුවී යෑමට පසුබිම සැලසීම මගින් මේ වෑයම අඩාල කළ යුතු නැත.භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නාගරික සැගසුම් තුළ පවතින්නේ ද නාගරීකරණයට අවශ්‍ය පහසු කම් ලබා දීමයි.. එහි ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ මිනිසුන් ගේ භෞතික පහසුකම් දියුණු කරලීමටයි.අනාගතයේ දී වතුර බෝතල් විදෙස් වලින් ආනයනය කර පරිහරණයට සැලැස්වුවද මිනිසුන්ට එය අභියෝගයක් නොවනු ඇත. මුදල් හදල් තිබේ නම් සියළු දේ ළඟා කරගත හැකිය යන අන්ධ වීශ්වාසයෙහි සියල්ලෝම ගැලි සිටිති.

මතුගම සෙනෙවිරුවන්     

No comments:

Post a Comment