තිලෝගුරු බුදුරජාණන්
වහන්සේ ගේ උප්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුවූයේ වෙසක් මස පුර පසලොස්වක
දිනයේ බව සිංහල බෞද්ධයන් ගේ විශ්වාසයයි.බුද්ධගයා කෞතුකාගාරයේ මේ තෙමගුල ගැන කළ
මූර්තියක් ඇත.සිංහල මාස ක්‍රමයට අනුව වෙසක් මාසය අවුරුද්දේ දෙවනි මාසයයි. අමාන්ත
ක්‍රමයට( අමාවක සිට අමාවක දක්වා) නම් වෙසක් මාසය ඇරඹෙන්නේ බක් මස අවසානයේ අමාවක
දිනයෙන් පසු එළඹෙන පෑලවිය දිනයෙනි.
පූර්ණිමාන්ත ක්‍රමයට අනුව පසලොස්වක දා සිට එය ඇරඹේ. නමුත් සිංහල බෞද්ධයා
අමාන්ත ක්‍රමයටම මාසය නිශ්චය කරති.එම නිසා වර්තමාන ව්‍යවහාර මාස ක්‍රමයට අනුව අප්‍රියෙල්
මාසයේදී වෙසක් මාසය ඇරඹෙයි. එම මාසයේ උච්චතම අවස්ථාව වෙසක් පුර පසලොස්වක දිනයයි.
සිංහල බෞද්ධයන් පසලොස්වක දිනය දෛනික
වැඩවලදී අත්හළහ. නැකැත් ගැනීමාදිය නොකර සිටියහ. ඊට හේතුව රවි චන්ද්‍ර සප්තම
දෘෂ්ටිය වැටී සිටීමයි. නමුත් පුර පසලොස්වක යෙදුණු ගුරුදිනයත් කිවි දිනයත් යම් යම්
වැඩවලදී යොදා ගත්හ. එසේම පසලොස්වක දින සූර්ය උදාවත් සමග දෙහි ගස් සිටුවීමට යොදා
ගත්හ.කෙසේ වෙතත් අනාදිමත් කාලයක පටන්ම පස්ලොස්වක දිනය වැඩෙහිදී අත්හලේ එම දිනය තුළ
බොහෝ පින්කම් වල යෙදිය යුතු බැවිනි. මෙවැනි පුරුද්දක් ඇති වීමට හේතුව නම් පුරාණ රජ
දරුවන් වෙසක් දිනය පූජා උත්සව දිනයක් ලෙසට පැවැත් වීමයි.දුටු ගැමුණු රජතුමා සිය
මරණ මඤ්චකයේ දී රුවන්මැලි සෑ රජුන් අභියස වැතිර සිටින අවස්ථාවේදී ථෙරපුත්තාභය මහ
තෙරුන්වහන්සේ පින්පොත ගෙන්වා කියන්නට ලියන්නා මෙහෙයවීය.ඒ අසා සිටි රජතුමා තමා
විසින් වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බව සඳහන් කලේය. වෙහෙර පෙළහැර සතියෙහිද එසේම
ප්‍රසාද පූජා සතියෙහිද මහා සෑය ආරම්භ සතියෙහිද ධාතු නිධානයෙහිද සතර දිගින් වැඩියා
වූ මහත්වූ උභතෝ මහා සංඝයාට මා විසින් මාහැඟි වූ අවිශේෂ මහා දානය පවත්වන ලද්දේය.
සූවිස්සක් මහත් වෙසක් පූජා ද කරවීමි යයි පැවසීය. මහා වංශයේ තිස්දෙවනි පරිච්ඡේදයේ
එසේ සඳහන්ය.
දේවානම් පියතිස්ස මහ රජතුමා දෙවන වරට අභිෂේකයට
පත් වූයේ ක්‍රි.පූ. 250-210 වෙසක් පුන් පොහෝ දිනයේදීය. දුටු ගැමුණු රජු මහා ථූපය
නොහොත් රුවන් මැලි සෑය කරවීම ආරම්භ කරන ලද්දේ වෙසක් පුන් පොහෝ දින විසා නැකතිනි.ක්‍රි
.පූ. 20 සිට ක්‍රි.ව. 9 දක්වා රජකල භාතිකාභය රජු වෙසක් පූජා විසි අටක් පවත්වන ලෙසට
නියෝග කර තිබේ. වසභ රජු ද වෙසක් පූජා හතලිස් හතරක් පවත්වා තිබේ. ක්‍රි.ව. 214-236
දක්වා රජකල වෝහාර තිස්ස රජතුමා මහා වෙසක් පින්කම් පවත්වා ලක්දිව සියළු භික්ෂූන්
වහන්සේලාට තුන් සිවුරු පිළිගැන්වූ බව ඉතිහාසයේ සඳහන්ය.ගෝඨභය රජතුමාද වර්ෂයක් පාසා
වෙසක් පූජා කරවමින් අවුරුදු පතාම භික්ෂූන් වහන්සේලාට ෂට් චීවර දානය කළ බව පැවසේ.
එසේම දෙටු තිස් රජතුමාද එම මග ගනිමින් වෙසක් පූජා පවත්වමින් ෂට් චීවර පූජාව උසස්
අන්දමින් කර තිබේ.තෙවන මොග්ගල්ලාන රජතුමාද දෙවන සේන රජුතුමාද මෙලෙසම වෙසක් පූජා මහ
ඉහළන් පැවැත්වූ නරපතියන් වෙති. එහිදී දෙවන සේන රජු දුප්පතුන්ට අහාර පාන හා වස්ත්‍ර දීමෙන් සහ ඔවුන් සමග ගැවසීමෙන් වෙසක් උත්සව
කාලය තුළ වැදගත් ආගමික පරිසරයක් ඇති කළ බව සඳහන්ය.පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාද
පොලොන්නරු අවදියේදී වෙසක් කෙළි පැවැත්වූ බව සුළු රාජාවලියෙහි සඳහන්ව තිබේ.
රජවරුන්
ගත් මග ගනිමින් සිටු වරුන් සහ ඇමැත්තන්ද සිය ධනය වෙසක් සමයෙදී දුප්පතුන්
වෙනුවෙන්ද මහා සංඝයා වෙනුවෙන්ද කැප කොට පින් රැස් කර ගත් බව පැවසිය යුතුය.
වෙසෙසින්ම දන්සැල් පැවැත්වීමේ සිරිත මේ සමගම ආරම්භ වී තිබේ. රජවරුන් වන්දනාමාන කළ
දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහජනයාට විවෘත කිරීමත් ඒ යන මග දෙපෙස දන්සැල් පැවැත්වීමත්
සිරිතක් වශයෙන් ආරම්භ වී ඇත්තේ අනුරාධපුර යුගයේදී බව පැහැදිලිය. එම සිරිත අනුකරණය
කරමින් ගම් වාසී ප්‍රභූවරුන්ද සිය ධන ධාන්‍ය දුප්පතුන් අතර බෙදා හැරිය බවත් දන්
සැල් පැවැත්වූ බවත් පිළිගත හැතිය.මේ කාලයේදී පූජනීය ස්ථාන හුණු පිරියම් කිරීමද අලංකාර
කිරීම ද කළහ. දීප පූජා යනුවෙන් සඳහන් කර ඇති පහන් පූජා වලින් නගරය බැබළීම රජවරුන්
ගේ වාර්ෂික පුරුද්දක් විය. අනුරාධපුරය අතහැර පොලොන්නරු නගරය අග නගරය වූ කල්හි සතුරන්
විසින් විනාශ කළ අනුරාධපුරයේ සිද්ධස්ථාන අළුත් වැඩියා කරමින් එහි දීප පූජා පැවැත්වීම
සිදු කර ඇත.වෙසක් කූඩු භාවිතය පැතිරෙන්නට ඇත්තේ සයවන පරාක්‍රමබාහු රජදවස දීය. චීනය
සමග සෘජු සම්බන්ධතා වර්ධනය වීම නිසා ගිනිකෙළි සංදර්ශනයන් ගෙන් නුවර අලංකාර විය.චීන
වෙසක් කූඩු වලින් රජමැදුර ප්‍රදීපාලෝක විය.
යුරෝපා අක්‍රමණ වලින් පසු සිංහල
බෞද්ධයන් සිය වත් පිළිවෙත් සංගා ගත්හ. වෙසෙසින්ම මුහුදු බඩ පළාත් වල සිංහල බෞද්ධයන්
ක්‍රිස්තියානිකාර බෞද්ධ ඇදහිලිවන්තයෝ විලස හඳුන්වන ලදහ. ඔවුහු කතෝලික සිරිත් අභාෂයෙන්
බැතිගී කියමින් පහන් කූඩු තනිමින් සිය නිවෙස් අලකාර කර ගත්හ. නමුත් පල්ලියේදී සිය
විවාහ චාරිත්‍ර ඉටු කර ගත්හ. මේ සංස්කෘතික විපර්යාසය නිසා අද දක්වා පැවැත්වෙන
වෙසක් උත්සවයට විවිධ අංගයන් එක් රැස් වී තිබෙන
බව පෙන්නුම් කළ හැකිය.තොරණ සිංහළ කලාශිල්ප අතර උසස් අංගයකි. ගෙඩි තොරණ ඒ
අතර විශේෂිතය. ඒ ආශ්‍රයෙන් විදුලි ආලෝක කරන ලද තොරණ් සාදා ඇති බව පෙනේ. තොරණ්
බැලීමට කොළඹ නගරයට ඇදී එන සිංහල බෞද්ධයන් ගේ නිරාමිස ප්‍රීතිය වඩවනු රිසියෙන්
ධනවත්හු එක් රැස් වී මේ තොරණ් ඉඳි කළහ. සාමාන්‍ය ජනතාව මුදල් සම්මාදම කොට දන්සැල්
පැවැත්වූහ. වෙසක් සමයේදී බොහෝ හෝටල් ආපන ශාලා වසා ඇති බැවින් මේ දන්සැල් සේවය
ගැමියාට බොහෝ සේ ප්‍රයෝජනවත් විය.
භාග්‍යවතුන් වහන්සේ හැර අන්කිසිවෙක්
වාසනා සහිත කෙලෙසුන් නැසීමට සමත් නෙවේ. එවැනි අසම සම ශ්‍රේෂ්ට උත්තමයෙකුගේ
උප්පත්තියත් බුද්ධත්වය ලැබීමත් පිරිනිවීමත් සිදුවූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන්
පවත්වන වෙසක් උත්සවය පෙර රජුන් කලා සේම රජ්‍ය උත්සවයක් බවට පත් විය යුත්තේමය. මහත්
භාග්‍ය ඇති බවද පස්මරුන් බිඳි හෙයින්ද රාගාදී කෙලෙස් නැති කළ හෙයින්ද උසස්
ලොව්තුරු ගුණ භජනය කළ හෙයින්ද තුන් භවයෙහිම ගමන් කිරීම නැති කළ හෙයින්ද සියළු
ධර්මයන් නාම රූප වශයෙන් දේශනා කළ හෙයින්ද බුදු රාජා ණන් වහන්සේ බගවත් වන සේක. උන්වහන්සේ
ගේ එම ගුණයන් සිහිපත් කරමින් මෙවර වෙසක් උත්සවය සැමරිම අපගේ යුතුකමයි. ඒ මන්ද
බලගතු දේශගණ විපත් සතුරු විපත් ආදියෙන් රට දැය සමය අනාරක්ෂිත වී ඇති හෙයින්ය.බුද්ධ
ශාසනය අනතුරේ ඇති හෙයින්ය.
ඇසට පහසු වෙන ලෙස අකුරු වල වර්ණය විශාලත්වය සහ පසුබිම සකසන්න...
ReplyDeleteසුදු පසුබිමේ තැඹිලි පාට පුංචි අකුරු කියවන්න බැහැ...