ලංකාවට නිදහස ලැබී පිහිටුවා ගන්නා ලද
පළමුවැනි ස්වදේශික ප්‍රජාතන්ත්‍රවාදී රජය එක්සත් ජාතික පක්ෂය පදනම් කරගෙන බිහිවිය. ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය
තනතුරට පත් වීමත් සමග සමස්ත රටවාසී සිංහල ජනතාව බලාපොරොත්තු දල්වා සිටියහ. අනගාරික
ධර්මපාල ශ්‍රී මතාණන් විසින් ලක්වාසීන්ගේ මනසේ ඇති කරන ලද ජාතික අභිමානය අනුව එෆ්.
ආර්. සේනානායක මහතාගේ සහෝදරයා වූ ඩී.එස්.සේනානයක මහතා කටයුතු කරනු ඇතැයි සිතූහ. ධර්මපාල තුමා ගෙන් පසුව එෆ්. ආර්. විසින්
ඇති කළ ප්‍රබෝධය මීට තවත් හේතුවක් විය. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බලපෑම් මධ්‍යයේ
සහ පොන්නම්බලම් සහ චෙල්වනායම් වැනි දෙමළ දේශපාලඥයන් විසින් ඇති කරනු ලැබූ පීඩනය
යටතේ ඩී.එස්. කටයුතු කලේ සිංහලයන්ට අවශ්‍ය පරිදි නොවේ.ජනපද ව්‍යාපාරයන් ඇති කොට ක්‍රමානුකූලව
සිංහල ආධිපත්‍ය ඇති කිරීමට කටයුතු කළද අධිරාජ්‍යවාදීන්ගෙන් පීඩාවට පත්ව සිටි බෞද්ධයන් ආරක්ෂා කිරීමට රජය
බැඳී නොසිටින බව ඔහු කළ ඉඟිය ඉවසුම් නොදෙන්නක් විය.ආණ්ඩුව සරණං ගච්ඡාමි කියන්ට එපා
යයි යනුවෙන් ඔහු කළ ප්‍රකාශය බෞද්ධ නායකයන් ගේ සිත් රිදවීමට සමත් විය. මේ නිසා
බෞද්ධ භික්ෂූන් වහන්සේලා රජයට විරුද්ධව ඒකරාශි වීම දක්නට ලැබුණි. මේ අතර නවසිය
හතලිස් ගණන් වල අගභාගයේදී ලංකා සමසමාජ පක්ෂය ඉදිරියෙන්ම සිට වැඩ වර්ජන මෙහෙයවා
ජනතාව පොළඹවා ආණ්ඩුව කැඩීමට මාන බැලීය. ඩී.එස්. ගේ හදිසි අභාවය සිදුවූයේ මේ
කාලයේදීය.ඉන්පසු ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්වීම නිසා ආණ්ඩුව
ඇතුලේ හීන් නූලෙන්ම බල අරගල ඇති වන්නට විය. මහමුදලි ගේ පුත් වූ බණ්ඩාරනායක මෙහි
ඉදිරියෙන්ම විය. කොතලාවල මහතාද සිටි නමුත් ඔහු දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ
පුද්ගයෙකු නොවීය.
මේ අරගලය තේරුම ගත් සෝල්බරි සාමි ඔවුන්
සියළු දෙන දිනක් ආණ්ඩුකාර නිවසට කැඳවා ප්‍රථමයෙන් සංග්‍රහ කොට රටේ පවත්නා තත්ත්වය
පිළිබඳ විග්‍රයක් කරන ලදී. ලංකා සමසමාජ පක්ෂය විසින් පොළඹවන ජනතා බලය රටට එතරම්
හොඳ නැති බවත් ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් ශක්තිමත් විපක්ෂයක් තිබීම මගින් සමසමාජයේ
අභිප්‍රායන් පරාජය කරගත හැකි බවත් ඔහුගේ අදහස විය. බලය සඳහා ගමනක් යෑමට පුල පුලා
බලා සිටි බණ්ඩාරනායක මෙහිදී යමක් නොපැවසුවත් ආණ්ඩුකාරයාගේ අත දිගු වූයේ ජෝන්
කොතලාවල මහතා වෙතටයි. ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයක් සාදන ලෙසට කොතලාවල පෙළඹවීම
ආණුඩුකාරවරයාගේ අභිප්‍රාය විය. මේ ඉල්ලීම නිසා කොතලාවල මහතාට කේන්ති ගියේය. අවශ්‍ය
නම් අවියක් රැගෙන ගොස් සමසමාජ නායකයන් ඝාතනය කළ හැකි නමුත් මෙවැනි නිවට යෝජනා
ක්‍රියාත්මක කිරීමට තමන්හට වුවමනාවක් නොමැති බව කියා සිටියේය. මෙහිදී බණ්ඩාරනායක
මහතාගේ අවස්ථාව පැමිණුනි.ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත තමා ආණ්ඩුවෙන් ඉවත්ව ශක්තිමත්
විපක්ෂයක් සාදන බවට ඔහු ප්‍රකාශ කර සිටියේය.(මේ
අවස්ථාවේ මෙම රැස්වීම වාර්තා කළ දයාරත්න නම් පොලිස් නිළධාරියාගේ මතකය ඇසුරෙනි) මේ
ප්‍රකාශනයත් සමග ඉදිරිපත් කළ කොන්දේසි වර්තමනා දේශපාලනය මෙන්ම ජාතිකවාදී
දේශපාලනඥයන්ගේ හැසිරීම තේරුම් ගන්නට මනා පිටිවහලක් වනාව නිසැකය.
සිංහල මහ සභාව 1951 දී මාදම්පේ පැවති
සංවත්සර මහ සභා රැස්වීමේ දී ඒකමතිකව ගත් තීරණයක් වූයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව
කිරීමයි.1936 පටන් සවභාෂාවන් මගින් රජය කටයුතු කළ යුතුයැයි දේශපලානඥයන් විසින්
දක්වා තිබුණද රටේ ජාතික භාෂාව වන සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට විශාල හඬක්
නැගුණේ මින් පසුවයි.නමුත් අගමැති ඩී.එස්. ගේ අදහස වූයේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කළ යුතු බවයි.මේ
විසංවාදය තම බල ව්‍යාපෘතියට ප්‍රයෝජනවත් ලෙසට යොදා ගැනීම බණ්ඩාරනායක මහතාගේ අභිප්‍රාය
විය.මේ තත්ත්වය තුළ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් සටන් පාඨයක් ලෙසට ශක්තිමත්
කර තිබූ සිංහල රාජ්‍ය භාෂාව කිරීම සෝල්බරිසාමි ඉදිරියේ ඔහුගේ ප්‍රමුඛ කොන්දේසිය
විය. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමස්ත ජාතික ව්‍යාපාරයේ දේශපාලන
නායකත්වය ලබා ගැනීම මත නව ජවයකින් සිංහල දේශපාලනය පණ කැවුණි. ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය බිහිවීම මත ප්‍රථමයෙන්ම ආසන අටක් දිනා ගැනීමෙන් පසු ඊළඟ රජයේ බලය ලැබ ගැන්මට
බණ්ඩාරනායක මහතා මූලිකව කලේ බෞද්ධ බල මණ්ඩලය ඇතුළු පිරිසට කිට්ටු වීමයි.මේ තත්ත්වය
මෙසේ වුවද 1947 වර්ෂයේ දී ජාතික කොඩියක් නිර්මාණය කරන විට එම කොඩි කාරක සභාවේ සිටි
බණ්ඩාරනායක මහතා සිංහලයන් ගේ කොඩිය පිළිබඳව අයිතිවාසිකම් කතා කලේ නැත. එසේම 1947
වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අධ්‍යපන ආඥා පණත කතෝලික සභාව
විසින් කරන ලද බලපෑම් ඉදිරියේ දී එ.ජා.ප.ය විසින් ඉවත් කර ගන්නා විට එයට එරෙහිව
කතා නොකළ බවට සාක්ෂි ඇත.
1956 මාර්තු මාසයේදී මහා සංඝයා විසින්
බණ්ඩාරනායක මහතාට දසපණත පිළිගන්වන අවස්ථාවේ දී කරන ලද කතාවේදී එක්සත් ජාතික පක්ෂ
විරෝධය උණුසුමව ඉදිරියට පැමිණියේය. ඔවුහු එදින මෙසේ කීහ. අපේ ඊනියා නායකයෝ නිදහස්
ආණ්ඩු පණත පිළියෙල කරන අවස්ථාවේ එහි ආගමික සංස්ථා පිලිබඳ වූ 29 වන වගන්තිය රෝමානු
කතෝලික ආර්ච් බිශොප් තුමාගේ උපදෙස් පිට එතුමාට ඕනෑ අයුරින් සකස් වුණු බව ඒ අණ්ඩු
පණත සකස් කළ අයෙකුගෙන් කෙනෙකු වන අයිවර් ජෙනිංස් මහතා විසින් මෑතකදී අනාවරණය කර
තිබේ. මහා සංඝායාගේ හෝ යටත් පිරිසෙයින් මහා නායක හිමිවරුන්ගේ අදහස්වත් මොවුන්
විමසුවේ නැත. බෞද්ධ කොමිෂන් වාර්තාව කියන පරිදි
මේ වගන්තිය නිසා ලංකාවේ පාර්ලිමේන්තුවට මහ රැජිනගේ බලය අඩු කළ හැකි වුවත්
ක්‍රිස්තියානි ආගම ලංකාවේ සිංහාසනාරූඩ කර තිබේ. එහෙත් එසේ කර තිබෙන්නේ ලංකාව අත්පා
බැඳ කුරුසියේ පාමුල බිලි දීමෙන්ය.
1926 දී පමණ ෆෙඩරල්
මතයක සිටි බණ්ඩාරනායක මහතා සිය බල දේශපාලනය උදෙසා ජාතික ව්‍යාපාරය සමග එක්වීම
සංසන්දනය කල හැකි නිදසුන් කීපයක්ම වත්මන් දේශපාලන තුලින් ද දැක්විය හැකිය.උපතින්ම
කතෝලිකයෙකු වූ ඔහු බුදු දහම වැළඳ ගැනීම සහ එක්සත් භික්ෂු පෙරමුණ සමග එක පෙළට සිට
ගැනීම දස පණත පිළිගැනීම යනු කරුණු ඒ යුගයේ හැටියට වැදගත්සේ සැලකිණ. වරක් රත්නපුරයේ
සමන් දේවාලයේ පැවති උපවාසයකට ගොස් සිට බණ්ඩාරනායක මහතාට අවස්ථානුකූලව පන්සිල් දී
තිබෙන්නේ සිවුරු පොරවා ගත් පොට්ටනිකාරයෙකු බව එකල පුවත් පත් වාර්තා කලේය. කෙසේ
වෙතත් එකල ද මෙකල මෙන්ම සාමන්‍යයෙන් සිදුවන කාරණා දෙකක් පත්‍රවල වාර්තා කර තිබුණි.
එකක් නම් ඇමෙරිකානු විදේශභාර ලේකම් ඩලස් මහතා
ලංකාවට පැමිණීමය. ඔහු ලංකාවට උපදෙස් දීම හැරුණු කොට ඔත්තු බැලීමද කළ බව ප්‍රකටය.
මෙයට විරෝධය පා ශ්‍රීලංකා විද්‍යාලාධිපති පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියන් කළ කතාව
මෙසේය. අද එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් රෝමානු කතෝලික සභාවත් අනික් අතින් ඒ
පක්ෂ ඇමරිකානු ආණ්ඩුවත් අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධකම බෞද්ධාගම මෙන්ම මුළු මහත්
ජනතාවට අපලදායි එකකි. සියයට අනූවක් බෞද්ධයන් ඇති පෝර්මෝසායාවේ චියන් කායි ෂෙක් නම්
ක්‍රිස්තු භක්තිකයා බලයට පත් කලේ වෙන කවුරුවත් නොවේ ඇමරිකානු ආණ්ඩුවයි. එසේම සීයට
අනූහතක් පමණ බෞද්ධයන් ඇති කොරියාවේ සිංග්මරි නම් ක්‍රිසිතු භක්තිකයා බලයට පත් කලේ
ඇමරිකානු ආණ්ඩුවයි. එමෙන්ම සීයට අනූවක් පමණ බෞද්ධයන් සිටින දකුණු වියට්නාමයේ
ඩිංග්ඩියෙම් නම් කතෝලිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි. දැන් ඔවුන් ලංකාවේද කතෝලිකයන්ට
අති මිත්‍ර බෞද්ධ නාමධාරී කොතලාවල මහතා ඒකාධිපත බලයට පත් කොට බුද්ධාගම නසා දමා
මෙරට ක්‍රිස්තියානි බලකොටුවක් මෙන්ම ඇමරිකානු බල කොටුවක් කිරීමට මේ මස 11 වන දා
ඩලස් මෙහි එන්නේ ඒ කුමන්ත්‍රණයකටයි. වකිකානුවේ තානාපති ලූකස් පියතුමා ද මේ දිනවල
මෙහි සිටීම සැලකිය යුතු කරුණකි.
වර්තමානයේ ද ලංකාවේ පවතින දේශපාලන දූෂණ
අල්ලස් කොමිස් ගැන දිනපතා පත්‍ර සහ විද්‍යුත් මාධ්‍ය නන්දොඩවති. පණස් ගණන් වලදීද
මෙය මෙසේ විය.1956 මාර්තු 07 දින නිකුත්වූ බෞද්ධ පෙරමුණු පත්‍රය එය වාර්තා කරන්නේ
මෙසේය. මහා මැතිවරණයකදී සිදු වන කලකෝලාහල දූෂණ ක්‍රියා අල්ලස් දීම හා තාඩන
පීඩනාදිය ගැන මේ රටේ භික්ෂූන් වහන්සේ අනෙක් කාටත් වඩා හොඳින් දනිති. ඒ නිසා බුද්ධ ජයන්ති කාලයට පෙර හෝ පසු කාලය තුළ හෝ
මැතිවරණයක් නොපැවැත්විය යුතුයයි මහා සංඝයාවහන්සේ අගමැති තුමාගේන් කළ ඉල්ලීමට
ඇහුන්කම් නොදුන් එතුමා ලබන වර්ෂයේ අගෝස්තු මාසය තෙක් පාර්ලිමේන්තුවේ ආයු කාලය
තිබියදීත් කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් සඳහා සූදානම් වීමයි.
භික්ෂූන් වහන්සේලා එයට සංවේගය දැක්වීමක් වශයෙන් රටපුරා මහා උපවාසයක යෙදී දැන් ධර්ම
යුද්ධයකට සූදානම් වෙති. ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දුෂ්ට හිතින් ඒ සඳහා
තමන්හට යොදන්නට පුලුවන් සෑම උපක්‍රමයක්ම අගමැතිවරයාත් ඔහුගේඅනුගාමිකයනුත් යොදනවාට
සැකයක් නැත. දැනට ප්‍රකටව තිබෙන අන්දමට නම් මෙවර මැතවරණය සඳහා වියදම් කිරීමට
රුපියල් පණස්ලක්ෂයක අරමුදලක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන බව සැලයි. මෙයින් විශාල
මුදලක් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී ධූරාපේකෂකයන් සහ හිටපු මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට
වියදම් කොට ඇති බව කියනු ලැබේ.මේ මුදලින් රැවටුණු සමහර දෙනා අද දේශපාලන භූමියේ
පාරාජිකාවට පැමිණ යන එන මං නැතිව සිටිති. ධන බලයට නොරැවටී ස්ථීරව සිටින නියම මහජන
හිතෛෂීන් ද මේ අතර දක්නට ලැබීම ප්‍රීතියට කරුණකි. මේ හැර පණස් ලක්ෂයේ අරමුදලින්
විශාල කොටසක් ඡන්ද දායකයන් අතර බෙදා දීමට සහ මත්පැන් වලටද වෙනකර ඇති බවදැන ගන්නට
ඇත.
අල්ලස් සහ දූෂණ ක්‍රියා රජය මගින්
නැවැත්විය යුතු දේය. මහජනයාට අල්ලස් දී සුරාවෙන් ඔවුන් මත් කොට නොමග යවා ඡන්දය
රැගෙන බලයට පත්වන රජයකට ඒවා නැවැත්විය හැක්කේ කෙසේද සිදුවන්නේ ඒවා තවත් දියුණු ලෙස
පැවැත්වීමය. මේ අතර ලේක්හවුස් පත්‍ර සියල්ලම ඇත්ත නැත්ත කොට අයුක්තිය යුක්තිය කොට
පෙන්වා මහජනයා මුලා කිරීමේ ව්‍යාපාරය මහා ඉහළින් පවත්වාගෙන යයි. මේ ගැන හොඳින් දත්
භික්ෂූන් වහන්සේලා පසුගිය තුන් වනදා නගර ශාලවේදී ලේක්හවුස් පත්‍ර වර්ජනය කිරීමේ
යෝජනාවක් සම්මත කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂයට කතෝලික පත්‍ර වලින් සම්පූර්ණ
සහයෝගයට දීමට එහි අයිතිකරුවෝ පොරොන්දුව සිටිති. එහෙයින් මහජනයා ඒ පත්‍රවල ප්‍රචාරක
ක්‍රියා වලින් පරිස්සම් වියයුතුය.
2015/10/12 දිවයින
No comments:
Post a Comment