පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, December 29, 2013

1815 සිට 2015 ට වසර දෙසීයයි


                                            


 

          ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීව ග්‍රහයෙන් ගෙන පිටුවහල් කළ පසු අත්සන් කල බ්‍රිතාන්‍ය සිංහල ගිවිසුම මගින් සිංහලේ රටවල් සියල්ල එංගලන්තයේ රජුට පවරා දෙන ලද්දේ 1815  වර්ෂයේ දීය. මෙලෙස අපේ රටේ ස්වාධීනත්වය නැතිවී 2015 වසරට වසර දෙසීයක් සපිරෙයි. 1948 වර්ෂයේ අප බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවද 1972 වර්ෂයේදී ජන රජයක් ලෙසට නම් කර ස්වදේශීය පාලනයක් පිහිටුවුවද 1815 ට පෙර තිබූ රාජකීයත්වය හෝ දේශිය අනන්‍යතාවය යලි පිහිට වීමට නොහැකි වී තිබේ. මෙයට හේතුව සැබෑ ස්වාධීනත්වය උදෙසා අවශ්‍ය ප්‍රඥප්තීන් සකස් කර ගැනීමට වර්තමාන දේශපාලනඥයින් අසමත් වීමයි.  1815 වර්ෂයේ දී ලංකාව බ්‍රිතාන්‍යයන්ට පවරාදීමටද සුවිශාල හේතු රාශියක් පෙළ ගැසී තිබුණි.එම තත්වය මතු වන්නේ 1615 වැනි ඈත යුගයක සිටයි. එම පසුබිම සකස් වීමට ලංකාව තුල ගොඩනැගී තිබූ දේශපාලන පරිසරය තේරුම් ගැනිම ඉතා වැදගත්ය.

        කෝට්ටේ රාජධානිය මෙහෙයවමින් ලංකාව ස්වාධීනත්වය කර මෙහෙයවූ සයවන පරාක්‍රමබාහු රජු ලංකාව එකසේසත් කළ අවසාන නරපතියා වෙයි. එතැන් සිට වර්තමානය දක්වා සලකා බලන කල්හි. මේ ස්වාධීනත්වය ක්‍රමයෙන් අභාවයට ගිය ආකාරය මැනවින් පැහැදිලි වේ. මෙතැන් සිට විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ එම පරිහානිය සිදු වූ ආකාරයයි.

             කෝට්ටේ රාජධානියේ ඉතිහාසය සැබවින්ම වර්තමාන දේශපාලනයට බෙහෙවින්ම සමාන කතා ප්‍රවෘත්තියකි. දහතුන් වන සියවස පුරා සිංහල දේශපාලනය කැළඹූ විදේශ ආධිපත්‍ය වෙනස් කොට සිංහල රාජ්‍යය නැවත සකස් කිරීමට සමත් වූ සයවන පරාක්‍රම බාහු නම් නරපතියෙකුගේ ආගමනය සිදු විය. ඒ නිදහස කරා ගිය ගමනක ඇරඹුම විය. එහිදී රට එක සේසත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීම විශේෂ සිදු වීමකි. කොළඹ ආසන්නයේ දරගම නම් ග්‍රාමයේ ජය භූමියෙක බැඳ වූ කෝට්ටයක සිය සැලසුම් කරන ලද සටන් ප්‍රයාම සියල්ල සාර්ථක විය. උතුරේ ආර්ය චක්‍රවර්තී පාලකයින්ට මුහුණ දිය හැකි ශක්තිමත් දේශපාලන සංස්ථාවක් බිහිවිය. ඒ කොට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය කේන්ද්‍ර කොට ඇරඹි නව දේශපාලන කාල පරිඡේදයකි.

        ක්‍රි.ව. 1412සිට 1469 දක්වා වු සයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමය ලංකා ඉතිහාසයේ දේශපාලන පිළිබඳ අත්දැකීම රාශියක් හෙළි පෙහෙළි වූ කාල වකවානුවකි. සතුරු ආක්‍රමණ හමුවේ රාජ්‍යයක පැවැත්ම සතුරු අභියෝගයන්ට විධිමත්ව සැලසුම් සහගතව මුහුණ දීම සතුරු බලවේ ග මිතුරු කර ගැනීම ජාතික ආර්ථිකයක් පදනම් කරගෙන රට සමෘද්ධිමත් කරගැනීම කලාපීය දේශපාලනය සමග තිබෙන සමබරතාවය ජාත්‍යන්තර සම්බන්ධතාවයන් මගින් රටේ ස්වාධීනත්වය ගොඩනැගීම ආදී දේශපාලන ක්‍රියාකාරකම් රාශියක් පිළබඳ ගැඹුරින් හැදෑරීය හැකි වන තරමට එම යුගයේ දේශපාලන සංකීර්ණ විය. එය හුදෙක් ඉතිහාසයක් පමණක් නොවීය.

      දහතුන් වන සියවසේ දී යාපනය මුල්කරගත් උතුරේ ස්වාධින රාජ්‍යයක් ඇතිවීමට හේතු වූයේ එවකට තිබූ කලාපීය දේශපාලන තත්වයයි. පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව පොළොන්නරුවේ රජවූ නිශ්ශංකමල්ල රජු විජය රජුගේ සහ පණ්ඩුකාභය රජුගේ ඔක්කාක වංශය නෑකම් කිවූ සූර්යවංශික කුමාරයෙකු විය. කාලිංග විජය බාහු රජුගේ දියණියක් විවාහ කරගත් බැවින් රාජ උරුමය තවදුරටත් තහවුරු විය. මේ නිශ්ශංකමල්ල රජු දවස සුමාත්‍රා දේශය දක්වා පැතිර ගිය ශ්‍රී විජය රාජ්‍යයේ සූර්ය නාරායන ගංගා වංශික රජු විවාහ වූයේ නිශ්ශංකමල්ල රජුගේ දියණිය වූ සුනාරි කුමරිය සමගයි. මොවුන් දෙදෙනාට මාඝ නම් පුත්‍රයෙකු විය. සිංහල ඉතිහාසයේ සඳහන් වන කෘරතම ආක්‍රමණිකයා මේ කාලිංග මාඝ යි. සිය මවගේ උරුමයෙන් ලංකාවට පැමිණි මාඝ ගේ දෙමළ ජාවක සෙනග විසින් සම්බුද්ධ ශාසනයත් සිංහල රාජ්‍ය බලයත් අඩපණ කලේය. මේ කාලිංග මාඝගේ එක් පුත්‍රයෙකු වූ ගංඩ ගෝපාලද ආක්‍රමණිකයෙකු විලස පැමිණ ලක්දිව ආණ්ඩු කලේය. ගංඩ ගොපාලයන්ට කුලංක සිංහ නම් පුත්‍ර යෙකු විය. ඔහු තම පියාගේ මවගේ  ලේනව  සවුලු උරුමයෙන් යාපනයේ රාජ්‍යය ලබාගත්තේය. ඔහුගේ විවාහය සිදු වූයේ මානවම්ම ගිරි වංශික පරපුරේ තිලකවතී කුමරිය සමගයි. එම නිසා යාපන රාජ්‍යය උරුමය තවදුරටත් තහවුරු විය. මොහු විජය කුලංක සිංහ ආර්ය චක්‍රවර්තී ලෙසද ඉතිහාසයෙ සඳහන්ය. කුලංක සිංහ රජු ධනයෙන්ද බලයෙන්ද පිරිස් සමූහයෙන්ද සපිරිව සිටියේය.

     ඔහුගේ  සතරවන පරම්පරාවේ මුණුපුරකු වූ මර්තාණ්ඩ සිංහ ආර්යන් රජු දවසදී එවක තිබූ අග්‍ර රාජධානයි වූ ගම්පළට දැකුම් බදුගෙවීම ප්‍රතික්ෂේප කොට යාපනය ස්වාධීන රාජ්‍යයක් ලෙසට ඉස්මතු කිරීමට යත්න දැරීය. මලල චන්ද්‍රවංශීකයින් වූ වන්නිවරුද තම පාර්ශවයට පොළඹවාගෙන ලංකාවේ මුහුදු තොටුපළවල් අල්වා ගෙන සම්පූර්ණ වෙළෙඳ ආර්ථිකය පාලනය කිරීමට පටන් ගත්තේය. හලාවග කැඩෙන මුතු වල වටිනාකම ඔහු දැන සිටියේය. ඒ ඒකාධිකාරයද තමන් සතු කරගත්තේය. මේ ස්වාධීනත්වය ට රුකුල්දුන් දකුණු ඉන්දියානු චෝල පාලකයින් දෙමළ වානිජ බලය ඉස්මතු කර ගැනීම උදෙසා ආර්ය චක්‍රවර්තී වරුන්ට උදව් කළහ.

    මෙකී අක්‍රමණ නිසා දුර්වල වූ සිංහල රාජ්‍යය දකුණට තල්ලු වී ගොස් ගම්පළ දක්වා පසුබට වූ යුගයක දේශපාලන අස්ථාවරත්ව නිසා රජවරු සැම අතින්ම මුලු ගැන්වී සිටියහ. මේ අතර වාරයේ දෙමළ වානිජ බලය ට එරෙහිව තකට තක සිටිය හැකි නායකයෙක් බස්නාහිර ප්‍රදේශයෙන් බිහි විය. පල්ලව දේශයේ මානවර්වමන් රජුට සේවය කොට අටවන සියවසේ දී සිංහල රාජ්‍ය ගලවා ගත් මානවම්ම පරපුරෙන් පැවත ආ අලගක්කෝණාර නොහොත් අල්කේශ්වර පරපුරේ දසවැනියා වූ ඔහු නමින්න් නිශ්ශංක අලකේශ්වර විය. ජන ප්‍රිය වෙළෙඳ තොටක් බවට පරිවර්තනය වෙමින් පැවති කොළඹට ආසන්නයේ දරගම සමීපයේ බලකොටුවක් ඉඳිකළ හෙතෙම සිංහල රාජ්‍යයට එල්ල වූ වෙළෙඳ ආක්‍රමණය සාර්ථක ලෙසට මැඩ පැවැත්වීය. හලාවත දෙමටාන පානදුර ආදී ප්‍රදේශ වල තිබූ දෙමළ වානිජ මධ්‍යස්ථාන විනාශ කර දැමීමට ඔහුට හැකි විය. මෙවැනි අභීත පියවර මගින් ඔහු ඇතුලු පිරිස මෙහෙයවීමට එවකට තිබූ කලාපීය දේශපාලනය හේතු විය. මෙහිදී ඉන්දියාවේ විජය නගර අධිරාජ්‍යය දුර්වල වීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත. එම නිසා මේ ජයග්‍රශණය සුලු සටනකින් සිදු වූවක් විය. නමුත් නිශ්ශංක අලකේශවරයන් ගෙන් පසු කෝට්ටේ ඇතුලු සිංහල රාජධානිය නැවතත් දුර්වල විය.

       ගම්පළ රජකළ ලැමැණි වීරබාහු  ගේ සොහොයුරා වූ ලැමැණි අලකේශ්වර සිය මවුගේ ගිරිවංශික උරුමයෙන් (පද්මාවතී දේවිය ) රයිගම රාජ්‍යය ලබා ගෙන ස්වාධීන බලවත් රාජ්‍යයක් බවට පත් කිරිමට උත්සාහ ගත්තේය. ඒ සඳහා නැගී ගෙන එන කලාපීය වානිජ දේශපාලන අධිකාරිය වන මුස්ලිම් සමූහය සමග සමගි සන්ධානයකට එළඹ කටයුතු කිරීමට ඔහුට සිදු විය. ගම්පළ වීරබාහු සහ මෙම ලැමණි වීර අලකේශ්වර අතර වූ රාජ්‍ය උරුම තරඟය නිසා වීර අලකේශ්වරට සොලී දේශයට පලා යන්නට සිදු විය. ඒ අවදියේ දි ඉන්දියාවේ ඇතැම් රාජ්‍යයන් සහ ස්වර්ණ දීපය (සුමාත්‍රාව ) ආදී රාජ්‍යයන් සියල්ල මුස්ලිම් බලයට නතු වී තිබුණි. වීර අලකේශ්වර එතැනින් මලක්කාවට පැමිණෙන විට එහි සිටි පරමේශ්වර රජුත් ඉස්ලාම් ආගම වැළඳගෙන තිබුණි. රාජ්‍ය බලය ලබා ගැනීමේ ආශාව නිසා මෙම ලමැණි වීර අලකේශවර ද මුස්ලිම් ආගම වැළඳගැනීමට පොරොන්දුවී පරමේශ්වර රජු සපයා දුන් බල පිරිසද කැටිව පානදුරා තොටමුණට ගොඩබැස ඒ තොටමුණේ සිටි මුස්ලිම් පිරිස ද කැටිව රයිගමට ගොස් වීරබාහු පරාජය කර අටලු ගම මුස්ලිම් බලකොටුවක් තැනවූ  බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිය ලිපියකින් පෙන්වා දෙයි.මේ අවස්ථාවේ දී ආසියාවේ වෙළෙඳ තරඟය දෙසට නැඹුරු වූ චීන දූත පිරිසක් ලංකාවට පැමිණියහ. ඔවුහු 1408 දීරයිගමට පැමිණ ලමැණී වීර අලකේශ්වර බැහැ දුටුවහ. පියන්. ඉ.ටියන් නම් වූ චීන මූලාශ්‍රයක සඳහන් පරිදි මේ අලකේශ්වර බුදුදහමට ගරු සත්කාර කිරිමට උනනන්දුවක් නොදැක්වීය. ඔහු ජනතාවට ප්‍රිය මනාප නැති ත්‍රස්තවාදියෙකු බව ද සහන් කර ඇත. බැතිමත් බෞද්ධයෙකු වූ මේ චීන දූත කණ්ඩායමේ ප්‍රධානියා වූ චෙංහෝ ලමැණී වීර අලකේශවර යන්ට බෞද්ධ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබා දීමට උත්සාහ කලේය. එහෙත් මිථ්‍යා දෘෂ්ඨීය කෙරෙහි නැඹුරු වී සිටි අලකේශවරයන් නිසි මගට ගැනීමට ඔහුට නුපුලුවන් විය.

      ක්‍රි.ව. 1409 දී චෙංහෝ සෙනවියා නැවතත් ලංකාවට පැමිණෙන විටද මේ වීර අලකේශවරයන් වඩ වඩාත් විරුද්ධත්වය දක්වා චීන දූත කණ්ඩායමට අවහිර කලේය. ඒ සඳහා ගස් කපා දමා රයිගම මාර්ගයට පිවිසීම ට බාධා කලේය. චෙංහෝ සෙනවීයා  තුන්දාහක පමණ සේනාවක් ගෙන වට පාරකින් රයිගමට පැමිණෙන විට ලමැණි වීර අලකේශවර ගම්පළට පැනගොස් සිටියේය. එතැනින්  ඔහු මුන්නේශ්වරමට පැන ගිය පසු එහිදී මරා දමන්නට ඇතැයි පැවසේ. නමුත් ලැමැණි වීර අලකේශ්වර ගේ නැගණියගේ පුත්‍රයා මෙහිදී චෙංහෝ සෙනවියාට විරුද්ධව සටනට එළඹුණි. ඔහු එවකට දැදිගම (කෑරගල ) රජු වශයෙන් සිටියේය. සැදැහැතිස් බාහු නෙහොත් අලකේශ්වර විජයබාහු ලෙසට ඉතිහාසයේ හැඳින්වුණු. මොහු සටනින් පැරදුන අතර චීන දූත කණ්ඩායමේ අත්අඩංගුවට පත් වුණි.අනතුරුනව චීනයට ගෙන ගිය රජ ඇතුලු පිරිස යුංලෝ අධිරාජයාගේ කරුණාව ලැබ නැවත ලංකාවට ගෙන එන ලද්දේ ඔහුගේ පුත්  මෙහෙණවර පරාක්‍රම ඈපාණන් රජු ලෙසට නම් කරමිනි. ඒ මගින් ප්‍රකට වන්නේ මුස්ලිම් වානිජ ආධිතපත්‍යට මුහුණ දීමට චීනය ඇතුලු පෙරදිග රටවල් ක්‍රියා කළ ආකාරයයි. එහිදී පරාක්‍රම ඈපා කුමරු ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෙකු විය.

     නමුත් ඒ වන විටද වීදාගම හිමියන් ගේ මෙහෙයවීම පිට චෝල දේශයයේ සිට ලැමැණි වීර අලකේශ්වර ගේ පුත් ලැමණි පරාක්‍රම ඈපා රුකුල පොල්වත්තේ සඟවා තබා ගෙන සිට රජු වශයෙන් ඉදිරිපත් කොට තිබුණි. ගිරා සංදේශය සඳහන් කරන පරිදි කොලොම්තොටට ගොඩ බට මෙහෙණවර වීර අලකේශ්වර නෙහොත් විජය බාහු කුමරුට ඥාතීන් වසදී මරාදමා ජයවර්ධන පුරයේ බහිරව පොකුණේ කිඹුලන්ට දමන්නට යෙදුණි. ඔහුගේ පුත් පරාක්‍රම ඈපාණන් 1412 දී දැදිගමදී සිංහාසනයේ පිහිටවූ නමුත් වීදාගම හිමියන් ගේ මූලිකත්වයෙන් පැනනැගුණු ජාතික බලවේගය විසින් මේ කුමරුවන් හා රයිගම අලකේශවරයන් පරාජයට පත් කර ලැමණි පරාක්‍රම ඈපාණන් රජ බවට පත් කරන ලදී. අනතුරුව සයවන පරාක්‍රමබාහු යනුවෙන් කෝට්ටේ දී ඔටුණු පළඳවන ලද්දේ මේ කුමරාටයි.

              

No comments:

Post a Comment