පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, May 11, 2013

කූරගල ශ්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින් අතට

                              
 
     ශ්‍රී පාද දිවා ගුහාව යයි ජන ප්‍රවාද ගත ඓතිහාසික කූරගල ලෙන් විහාර සංකීර්ණය අත්පත් කර ගෙන එහි පැවති බුදු පිළිම සඳකඩ පහන් මෙන්ම ශ්‍රී පතුල් ද කඩා බිඳ දමා එහි  මුස්ලිම් වරුන්ගේ පැළක් අටවා ගත්තේ මීට වසර අනූවකට පමණ  ඉහතදීය. කංසා වවන  කංසා පටවන අලි මස්තාන් නම් පුද්ගලයෙකු විසින් අටවා ගන්නා ලද අනවසර පැළ  කඩා දමන ලෙස එවකට සිටි කල්තොට ආරච්චි වරයාට මුල්ගම කෝරාළ වරයා විසින් දැනුම් දෙන ලද්දේ 1923 වසරේ දීය. නමුත් එය එසේ සිදු නොවුණි. අනතුරුව 1930 වර්ෂයෙන් පසුව  මෙම ස්ථානයේ වටිනාකම අවබෝධ කර ගත් මුස්ලිම් වරු ඔවුන්ගේ සොහොනක් ද  ඉඳිකර යාඥා ගෘහයක් ඉඳිකර ගන්නා ලද්දේය.1939 වර්ෂයේ දී මුල් වරට පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් එහි වැඩම කළ අවස්ථාවේ දී තිබූ තත්වය සබරගමුවේ පැරණි ලියවිලි සංග්‍රහයේ ඇතුලත් කර ඇත. පසුව සපරගමු දර්ශන කෘතියේ ද වැඩි විස්තර වශයෙන් සඳහන් කර තිබේ.මෙම ස්ථානය අන්‍යාගමිකයින්ගෙන් බේරා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගන්නා අවස්ථාවේ දී මුස්ලිම් පක්ෂය විසින් කළ එදිරිවාදුකම් පැහැදිලිව එහි දක්වා තිබේ. පුරාවිද්‍යා නිළධාරීන් සමග සෙල්ලිපි පිටපත් කිරීමට ගිය අවස්ථාවේ දී එයට ඉඩ නොදුන් ආකාරයද උන්වහන්සේට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ආකාරයද එහි ඇතුලත්ව ඇත.
       පුරාවිද්‍යා කොමසාරිස් සී.ඊ.ගොඩකුඹුර මහතා සමග එහි ගොස් එහි තිබෙන ඓතිහාසිකත්වය පෙන්වා දුන් පසු 1971 වසරේ දී කූරගල පතන හිටුවන් ගල පතන ඇතුලත් කොටසක් අක්කර තිස්තුනක   පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලදී. නමුත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා මුස්ලිම් වරුන්ට සිය වන්දනා මානයට ලිඛිත අවසරයක් දීම නිසා කූරගල නිදහස් කර ගැනීමට බාධා එල්ල විය. පුරා විද්‍යා ආඥා පණතේ බලතල වලට පරිබාහිරව ගත් එම තීරණය නිසා මුස්ලිම් වරුන් ගේ අනවසර සොහොන් හා ඉඳිකිරීම් කිසිවක් ඉවත් නොවුණි. පූජ්‍ය විකිලියේ නාරද හිමියන් ද මෙම ස්ථානයේ ඓතිහාසික වටිනාකම් ලේඛන ගත කළ යතිවරයින් වහන්සේ නමකි. නවසිය තිහේ දශකයේ දී උන්වහන්සේ එහි යන විට හිටුවන්ගල පාමුල එහි ආර ආසන්නයේ ගොඩනැගිල්ලක අවශේෂ තිබී ඇත. එසේම සඳකඩ පහන් බුදුපිලිම සහිත ගල්ලෙන් ද පිහිටා තිබුණි.එක් ශ්‍රී පතුල ගලක් ඉතිරිව තිබී ඇත. නමුත් පසුව ඒවා කඩා දමා ගලෙන් පහළට පෙරලා දමා ඇති අතර ගොඩනැගිල්ලේ අවශේෂ උඩ මුස්ලිම් පල්ලිය ස්ථාපිත කර ඇති බව සඳහන් කර තිබේ..
                1977 වසරේ දී බළන්ගොඩ මන්ත්‍රීවරයා ලෙසට පත් වූ අබුසාලි මහතා  කූරගල මුස්ලිම් පල්ලිය දියුණු කිරීමට තමන්ගේ බලය යෙදවීය.තාවකාලික යාඥා මඩුව මේ අවදියේ දී ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත් වූ අතර එවකට පුරා විද්‍යා දෙපාර්ත්මේන්තුවේ සිටි මුරකරුවා වූ හීන් මහත්මයා ගේ උදව් උපකාර ඇතිව මේ ස්ථානයේ කඩපිල් වැසිකිලි මුලුතැන් ගෙවල් විශ්‍රාම ශාලා සොහොන් නානාකාමර ස්ථීර නිවාස තොරන් පඩිපෙළවල් සහ කාර්යාල ගොඩනැගිලි ඉඳි විය.  බළන්ගොඩ උප දිසාපති වරයා වසින් වාර්ෂික වන්දනා සමයට අදාළව වන්දනා බලපත්‍ර හා හරක්මැරීමේ බලපත්‍රද නිකුත් කරන ලද්දේය. මේ නිසා මේ බෞද්ධ ශුද්ධ භූමිය තුල ඝාතනය කරන ලද එළ ගවයින් හා මී ගවයින් ගණන දහස් ගණනකි.
        මා මේ ස්ථානය මුල් වරට දැක ගත්තේ 1978 වසරේ දිනකදීය. ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට අත්ව ඇත ශෝචනීය ඉරණම සියැසින්ම දර්ශනය වීමෙන් හටගත් සංවේගය නිසා යමක් මෙයට එරෙහිව කල යුතු යයි හැඟී තිබුණද මේ පිළිබඳව එකල මා වෙත ශක්තියක් ද නොවීය. නමුත් මේ ස්ථානයේ පවතින ඓතිහාසිකත්වය ගවේශණය කර වරින් වර පුවත් පත් වලට සපයන ලද ලියකියවිලි නිසා කූරගල සිද්ධස්ථානය පිලිබඳව ජනතා සිත් සතන් අවදි විය. එකල දිවයින පත්‍රයේ සේවය කළ නයනක රන්වැල්ල මහතාද අනගාරික ශාන්ත විජේසිංහ මහතා ද එක්ව ගොස් විශේෂ ලිපියක් පත්‍රයේ පළ කළ අවස්ථාවේ ඇති වූ ප්‍රතිචාරයන් බොහෝය. බෝඹුව විහාරස්ථානයේ වැඩසිටි පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් එකල මේ ස්ථානය බේරා ගැනීමට අබුසාලි මහතා සමග විශාල සටනක් කළ බව ප්‍රකටය. එහෙත් ප්‍රදේශයේ වෙනත් භික්ෂූන් වහන්සේලා මේ විනාශය පිළිබඳව කිසිම හඩක් නොනැගූ බව මතක් වේ. එහෙත් මේ විනාශය ගැන කම්පනයට පත් වූ මැද පෙරදිග හෙළ බිම සංවිධානය යලිත් කූර ගල අවට බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරලීමේ අදිටනින් අස්ගිරි විහාර වාසී වර්තමාන අස්ගිරි කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග සාකච්ඡා කොට පූජ්‍ය වටද්දර ඥානිස්සර ස්වාමීන් වහන්සේ මුණ ගැසී යලිත් මේ ස්ථානයේ ඇති කළ යුතු වෙනස පිලිබඳව එකඟතාවයකට පැමිණි බව හොඳ හැටි මතකයට නැගේ.
       ආර්. ප්‍රේමදාස අගමැතිවරයා ජනාධිපති බවට පත් වූ පසු මේ ප්‍රශ්ණය යලිත් ඇදී විත් පුරා විද්‍යා රක්ෂිතය යලිත් නිදහස  කරන ලෙසට බෞද්ධ සංවිධාන  ඉල්ලා සිට ඇත.එහිදී කරුණු පරීක්ෂා කොට නිගමනයට එළඹි රජය මුස්ලිම් පාර්ශවය ගැන ද සලකා බලා ඔවුන් වෙනුවෙන් තන්ජම ගමට අයත් කොටසෙන් අක්කර විස්සක භූමි භාගයක් වෙන් කරන ලදී. මෙයින් බලාපොරොත්තු වූයේ හිටුවන් ගල හා කූරගල තිබෙන ඉස්ලාම් ඉඳිකිරීම් ඉවත් කර ගෙන පුරාවිද්‍යා රක්ෂිතය නිදහස් කිරීමටයි. නමුත් එය එසේ නොවුණී. ඒ වෙනුවට එල්.එම්. අබුසාලි මන්ත්‍රීවරයා කල්මුනේ පදිංචි මුස්ලිම් මිනිසුන් පවුල් කීපයක් ගෙනවුත් ලබා දුන් තන්ජම ගමේ පදිංචි කලේය.ඒ නිසා කූරගල ගල පාමුළ මුස්ලිම් ජනපදයක් ඇති වුණි.1961 නොවැම්බර් 16 දින නිකුත් කරන ලද මැනීම් වාර්තාවේ අවසාන ගම් සිතියමේ තන්ජම ගමට තිබෙන විස්තරය මෙහිදී කියවා බැලීම වැදගත් වෙයි. තන්ජම ගම තුල ජීවත්ව සිටින්නේ සිංහල බෞද්ධයන් බව එහි පැහැදිලිව සඳහන් කර ඇත. ඒඅතරම හිටුවන්ගල හා කූරගල ට අයත් ඉඩකඩම් වල නිවැරදි ප්‍රමාණයන් වන අක්කර 1847 ක ප්‍රමාණය එම මිනුම්දෝරු සිතියමේ අන්තර්ගතව තිබේ.ඒ අනුව පුරාවිද්‍යා රක්ෂිතයට තවත් විශාල ඉඩම් ප්‍රමාණයක් අයත් විය යුතුය.එවැනි තත්වයක් යටතේ මුස්ලිම් ගමක් පිහිටුවීම අර්බුදයක් වුවද සහජීවනයට කැමති සිංහලයින් නිහඬවම එය දරා ගෙන සිට ඇත.මේ තත්වය මත දිනෙන් දින මේ මුස්ලිම් ගම දියුණු පවුණු වූ අතර ඔවුන්ගේ වන්දනා කාලයට අවශ්‍ය වෙළ හෙළදාම් කරන ලද්දේ මේ ජනතාව විසිනි.පසුව අක්කර විස්සක භූමි භාගය තවත් පුලුල් වූ අතර තවත් අක්කර හයක් පමණ මේ පිරිස පවරා ගෙන තිබේ.මේ සියලු ඉඩම් පිහිටා තිබෙන්නේ ගල්ටැම් යාය පැරණි පංචාවාස ගොඩනැගිලි සංකීරණයත් හිටුවන්ගල පතනත් අතර භූමිභාගයේය. පලු         ගහ වැව හරහා වැටී තිබුණු පැරණි රජ මාර්ගය මේ හරහා වැටී තිබුණු බවට සාධකද හමුවේ.
             මුස්ලිම් වරුන්ට අක්කර විස්සක භූමි භාගයක් ලබා දෙන අවස්ථාවේ දී පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන් ගේ ඉල්ලීම පරිදි මුස්ලිම් ගමට ප්‍රති විරුද්ධ දිශාවෙන් අක්කර දහයක් උන් වහන්සේටද වෙන් කරන ලද්දේය. එහි බුදු ගෙයක් ද බෝධීන් වහන්සේ නමක් තැන්පත්කර වැඳුම් පිඳුම් කිරීමට සැලැස්වුවද පසු කාලයක එය වල්බිහිව ගියේය. වර්ෂ දෙදාහේ පමණ අප එහි යන විට එහි තැන්පත්වර තිබූ බුදු පිළිම කඩා ස්ථානය විනාශ කර දමා තිබුණි. බෞද්ධ සංරක්ෂණ සභාව හා හෙළබිම සංවිධානයේ මෙහෙයවීමෙන් පූජ්‍ය වටද්දර ඥණිස්සර හිමියන් ගේ අනුශාසකත්වය පරිදි මේ ස්ථානයේ අභිනව ආවාස ගෙයක් ධර්ම ශාලාවක් සෑදීමට ආරම්භ කළ අතර එම ධර්ම ශාලාවට මුල් ගල් තබන් ලද්දේ  2003 වර්ෂයේ පෙබරවාරි 06 වන දාට යෙදුණු සුභ නැකතකින්ය. මේ අවස්ථාව උදා කර ගැනීම පිණිස තන්ජම ගම්මානයේ දායක සභාව ඇතුලත් තන්ජම විහාස්ථානයේ ස්වාමීන්වහන්සේ ගේ පූර්ණ අනුග්‍රහය  ලැබුණි.  නමුත් මුල් ගල් තබන අවස්ථාවේ එවකට බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පැමිණ එයට අවහිර කිරීමට සහ බිය ගැන්වීමට තැත් කල බව හොඳ හැටි මකයට නැගේ.
          කෙසේ වුවත් ධර්ම ශාලාව සම්පූර්ණ කොට බෝධීන් වහන්සේ නමක් ද අභිනවයෙන් රෝපණය කොට බුදුමැදුරක් හා භාවනා කුටි කීපක් ද තනා නිම කළ නමුත් ඒ ස්ථානයට සරිලන ස්වාමීන් වහන්සේ නමක් නිත්‍ය වාසයට නොපැමිණිමේ හේතුවෙන් කූරගල බේරා ගැනීමේ සටන දිනෙන් දින අඩාල විය. එහෙත් පසුව නැවත නැවත ජන මාධ්‍ය ඔස්සේ ඇති වූ ප්‍රචාරය නිසා කූරගල බේරා ගැනීමේ සටන වඩාත් තීව්ර අඩියකට පත් වුනි.රජය විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ කූරගල ගැන ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලා එහි විශේෂ වාර්තාවක්ද ඇතුලත් කිරීමට මුල් වූයේ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පූජ්‍ය කොළෙන්නේ ශාන්ත විජය හිමි  පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමි ඇතුලු යතිවරයින් වහන්සේලා සහ දයානන්ද බිනරගම මහතා මෙන්ම රාවන සවිය ජාතික හෙළ උරුමය ඇතුලු බෞද්ධ ජාතික බලවේගයන්හි ක්‍රියාකාරී සාමාජිකයන් විසිනි. ඉන්පසු මේ ප්‍රශ්නයට සෘජුවම මැදිහත් වූ කොළොන්නේ ශාන්ත විජය හිමියන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පුරා විද්‍යා දෙපාර්ත්මේන්තුවට විරුද්ධව නඩු පැවරිමෙන් පසුව මේ ස්ථානයේ අනවසර ඉඳිකිරිම් වන කඩපළ වල් හතරක් ඉවත් කිරීමට තීන්දුව ලැබුණි. එහෙත් අබුසාලි මහතාගේ දියණිය හා පල්ලි භාර කාර මණ්ඩලය මේ ස්ථානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ නොකල බව සඳහන් කළ යුතුය. එක් අවස්ථාවක දී අලෙවි මවුලානා ආණ්ඩුකාර වරයාද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වා බෞද්ධ පක්ෂය බෙලහීන කොට මුස්ලිම් වරුන්ට මෙය නැවත ලබා දීමට ගත් උත්සාහය පරාජයට පත් කරන ලද්දේය.
          කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශයක් නිසා රජය මේ ගැන වඩාත් අවධානය යොමු කලේය. සිංහල බෞද්ධයින් එක් පුර පසලොස්වක දිනකදී කළ අටවිසි බුද්ධ පූජාව  අවස්ථාවේ දී ප්‍රදේශයේ පොලිස් ස්ථාන පහකින් පොලිස් පිරිස ගෙන්වා අහිංසක බෞද්ධයින් බිය ගැන්වූහැටි මතකය. නමුත් පසුව ආරක්ෂක ලේකම් වරයා ඇතුලු ආරක්ෂක අංශ මේ ස්ථානයට පැමිණ අවසාන තීරණයකට එළඹුනේය. ඒ අනුව මුස්ලිම් වරුන් විසින් අනවසරයෙන් ඉඳිකරන ලද ස්ථාන 16ක් ඉවත් කිරිමට තීරණය විය. වැසිකිලි නාන කාමර මුලුතැන් ගෙවල් පානමූන සොහොන ඇතුලු විශ්‍රාම ශාලා කාර්යාල ගොඩනැගිලි මේ ලැයිස්තුවට අයත් විය. ආරක්ෂක ලේකම් වරයාගේ මතය වූයේ අනවසර ඉඳිකිරීමක එකදු සිමෙන්ති කැටයක් හෝ මේ ස්ථානයේ නොතිබිය යුතු බවයි.මෙම ඉවත්  කිරීම් සඳහා  සිවිල් ආරක්ෂක බලකායක් ද බඳවා ගන්නා ලදහ. එසේම කැණිම් ද ආරම්භ කර ඇත.මේ කැනීම් වලින් ගවර දත් බළන්ගොඩ මානවයාගේ ඇට සැකිලි ඇතුලු ප්‍රාග් ඓතිහාසික අවශේෂයන් රාශියක්ම මතු වෙමින් ඇත.
       මේ තත්වය මෙසේ වුවත් ගවේශණ සැලැස්මක් නොමැතිව කූරගල භූමියේ කරන කැණීම් ආසර්ථක වන බව ප්‍රකාශ කළ යුතුය.පූජ්‍ය විකිලියේ නාරද හිමියන් 1992 වර්ෂයේ දී ලියා තැබූ පරිදි අනවසර ඉඳි කිරීම් වලට යටව පවතින්නේ ඓතිහාසික ලෙන් සංකීර්ණයේ ආරාම නටබුන්ය. ඒවා අස්ථාන ගත නොකර මතු කර ගැනීමට නම් විධිමත් සැලැස්මක් මත කටයුතු කළ යුතුය.දැනටමත් ඔවුන්ගේ ගොඩනැගිලි වලට යටව තිබෙන පැරණි ගඩොල් රාශියක් මතුව තිබෙන බව මෙහිදී පෙන්වා දිය යුතුය. හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ඒ. විජයදාස මහතාගේ පියාට අනුව ලංකාවේ මධ්‍යම භූමියට පහළින් දක්ෂිණ වේදිකාවේ පුටුව මස්තකයේ නොහොත් නිතම්භයේ කූරගල ඓතිහාසික දිවා ගුහා සිද්ධස්ථානය පිහිටා ඇත. ඒ අර්ථයෙන් ගත කල්හි.මෙම ස්ථානය ශ්‍රීපා ද දිවා ගුහාව ලෙසට ප්‍රකාශ කරන මතයට යම්කිසි ශක්තියක් ලැබේ. අසූව දශකයේ දී මේ ස්ථානය කූරගල ශ්‍රී පාද දිවා ගුහාව ලෙසින් හඳුනා ගෙන පුරා වසර හතක් පූජා සත්කාර කළ පිරිසගේ පින් බලයෙන් මෙන්ම මෙහි නම් සඳහන් කළ නොකල සැදැහැවත් බෞද්ධ පින්වතුන් ගේ ආධාරයෙන් මෙන්ම ශක්ති ධෛර්යයෙන් නැවතත් කූරගල පින්බිම නිදහස් වෙමින් ඇත. එදා විමලධර්මසූරිය රජ දවසදී ශ්‍රීපාද ස්ථානය ආඬින්ගෙන් නිදහස් කරගත්තාක් මෙන්ම මේ කර්තව්‍ය මහා පින්කමක් වනු නිසැකය. එම නිසා මේ ඓතිහාසික සිද්ධස්ථානය නැවත පණ ගන්වන සෑම කෙනෙකුම ඒ මහා ශ්‍රද්ධාවෙන් කටයුතු කළ යුතු බව මගේ හැඟීමයි. එසේ නොවුණහොත් මේ රටේ අපට අහිමි වෙමින් පවතින කිසිම සිද්ධස්ථානයක් නැවත වන්දනාවට විවෘත කරගැනීම අධිෂ්ඨානයක් පහළ නොවුණු විය හැකිය.

                                       

No comments:

Post a Comment