පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 21, 2012

පාලකයින් යහමග හැරවිය හැකි රාජෝවාද කතා

                                       
                        රජ වරු වේවා ඇමති වරු වේවා වර්තමාන අර්ථයෙන් ගත් කළ ජනාධිපති අගමැති වරු වේවා ඒ තනතුරු ලබන්නේ පෙර පිනින් හා ප්‍රාර්ථනයෙන් යයි සමාජයේ මතයක් පවතී. ජනතාව පාලනය කිරීම හා සේවා සැලසීම ටත් සංසාර පළපුරුද්දක් තිබිය යුතුය. එම පළ පුරුද්ද ඔප වැටී ඔවුහු පරිණත දේශපාලඥයින් බවට පත් වෙයි. මේ සම්ප්‍රදායේ යම් කිසි විකෘතියක් වර්තමානයේ දකින්නට හැකිය.පාලකයින් අහසින් කඩාපාත් වනවා මෙන් වෙයි. බලයට පත් වූ දා සිටම තමන්ගේ සුඛ විහරණය ගැනීම  පමණක් සිතන පාලක පක්ෂය  පසුව බෙහෙවින්ම දූෂිත තත්වයකට පරිවර්තනය වෙති. අතීතයේ දීද යම් යම් කාලවලදී මෙය සිදු වී ඇත. ලෝක සම්පත්ති හා ලෝක විපත්ති දෙක රජ දරුවන්ගේ ධර්මාධර්ම දෙකින් වන්නේ යයි ද පාලකයින් ධර්මයේ පිහිටා සිටි කල්හි දෙවියන් පවා ධර්මිෂ්ඨ වන්නේ යයිද බුත්සරණයේ කියා තිබේ.මේ නිසා තපස් වරුන් සහ භික්ෂූන් වහණ්සේලා රජවරුන්ට අනුශාසනා කරමින් රජය ධර්මයේ පිහිටුවීමට උත්සාහ කළහ.
              රජවරුන්ට කරන ලද අවවාද ඇතුලත් දේශනා කීපයක් ජාතක කතා පොතේ දක්නට ඇත.ඒවා හඳුන්වා දී ඇත්තේ රාජෝවාද කතා යනුවෙනි. රජවරු ද තමන්ගේ පාලනය කෙරෙහි ජනතාව සතුටු දැයි බැලීමට නොයෙකුත් නිරික්ෂණයන් කළහ. ඇතැම් විට වෙස්වලා ගෙන වීථි සැරි සැරූහ. ජාතකට්ඨකථාවෙහි චතුක්ක නිපාතයෙහි දක්වා ඇති රාජෝවාද ජාතකයෙහි මේ පිළිබඳව අපූරු පුවතක් ඇත. එහිදී බරණැස් නුවර  බ්‍රහ්ම දත්ත රජු තමන්ගේ නුගුණ කියන්නන් සොයා වීථි සංචාරය කල හැටි දැක්වෙයි. එසේ නුගුණ කියන්නන් ඇතුලු නුවර නොදැක පිටි නුවර ද සොයා නොදැක මහා හිමයට ගොස් තාපසයෙකුගේ අසපුවක් දැක එයට පිවිසියේය. මේ තාපස තෙම රජුට අසල ගසකින් නුග පත් කඩා පිළිගන්වා  බීමට පැන් ද ලබා දුන්නේය. මේ නුග පත්‍ර මිහිරි රසයෙන් යුක්තය. මෙයට හේතුව කුමක්දැයි රජු තාපසයාගෙන් විමසා සිටියේය. රජවරුන් ධර්මිෂ්ඨව රාජ්‍යපාලනයේ යෙදෙන බැවින්  එලෙස නුගපත් මිහිරි රසින් යුක්ත වන බව පිළිතුර විය. එසේ නම් අධර්මිෂ්ඨ වූ විට තිත්ත රස වන්නේ දැයි රජුගේ පැණයක් විය. එය එසේ වන්නේ යයි තාපසයාගේ පිළීතුර විය.
          ආපසු තම රාජ්‍යය වෙත ගිය රජු මද කලක් ජනතාව පෙළමින් රට පාලනය කොට ආපසු මහ හිමයට ගොස් පෙර පරිදිම තාපසයා සපයා දුන් නුග පත් අනුභව කොට බැලීය. එහිදී නුග පත් තිත්ත රස බැව් පෙනී ගියේය. රජ දරුවන් අධර්මිෂ්ඨ වූ කල්හි පොළව රසයද සරියනක් පාත බැස පොළව ඕජාව නැති වෙන්නේ යයි තාපසයා එහිදී පැවසීය. මේ රාජෝවාද කතා අතර තිබෙන මහා බෝධි ජාතකයෙහි තවත් විස්තර අන්තර්ගතව ඇත. එහිදී උදාහරණ දක්වමින්ම රජුට දෙන අවවාද රාශියක් අන්තර්ගත වී තිබේ.   කසී රට අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක බෝධි නම් කුමරෙකු ලෙසින් ඉපදුනු බෝසතුන් වහණ්සේ පස් කම් සැපත අතහැර පරිබ්‍රාජක පැවිද්දෙක් විලස රජ උයනේ සිටින අතර රජු මේ තාපසයාගේ ශිලය දැක පැහැදී සත්කාර කරන විට රජුගේ ඇමතියන් පස් දෙන මෙයට කිපී රජු තාපසයාගෙන් බිඳුවන්ට උපායන් යෙදීය. එයින් පසු බෝධි තාපසයා නගරයෙන් ඉවත් ව වනයට ගොස් වාසය කරන අතර තුර ඇමතියන්ගේ දුෂ්ඨ ක්‍රියා දුෂ්ඨ උපදෙස්  නිසා රජය අනතුරට පත් වනු දැක ආපිට නුවරට පැමිණ රජුට අවවාද වශයෙන් නිදර්ශණ සහිතව කරුණු දක්වයි. මේ එයින් වර්තමානයට ඉතා වැදගත් වන අවවාද කීපයෙකි.
          රජතෙම වක්ව නොව සෘජුවම යායුත්තේය. ගඟින් එතෙර වන්නට සැරසෙන ගව රැළක් මේ කරුණ පහදා දීමට උපමා කර ඇත.යම් සේ ගඟට බැස යන්නා වූ ගවයින් අතරින් ප්‍රධාන ගවයා ඇදව යේ ද ඔහු ඇදව යන කල්හි ඔහු පස්සේ තොලු තබා පීනන සියල්ලෝද ඇදව යෙයි.එපරිද්දෙන්ම මිනිසුන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨව සම්මත වේද සතර අගතියෙන් යුතුව අධර්මයෙහි හැසිරේද අවශේෂ සත්වයෝද අධර්මයෙහි හැසිරෙන්නාහ. දූෂණයෙන් හා අපරාධ වලින් වෙලී ඇති පාලක පන්තියක් සහිත වත්මන් ශ්‍රී ලංකාවට මේ නිදර්ශණය තෙරම් අගේට ගැලපෙන්නේද. ඉහළ පාලක ස්ථරය වරදි මග යන්නට යන්නට පාලිතයින්ද ලැජ්ජා බිය අතහැර දුෂ්චරිතයේ යෙදෙන ආකාරය දඬුවම් මගින් පවා වළක්වා ගත නොහැකිය.
        පාලකයා රට වැසියා පෙළා අය බදු නොගත යුතුය. එය මිහිරි ඵලබර අඹ ගසකින් නොපැසුණූ ගෙඩි කඩන්නා සේය. එසේ යම් පාලකයෙක් අමු ගෙඩි කැඩූවේද ඔහු කිසිදාක ඉදුණු අඹ ගෙඩියේ රස නොහඳුන්නේය. එසේම නොමේරූ අඹ ඇටයද නොමැස්පෙන හෙයින් පැල නොවී විනාශ වීයයි. මේ හා සමානව සමෘද්ධිමත් රටකට යමෙක් අධර්මයෙන් අනුශාසනා කරන්නේද ඒ අධර්මානුශාසනා කරන රජ තෙම රටෙහි රස සංඛ්‍යාත ඕජස හෙවත් රසයයි දන්නා ලද දැහැමින් උපදනා අය පඬුරු සම්පත්ති නොදන්නේය.එසේ නොදැන ක්‍රියා කළ කල්හි මිනිස්සු ගම් නියම් ගම් අතහැර ප්‍රත්‍යන්ත රටවලට යන්නාහ. පර්වත විෂම ස්ථාන හෝ භජනය කරන්නාහ. එසේ වූ කල්හි රටේ සියුලු අය මුඛ සිඳී යන්නේය. මේ එහිම තවත් උපදේශයකි.පහර දීමට සුදුසු තැන් දන්නා වූ දුනුවායන්ද යෝධයින්ද විදග්ධ වූ ප්‍රසිද්ධ මහ ඇමතියන් ද යම් රජෙක් තෙමේ හෝ නසයිද අනුන් ලවා නස්වා ද හෙතෙම සේනා බලය හා විරුද්ධ වූයේ නම් වෙයි. තමාට බොහෝ උපකාර කළ  රාජයදායක වූ යෝධයින්ට හා ඇමතියන්ට රජු සලකන්නේ එසෙයින් නම් අප හැමට කුමක් නොකරාදැයි කියා අවශේෂ යෝධාදීහු ද රජු හැර යන්නාහ.                         පාලනය විකෘති වන්නේ ද දූෂිත වන්නා වූ රාජ්‍යයන් චෞර රාජ්‍යයන් වෙති.මෙවැනි රාජ්‍යයන් තුල චෞර දේශපාලනයක් ක්‍රියාත්මක වීම ස්වභාවිකය. මෙයින් ඉවත් වීමට නම් යහ පාලනයක් සමාජය තුල ඇතිවිය යුතුය. මේ සඳහා මානව හිමි කම් සමානාත්මතාවය ආදී යහ ගුණ ධර්මයන් ස්ථාපිත විය යුතු යයි කියති. ලංකාව තුල වර්තමානයේ සිදුවන අයහපත් ක්‍රියාන්විතයෙන් වියුක්ත වීම පිණිස ජාත්‍යන්තරව සම්මත යටකී ගුණ ධර්ම ස්ථාපිත කර ගත යුතු යයි ඇතැමෙක් පවසති. ඒ මගින් මෙරට දේශපාලනය හීලෑ කර ගන්නට හැකි යයි සිතන්නන් ද වෙති.  එහෙත් විශිෂ්ඨ සාරධර්ම සම්ප්‍රදායක් හිමි රටක යහ ගුණ ඉස්මතු කර ගැනීමට ජාත්‍යන්තර සංකල්ප ණයට ගැනීම කළ යුතු දැයි ප්‍රශ්ණයක් මතු වෙයි. රාජෝවාද කථා මගින් කරන මග පෙන්වීම මේ සංකල්ප වලට වඩා පරිපූර්ණ නොවන්නේ දැයි කල්පනා නොකිරීම අභාග්‍යයක් වෙයි.
           වර්තමානයෙහි දෙවියන් පවා මේ රට දෙස නොබලාම විවිධ වූ අපරාධ ක්‍රියාවන්ට ඉඩ දී තිබෙන්නේ දෙවියන් පවා අධර්මිෂ්ඨ වී සිටීම නිසාවෙන් දැයි කල්පනා කළ යුතුය.රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ යුත්තේ මේ රටේ මුර දේවතාවුන් ලෙසට සලකන මහා සංඝරත්නයයි. වෙසෙසින්ම මහා විහාරිය භික්ෂූන් වහණ්සේලාය .රජවරුන් සුමගට ගෙන යාම උදෙසා කළ යුතු රාජෝවාද දේශනාවන් උන්වහණ්සේලා හොඳ හැටි දනිති. උන් වහණ්සේලාද  දේශපාලකයින්ට ආවඩමින්  නිහඬවම සිටීම සමාජයට ඉවසුම් දෙන්නක් නොවේ. එසේ වූ කල්හි නියඟය දුර්භික්ෂය ඇති කරවන දේශගුණික විපර්යාසයන් සිදු වීම පුදුමයට කරුණක් නොවේ. නිම කර ගත නොහැකි ඩෙංගු වැනි වසංගත රෝග පැතිර යන්නේ පාලකයින්ගේ අධර්මයෙන් විනා           සෞඛය අංශ වල අකාරයක්ෂකම බවින් නොවේ. යම් පාලකයෙක් අධර්මයෙන් රට පාලනය කෙරේ ද හෙතෙම සියුලු ඖෂධයෙන් විරුද්ධ වූයේ නම් වෙයි. ඔහුගේ රටේ පොළවේ ඕජස රහිත වන්නේයයි රාජෝවාද දේශනාවේ සඳහන් වන්නේ මේ හෙයිනි.                                                                                                                                                                                                      

No comments:

Post a Comment