උදේනි රජ පුත් දන්ත කුමරු සහ ගුහසීහ රජ දුවණි ඛේමා (හේමා) කුමරිය යන දෙදෙන ලක්දිව ට පැමිණීමත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් දළදා වහණ්සේ වැඩමවීමත් ලංකා ඉතිහාසයේ අසිරිමත් සිදු වීමක් වෙයි. ඉන්දියාවේ රජවරු මේ මහාර්ඝ වස්තුව අත්පත් කර ගැනීමට යුධ වදින අවස්ථාවකදී එය ලක්දිවට එවන්නට තරම් එකළ දෙරට අතර ගොඩනැගී තිබූ සම්බන්ධය ද වැදගත් කොට සැලකිය හැකිය. ලංකාවේ දී දන්ත හේමමාලා යුවලට සහ දළදා වහණ්සේ ට ආරක්ෂාව නිසැකයෙන්ම හිමිවේ යයි යන විශ්වාශයද තිබීම එලෙසම වැදගත් විය. ‘ලක්දිව තවත් බෙහෝ සර්වඥ ධාතූන් වහණ්සේලා ද බොහෝ භික්ෂූන් ද වෙසෙන රටකි’. යනුවෙන් ගුහසීව රජුගේ මුවින් පිටවූ වදන් මගින් කියැවෙන්නේ එකළ ලක්දිව කෙරෙහි පැවති ආකල්පයයි.
දන්ත හේමා රැගත් යාත්‍රාව ඉන්දීය භූමියෙන් පිටත් වූයේ ත්‍රාමලිප්ත තොටුපළෙනි. එසේ පිටත් වීමට ප්‍රථම නාගයින් විසින් දළදා වහණ්සේ පැහැර ගෙන නාග ලෝකයට රැගෙන යාමත් මහුදු මැදදී සිදු වූ අතුරු අන්තරාවනුත් සලකා බලන කල්හි ලක්දිවට පැමිණිම පිළිබඳව තිබූ අවිනිෂ්චිත ස්වභාවය ද හෙළි වේ.දන්ත හේමමාල යුවළ රැගත් යාත්‍රාව පාවී අවුත් නැංගුරම් ලූයේ ලංකා පට්ටන නම් වරායටයයි සැලකෙයි. දැනට මේ වරාය ලෙසට හඳුනා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට පහළින් ඇති ලංකා පටුන කපොල්ලයි. සිට දළදා වහණ්සේ අනුරාධපුරය නගරය දක්වා ගෙන ගිය මාර්ගය කුමක්දැයි පිළිබඳව විද්වතුන් අතර මත භේදයක් ඇත. එයට හේතුව වවුනියා දිශාවේ මඩුකන්ද නම් ස්ථානයේ දළදා විහාරයක් පිහිටා තිබීමයි. මේ ගමනේ අතර මගදී මේ ස්ථානයේ දළදා වහන්සේ වඩා හිඳුවා සත්කාර කළ බවට සැලකෙන පුරා වෘත්තය බැහැර කළ නොහැකිය.කොටි ත්‍රස්තයින් ගේ ආධිපත්‍ය නිසා පසුගිය කාලයේ දී උතුරේ බොහෝ ප්‍රදේශයන්හි පුරාවිද්‍යා ස්ථානයන් ගැන නිවරදි ගවේශණයන් නොවීය. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණ විරුවන් ගේ අධීක්ෂණය යටතේ මේ ඇතැම් තැන් පිළිබඳව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කළ ගවේශණයන් රැසක් වෙයි. එහිදී හෙළි වී ඇත්තේ වවුනියාවට ඊශාන දිණාවෙන් දළදා වහන්සේ වැඩ සිටි තැන් රාශියක්ම දක්නට ලැබෙන බවයි. රාජ්‍ය ලේඛණාගාරයේ 5/63/159/53 අංක දරන රඹුක්වැල්ලේ විත්ති පොත තුල මේ වැඩවීම සම්බන්ධව වෙසෙසි විස්තරයක් අඩංගු වෙයි.ඒ මෙසේය. සුගත තථාගත වර ධර්ම චක්‍රවර්තී වූ ජිනේද්‍රඋත්තමයානන් වහණ්සේ ගේ වර්ෂයෙන් සත්සිය තිස්හතට පැමිණි විට දන්ත කුමාරයාත් ඛේමා නම් කුමාරිකාවත් දළදා සාමීන් වැඩමවාගෙන මාවටු පටුනට ගොඩ බැස නාග කෝවිලට ධාතූන් වහණ්සේ වැඩමවා උතුම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ්ජුරුවන්ට පයිඬ යවා සැලකල තැනේදී අනුරාධපුරයට ධාතු වඩම්මාගෙන පැමිණියේය. දළදා සිරිතේ ද සඳහන් වන්නේ මෙසේමය. නමුත් දාඨාවංශය ඇතුලු අනෙකුත් මූලාශ්‍රයන්හි ලංකා පටුන යනුවෙන් දැක්වේ.
මාවටු පටුන නොහොත් මාතොට වරාය එකළ ජනාකීර්ණ නැවු තොටුපළකි. විදේශිය වෙළෙඳුන් නිති ගැවුසුන ප්‍රසිද්ධ වරායකි. මෙකල මහා විහාරය හා අභය ගිරිය අතර ද ශාසනික මත බේදයක් ද විය. ඒ තත්වය තුල ප්‍රසිද්ධ වරායකින් දළදා වහණ්සේ ලංකාවට වැඩවීම විශ්වාශයට ගත නොහැකි වන බව ඇතැම් විද්වතුන් ගේ මතය වෙයි. මේ නිසා ලංකා පටුන වරාය වශයෙන් වර්තමානයේ හඳුන්වන ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරිමට ද සිදු වේ.නමුත් මේ වරයා පිහිටා තිබෙන්නේ එකළ ව්‍යවහාර වූ ගෝකන්ණ වරායට ද පහළිනි. ඒම ස්ථානයේ සිට නැවත වවුනියා ප්‍රදේශයට ගොඩබිම් මාර්ගයකින් දළදා වහන්සේ වැඩමවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි සිතිය නොහැකිය. නැවත උතුරට ගොස් පුහුල් මොටේ ප්‍රදේශයෙන් රට ඇතුලට ගමන් ගැනීම වඩාත් දුෂ්කර කටයුත්තකි. එයට වඩා ලෙහෙසියෙන් සේරුවිල හරහා අනුරාධපුරයට පිවිසිය හැකිය.
කොටි ත්‍රස්තයින් සමග අවසාන සටන සිදුවූ වෙලේ මුල්ල මූලදීප කලාපය ද එකළ ප්‍රසිද්ධ තොටමුණකි. වත්මන් කොකිලායි කලපුව ( කොකලෙ ) ආසන්නය තුල මධ්‍යම තරමේ යාත්‍රා නවත්වා සිටිය හැකිය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස්සේ ද මෙයට වඩා මදක් පහළ වරයායකිනි. මේ නිසා මූලදීප පෙදෙස අපගේ අවධානයට ලක් විය යුතුය. ශ්‍රාස්තපති මුවඇට ගම ආනන්ද හිමියන් ගේ ගවේශණය කෙරෙහිද අවධානය යොමු කළ කල්හි මේ ගමන් මග ගැන ඉඟියක් අපට ලබා ගත හැකිය. එය වැටී තිබෙන්නේ කෝකිලායි කලපුව නෙදුන් කර්නි කොච්චයි සමලන් කුලම් කැලෑ බෝගස් වැව අරිය මඩු රුවන් මඩු පිරපපන් මඩු ඒරුපොතාන තපස් එළිය විමන් ගල මාමඩුව මඩු කන්ද හරහාය. දළදා වහණ්සේ රැගත් දන්ත හේමමාලා යුවළ පිලිගෙන සත්කාර කල පිළන්ද නම් වැද්දෙකු ගැනත් ජන ප්‍රවාදයේ සඳහන් වේ. ලංකා පටුන වරාය අසල මූදුකර වැද්දන්ට අදත් වාසස්ථාන වී ඇත. එසේම මූලදීප කලාපයේ ද වැද්දන් සිටි බවට සාක්ෂි හමු වේ. ඔවුන් ද වාකරේ වැද්දන් මෙන්ම දෙමළ භාෂා ව්‍යවහාරයන් නිසා ද්‍රවිඩී කරණය වී තිබේ.
පසුගිය දා මේ ප්‍ර දේශවල සංචාරය කිරීමට අපට අවස්ථාවක් ලැබුණි. වෙසෙසින්ම නෙදුන්කර්නි හරහා වව්නියා මර්ගයේ පැමිණ කොච්චයි සමලන් කුලම නමැති ස්ථානයට සපැමිණීමට හැකිවීමු. එය වර්තමානයේ හඳුන්වන්නේ සපුමල් ගස්කඩ යනුවෙනි. කඩාඬු සහිත විශාල බිඳි ගිය වැවක් එහි ඇත. දෙමලෙන් කොච්චයි යනු රාජකීය යන්නයි. මෙම ප්‍රදේශය රාජකීයන්ට වාස භවනය වී තිබූ පෙදෙසක් වශයෙන් එයින් හඳුනා ගත හැකිය. දන්ත හේමමාලා යුවල කළක් මෙහි නැවතී සිටි බවට ද මේ අවශේෂයන් සාධක දක්වති. එයට අමතරව මෙහි ඇත්තේ නටබුන් සහිත විශාල විහාර සංකීරණයකි. එය පවුරකින් වට කර තිබේ. නිදන් හොරුන් විසින් හාරන ලද මධ්‍යම තරමේ ස්ථූපයක් බුදු මැදුරක් සහ දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ මෙහි ඇත. මෙම ගොඩනැගිල්ල මෙලෙස තනා ඇත්තේ ඇයිදැයි කල්පනා කර බලන කල්හි එහි යම් කිසි අර්ථාන්විත ක්‍රියාවලියක් සිදුවී ඇතැයි සිතේ . දළදා වහන්සේ වැඩ සිටි බොහෝ තැන් වල ගොඩනැගිලි මෙසේය. දෙමහල්ව තනා ඇත. කෝට්ටේ යුගය වනතෙක් ම මෙම සම්ප්‍රදාය අනුගමනය කර ඇතැයි කල්පනා කළ හැකිය. ෙමම කළිගු දා විහාරය විහාරය පසු කරන කල්හි තවත් වැව් දෙකක් හමු වේ. එය එකම වැව් පද්ධතියේ කොටසකි. ඉන් අනතුරුව හමුවන්නේ කැලෑ බෝගස් වැවයි. එය මෑතක් වනතුරුම සිංහල පවුල් කීපයකට වාස භූමි වූ දැනට හමුදා කඳවුරක් ද පිහිට තිබෙන විශේෂ ස්ථානයකි. මෙහිද දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ දක්නට තිබේ. දළදා වහණ්සේ මෙහි වැඩ සිටින්නට ඇතිවාට නිසැකය.
දළදා වහන්සේ රැගත් දන්ත හේමාවන් දළදා වහන්සේ ගේ පලමු දළදාරක්ෂක තනතුර දැරූහ.දිනපතාම පුද පූජා පවත්වමින් ඇති කර ගත් ශ්‍රද්දාව දුටු ගුහසීව රජු තම දියණිය ද සරණ පාවා දී මේ තනතුර හිමිකර දුන බව සඳහන්ය. මේ දෙදන නගරයෙන් පිටමංව දකුණු දෙසට ගමන් කර මහා ගංගාවක් සමීපයට පැමිණ එහි වැලි දාගැබක් තනවා දළදා වහන්සේ එහි සඟවා තැබූ බව කියැවේ. නා රජු පැමිණ දළදාව පැහැර ලෙන ගියේ මෙම ස්ථානයේ දළදාව තැන්පත් කර තිබෙන විටයි. ලක්දිව සැපත් වූ මේ යුවල රජු විසින් නැවත දළදා රක්ෂක ධූරයට පත්කර බෙලි ගල් කෝරළයේ පදංචි කරවා තිබේ. වැලි ගොඩක් දාගැබක් තනවා දළදා වහණ්සේ එහි තැන්පත් කර වන්දනා මාන කළ බැවින් ඔවුන් ගේ පරපුර කීරවැලි පරපුර විය. පසුව ඔවුන් ස්ථිරව පදිංචි ස්ථානයද කීරවැලි පත්තුව වී ඇත.මෙම කීරවැල්ලේ පරපුරේ අන්තරාගාමීහු ක්‍රි.ව.1620 වන්තෙක්ම අඛණ්ඩවම දළදා භාරකාරත්වය දැරූහ. රජුට අගබිසෝ වරුන් සපයන ලද්දේ මේ සුලු වංශයෙනි. ඒ හෙයින් දළදා වහණ්සේත් රාජ්‍ය නායකත්වයත් අතර අවියෝජනීය සබඳතාවයක් පැවතිණ.
1620 න් පසුව ප්‍රධාන රාජකීය පරපුරු සියල්ල ආරක්ෂාව පිණිස වන වැදීම නිසා දළදා භාරකාරත්වය කීරවැල්ලේ මව් පාර්ශවයට හිමිවිය. ඒ විස්තරය මෙසේය.සකල කලා වල්ලභ හා ඔහුගේ කීරවැලි බිසවගේ දුවක් චන්ද්‍ර වංශික ඌවේ රාළ හා විවාහ වූවාය. ඌවේ මහ රාළ නමින් ඒ දෙපළට මුණුපුරෙකු සිටියේය. වීර වික්‍රම සවුලු රජු ගේ මුණුපුරෙකු වූ දුම්බර දනව්වේ කුමාර බණ්ඩාර ට පත්මහාමි නමින් දුවක් සිටියාය. පත්මහාමි ඌවේ මහ රාළ හා විවාහ විය. ඔවුන් ගේ පුත් මහරාළට රඹුක්වැල්ල ගම ලැබුණි. ඔහුට යාපා රාළ නමින් පුතෙක් සිටියේය. යාපා රාළට ඒකනායක අප්පුහාමි නමින් පුතෙක් සිටියේය. දුම්බර රට ඌවේ දිශාව තනතුර දැරූ ඒකනායක අප්පුහාමි 1627 දී කීරවැලි මිත්තණිය ගේ උරුමය මත දියවඩන නිළයට පත් කෙරින. ඒකනායක අප්පුහාමි ගේ පුත් හාන්තු නායක අප්පහාමි (1642 දී සලු වඩන නිලමේ) ගේ පුත්‍රයා 1697 දී දියවඩන නිලමේ තනතුර දැරූ බව සඳහන්ය. හේ දුනුවිල කුමරියක් හා විවාහ විය. ඔහුගේ දරුවන් 1739 නායක්කර පාලනය නිසා මහවාසල උදහසින් තල්ලුවුනා යයි රඹුක් වැල්ලේ විත්ති පොතේ සඳහන්ය. නායක්කර් යුගයෙන් පසුව ඉංර්‍ගීසි යුගයේ දී විවිධ රදළයින්ට මේ තනතුර හිමි විය. බුද්ධාගමේ භාරකාරත්වය අත්හල ඉංග්‍රීසි පාලකයින් 1853 දී දළදා වහණසේ ගේ භාරකාරත්වය දියවඩන නිලමේට හා මහානායක ස්වාමීන් වහණ්සේලාට දෙනමට පවරා දෙන තෙක්ම දළදා භාරකාරත්වයට හිමිකම් කීවේ මහා සම්මත උරුමක්කාරයෙක් පමණකි.
දහනව වන සියවසේ දී මුල් භාගයේ දී මහා නායක පදවිය හෙබවූ අති පූජ්‍ය කොබ්බෑකඩුව සිරිනිවාස නාහිමියෝ තමන් වහණ්සේ ගේ ගුරු පරපුරෙහි ගිහි පරපුර දළදා වහණ්සේ භාරගෙන සුරක්ෂිත කළ සූර්ය වංශික රාජකීයන් බව පෙත්සමක් මාර්ගයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා සිටියහ. කොබ්බෑකඩුව සන්නසේ ඒ පරපුර ගැන මෙසේ සඳහන් වේ. ‘ ශ්‍රී සේනා සම්මත වික්‍රමබාහු රජ දවස .....ශ්‍රීමත් මේණවර රත්න වල්ලිතෙර ස්වාමීන්ට .....වටනා පස දාන කේෂ්ත්‍ර කොට දෙවා වදාල හෙයින් ’සූර්ය වංශික මේණවර පෙලපත මෙරට අගරජ පදවිය හිමි වංශයයි.මේණවර රජුගේ මව හා බිසව දළදාව වැඩමවාගෙන පැමිණි කීරවැලි පරපුරට අයත්ය.ඒ සාධක මත කොබ්බෑකඩුව නාහිමියන් දළදා උරුමය ඉදිරිපත් කළ බව පැහැදිලිය .
Thanks
ReplyDelete