පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, June 21, 2012

නූතන මග නැගුමේ පුරෝගාමීයා

                                                        


       එක් දහස් නවසිය පණස් හය වර්ෂය සැලකෙන්නේ ජනතාවාදී බලවේගයන් ජයග්‍රහණය කළ අවස්ථාවක් ලෙසිනි. ප්‍රභූවරුන් නොහොත්  රදළවරුන් සතුව පැවති  නායකත්වය ගැමියන් සමග කරට කර සිටි පාම්පරික ගැමියන්ට ලැබීම මෙහි පෙරළිය විය. මෙහිදී කම්කරුවන් පවා පාර්ලිමේන්තුවට ගියහ. නමුත් යටත්විජිතකරණය නිසා ග්‍රාමීය නායකත්වය අහිමිව සිටි පාරම්පරික සිංහලයින් බොහෝ පිරිසකට මෙහිදී මහජන නියෝජනය හිමි වීමෙන් සුද්දන් පුදන ඔවුන්ගේ සංස්කෘතිය පස්සේ යන කලු සුද්දන් යයි හඳුන්වන මහා බල වේගය දුර්මුඛ විය. මේ සටනේ දී කලුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පස්යොදුන් කෝරළයෙන් මහා පුරුෂයෙකු ජයග්‍රහණය කරනු ලැබිණ. ශරීරයෙන් කුඩා වුවද ඔහු ක්‍රියාකාරිත්වයෙන් මහා පුරුෂයෙකු විය. දයාසේන ටරනෝලිස් පස්කුවල් නමින් උප්පැන්න සහතිකයේ සඳහන් වුවද හුදී මහ ජනතාව අතර මොහු ජනප්‍රියත්වයට පත් වූයේ දයා ටී පස්කුවල් නමිනි. 1912 වර්ෂයේ උපත ලද දයා  ටී පස්කුවල් මහතා සිය දිවි ගමනේ සියවස සම්පූර්ණ කරන්නේ එළඹෙන ජූනි මාසයේදීය.
        1943 සිට මෙතුමාගේ දේශපාලන ජීවිතය දිග හැරෙයි. ගම් සභිකයෙකු විලසින් ඔහු ජනතාව අතරට පැමිණෙන්නේ එම වර්ෂයේ දීය.ඒ මතුගම ඉද්දගොඩ හොරවල ගම් සභාවේ සාමාජිකයෙකු විලසිනි. එවකට මේ ප්‍රදේශය හැඳින්වීමට භාවිතා කළ නාමය බටහිර පස්යොදුන් කෝරලයයි. ප්‍රාදේශිය ආදායම් පාලක නොහොත් ඩී.ආර්.ඕ. බල ප්‍රදේශයද එයම විය. මේ පාලන බෙදීම් පසුව වෙනස් වී 1972 දී මතුගම උප දිසාපති කොට්ඨාශයක් බිහි විය. නමුත් මතුගම ආසනය එකල කලුතර තොටමුණ දක්වා ද දෙඩන්ගොඩ ප්‍රදේශය දක්වා ද ව්‍යාප්තව පැවතුණි.
      දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජනප්‍රිය දේශපාලනඥයෙකු බවට පත් වූයේ සමස්ත ලංකා ගම් සභා සමිමේලනය ඔස්සේය. 1925 දෙසැම්බර් 16දින ආතර් වී දියෙස් ඩී.එච්.එස් නානායක්කාර යන දෙපලගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද එම සම්මේලනයේ සභාපතිත්වයට බණ්ඩාරනායක  මහතා පත් වූයේ 1929 වර්ෂයේ දීය. ඒ තුලින් සුවිශාල ග්‍රාමීය නායකයින් පිරිසක් හඳුනාගන්නට එතුමාට හැකිවූයේ පළාත් පාලන ඇමතිවරයාව සිටි අවදියේ දීය. දයා ටී පස්කුවල් මහතා එවැනි පුද්ගලයෙකු විය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට ගොස් පසුව මහජන එක්සත් පෙරමුණ යටතේ 1956 මැතිවරණයට ඉදිරිපත් වන විට නොපැකිළව දයා ටී පස්කුවල් මහතාට නාම යෝජනා භාරදීමට බණ්ඩාරනායක් මහතා තීරණය කරනු ලබන්නේ එවකට පස්යොදුන් කෝරළය තුල මහජන නියොජිතයෙකු ලෙසින් පස්කුවල් මහතා ලා තිබූ ජනප්‍රියත්වය හේතු කොට ගෙනයි.
        වර්තමානයේ සංවර්ධනය උදෙසා ගම නැගුම යන වචනය බෙහෙවින්ම භාවිතා වෙයි. වෙසෙසින්ම ග්‍රාමීය පාරවල් වැඩිදියුණු කරලීමට මේ වචනය භාවිතා වෙයි. නිදහස ලබන කාලයේ ග්‍රාමීය මංමාවත් වශයෙන් සැලකුණේ වතුපිටි උඩින් ගෙවතු උඩින් අමුණු උඩින් පැන යන අඩි පාරවල් පමණක් විය. මේවා දියුණ කරලීමට ගම් සභිකයින් බෙහෙවින් උනන්දු විය. සුදු පාලකයින්ගෙන් වෙසෙසින්ම රබර් සහ තේ වතු අයිතිකාර සුද්දන්ගේ රැවුම් ගෙරවුම් මධ්‍ය යේ මේ අඩි පාරවල් කපන ලද්දේ ශ්‍රමදානයෙනි. 1932 සිට1952 දක්වා මතුගම ගම්සබාපති වශයෙන් කටයුතු කළ ඩී.එච්. මුණසිංහ මහතා එවැනි නායකත්වයක් දැරූ පුද්ගලයෙකු විය.
        පස්කුවල් මහතා මේ මග ගත්ගේ නව ආරකිනි. එවකට ඔහු මතුගම ගම් සභාවේ සභාපති වරයා විය. මෙම සභාවට එකතු වන බදු මුදල් අතර ඇඟබද්ද කරත්ත බද්ද ආදී සීමිත බදු සංඛ්‍යාවක් විය. ඒවා සියල්ල විශාල වපසරියකින් යුක්ත පස්යොදුන් කොරළය ම සංවර්ධනය සඳහා යෙදවිය යුතු විය. පස්කුවල් මහතාට අවශ්‍ය වූයේ බදු ප්‍රමාණය වැඩිකර ගනිමින් ඒ මාර්ගයෙන් ප්‍රදේශය වැඩි දියුණු කර ගැනීමයි.
        මේ අවදියේ ඇතැම් පළාත් ආයතන නගර සභා බවට උසස් කර තිබුනි. පළාත් පාලන ඇමතිව සිටි බණ්ඩාරනායක මහතා හමු වූ පස්කුවල් මහතා තමන්ගේ සිත තුල පැවති අදහස කියා පෑවේය. ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව විශාල කැක්කුමකින් සිටි එතුමා එකපයින්ම එම යොජනාවට කැමැත්ත පළ කොට අවශ්‍ය පහසු කම් ද සලසා දුන්නේය. ඒ අනුව 1948 අංක 29 දරණ පණතේ බලතල ප්‍රකාරව 1950 ජූනි පළමු වනදින මතුගම සුලු නගර සභාව ගැසට්කොට ප්‍රකාශයට පත් කරන ලදී . ඒ අවස්ථාවේ දී ජාවාකච්චේරිය හා පිළියන්දල ද පිළිවෙලින් සුලු නගර සභා බවට පත්කර ඇත. දැන් මේ නගර සභාවේ නගරාධිපති වරයා බවට පත් වන්නේ දයා ටී. පස්කුවල් මහතාය. ඔහු සිය බලතල ප්‍රකාරව අතුරු ව්‍යවස්ථා තනමින් බදු මුදල් වැඩිකර ගන්නට වෑයම් කළේය. භූමිතෙල් කරවල ආදිය වෙළෙඳාම් කරන්නවුන් මේ බදු ක්‍රමයට අයත් විය. එසේම එවකට තිබූ වල කක්කුස්සි වල කසල බැහැර කරලීම සඳහා කසල බද්දක් ද ප්‍රකාශයට පත් කරන ලදී. පස්කුවල් මහතා සිය මග නැගුම ව්‍යපෘතිය ද ආරම්භ කරන ලද්දේ ද මතුගමිනි. ඒ සඳහා මතුගම බාලිකා පාරත් මද්දෙගෙදර පාරත් සම්බන්ධ කරන ලදී. එය ශ්‍රමදානයෙන් කැප්පවීමට සහාය දක්වන ලද්දේ ගම්සභිකයෙකු වශයෙන් සිටි ජාලිස් විතාන මහතාය. එය ඔහුගේ පළමුවැනි ව්‍යාපෘතිය වූවා සේම මාවතද ෆස්ට් ලෙන් විය. මේ ලෙසින් ඔහු විසින් කප්පවන ලද පාරවල් නිමක් නැතිය. ඒ සියල්ලම වර්තමානයේ තාර දමා සංවර්ධනය වූ පාරවල්ය. ඒ මගින් නගරය සීඝ්‍රයෙන් දියුණට පත් වූ අතර නගර සභාවේ ආදායමද දියුණු විය.
        1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගත්තේය. දයා ටී පස්කුවල් මහතා පළාත් පාලන උප ඇමති විය.  ඔහුට එදිරිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සිටියද ඔවනොවුන් ගේ සුහදත්වය මත බොහෝ ගැටුම් නිරාකරණය විය. නමුත් නිරන්තරයෙන්ම එවැනි ගැටුම් නිර්මාණය කර ගැනීමට නූගත් ජනතාව උත්සාහ කළහ. ලැබී තිබුණ මහජන වරම ගැන අවබොධයක් නොතිබුණූ ඇතැම් නූගත් පිරිස් අතරට බලය පැතිරීම නිසා පක්ෂ විපක්ෂ ලාබාලයන් අතර ඉඳහිට ගැටුම් ඇතිවිය. සයිමන් පස්කුල් වෛද්‍යාචාරයවරයා එකල ජනප්‍රිය දේශීය වෙදමහත්මයෙකු විය. එලෙසම මතුගම සුලුනගර සභාවේ සභපති ද විය. එක් දිනක් අලුත්ගම පාරේ එතුමාගේ නිවස අසල කුඩා ගැටුමක් ඇති විය. මේ අවස්ථාවේ දී දයා ටී පස්කුවල් මන්ත්‍රීවරයා ද සිටියේ ඒ අසන්න ස්ථානයකයි. වැලිපැන්න ප්‍රදේශයේ විවාහ මංගල්ලයකට යන අතරවාරයේ කඩයකට ගොඩ වැදී තේ බොමින් සිටි මන්ත්‍රීවරයා සමග එවකට මතුගම ආන්නද ශාස්ත්‍රාලයේ උපගුරුවරයෙකු වශයෙන් සිටි රොබින් පස්කුවල් මහතා ද සුගුනදාස අතුකෝරල මහතා ද විය. යට කී ගැටුම ආරංචියට පත් මේ තිදෙන වහ වහා ස්ථානයට පැමිණුනි. එතැන  මතුගම පොලිස් වාහනය නවතා තිබුණි. එයින් බට ස්ථානාධිපති තිසේරා මහතා සයිමන් පසකුවල් මහතාව බඩ තුරෙන් ගෙන ජීප්රථයට එබීමට සූදානම්ව සිටියේය. පස්කුවල් මන්ත්‍රීවරයා වහා ඉදිරියට දිව විත් ස්ථානාධිපතිවරයා සමග අදාළ කාරණය ගැන කතා කරන්නට උත්සාහ කලේය. ආපිට හැරුණුඕ.අයි.සී. තිසේරා. උඹ තමයි මට අවශ්‍ය මිනිහා( you’re the rascal we want ) යයි කියමින් එකවරම පසකුවල් මන්ත්‍රීවරයාට පහර දීමට පැන්නේය.අත මිට මොලවා ගත් මන්ත්‍රීවරයා පහසුවෙන්ම පහර වළක්වා ගත් නමුත් පහරේ වේගයට ස්ථානාධිපතිවරයා පසෙකට වීසිවී ශරීරයේ සමබරතාවය ගිලිහී පාර මැද ඇද වැටුණි.
          පොලිස් නිළධාරියෙකුට පහර දුන්නේ යයි සලකා වහා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනුණි. නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරිවරයාගේ නියේගය මත ඔවුන් ඇප පිට නිදහස් කරන ලදී .  මේ සිද්දිය අළලා සියලු දෙනාටම විරුද්ධව නඩු පැවරුණි. මේ නඩුවට පෙනී සිටින ලෙසට එවකට ජනප්‍රිය නීතිඥවරයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගෙන් ඉල්වා සිටින ලදී. නමුත් ඔහුගේ නිගමනය වූයේ සැකකරුවන්ට වසර තුනක්වත් සිර දඬුවම් හිමි වන බවයි. මෙහිදී එවකට මතුගම ආනන්ද සාස්ත්‍රාලයේ ගුරුවරයෙකුව සිටි. පසුව කොළඹ නාලන්දේ විදුහල්පතිව පැමිණි සුගුණදාස අතුකෝරළමහාගේ මග පෙන්වීම මත ලංකාවේ ප්‍රසිද්ධ අද්වකාත්වරයෙකුව සිටි ජී.ජී.පොන්නම්බලම් මහතා වෙත මේ නඩුව ඉදිරිපත් කරන ලදී. ඔහු මේ කාරණය පිරික්සා සිටීමට මතුගමට පැමිණියේය.
      මේ නඩුවේ පැමිණිලි පක්ෂයේ ප්‍රධාන සාක්ෂිකරුවා වශයෙන් සිටියේ පසකුවල් මහතාගේම ඥාතිවරයෙකි. මීට පෙර අවස්ථාවක පසකුවල් මහතාගේ පියාණන් හට කරන ලද නිග්‍රයක් නිසා මේ ඥාතිවරයා මන්ත්‍රීවරයාගෙන් ගුටි කා තිබුණි. මේ සිද්දිය පොන්නම්බලම් මහතා හොඳින් අධ්‍යනය කලේය. එසේම එම සාක්ෂිකරුවා සූදු අන්තුවකු වූ අතර ගම්සබා උසාවියකදී දඬුවම් විඳ ඇති වබද සොයා ගන්නා ලදී. මේ කරුණු දෙකම පදනම් කොට මේ ඥාතිවරයාගේ ප්‍රධාන සාක්ෂිය බිඳ වැට්ටවීමට හැකි විය. සාක්ෂි විභාගයේ දී තමා වැදගත් අප්පුහාමි කෙනෙකු බව පුන පුනා පැවසුවද ඔහුගේ වැදගත් කම කුමක්ද යයි  පෙන්වා සිටීමට පොන්නම්බලම් මහතා සමත් විය. මේ නිසා සාක්ෂියේ වලංගු බාවය නැතිවී පස්කුවල් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස නිදොස් කොට නිදහස කර ලදී. එවකට තිබූ විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ උසිගැන්වීමෙන් මේ කලබගෑනිය ඇතිවුවද තිසේරා ස්තානාධිපතිවරයා ප්‍රදේශයෙන් මාරු කර යැවීමට පස්කුවල් මන්ත්‍රීවරය කටයුතු නොකළ බව සඳහන් කළ යුතුය. ප්‍රසිද්ධ උත්සවයක් සඳහා මතුගමට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ කාරණය ඔහුගෙන් විමසා සිටියේය. ස්ථානාධීපතිවරයා වෙනත් ස්ථානයකට පිටත් කර හැරියහොත් නැවතත් මෙලෙසම ක්‍රියාකිරීමට උත්සාහ දරනු ඇති බව ද තමන් ගේ බල ප්‍ර දේශය තුල තවත් එවැනි කලබල නොකර සිටීමට මොහු පුරුදු වනු ඇති බවද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය විය. වර්තමානයේ ජීවත්වන දේශපාලනඥයින්ට වඩා දයා ටී පස්කුවල් මන්ත්‍රීවරයා තෙතරම් වෙනස් පුද්ගලයෙකු දැයි තේරුම් ගැනීමට මේ සිද්දියම ප්‍රමාණවත්ය.
                               

No comments:

Post a Comment