බත සහ බරත යනුවෙන් දෙකොටසක ජනතාවක් අතීතයේ
දී සිටි බව අපේ ශිලා ලේඛන වලින් පැහැදිලිය.කුරහන් ඇතුළු කටුසර ධාන්‍ය වලින් යැපුණු
ලංකාවේ ජනතාව බත්කෑම ප්‍රධාන බවට පත් කර ගන්නට ඇත්තේ බත වරුන් ගේ පැමිණීමත් සමග
බවට සිතන්නට හැකිය. නිවසේ දී බත් කනවා යැයි කියන මිනිසුන් කුඹුරේ කමතේ දි ඉතාමත්
ගෞරවයෙන් ඒවාට බැත යයි කිවූහ. බැත ගෙදරට ගෙන ආයේ දෙවියන්ට කොටසක් වෙන් කරමිනි.
නැතිනම් කමතේම බැත සුද්ද කර වී කොටා සහල් වලින් අලුත් බත් දානයක් දීමෙන් පසුවයි.බත්
සමග සංස්කෘතියක් බිහි වීම මෙරට ජනතාවගේ සභ්‍යත්වය පුළුල් කරන්නට සමත් විය.
වර්තමානය වන විට ලංකාව පුරා ජනතාව බත් ප්‍රධානතම ආහාරය වශයෙන් සලකති. ඒ නිසා බත්
නිසා සහල් නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ගැටුම් ඇති කර ගැනීම අපට නොහොබිනේය.ඒ අපගේ ශ්‍රේෂ්ඨ
සංස්කෘතියට ඉන් අවැඩක් සිදු වන බැවිනි.
කෙසේ වෙතත් මේ වන විට බත් කන මිනිසුන්ට
පොදුවේ මහත් ගැහැටක් විඳින්නට පසුබිම සැලසී තිබේ.රටේ සහල් හිඟයක් කෘතිමව නිර්මාණය වී
තිබීම මීට හේතුවයි. රතු කැකුළු සහල් සහ සුදු කැකැළු සහල් විශේෂයෙන්ම හිඟ වී
තිබේ.නාඩු යනුවෙන් ව්‍යවහාරයක් වෙළෙඳුන් අතර තිබුණද අතීතයේ දී ගොවි ජනතාව භාවිතා
කල වචන අතර තිබුණේ කැකුළු සහ තැම්බූ සහල් සහ සම්බා සහල් යනුවෙනි. ඉන් තැම්බූ සහල්
බහුලව භාවිකා වූ අතර සම්බා පරිභෝජනය රජ වාසල සහ සිටු වරුන්ට සීමා වී තිබුණි.
සම්පන් යාත්‍රා මගින් ඉන්දියාවේ සිට සහ අනෙකුත් රටවලින් ගෙන්වා ගත් බැවින් සම්බා
යනුවෙන් ව්‍යවහාරයක් ඇති වූ බව දැක්වේ.කයිවර සම්බා ,මුතු සම්බා, කොත්තමල්ලි සම්බා
ආදී නම් අතීතයේ අපට අසන්නට පිළිවන් විය. හරිත විප්ලව ක්‍රියාවලිය සහ වී අභිජනන
සංවර්ධනය නිසා සම්බා භාවිතය සහ සුදු සහල් දෙන වී වර්ගයන් ජනතාව අතර වැඩි වැඩියෙන්
ප්‍රචලිත කරනු ලැබීය. රතු සහල් භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමට මේ වෑයම හේතු විය.
විශේෂයෙන්ම ආපන ශාලා වල සහ හෝටල් වල ප්‍රයිඩ් රයිස් භාවිතයේ වර්ධනය නිසා විශේෂ
සම්බා වර්ග අවශ්‍යතාවය වර්ධනය විය.මේ තත්වය මත මහා වාරි කලාප වල සහ මහවැලි කලාප වල
සම්බා වර්ග වැඩි වැඩියෙන් වගා කිරීම තේරුම් ගත හැකිය.ඒ කලාප වල ගොවීන් යැපුම්
මට්ටමේ සිට වානිජ මට්ටමට පරිවර්තනය වීම මෙයට හේතුවයි.
ගොවියා, කම්කරුවා, ඉංජිනේරුවා, වෛද්‍යවරයා ඇතුළු සමස්ත ජනතාව ම පාරිභෝගිකයන්
වෙති. ඒ සැම දෙනටම අත්‍යවශ්‍ය ආහාර මෙන්ම විවිධ භාණ්ඩ ලබා ගැනීමට සිදු වේ.ඩොලර්යේ
උච්චාවචනය අනුව ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන අතර රුපියලේ මිළ උච්චාවචනය අනුව දේශීය
භාණ්ඩ වල මිළ ඉහළ පහළ යයි.ගොවිතැන අතහැර පාරිභෝගිකයන් බවට පත් වූ ජනතාවට මේ කාරණය
තදින්ම බලපායි. ඒ නිසා වැටුප් වැඩි කර ගැනීමට ඔවුහු සටන් වදී.පහසුකම් ඇති කර
ගැනීමට පෙළ ගැසෙති. මධ්‍යම පන්තියේ වර්ධනය නිසා චන්දයකින් පත්වන රජයකට නිතරම
පාරිභෝගිකයාට හිස නමන්නට සිදු වේ. හඳෙන් හාල් ගෙනවිත් දෙන පොරොන්දුව සහ ධාන්‍ය
රාත්තල් අටේ කතාව චන්ද වේදිකාවේ රැව් දුන්නේ මේ තත්වය නිසාය.වෙළඳ පළ ආර්ථිකය
වර්ධනය නිසා මේ ගැටළුව තවත් සංකීර්ණ වී තිබේ. විපක්ෂයේ සිට පැවති ආණ්ඩු විවේචනය
කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බලයට පැමිණීමෙන් පසු මහත් අර්බුදයකට
පත් වූයේ ප්‍රායෝගික තත්වය අත් දකින්නට වූ බැවිනි.එම නිසා වර්තමානයේ පවතින වී
අර්බුදයට නිසි පිළියමක් සෙවීම සඳහා දේශපාලන පක්ෂ කෝණයෙන් බැහැරව කටයුතු කිරීම සඳහා
බලධාරීන් උනන්දු විය යුතුය.
ස්වයංපෝෂිත ආර්ථිකයක සිටි ගොවියා
පාරිභොගික භාණ්ඩ පරිහරණය කරන ලද්දේ අල්ප වශයෙනි. ඒවා මිළදී ගැනීමට ඔවුහු තල මුං
කුරහන් ඇතුළු ධාන්‍ය වර්ගද කිතුල් පැණි සහ හකුරුද පුවක් ද අලෙවි කළහ.අනෙකුත්
සියළුම ආහාර ඔවුහු ගමෙන්ම සපයා ගත්හ. 1977 න් පසු සිදු වූ ආර්ථික පෙරළියෙන් පසු
සීඝ්‍ර ලෙස මේ තත්වය වෙනස් විය. 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවනු ලැබූයේ එවකට විශාල
වශයෙන් වී අස්වනු රැස් කරගත් ගොවියාට වෙලඳ පළ තුළ යම් සහතික මිළක් ලබා දීමට සහ
සහල් හිඟ කාලයට පාරිභෝගිකයා ආරක්ෂා කරලීම සඳහා ආරක්ෂත තොග රැස් කිරිමටත්ය. නමුත්
වෙළදපළ ආර්ථිකය වර්ධනය වීමත් සමගම රජය ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්ව වෙළඳ පළ
හැසිරීමට ඉඩ සැලැස්විය යුතුය යන මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් ලෙසට
පැමිණියහ. එහි ප්‍රතිඵලය වූයේ වී අලෙවි මණ්ඩලය වසා දැමීමට තීරණය කිරීමය. එහි ගබඩා
විකුණා දැමීමට කටයුතු කිරීමය. ඉන්පසු වෙළඳ පළ වාසිය ලබා ගනිමින් වී මොල් කරුවන්
දිවයින පුරාම වර්ධනය විය. ඔවුහු තම ලාභය උපරිම කර ගැනීමට ද කර්මාන්තයක් ලෙසට පවත්වා
ගෙන යෑමට ද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව ඉදිරියට ගියහ. ඒ මගින් ආර්ථිකයට ලබා දෙන
දායකත්වය අති මහත්ය.නමුත් ගොවියාගේ පැත්තෙන් බලන කල්හි ඔවුන් ගේ ජීවන තත්වයේ
වර්ධනයක් සිදු නොවීය. පූර්ණ කාලිනව ගොවිතැන් කොට කන්නය අවසානයේ අතට ලාභයක් ගැනීමට
සිටින පිරිසට වෙනත් රැකියා සොයා යන්නට සිදු විය. එයට හේතුව ලැබෙන ආදායම ජීවත් වීමට
ප්‍රමාණවත් නොවන බැවිනි.මෙම තත්වය තවදුරටත් වර්ධනය නොවිය යුත්තකි.ගොවිතැන් කරන
මිනිසුන් ගේ සමෘද්ධිය සහ පාරිභෝගිකයා ගේ යහපත සැලසීම රජයේ යුතුකමකි. නමුත් තවමත්
වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරුන් අඳුරේ අතපත ගාමීන් සිටී.ආහාර ස්වෛරී භාවය සහ වෙළඳ
පළ ආර්ථිකය අතර සාම්‍යයක් ඇති කිරීමට ඔවුන් අසමත් වී තිබේ.මහජන ආණ්ඩුවක වගකීම
ඔවුහු පැහැර හරිමින් සිටී.
සැබවින්ම මෙම වී සහල් ගැටළුවට සරල විසඳුමක්
අපට යෝජනා කළ හැකිය.නූතන වෙළඳ පළ බලවේග තුළ ගොවියා රැක ගැනීම සහ ආර්ථිකයට දක්වන
දායකත්වය ප්‍රතිශතයක් ලෙසට ගණනය කිරීමට සැලස්වීම මෙහි අරමුණයි.වර්තමාන රජය වී වලට
නිකුත් කල සහතික මිළ රුපියල් එක සිය විස්සකි. සහල් වල පාලන මිළ රුපියල් දෙසිය
තිහකි.එවිට ප්‍රතිශතයක් වශයෙන් ගොවියාට ලැබෙන්නේ සියයට පණස් තුනකට ආසන්න ගණනකි..අනෙක්
සියළුම ආදායම මොල් කරුවන් ට ,ප්‍රවාහනයට ,තොග වෙළන්දන්ට, සිල්ලර වෙළන්දන්නට ,ඇසුරුම්
නිෂ්පාදකයන් ඇතුලු වෙළඳපළට බෙදී යයි. එයට අමතරව මොල් කරුවන්ට සමාජ ආරක්ෂණ බද්දක් ද
වැට් එකක් ද ගෙවීමට බල කර තිබේ. එය සියයට විස්සකි.ඒ සියල්ලම සහල් කිලෝවට එකතු වේ.මෙය
කිසිසේත්ම සාධාරණ නැත.
වර්ෂ 1837 දී කොළඹ තේ වෙන්දේසිය ආරම්භ කරනු
ලැබිණ.තේ වතු වලට ලැබිය යුතු ලාභාංශ ප්‍රතිශතය ඒ තේ වෙන්දේසියේ දී ගණනය වේ.වර්තමානය
වන විට තේ දළු සඳහා සියයට 68 ක්ද තේ නිෂ්පාදකයන්ට සියයට 32 ක් ද වශයෙන් ප්‍රතිශතය
තීරණය කරනු ලබයි.වෙන්දේසියේ ලබන මිළ අනුව තේ වතු හිමියන්ට සහ කුඩා තේ වතු හිමියන්ට
ආදායම ලැබේ.තේ වතු වල තේ කම්හල මගින් වියළන ලද තේ කිලෝවක් එළියට එන විට සියළුම
වියදම් වල ප්‍රතිශතයන් ගිණුම් ගත වේ.තේ වත්තද අතැම් විට පුද්ගලික තේ කම්හලද
පවත්වාගෙන යනු ලබන්නේ ඉහත සඳහන් ප්‍රතිශතය අනුවයි.තේමණ්ඩලයේ නීති රීති අනුව වරින්
වර මෙම ප්‍රතිශතය පිළිබඳ තීරණ ගනු ලබයි.
දේශීයව සකස් කරන සහල් යම් තරමකින් අපනයනය
කළද එය අපනයන මූලික කරගත් භාණ්ඩයක් නොවේ.එය දේශීය පාරිභෝගික භාණ්ඩයකි.පාරිභෝගිකයාට
සහල් සපයනුයේ වෙළන්දන්ය. එතනදී වෙළඳ පල බලවේගයන්ට අවශ්‍ය ප්‍රතිශතය තිරණය නොවේ.වී
සහතික මිළ මගින් ප්‍රතිශතයක් පිළිබඳ දැනුම් නොදෙන අතර ව්‍යාපාරිකයාට අවශ්‍ය ආකාරයට
සහල් සහ වී මිළ තීරණය කරනු ලබයි.තේ නිෂ්පාදනයේ දී භාවිතා කරන ප්‍රතිශත ක්‍රමය වී
වෙළඳ පළටත් ආදේශ කලහොත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව මාගේ විශ්වාසයයි. පහත සඳහන්
වගුව පරිශීලනය කරන විට දැනට ගොවියාට සහ වෙළඳ පළ බලවේග වලට ලැබෙන ආදායම් ප්‍රතිශතය
පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකිය.සහල් පාලන මිළ රුපියල් 230 ක් ලෙසට සළකා සහ
අක්කරයක අස්වැන්න(මධ්‍යන අගය ) කිලෝ 2000 ක් ලෙසට සළකා මෙම වගුව සකස් කර ඇත.එසේම අක්කරයක
නිෂ්පාදන වියදම ලක්ෂ 02 ක් බව ( අම්පාර පොලොන්නරුව මඩ කලපුව අනුරාධපුර ) දැනට තහවුරු වී තිබෙන අතර ඒ වියදම
අනුව ලාභය ගණනය කර ඇත.
සහල්පාලන මිළ (සහල් කිලෝ 01) |
ප්‍රතිශතය (ගොවියාට සහ වෙලෙඳපළට ) |
ගොවියාගේ තීරුව |
වෙළෙඳ පළ තිරුව |
ගොවියාගේ ආදායම |
ගොවියාගේ ශුද්ධ ආදායම |
|
රුපියල් 230 |
52% -48% |
රු- 119.6 |
රු -110.4 |
රු -2,39200 |
රු -39200 |
|
එම |
55% -45% |
රු- 126.5 |
රු -103.5 |
රු -2,53000 |
රු-53000 |
|
එම |
58% -42% |
රු -133.4 |
රු -96.6 |
රු- 2,66800 |
රු-66800 |
|
එම |
60% -40% |
රු -138 |
රු-92 |
රු- 2,76000 |
රු -76000 |
පූර්ණ කාලීනව ගොවිතැන් කරන
ගොවියෙකුට ලැබෙන ඉහතකී ලාභය ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නොවන අතර අර්ධ කාලීනව
ගොවිතැන් කොට වෙනත් රැකියාවක ද නිරත වන ගොවියෙකුට එය ප්‍රමාණවත්ය.එහෙත් ගොවියා
ගොවිතැනෙහි රැඳී සිටීම ට ඉන් පෙළඹීමක් නැත. ව්‍යාපාරිකයා සිය වෙළඳ පළ තීරුව අනුව
උපරිම ලාභයක් ලබා ගන්නා අතර සේවක පිරිසක් ද නඩත්තු කරමින් රජයට බදු ආදායමක් ද ලබා
දෙයි.තේ නිෂ්පාදනයේ ප්‍රතිශතයන් තීරණය කරන පරිදිම සහල් වෙළෙඳ පලේ ප්‍රතිශතයන්
තීරණය කළහොත් යම් සාධාරණ තත්වයක් රටේ නිර්මාණය වනවා නිසැකය.දැනට සහල් නිෂ්පාදනය මත
පටවා තිබෙන අධික වැට් බදු සමාජ ආරක්ෂණ බදු ආදිය අඩු කිරීම මගින් ව්‍යාපාරිකයා ශක්තිමත්
වන අතර රසායනික පොහොර භාවිතය ක්‍රමානුකූලව අඩු කර ගනිමින් කෘෂි රසායන භාවිකය ද
ඉතාමත් අවම කරමින් නිෂ්පාදන වියදම සමබර කර ගැනීම ගොවියාගේ යුතුකමකි.ස්වයං බිත්තර
වී නිෂ්පාදනය ද අත්‍යවශ්‍ය වේ. එසේම ඩීසල් මිළ අඩු කළහොත් සීසෑමට ගොයම් කැපීමට යන
වියදම අඩු කරගත හැකිය.ගොවියාගේ පැත්තෙන් වී වෙනුවට සහල් වෙළඳ පළක් නිර්මාණය කර
ගැනීමද ලාභ ඉපැයිය හැකි ප්‍රවේශයකි.වර්තමාන ආණ්ඩුවේ දළ දඩු පිළිවෙත සහ අදූර්දර්ශී
ප්‍රකාශ නිසා ගොවියා සහ ව්‍යාපාරිකයා අතර ගැටුමක් නිර්මාණය කිරීම ද වී ගොවිතැනෙහි
තිරසාර බවට බලවත් අනතුරකි. දැන් විපක්ෂ දේශපාලනය කරන කාලය නොවේ. රට හැදීම සඳහා
යහපත් කළමනාකරණයක් සකස් කිරීමේ කාලයයි. ඒ බැව් දේශපාලකයන් මැනවින් තේරුම් ගත
යුතුය.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment