පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, January 30, 2025

ලුණු ගැන මුනු මුනුව ඇත්තක් ද බොරුවක් ද

 

                              


                ලුණු මෙට්රික් ටොන් තිස්දාහක ප්‍රමාණයක් විදෙස් වලින් ගෙන්වීමට මේ වන විට අමාත්‍ය මණ්ඩලයෙන් අවසර ලැබී තිබේ.ඒ මේ රටේ ලුණු අවශ්‍යතාවයෙන් හතරෙන් එක් කොටසකි.සාමාන්‍යයෙන් ලංකාවේ පවතින ලුණු ලේවා වලින් දැනට මෙට්රික් ටොන් 228000 ක් පමණ නිෂ්පාදනය වන අතර වාර්ෂික අවශ්‍යතාවය වන්නේ මෙට්රික් ටොන් 120000 කි. එවැනි තත්වයක් යටතේ 2024 අවසන් මාසයේ දී හදිසි ලුණු අවශ්‍යතාවයක් මතු වුණේ කෙලෙසකද. සුළි කුණාටුව නිසා ලුණු ලේවායන්හි ලුණු දිය වී ගියේ ද . එසේත් නැතිනම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රසාරණය වී ලුණු අවශ්‍යතාවය තවත් වැඩි වූයේ ද.මේ බැව් දන්නේ ලංකා ලුණු සමාගමත් මාන්තායි වැනි රජයට අයත් ලුණු සමාගම් වල තිබෙන ලුණු ප්‍රමාණයේ තත්වය මතයි.

     ලේවා ලුණු සවිඳ ලුණු සුවස ලුණු උද්භීද ලුණු සහ බළල් ලුණු යනුවෙන් පංච වර්ගයක ලුණු භාවිතයට ගැණුනු බව ආයුර්වේද ග්‍රන්ථයන්හි දක්වා ඇත. ආහාර රුචිකත්වය ඇතිකරන ද්‍රව්‍යයක් සහ විස හරණ ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රධාන වශයෙන් ජනතාවට අවශ්‍ය වනුයේ ලේවා ලුණු වර්ගයයි.ඊට අමතරව සබන් නිෂ්පාදනය, සෝඩියම් හයිඩ්රොක්සයිඩ් නිපදවීම ,සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් කාබනේට් නිපදවීමටද පොහොර නිපදවීමට ද ලුණු භාවිත කෙරේ. 1997 වර්ෂයේ දී ලුණු අයඩීනිකෘත වීම නිසා අයඩින් ලුණු නිපදවන සමාගම් කීපයක් ද කර්මාන්තයට එකතු වී තිබේ.මුහුදෙන් වටවූ දූපතක් බැවින් ස්වභාවිකව ලුණු මිදෙන කලපු කිපයක් ලංකාව වටේම පවතී. අතීත රජවරුන් රජ වාසලට ලුණු සැපයීම පිණිස වෙනමම කාර්යංශයක් සකස් කර තිබුණි.විශේෂයෙන්ම පුත්තලම කලපුවත් හම්බන්තොට කලපුවත්  අතර මිදෙන ‌විහාල ලුණු නිධියක් පවතී. කරගන්ලේවාය , පලටු පාන ලේවාය, බූන්දල ලේවාය කොහොලන්කල සහ මහා ලේවාය ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ලුණු ලැබෙන ලේවායන් වෙති. ඊට අමතරව තවත් ලුණු ලේවායන් අටක් ලංකාව වටේම දැනට ක්‍රියාත්මක වෙයි.අසූව දශකයෙන් පසු අලිමංකඩ, මන්තායි සහ යාපන  ලේවා ක්‍රියාත්මක වූයේ නැත.නමුත් 2016 න් පසු සහ 2023 වසරේ දී අලිමංකඩ ලේවාය නැවත සක්‍රීය කරවීමට රජය ක්‍රියාමාර්ගයන් කීපයක්ම අනුගමනය කර තිබුණි.

           ලන්දේසීන් ලංකාවේ  රජු සහ රදළයන් රවටා මුහුදු බඩ තීරය අත්පත් කරගත් පසු උඩරට රාජ ධානියට ලුණු සැපයීම අඩාල කළහ.ලුණු නොමැතිව ආහාර පිසිනු නොහැකි වු සිංහලයන් උද්භීද ලුණු වශයෙන් සැළකෙන ශාඛ වලින් ගන්නා ලවණ පරිභෝජනය කරමින් එකල දුෂ්කර දිවියක් ගත කළ බව දැක්වේ. නමුත් රජු යටත් වූයේ නැත.ලන්දේසීන් පළවා හැර ඉංග්‍රීසින්ට රට භාර කළහ.ඉංග්‍රීසින් ගේ යුගයේ දී ලුණු නිපදවීම වැඩි දියුණූ කළහ. විසිවන සියවස ආරම්භය වන විට ලංකාවේ ලුණු ලේවායන් 20 ක් ක්‍රියාත්මක වී තිබුණි. ඒවා අතර හම්බන්තොට ප්‍රදෙශයේ ලේවා හතක් පුත්තලම ආශ්‍රිතව ලේවා හයක් යාපන අර්ධ ද්වීපයේ දෙකක්  අලිමංකඩ  තුනක් ද නිලාවේලි සහ මන්නාරමේ එක බැගින් ද වූහ.  චිවියත්තේරු ,කරනාවයි, නිලාවේලි ,  කරියල්වායිල්  සහ පල්ම්නත්තාලම් යන කුඩා ලේවා ක්‍රියාත්මක නොවේ.   1937 වර්ෂයේ ආරම්භ වූ ලංකා ලුණු දෙපාර්තමේන්තුව යටතේ වූ මේ සෑම ලේවායකින්ම 1956 වන විට  උපරිම ලුණු අස්වැන්න වන ටොන් 106 562 ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි.1961 දී  සුල්තාන් බාවා කොමිටිය පත් කරන ලද්දේ ලුණු නිෂ්පාදනය වැඩි කිරීම පිණිස නිර්දේශ ලබා ගැනීමටයි. ඉන්පසු 1963 ද කොමිසමක් ද පත් කරන ලදී. 1964 දී ලංකා ලුණු සංස්ථාව පිහිටුවීම මේ සංවර්ධනයේ මහඟු පියවරක් විය.පෙර සඳහන් කළ කොමිටි වාර්තා සහ කොමිෂන් නිර්දේශ  මත  හම්බන්තොට කලාපයේ ලේවායන්  වැඩි දියුණු කිරීමට ලුණු සංස්ථාව කටයුතු  කළහ. ඒ  අනුව හම්බන්තොට වෙන වෙනම පැවති ලේවායන් ඒකාබද්ධ කොට ගංවතුර වළක්වා හැරීමට බැමි බැඳ ලුණූ නිෂ්පාදනය වර්ධනය කළහ.1990 දී ශ්‍රී ලංකා  ලුණු සමාගම ආරම්භ වී රජයට අයත් සමාගමක් වශයෙන් ක්‍රියාත්මක විය.  මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ ලුණු සමාගමට සේවා නියුක්තිකයන්ගේ  භාරකාර අරමුදල මගින් ආයෝජනය කරනු ලැබ සමාගමක් බවට පත් කිරීම යහපත් පියවරක් විය. ඒ නිසා භාර කාර අරමුදලද ලුණු සමාගමද ලාභ ලැබීය.

     ලුණු නිපදවීමේ  අවස්ථා තුනකි. පළමු අවස්ථාව මුහුදු වතුර ලියැදි වලට එක් රැස් කර ගැනීමයි. දෙවනි අවස්ථාව වාෂ්පීකරණය වූ පසු  සාන්ද්‍රණය ඉහළ ගිය ද්‍රාවණය ඊළඟ ලියැදි වලට පුරවා ගැනීමයි.මේවා කාරම් ජලය ලෙසට හැඳින්වේ.අවසාන අදියරේ දී මිදෙන ලුණු කඩා ගැනීමට සූදානම්ය. ගොවිතැන් කරනවා සේම ලුණු අස්වැන්න ලබා ගැනීමට ද කන්න ක්‍රමය යොදා ගැනේ. මාස හයක් පුරාවට හම්බන්තොට පුත්තලම අලිමංකඩ ආදී ලේවා ප්‍රදේශයන්හි තිබෙන වියළි කාලගුණ තත්වය නිසා වාෂ්පීකරණය බලවත්ය. රැස් කරගත් කාරම් ජලය වාෂ්පීකරණය කොට ලුණු මුදවා ගනු ලබයි. මෙය සියයට සියයක්ම කාබනික ක්‍රියාවලියකි. මෙසේ එකු රැස් වන ලුණු අට්ටි ගසා පොල් අතු වලින් වසා තවත් කාලයක් තබන විට අපද්‍රව්‍ය ඉවත් වන බව කියති. අනතුරුව මූලික වශයෙන් ආහාරමය ලුණු වශයෙන් ප්‍රමාණයක් නිදහස් කරන අතර අනෙක්වා කර්මාන්ත ක්ෂේත්‍රයට මුදා හැරේ.ජිප්සම්, ප්ලාස්ටර් පැරිස් මෙන්ම බොරැක්ස් යවකාර ලුණු ආදිය අතුරු නිෂ්පාදන විලස ලියැදි වලින් රැස් කරගනු ලබයි. මේ තත්වය මත ලංකාවේ අතිරික්ත ලුණු නිෂ්පාදනයක් සිදු කරන බව පැහැදිලිය. ඉහත සඳහන් කරන ලද සමස්ත ලේවා පද්ධතිය තුළම ලුණු නිෂ්පාදනය කරන්නේ නම් ලංකාවෙන් විදෙස් වලට ලුණු අපනයනය කිරීමට අපහසු නැත. ලුණු සංස්ථාව පිහිටුවීමෙන් පසු ලුණූ වලින් රට ස්වයංපෝෂිත වී අපනයනය සඳහාද අතිරික්තයක් ඉතිරි විය.මෙට්රික් ටොන් ලක්ෂ පහක් දක්වා අස්වැන්න වැඩි කර ගෑනිමට ද ඉලක්කයක් විය.

     1957 ගංවතුර තත්වය යටතේ කාරම් ජලය පිරි ලියැදු හානියට පත් විය. 1958 සහ 1959 වර්ෂ වල ලුණූ නිෂ්පාදනය අඩාල වන්නට එය හේතුවක් විය.මෙවැනි ස්වභාවික විපත් වලදී ලුණු නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් පසු ගිය කාලය පුරාවටම උත්සාහ දරා තිබේ. ප්‍රශ්ණය තිබෙන්නේ මේ කර්මාන්තය රජයට අයත් සමාගමක් වශයෙන් ක්‍රියාත්මක වීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ඉන්දියානු සමාගම් මෙම ක්‍රියාවලියට කැමැත්තක් නැත. රජය ව්‍යාපාර වගින් ඉවත් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බල කර සිටින විට. ඉන්දියාව සහ පකිස්තානය වැනි ලුණු අපනයන කරන රටවල් ලංකාවේ ලුණු නිෂ්පාදනය අඩාල කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගනී. තිස්වසරක යුද්ධය නිසා උතුරේ ලේවායන් ක්‍රියාත්මක නොවීම ඔවුනට වාසි දායක විය. එවිට ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට රජයට සිදු විය.

    මේ වන විට සහල් හිඟයක් මවා පා තිබේ. රට තුළ ප්‍රමාණවත් තරම් වී තොග පැවතියද රටින් සහල් ගෙන්වීමට රජය අවසානයේ ඒකඟ විය. පොල් අස්වැන්න බිඳ වැටීමට හේතු ගණනාවක් ඇති අතර එයට පොල් පර්යේෂණායතනය සෘජුව වගකිව යුතුය. මේ අතර ඒ ආයතනයම පොල් පිටරටින් ගෙන්නීම පිණිස නිර්දේශ ලබා දෙයි. මෙම ක්‍රියාවලියේ සැඟවුණු අර්ථයක් ඇත.එසේම හදිසියේ ලුණු හිඟයක් පිළීබඳව මාධ්‍ය විසින් කරන ලද හෙළිදරව්වක් නිසා පාරිභෝගික ජනතාව බිය වී ලුණු රැස් කිරීමට පටන් ගත්හ. එවිට ලුණු හිඟයක් රට තුල ඇති වෙයි. එවිටම ලුණු ආනයනය කිරීමට රජය පොළඹවා ගැනිමට කරන ලද උත්සාහය සාර්ථක වී ඇත.පසුගිය කාල පරිඡේදය පුරාවටම ලංකාවේ ලුණු නිෂ්පාදනය වැඩි වී තිබෙන විට හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමාගම දැන නොසිටින්නට බැරිය. මේ වන විටත් තුන්වන අදියරේ මිදුන ලුණු ලියැදු වල තිබෙන්නට හැකිය. ගංවතුරාව නිසා හානියට පත් වන්නේ කාරම් ජලයයි. ඒ විනාශය ගැන හරිහැටි සමීක්ෂණයක් නොකර ලුණූ ආනයනයට අවසර දීම ප්‍රශ්ණ කාරීය.ලුණු ආනයනයට විදෙස් සංචිත අවශ්‍ය වේ. ලංකාවේ රසායනික කර්මාන්ත වලට ලුණු සැපයෙන බැවින් ඒ සමාගම් වල ලාභය සහ ඒ මගින් රජයට එක්වන බදු වලින් මේ විදෙස් සංචිත ආවරණය වන්නේ නම් ගැටළුවක් නැත. එසේ නොමැතිව හදිසි තීරණ ගැනීම කාලෝචිත නොවේ. මේවා පිටුපස තිබෙන යාන්ත්‍රණය කිසිවෙකුට මතුපිටින් තේරුම් ගත නොහැතිය.  මාධ්‍ය  සදාචාරය ද පසෙකින් දමා විද්‍යුත් මාධ්‍ය හැසිරෙන්නේ තමන්ගේ රේටින්ස් වැඩි කර ගැනීමටයි. පුවත් මවා පෙන්වීමෙන් ජනතාවද රජයද අමරුවට පත් වෙයි. මේ නිසා ලුණු ගැන මුනු  මුනුව ඇත්තක් ද බොරුවක් ද යන වග හරි හැටි තේරුම් ගැනීම වැදගත්ය. නැතිනම්  රටේ ජාතික සම්පත් වලින් ප්‍රයෝජන ගැණීමට රජයටත් ජනතාවටත් නොහැකි වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Sunday, January 26, 2025

සමූපකාරය පක්ෂ උපකාරය බවට පත් වූයේ ඇයි

 

                                


            දේශපාලන ජයග්‍රහණයන් උරගා බැලීමේ මූලික අවස්ථාවක් ලෙසට වර්තමානය වන විට සමූපකාරය යොදා ගැනීම දක්නට හැකිය.සමූපාකාරයට සභිකයන් තෝරා පත් කර ගෑනිම උදෙසා පවත්වන චන්ද විමසීම දේශපාලන පක්ෂ වලට අදාල සාමාජිකයන්ගෙන් පුරවා ගැනීමට තරඟයක් ඇති වී තිබේ.චන්දයේ ප්‍රතිඵලය වන්නේ නුදුරුවම පවත්වන මහා මැතිවරණය ප්‍රතිඵල වලට හෝ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලට ඉන් බලපෑමක් ඇති වීමයි.ඒ ඇරුණූ කොට නූතන සමූපාකාර ව්‍යාපාරය තුළ පාරිභෝගිකයාට ,ගොවියාට සේවයක් සැලසීම පිළිබඳ කතිකාවක් නැත. රජය සමූපාකාරය දියුණූ කිරීමට මුදල් වියදම් නොකරයි. වී මිළට ගැනීමට හෝ සාධාරණ මිළකට සහල් අලෙවි කිරීමට සමූපාකාරය යොදා ගැනීම සිදු නොකරයි.සමූපාකරය වර්තමානය වන විට රජයට බරක් වී අවසන්ය. එහෙත් පෙර දක්වා ඇති පරිදිම පක්ෂ දේශපාලනයේ මෙවලමක් ලෙසට සමූපාකරය යොදා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ දරයි

       වත්මන් සමූපකාරයේ උපත සිදු වන්නේ කාර්මික විප්ලවයේ නැගීමත් සමගමය ධනවාදයේ කුරිරුකම පීඩිතයන් හට සිදුවන ගැහැට, ආහාර හිඟකම ,මන්ද පෝෂණය ආදී කරුණු නිසා කම්කරුවන්ගේ එක් වීමක් පිළිබඳව සහ එක්වී තමන්ගේ දුක් දොම්නස් බෙදා හදා ගැනීමේ අවශ්‍යතාවයක් මතු විය. පළමු සමූපකාරය බිහිවූයේ ස්කොට්ලන්තයේ බව දක්වා ඇත.1761 දීය.රෙදි වියන්නන්ගේ සමිතියක් වශයෙන් එය ඉදිරියට පැමිණ ඇත.
ජාත්‍යන්තර සමුපකාර සංධානය මගින්  1937 දි පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති හතකි.

·         විවෘත සාමාජිකත්වය

·         ප්‍රජාතන්ත්‍රවාදී පාලනය

·         ව්‍යාපාරයේ අතිරික්තය කොටස්කරුවන් අතර බෙදා හැරීම

·         කොටස් ප්‍රාග්ධනය සඳහා සීමිත පොලියක් ගෙවීම

·         දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය.

·         මුදලට පමණක් වෙළදාම

    වත්මන් සමූපකාර සංකල්පය ලෝකයේ නිර්වචනය කර ඇත්තේ සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයක් වශයෙනි. 1995 දී පැවැත්වුණු මැන්චෙස්ටර් සම්මේලනයේ දී එම නිර්වචනය සම්මත විය.

    ලංකාවේ සමූපාකාර ව්‍යාපාරය ආරම්භ වන්නේ විසිවන සියවස මුලදීය.ලංකා කෘෂිකාර්මික සංගමය 1904 දී ආරම්භ කළ පසු එහි දුම්බර ශාඛාව මගින් ණය දෙන සමිතියක් 1906 දි ආරම්භ කර ඇත.ඉන්පසු මේ සමිති   ලියාපදංචිය සඳහා ඇති කල 1911 දී ඉදිරිපත් කරන ලද ආඤා පනතට අදාලට මුල්ම සමූපාකාරය 1912 දී ඇති වූ බව පැවසේ..1911 සීට 1926 දක්වා ඇති කරන ලද සමූපාකර ණය දෙන සමිති 315  අතරින් 290 ක්ම කෘෂිකාරමික ණය දෙන සමිති වූ බව පැවසේ.ලෝකයේ සමූපාකර සමිති වලට වඩා ලංකාවේ බිහිවූ සමිති වෙනස් විය. මින්නේරිය වී අලෙවි සමිතිය.යාපන මලයාලම් දුම්කළ සමිතිය.සහ මූලායි සමූපාකර රෝහල් සමිතිය යනුවෙන් එහි විවිධාංගිකරණයක් සිදු විය.1930 වසරේ ඔක්තෝබර් 1 වන දා සමූපාකාර දෙපාර්තමේන්තුව ආරම්භ වූ පසු මෙම විවිධාංගිකරණය තවත් පුළුල් විය. දෙවන ලොක් යුද්ධ සමයේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට උත්සාහ කිරීම ඒහි ප්‍රධාන අරමුණු අතරට එක් විය.1957 දී සමූපාර කඩ සමිති ඒකාබද්ධ කොට විවිධ සේවා සමූපාකාර සමිති ආරම්භ වූ අතර 1961 දී එවකට තිබූ රජය විසින් සමූපාකාර ව්‍යාපාරයට ආධාර උපකාර පිණිස සමූපාකාර ඩෛරල් සමිති විසිරුවා හැර එහි වත්කම් මහජන බැංකුවට පවරා ගන්නා ලදී.

      1977 දී ඇති වූ විවාත ආර්ථිකය හා වෙළෙඳ පළ ආර්ථික සංකල්ප අනුව සමූපාකරය අධෛර්යට පත් කෙරිණ.පෞද්ගලික ව්‍යවවසාය ඉදිරියට ගෙන එනු ලැබිණ. මේවාට මුහුණ දී ශක්තිමත් සමූපකාර සේවයක් බිහි කරලීම පිනිස තරඟකාරි ලෙසට ඉදිරියට යෑමට සැබවින්ම සමූපාකාරය දිරිමත් කිරීමට රජයට නොහැකි විය. ඒ අතර සමූපකාර ව්‍යාපාරයට හීන් සීරුවේ වාත්තිය සමිත  රිංගා ගනු ලැබිණ. විශෙෂයෙන්ම වාමාංශික පක්ෂ විසින් තමන්ගේ පාක්ෂිකයන් මේ සමිති වෙත ඇතුල් කිරීම ද ඒ දේශපාලනය සමූපාකරය තුළ ක්‍රියාත්මක කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමූපාකරය පිරිහීමට පත් විය. දූෂණය වංචාව නිසා වැඩ තහනමට ලක් වූ සේවකයන් ගණණ අපමණ විය.

    සියල්ලන්ටම සමසේ උපකාර කිරීම හෝ සමූහ උපකාරය පිලිබඳ වැදගත් අරමුණු වලින් හෙබි සමූපකාර ව්‍යාපාරය යුරෝපයේ බිහිවී ලංකාවේ පැලපදියම් වුවද ඒ සංකල්පය මෙරට ජනතාවට ආගන්තුක නොවේ.වසර දෙදහස් පන්සීයක ගෙවුණු අතීතය තුළ බෞද්ධ සාර්ධර්ම හා කැටිව මේ සකංල්පය ක්‍රියාත්මක විය. සතරවන මිහිඳු රජුගේ අනුරාධපුර ශිලා ලේඛනයකට අනුව බෙදා හදා ගැනීම නීති ගත කර තිබුණි. ඒ සම්ප්‍රදාය අද දක්වාම පැවතගෙන පැමිණෙයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන බෞද්ධයා තුළ අනුනට උපකාරී කිරිමේ පරම චේතනාවක් ඇත. කිසිවිටක පුද්ගලයා ඉන් විනිර්මුක්ත නොවේ.ලංකාවේ බෞද්ධ සමාජය තුල නිරන්තරයෙන් දක්නට ඇත්තේ මේ ගති ලක්ෂණයයි. පින්කමක්, දන්සැලක් ,අපාදාවකදී ලබාදෙන පිහිටක්, ශ්‍රමදානයක් ,වන්දනා ගමනක්, නැති බැරි කෙනෙකුට උපකාරයක් ආදී සියල්ල මෙරට සමාජයේ වර්තමානය තුළද පවතින්නකි.ඒ තත්වය මත බටහිරෙන් පැමිණි සංකල්පයක් වන නූතන සමූපකාරය වුවද ‌ෙමරට සමාජය ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඇත.සමූපාකාර ව්‍යාපාරය මගින් ප්‍රතිලාභ ලබාගෙන ඇත.ගැටළුව පවතින්නේ මෙම උදාර සංකල්පයන් දූෂණය කරන පක්ෂ දේශපාලනය මෙයට රිංගීමයි. ගම් මට්ටමේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට තිබෙන පහසුම අයතනය මෙය බව නූතන පක්ෂ විසින් වටහා ගන්නටඇත. සමූපාකර සභිකයෙන් ලෙසට පත් වීම මගින් ලැබෙන සිවිල් බලය මත ජනතවගේ පිළිගැනීමකට ලක්වීමේ බාල ගණයේ අරමුණු වලින් සන්නද්ධ වීම නිසා මෙම ව්‍යාපාරය අද වන විට පරිහානියට පත් වී තිබේ. වෙළඳ පළ ආර්ථිකය තුළ දුර්වල වූ මෙම ව්‍යාපාරය කෝප් සිටි සංකල්පය මගින් නැවත බල ගැන්වීමට පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ උත්සාහ කරන ලදී. එය යම් අන්දමකින් සාර්ථක වුවද ඉන්පසු පෙරටත් වඩා වේගයෙන් දේශපාලන පක්ෂ වල ග්‍රහණයට මේ ආයතනය නතු විය. මේ වන විට පවතින සහල් ගැටළුව, පොල් ගැටළුව පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර වල මිළ ඉහළ නැගීමේ දී සිදුවන ප්‍රජා පීඩාකාරිත්වය අවම කිරීමට සමූපාකාර ව්‍යාපාරය යොදා ගත් හැකි නමුත් යට කී පක්ෂ දේශපාලන යක්ෂයාගෙන් එය  මුදවා ගැනීමකින් තොරව සුභ සිද්දිය ඇති කර ගත නොහැකි බව පසක් කරගත යුතුය.වෙළෙද පළ බලවේග තුළ සුභ සාධිනය බලාපොරොත්තු විය නොහැකිය. රජයක් පවතින්නේ ඒ සුභ සාධනය සඳහා නීති රීති සකස් කිරීමයි. දැන් එයට කාලය වුවද බෝල්හේවික් පක්ෂ වල අත්අඩංගුවට පත් වෙමින් පවතින රාජ්‍ය සේවය මගින් ඒ පරිවර්තනය බලාපොරොතුත විය හැකිද යන්න ප්‍රශ්ණයකි.

මතුගම සෙනෙවිරුවන්

Friday, January 17, 2025

බිඳ නොවැටුණු බමුණු කුලය සමග ඉදිරි ගමනක් තිබේ ද

 

                             

          ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක නිරත විය. අපරාධ කරුවන්ට සහ දූෂිතයන්ට නඩු පැවරීම ප්‍රමාද වීම සාක්ෂි නොමැති බවට දන්වා නඩු අත් හැරීම වැනි අතිශයින් විවාදාත්මක කරුණු අරභයා එහිදී තීරණාත්මක සාකච්ඡවක් පැවති බවට කරුණු අනාවරණය වෙයි. ඒ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ත්‍රි රෝද රථ වල අමතර කෑලි ගැලවීම සහ බස් රථ වල අමතර කෑලි ගැලවීම සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කරන ලද මෙහෙයුම පිළිබඳව විවේචන එල්ල විය. එහිදී   පොලිසිය විසින් අනුගමනය කරන ලද ඉක්මන් ක්‍රියාමාර්ග ගැන පසු විපරමක් කිරීමට  උපදෙස් සැපයීමට ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා  උත්සුක වූ ආකාරය දැක ගන්නට ලැබුණි.

             ලංකාවේ රාජ්‍ය ආයතන ව්‍යුහය සකස්ව තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සම්ප්‍රදාය අනුවයි. නව සිය හතළිත දශකයේ සිට ස්වදේශික නිළධාරීන් මේ ව්‍යුහය පාලනය කිරීමට පටන් ගත් නමුදු මේ සම්ප්‍රදාය රටට ගැලපෙන ආකාරයට වෙනස් කර ගැනීමට දරන ලද උත්සාහයන් එතරම් සාර්ථක නොවීය. විශේෂයෙන් මහ බැංකුව, පොලිසිය ,නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ස්වදේශික කටයුතු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය වැනි රජයට බලපාන විශේෂ ස්ථාන වල සැකැස්ම වෙනස් කිරීම එතරම් පහසු නොවේ. යම් යම් ප්‍රතිසංස්කරණ වරින් වර සිදුව තිබුණ ද රටට වැඩ දායී ඉදිරි ගමනක් සඳහා මේ ආයතන ලබා දෙන දායකත්වය පිළිබඳ තක්සේරුවක් කිරීම උගහටය.පොහොසත් රටක් හැදීමට පැමිණි  ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී ඉදිරිපත් කළ රැඩිකල්වාදී යෝජනා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරලීම ආරම්භ කිරීම පවා ලෙහෙසි පහසු නොවන බව වැටහී ඇතිවාට නිසැකය. මෑත කාලයේ ඇති වූ වී සහල් ප්‍රශ්ණය පිළීබඳ විනිවිද දැකීමට නුවණක්  අමාත්‍යවරයාට නොතිබූ බව දැන් පැහැදිලිය. විදෙස් වලින් සහල් ගෙන්වීමට සිදු වූයේ ඒ නිසාය. සහල් ගෙන්වීම සඳහා ස.තො.ස. ආයතනය දැමූ ටෙන්ඩරය සිවු වතාවක් ම අවලංගු වූයේ කාගේ අතපසු වීමකින් ද යන්න අනාවරණය වූයේ නැත. නිළධාරින් හිතා මතා එය කළා ද එසේ නම් ඔවුන් අරභයා ගත යුතු විනය ක්‍රියා මාර්ග මොනවාද යන්න පිළිබඳ මාධ්‍ය වලට හෙළි වූයේ නැත.දැන් මහ කන්නයේ වී වලට සහතික මිළක් නියම කිරීමට නොහැකිව අමාත්‍යවරයා තතනන බව පැහැදිලිය. ගොවිජන සේවා නිළධාරීන්, මුදල් අමාතත්‍යංශ නිළධාරීන්, පසු අස්වනු තාක්ෂණ අයතන නිළධාරීන් , ගොවි කටයුතු පර්යේෂණ ආයතන නිළධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍යංශ නිළධාරීන්  ගේ ගණන් හිලවු ප්‍රායෝගික ද නැති ද යන්න තීරණයක් ගැනීමට තිබෙන හැකියාව දුර්වල බව පෙනේ.මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයෙන් ගොයම් කැපීම ආරම්භ වී ඇති මොහොතක වුවද රජය පැත්තෙන් සහතික මිළ පිළීබඳ තීරණයක් කඩිනමින් දීමට අසමත් වී ඇත.මේ නිසා මහා පාරිමාණ මෝල් හිමියන්ට අත්වන වාසිය ගැනද කිසිම සැළකිල්ලක් දක්වා නොමැත.

     බ්‍රිතාන්‍ය යටත විජිත සමයේ දී අටෝනි ජනරාල් නම් තනතුර රජයේ ගෞරවය ලබන ඉහළ තනතුරක් විය. රාජ්‍ය අංශ වල නීතිමය කටයුතු වලට උපදෙස් සපයනුයේ ඒ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් විසිනි. ආයතනයකට හෝ පුද්ගලයෙකුට විරුද්ධව නඩු පැවරීමේ දී මේ උපදෙස් නැතිවම බැරිය. සොල්බරි ව්‍යවස්තාව අනුව රටේ සැම පුරවැසියෙකුටම ඉහළ නිළධාරියෙකුට එරෙහිව දිසා අධිකරණයක දී නඩු පැවරිය හැකි විය. දේශපාලකයන්ට එරෙහිව ද නඩු පැවරිය හැකි විය.එහෙත් 1972 ව්‍යවස්ථාවෙන් පුරවැසියාට තිබෙන එම අයිතිය නීතිපතිට පැවරිණ. ඉන් සිදු වූයේ පක්ෂ දේශපාලන අභිප්‍රායන්  අනුව නඩු පැවරීම් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසීමයි.නීති විරෝධීව පාර්ලමේන්තුවේ රැඳී සිටීම සම්බන්ධයෙන් අබේරත්න පිලපිටිය මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පැවරීමක් සිදු නොවූයේ ඒ නිසාය.මේ වන විට  මෙරට ජාතික උරුමයන් පිළිබඳ කටයුතු කිරීමේ දී නීතිපති උපදෙස් පමා වීම ද ඒ නිසා නඩු කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යෑම ද නිසා පුරාවස්තු විනාශයකට මග පෑදී තිබේ. කුරුන්දි පිළිම ගෙය සංරක්ෂණයට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට බලතල තිබි යදී නීතිපති උපදෙස් ලැබී තිබුණේ ඒ කටයුතු පමා කරන ලෙසටය. මේ නිසා කැණීමකට ලක් කල ඒ ස්ථානය මේ වන විට අව්වෙන් වැස්සෙන් හානියට පැමිණ තිබේ.මේ සම්බන්ධව පොලිසිය අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් ද මේ ප්‍රමාදයන්ට සෘජුවම බලපා තිබෙන බව පෙනේ.

   නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය ද තවම ඩවුබිගින් සම්ප්‍රදායෙන් වෙනස් වී නොමැත. ඔවුන්ට අවශ්‍ය නම් ගොරක දඩමස් කිරීමට නීතිය උපයෝගී කරගත හැකිය. දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විධාන සංග්‍රහය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත ආදී විවිධාකාර නීති රටේ තිබෙන බැවින් අත්අඩංගුව ගැනීමේ දී ඒ ඕනෑම නීතියක් භාවිත කිරීමට පොලිසියට හැකිය.යම් කිසි කෙනෙකුට ඇප නොදීමට අවශ්‍ය නම් සිවිල් හා දේශපාලන අයිතිවසිකම් පනත යොදා ගන්නා අතර රටේ ජාතිවාදී ප්‍රශ්ණ වලදී එය තදින්ම බලපාන බව පෙනේ. නමුත් දෙමළ හෝ මුස්ලිම් ජන කොටස් සඳහා මේ නීතිය වෙනුවට දන්ඩ නීති සංග්‍රය යොදා ගැනීම දක්නට හැකිය.මේ අසමානතා නිසා පොලිසිය මහජනයා ඉදිරියේ ගර්හාවට පත් වී ඇත.මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය කිරීමට යුහුසුළු වීම වෙනුවට ඒවා වර්ධනයට අවශ්‍ය  පසුබිම සකස් වන්නේ ද පොලිස් නිළධාරීන් ගේ පක්ෂපාතිත්වය සහ විවිධ දූෂණ නිසා බව  පැහැදිලිය.

     රටේ ආර්ථිකය පිළිබඳ මූලික තීරණ ගැනෙනුයේ මුදල් අමාත්‍යංශය පැත්තෙනි.එහි ඇටුවම් බැහැගෙන සිටින නිලධාරීන් පැලන්තියක් ඇත. ගතානුගතික සම්ප්‍රදායන් යටත් විජිත කාලයේ ක්‍රියාත්මක වූ යල් පැණ ගිය ආකල්ප වලින් ඒ පිරිස තවමත් වෙලී සිටී. රටේ සැබෑ නිෂ්පාදන ආර්ථිකය පීළිබඳ තක්සේරුවක් කිරීම ඔවුන් අතින් සිදු නොවේ. 1977 න් පසු වෙලෙඳ පළ ආර්ථිකය ක්‍රියාත්මක වීමේ දී මූල්‍ය සංසරණයට මූලිකත්වය ලැබෙන අතර සැම දෙයක්ම ඔවුන් ගණන් බලනුයේ නිෂ්පාදනය පැත්තෙන් නොවේ. වෙළෙඳ පළ පැත්තෙනි..වී වගා කර වී අස්වනු වලට සාධාරණ මිලක් ලබා ගැනීමට ප්‍රධාන බාධකයක් වේ නම් ඒ මුදල් අමාත්‍යංශය මගින් සම්පාදනය කරන වැරදි දත්තයන්ය.මේවා හරි හැටි අවබෝධ කර නොගැනීම  නිසා රටේ දිශානතිය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පමා වනු ඇත. වත්මන් රජයට සම්බන්ධව මෑතකදී එකතු වුණු ජාතික ජන බලවේග හිතවතුන් අතර ආචාර්ය මහාචාර්ය වරුන් සිටියද ඒ කිසිවෙකුට රටේ ප්‍රශ්ණ ගැනි විනිවිද දැකීමේ හැකියාවක් නොමැති වීම අභාග්‍යකි. ඒ නිසා ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනේ පළමු පියවර විය යුත්තේ මේ බමුණු කුලය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටවා පූර්ණ ප්‍රතිසංවිධානයකට යෑමයි. එසේ නොමැති වුවහොත් මේ රජයට ද නුදුරුකාලයේ දී අත්වන ඉරණම අති භයානක වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්