පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, June 25, 2022

පුරාවිද්‍යා බලධාරීන් විසින් අතහැර දැමූ ජාතික උරුමය කුච්චවේලි

 

 


 

                           

              නැගෙනහිර පළාතේ ඉතා වැදගත් ‌ෙඑතිහාසික සිද්ධස්ථානයක් වනුයේ තිරියායේ හිරිගඩු සෑයයි.තපස්සු භල්ලකු වෙළඳ දෙබෑයන් විසින් රැගෙන පැමිණි කේශ ධාතු තැන්පත් කර සැදූ  කුඩා ස්ථූපය ප්‍රතිසංස්කරණයට ලක් වෙමින් අදටත් එහි ජීවමාන වෙයි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාව වෙත පැමිණ ගොඩ බට තැන් ගැන පුවත් කීපයක් වෙයි. ඉන් එකක් නම් තිරියයාට නුදුරු කණිකාර වේලි තොටුපළයි.ගැඹුරු මුහුදකින් යුක්ත නමුත් යාත්‍රිකයන්ට සුවසේ වෙරළ වෙත ළඟ විය හැකි මෙම වරාය අද හඳුන්වනුයේ කුච්චවේලි යනුවෙනි.කුච්චවේලියට නුදුරින් පවතිනුයේ සෙම්බිමලේ පුරාවිද්‍යෘ ස්ථානයයි. එයට කණිකර ගිරි  නම් ව්‍යවහාරයකි.කණිකර යන්න ප්‍රදේශයට තවත් නමකි. කණිකර පෙදෙසේ ප්‍රධාන වෙළඳ තොට වූ කණිකරවෙල්ලියෙහි ඉතා සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයක් වෙයි.එය පිච්චමල් විහාරය ලෙසින් එකල ප්‍රකට විය.

             මේ වෙළඳ තොට අසල මුහුදු තීරයේ කඳු ගැටයක් වෙයි.එය ගම්මුන් විසින් හඳුන්වනු ලබන්නේ කරඬි මලේ නැතහොත් වලස් කන්ද යනුවෙනි.අතීතයේ රහතුන් වහන්සේලා භාවනායෝගීව වැඩ වාසය කළ මෙම ස්ථානය අසල මෙම කඳු ගැටයේ ගල් ලෙන් කීපයක් ඇති අතර පැරණි සථූපයක නටබුන් ද පිහිටා තිබේ.මෙම කදු ගැටය පාමුළ පෙරලී ගිය ගලක කෙටූ අපූරු රූකමක් තිබේ. කුඩා ස්ථූප දාසයකින් යුක්ත කැටයමක් ලෙසට මෙය හඳුනාගෙන තිබේ. ඒ සමගම සංස්කෘත භාෂාවෙන් ලියනලද ශිලා ලේඛනයක්ද දක්නට ලැබේ.නිදන් හොරුන් විසින් පෙරලන ලද මෙම ගල සහ අගනා රූකම නොපිටට වී දැන් කාලයක් ගතව ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුච්චවේලිය නැතහොත් කණිකාර වේල්ලිය අරභයා පුරාවිද්‍යා ගවේශන ආරම්භ කරනුයේ 1955 වර්ෂයේ දීය. ඉන් පසුව එහි කැණීම් ආරම්බ කර ඇත.එයට හේතුව ලෙසට දක්වා ඇත්තේ එකල රිවිරැස පුවත් පතේ පළවූ ලිපයක් අමාත්‍ය වරයාගේ ඇස ගැටීමෙනි.කෙසේ හෝ මෙම කුච්චවේලි ‌ෙඑතිහාසික ශිලාලේඛනයට ඔබ්බෙන්  දැනට පොලිසිය පිහිටා තිබෙන භූමියෙහි. තිබී පීළිම ගෙවල් දෙකක නටබුන් සහ ස්ථූපයක නටබුන් හඳුනාගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමත් වී ඇත.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්. සිරිසෝම මහතා සඳහන් කරන පරිදි නවවන දසවන සියවස්වලට අයත් පැරණි ආරාමයකි මෙය.එහි තිබී හමු වු බුදු පිළීම හිස් දෙකක් සහ හිස රහිත ශරීර කොටස් වලින් පිළිබිඹු වන බුදු රජුන්ගේ තේජාන්විත භාවයත් මහා කරුණා ගුණයත් අධිෂ්ඨාන පරවශ චේතනාවත් දක්වා ඇත්තේ විස්මජනක ලෙසය.දෙතොලේ මන්දස්මිතය වතෙහි පිරිපුන් බව සහ ලලාටයෙහි පළල් බැවින් සහ ඇහි බැම  උඩට නැඹුරු වීමෙන් දැක්වෙන බුද්ධි ප්‍රභාවය යනාදී සියලු ගුණාංග කැටි කොට දක්වා තිබීම කලාකරුවාගේ නෛපුණ්‍ය සහ බුද්ධානුස්සතතියෙහි තෙරපත් බව විදහා පායි. (උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය )

              මෙම පීළිම ගෙවල් දෙක කැණිමකට ලක් කර නටබුම පාදා ගන්නට යෙදී ඇති අතර මේ ක්‍රියාවලියත් සමග ඇවිස්සුණු දෙමල ජාතිවාදීන් සහ ඉඩම් කොල්ල කෑමේ නිරත පුද්ගලයන් කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම් ආක්‍රමණය කර ඇත.එහිදී ඒතැන කෝවිලක් සාදා පුරාවස්තු විනාශයක්ද කර ඇත. එවකට පුරාවිද්‍යා කොමසාරිස් වරයාව සිටි ආචාර්ය සද්ධාමංගල කරුණාරත්තන මහා වෙත ලිපියක් යොමු කරමින් කුච්චවේලි විනාශය  ගැන දැනුම්වත් කිරීමට ත්‍රිකුණාමල දිසාපාති වරයාව සිටි ඩී.ජේ. බණ්ඩාරිගොඩ මහතා කටයුතු කරතිබේ. මේ ඔහු විසින් යවන ලද එක් ලිපියක ශාරාංශයයි.

 


 

කුච්වේලි තානායමත් පොලිසියත් අතර පිහිටි බෞද්ධ නටබුන් වලින් යුත් භූමිභාගයේ වූ ගලින්  නෙලා ඇති දාගැබ් පේලියෙහි මුදුන් කොටස යම් පිරිසක් විසින් කඩා දමා හානියට පමුණුවා ඇත. මෙම භූමියෙහි අනවසරයෙන් කෝවිල් ගොඩනැගිල්ලක් තනාගෙන යන ලදුව ඒ පිළිබඳව ඔබ වෙත වාර්තා කිරීමෙන් පසුව කෝවිලේ ඉදිරි වැඩ සම්පූර්ණයෙන්ම තහනම් කර ඔබ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර භාරකරුවෙකු පත්කර තිබුණු බවද මට දැන ගන්නට ලැබුණි. දැනට මෙම භුමිය රැක බලා ගැනීම සඳහා භාරකරුවෙකු නොමැති අතර කෝවිල ඉඳකිරීමෙහි  කටයුතු ද ක්‍රම ක්‍රමයෙන් සිදු වෙන බව මා වෙත වැඩි දුර වාර්තා වී ඇත. තත්වය එසේ හෙයින් තව දුරටත් මෙකී නටබුන් විනාශයට පත් කිරීම වැලැක්වීම සඳහා ඔබ දෙපාර්තමේන්තුව මගින් භාරකරුවෙකු පත් කිරීමට නොපමාව පියවර ගන්නේ නම් බෙහෙවින්ම කෘතඥ වෙමි.

      මෙම ලිපියේ සඳහන් නව විනයාගර් කෝවිල 1970 දී පමණ සෑදීම ආරම්භ කර  ඇත.එහි අවට තිබූ ඉඩම් ද අත්පත් කරගෙන ඇත. පසුව දිසාපති තුමාගේ මූලිකත්වයෙන් ආපසු පවරා ගෙන තිබුණු නමුත් භාරකරුවෙකු නොමැති කරමින් පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බව පෙනේ. මෙම ස්ථානයේ තිබූ ඇත්තේ ‌ෙඑතිහාසික පිච්ච මල් විහාරය යයි වංශකතාවලින් පැහැදිලිය.රුවන් මැලි සෑය සඳහා අවශ්‍ය පිච්චමල් රැගන යෑමට මෙම ප්‍රදේශය යොද ගෙන ඇත. ක්‍රි. ව. තුන්වන සියවසට අයත් පිළිම ගෙයක් මෙහි තිබූ බව පුරාවිද්‍යා වාර්තා වල සඳහන් වන අතර බුදු පිළිම ගල් කණු විද්‍යාමානව තිබී ඇත. දැනට බුදු පිළිමය ත්‍රිකුණාමල කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.පසුකලයේ දී හයවන සියවසේ දී පමණ මෙම ස්ථානයට පැමිණි මහායානික බෞදධ සැදැහැවතෙකු ගල් පුවරුවක ස්ථූපයන් 16ක කැටයම් කොට ඉන් බුදුබව ප්‍රාර්ථනා කර ඇත.ඒ ගාථාවේ සඳහන් වන සංස්කෘත ලිපියේ සිංහල අරුත මෙසේය. මේ පිනින් උපනුපන් ජාතියෙහි ලෝකයාගේ සියලු දුක් බැහැර කොට පූර්ණ සැප ලබා දෙන්නට මට හැකි වේවා. සියලු කල්හි ඉවසීමෙන් හා කරුණාවෙන් යුක්ත වූයේ වෙම්වා.මේ පිනින් මර සතුරන් පරදවා ශ්‍රේෂ්ඨ වූ බුදු බව ලැබ මම මාගේ මහා කරුණා නමැති හස්තයෙන් දුකට පත් ලෝකයා සංසාර නමැති මඩ වගුරෙන් ගොඩට ගනිම්වා.

    මෙවැනි ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථානාවක් සනිටුහන් කළ ‌ෙඑතිහාසික පිච්චමල් විහාරය කාලයත් සමග මිසදිටුවන් ගේ ග්‍රහණයට නතු ව තිබේ.ගෝමරන්කඩවල රංගිරි උල්පත රජ මහා විහාරය් මෙන්ම කුච්චවේලි පිච්ච මල් විහාරයේ නූතන විහාරාධිපති පූජ්‍ය අහුන් ගල්ලේ සීල විසුද්ධි මහානායක තෙරුන් වහන්සේ  විසින් මෙම කුච්චවේලි  භුමියෙහි වර්තමාන භක්ෂූන් වහන්සේලාට වැඩ වාසය කරලීමට ආවාස සංකීරණයක් නිමවා ඇත. 1985 ජූනි 01 දින මෙම කුච්චවේලි පිච්චමල් විහාර බූමියෙහි පිහිටා තිබෙන නාවික හමුදා කඳවුරුට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා සීලවිසුද්ධි නායක හිමියන් තුවාල ලැබීය. උන්වහන්සේ පසුව ගුවන් මගින් රෝහල වෙත ගෙන ගොස් සුවපත් කරගෙන තිබේ.

         මෙවැනි කැප කිරීමක් කොට ආරක්ෂා කළ මෙම අසිරිමත් පුදබිමේ කෙටසක් වර්තමානය වන විට මිසදිටුවන් අතට පත් වී තිබේ. මෙයට ප්‍රධන හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ලයි. 1980 වර්ෂය වැනි ඈත කාලයක මෙහි කැණීම් කොට බෞද්ධ පුරාවස්තු රාශියක් මතු කරගෙන තිබුණද බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් තහවුරු කොට සංරක්ෂණය කරලන්නට  ඔවුන් සමත් වී නොමැත. කොටි ත්‍රස්ත සමයේ දී මෙම ප්‍රදේශය අනාරක්ෂිත විය.නායක හිමියන්ට වෙඩි වැදීමෙන් පසු උනවහන්සේට අවශ්‍ය පහසුකම් ලා දිය යුතු බවට හිටපු පුරාවිද්‍යෘ කොමසාරිස් වරයා 1986 දී පමණ යැවූ ලිපියක් දක්නට ඇත.

 


 


           නමුත් අලුතින් තැබූ විනයාගර් කොවිල විසින් මෙහි තිබූ චෛත්‍යයද අනෙකුත් නටබුන් රාශියක්ද විනාශ මුඛයට ඇද දමා ඇත. පසුව මෙම ඉඩම පිලිබඳ පැවති නඩුවකදී පුරාවිද්‍යා දෙපෙර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ වරයා 2018 පෙබරවාර් මස 08 වන දින පොලිසියට ඉදිරිපත් කරන ලද වාර්තාවකට  අනුව පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කල බී වාර්තාවේ දක්වා ඇත්තේ  මෙහි වැදගත් පුරාවිද්‍යා සාධක පවතින බවයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වූ එම්. එච්. සිරිසෝම මහතා විසින් සන්සෝනි කොමිසමට දුන් සාක්ෂි වලද සඳහන් වන්නේ මෙයයි.නමුත් පසුගිය යහපාලන සමයේ  අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ගේ දේශපාලන මැදිහත් වීම නිසා උතුර සහ නැගෙනහිර පුරාවස්තු යලි පිළිසකර කිරීම හෝ ආරක්ෂා කිරීම අඩපණ වී තිබුණි. මෙම දේශපාලන තීරණ නිසාම ත්‍රිකුණාමල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ වරයා නැවත 2019 ජූලි 08 වන දා පොලිසිය වෙත වාර්තා කරනුයේ සහමුලින්ම වෙනස් කතාවකි. විනයාගර් කෝවිල පිටුපස සී සාන ලද භූමියෙහි පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් සාධක අනාවරණය නොවන බවද කෝවිල් භූමියෙහි හින්දු ආගමට අයත් ගල් කණු කීපයක් තිබෙන බවද ඔහු සාවද්‍ය ලෙසට කරුණු වාර්තා කර තිබේ.මෙයින් සිදු වූයේ පුරාවිද්‍යෘවට පක්ෂව තීන්දු ගත යුතු නඩුවක් විසිව යෑමයි. ඒ නිසා වර්තමානය වන විට දසවන සියවසට අයත් කුච්චවේලි ආරාම සංකීර්ණය  බෞද්ධ ජනතාවට පමණක් නොව පුරාවිද්‍යාවටද අහිමි වි තිබේ.පුරාවිද්‍යෘ සංරක්ෂණය යනු දේශපාලන තීන්දු තීරණ අනුව අතහැර දැමීම කළ යුතු දෙයක් නොවේ.වර්තමානයේ උද්ගතව පවතින කුරුන්දාවශෝක විහාර ගැටළුවද කාරතිවු වෙහෙර පිටිය පුරාවිද්‍යා රක්ෂිතය පිළිබඳ ගැටළුවද කිලිනොච්චිය ස්ථූප සංරක්ෂණ ගැටළුවද අපට පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා තීන්දු තීරණ නැවීමට මේ දේශාපලනය සමත් වී ඇති ආකාරයයි.ඉතාමත්ම අවාසනාවන්ත කාරණය නම් අසල් වැසි ඉන්දියාවේ බලපෑම්ද මේ පුරාවිද්‍යා වැඩ කටයුතු වලට බාධා පැමිණවීමයි.මෙය තවදුරටත් අපට ඉවසා සිටිය නොහැකි කාරණයකි.

මතුගම සෙනෙවිරුවන්

 

 

No comments:

Post a Comment