පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, June 24, 2021

සිංහල බස ඉවත් කොට ඉංග්‍රිසිය රජ කිරීම කිනම් සරදමක් ද

 

 

 


                              

                     1815 මාර්තු 02 වන දින අත්සන් කරන ලද සිංහලේ ගිවිසුම සිංහලබසින් සහ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද්දකි.1591 දී පරංගීන් සමග අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමද සිංහල බසින් සකස් කරන ලද්දක් බව පැවසේ. අනාදිමත් කාලයක පටන් මේ රටේ ප්‍රධාන භාෂාව වශයෙන් සිංහල බස පැවතී ඇති බවට සාක්ෂි එමටය. නමුත් මහනුවර යුගයේ අවසාන කාලය වන විට එවකට සිටි නායක්කර  රජුන් රජ වාසලේ කටයුතු සඳහා සිංහල බසට අමතරව තෙලිඟු බසද යොදා ගෙන තිබේ. විශේෂයෙන්ම ඔවුනොවුන් කතාබහේ දී තෙලිඟු බස යොදා ගත් බව පැහැදිලිය.සිංහල රජ පරපුර අවසන් වනුයේ වීර පරාක්‍රම නාරෙන්ද්‍රසිංහ අවදියේ දීය.උනම්බුවේ බණ්ඩාරට රජකම නොදී මදුරෙයි බිසවගේ සහෝදරයාට රජ කම ලබා දෙන්නට සංඝරාජ හිමියන් පවා එකඟ වන්නට ඇත්තේ ඔවුන්ට තිබූ මුදල් බලය නිසා වන්නට පුලුවනි.සංඝරාජ හිමි ඇසුරේ අකුරු ශාස්ත්‍රය හැදෑරූ නායක්කර කුමරුට රජකම ලබා දීමෙන් උපසම්පදාව ගෙන එන්නට පිටිවහලක් ලැබෙනු ඇතැයි උන්වහන්සේ තවදුරටත් සිතන්නට ඇත. කෙසේ වෙතත් එද සිටි භික්ෂූන් වහන්සේලා සිංහල කමත් බුද්ධ ශාසනයත් ඒකට හැදී වැඩෙන බව විශ්වාස නොකළ බව පැහැදිලිය.ඒ නිසා සිංහල ජාතිය අනතුරේ වැටුණු අතර අවසානයේ සිංහල සිංහාසනය පරසතුරන් අතට පත් විය. ඉන් පසු ඉංග්‍රීසි බස රජ බස වූ අතර රජයේ සියලු කටයුතු ලියකියවිලි පවත්වා ගෙන යනු ලැබූවේ ඉංග්‍රීසි බසිනි.මේ නිසා බහුතර සිංහලයන්ට උසස් නිලතල වලට පත් වීමේ අවහිරකම් ඇති විය. මේ නිසා නිලමේ වරු ඇතුලු රදළයන් ගේ දරුවන් හට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාව ලබා ගැනීම කළ යුතු විය. අරක්කු රේන්දය හා මිනිරන් වෙළදොම නිසා අලුත පොහෙසත් වූ ධනපති පන්තියක් මේ අවදියේ දී ප්‍රභූත්වය ලබමින් සිටියහ.ඔවුහු නොපැකිලව සිය දරුවන් එංගලන්තයට යවා බැරිස්ටර් ආදී විභාග වලට ඉදිරිපත් කොට ඉංග්‍රීසි උගතුන් බවට පත් කළහ. ඉංග්‍රීස බස රජ වූයේ එලෙසයි.

         ලංකාවට නිදහස ලබන කල්හි සියවස් ගණනාවක සිට ලෝකයේ කීර්තිමත් භාෂාවක් බවට පත් ව තිබූ සිංහල බස කුස්සියේ බාසාව වී තිබුණි. ආලින්දයේ දී සිංහලයන් පවා කතා කලේ ඉංග්‍රීසි බසිනි. පොහොසත් සාහිත්‍යයක් ලෙන්ගතු වාග් විලාශයත් අමතක කරමින් කඨෝර ඉංග්‍රිසී බසින් කටයුතු කිරිම කාටත් ප්‍රියමානාප විය.1948 දී නිදහස ලැබීමෙන් පසු නිදහස පිළිබඳ අදහස් වැඩි වැඩියෙන් කුළු ගැන්වෙමින් ඉල්පෙමින් තිබූ කාල වකාවානුවක සිංහලබස රජ බස කරමු යැයි යෝජනාවක් ඉදිරිපත් විය.ඒ ජේ.ආර්. ජයවර්ධන කැළණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙනි.නමුත් මේ අදහස ක්‍රියාවට නැගීමට හැකිවූයේ 1956 දී බණ්ඩාරනායක මහතා මහජන එක්සත් පෙරමුණ හරහා බලයට පත් වීමෙන් පසුවයි.බණ්ඩාරනායක මහතා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිසා මෙරට දේශප්‍රේමීන් ගේ සිත් තුල මහත් බලාපොරොත්තුවක් දැල්විණ.නමුත් දෙවනුව ඉදිරිපත් කල දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත නිසා එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මකවීමට අවශ්‍ය පසුබිම සකස් වුණි.

     බණ්ඩාරනායක ඝාතයෙන් පසුව එතුමාගේ භාර්යාව වූ සිරිමාවෝ මැතිණියට ලැබුණු ජන ප්‍රසාදය මත බලයට පත්වීමට හැකි වූ අතර 1961 ජනවාරි මාසයේ සිට බණ්ඩාරනායක මහතාගේ රාජ්‍ය භාෂා පණත ක්‍රියාත්මක වීමට කටයුතු සැලැස්විණ.එපමණක් ද නොව උසාවි වල සිංහල බසින් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලස්වන පනතක්ද එහිදී සම්මත විය. මේ සම්බන්ධව එවකට අධිකරණ අමාත්‍යවරයාව සිටි සෑම් පී.සී.ප්‍රනාන්දු මහතා 1961 ජනවාරි මාසයේ දී කොළඹ ගුවන් විදුලියේ කළ කතාව මෙසේ දක්වන්නට හැකිය.

   ' අද දින 1961 ජනවාරි මස 1 වන දා ලංකා ඉතිහාසයේ නව යුගයක් උදා විය.අද සිට මේ රටේ රාජ්‍ය භාෂාව නැවත වරක් සිංහල භාෂාව වෙනවා. අවුරුදු 400 කට පමණ ආසන්න කාලයක්  මේ රට පරදේශක්කාරයන් ගේ අත් අඩංගුවට යට වී තුබූ කාලයේ අපේ විදෙශීය ස්වාමිවරු පමණක් නොව මේ රටේ යම් යම් කොට්ඨාශ ද සිංහල භාෂාවට දී තිබුනේ සැලකිය යුතු ස්ථානයක් නොවේ.අපේ භාෂාව යලිත් නියම ස්ථානයට නගා ලීමට ඉදිරිපත් වූවන්ගේ විරුද්ධවාදී කම් නොතකා අපේ නැසී ගිය අග්‍රාමාතය ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ දී 1956 ප්‍රකාශයක් කරමින් 1961 ජනවාරි 01 වන දා සිට සිංහල භාෂාව යලිත් මේ රටේ එකම රාජ්‍ය භාෂාව බව ප්‍රකාශ කර සිටියා. පසුගිය අවුරුදු 4 ක කාලය තුළ අප විශ්වාස කලේ මෙය සිහිනයක්ය කළ නොහැක්කක් බවත්ය. මේ තරම් පෞරාණික වූත් මෙවැනි ප්‍රෞඩ වූත් භාෂාවකට ඔවුන් සමච්චල් කලා.පමණක් නොව එය සහමුලින්ම නැතිවී යෑමට ඉඩ ඇති විය. අද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂෘව කර ඊට නිසි ස්ථානය දී තිබෙනවා. මීට අවුරුදු 2000 කට පෙර මෙම ලක්ෂණ භාෂාව අපේ එවකට සිටි තානාපතීන් විසින් ඈත ග්‍රීසියේද රෝම අධිරාජ්‍යයේ රාජ සභාවේ ද චීන අධිරාජ්‍යයේ රාජ සභා වලද කතා කල බව අපට සිහි වන විට අපට මේ භාෂාවට යළිත් පෙර තුබූ ස්ථානය ලැබීම ගැන ප්‍රීතිවිය නොහැකිද.

      ඊයේ මහජන මන්ත්‍රීමණ්ඩලයේ ඉතිහාස ගතවන සැසියකින් පසු මේ ආණ්ඩුවේ භාෂා ප්‍රතිපත්තිය තව පියවරක් ගනිමින් උසාවි වල සිංහල භාෂාවේ පාවිච්චිය සඳහා උසාවි භාෂා පනත සම්මත කරන ලදී. මේ පනත මේ සතියේ උත්තර මන්ත්‍රී මණ්ඩලයටද ඉදිරිපත් කරනවා ඇත. මේ පනත අනුව අගමැතිණිය සමග සාකච්ඡා කර අධිකරණ ඇමති තුමාට උසාවියක සිංහල භාෂාවෙන් වැඩ කළ යුතුයි තීරණය කිරීමට බලයක් තිබෙනවා. එම තීරණ ගන්නා විට එම උසාවියට සිංහලෙන් වැඩ කිරීමට කොපමණ දුරට පුළුවන් දැයි ඇමතිවරයා සලකා බලනු ඇත.මේ අවස්ථාවේ ද්‍රවිඩ භාෂා කතා කරන මගේ මිත්‍රයන්ට විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වල වසන අයට අධිකරණ ඇමතිවරයා වශයෙන් මා විසින් සත්‍ය ලෙස කියන්ට කැමතියි මේ පනත ක්‍රියාවේ යෙදෙන විට මගෙන් ඔවුන්ට කිසිම හානියක් හෝ අමාරු කමක් සිද්ද නොවන බව.අපේ නැසීගිය අගමැතිතුමා අපේ ද්‍රවිඩ සහෝදරයින්ට රාජකාරියේ දී ඔවුන්ගේ භාෂාව සාධාරණ ලෙස පාවිච්චි කිරීමට ඉඩ ප්‍රස්ථාව දීමට ඉතාමත් කරුණවෙන් අදහස් කර සිටි බව කවුරුත් දන්නවා ඇති. එතුමගේ ප්‍රධානත්වයෙන් 1958 අවුරුද්දේ දී පාර්ලිමේන්තුව මගින් දෙමළ භාෂා විධිවිධාන පනතක් නීතිගත කරන්නට යොදුනා.

     මේ පනත යටතේ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයාට ඔවුන්ගේ භාෂාවෙන්ම අධ්‍යාපනය ලබා ගැනීම පමණක් නොව රජය සමග කටයුතු වලදීද ඔවුන්ගේම භාෂාව පාවිච්චි කිරීමට ඉඩදී තිබෙනවා. මෙය විශේෂයෙන්ම උතුරටත් නැගෙනහිරටත් බලපානවාය. ඔවුන්ගේ භාෂාවෙන් ඉගෙනීම ලැබීම ඔවුන්ට රජයේ සේවයට බැඳීමට කිසිම අවසරයක් නැති බවටද සත්‍යකි. නමුත් අපි විශ්වාස කරනවා අන් භාෂාවකින් ඉගෙනීම ලත් අය සාධාරණ කාල සීමා වක් ඇතුළත දී සිංහල භාෂා ප්‍රවීනත්වයක් ලබා ගනීවිය කියා. මීට දින ස්වල්පයකට කලින් මේ ආණ්ඩුව නොයෙක් කරුණු සලකා බලා සකස් කරනු ලැබූ ක්‍රමයකට අනුව ආණ්ඩුවේ සියලු සේවකයන් ආදී හෝ නවක හෝ වේවා නියම කරන ලද කාල සීමාවක් තුළදී රාජ්‍ය භාෂාවේ ප්‍රවීනත්වය ඇති කරගත යුතුයි.

 අපේ නැති වී ගිය සංස්කෘතික උරුමය නැවත නගා දීමට අප විසින් ගන්නා මේ වෑයම ඉතා මිත්‍රත්වයෙන් සුහදතාවයෙනුත් යුක්තව රජයේ මේ භාෂා ප්‍රතිපත්තිය පිළිගන්නා ලෙස ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනයා වෙනුවෙනුත් ද්‍රවිඩ ජාතික සහෝදරයන්ගෙන් මම උදක්ම ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුවේ අදහස රටේ නොයෙක් ජාතීන් අතර සමගිය වැඩි දියුණු කිරීමයි. ඒ සමගිය මහජනයාගෙන්ම ඇතිවිය යුත්තක්. මේ කාරණාව හැම දෙනාම විසින්ම සිත්.තබා ගතහොත් මේ රටේ ජාතීන් අතර සමගිය සඳහා ගත් වටිනා පියවරක් වනවා ඇත.'(ශ්‍රී ලංකා සඟරාව -ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව )

      1961 ජනවාරි පළමුවන දා සිට සිංහලය රටේ රාජ්‍ය භාෂාව කොට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කොට රාජ්‍ය භාෂාවෙන් අධ්‍යාපන පෙල පොත් පවා සම්පාදනය කළ නමුත් 1977 පත් වූ ජේ.ආර්.ජයවර්ධන රජය මගින් ඇති කරන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත සිංහල රජ බසෙහි වටිනාකම් ක්‍රමයෙන් අහෝසි කරන ලදහ. එවකට අධිකරණ ඇමති වරයාව සිටි කේ.ඩබ්. දේවනායගම් මහතා විශේෂ පනතක් ගෙනවුත් ඉහළ උසාවි වල අධීකරණ කටයුතු යලි ඉංග්‍රීසි බසින් හැසිරවීමට අවස්ථාව සලසා දුන්නේය. මේ කාලයේ රජයේ නීති විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට සිහල හා දෙමළ මාධය වලින් ඉගෙනීමට පහසුකම් ලැබී තිබුණි. රවුෆ් හකීම් අධිකරණ අමාත්‍යවරයාගේ කාලයේ දී එම වරප්‍රසාදය අහෝසි කොට මුස්ලිම් සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දී තිබේ. අනතුරුව වර්තමාන අධිකරණ ඇමති අලි සබ්‍රි විසින් කරන ලද යෝජනාවක් පරිදි නීති විඝායට සිංහල හා දෙමළ බසින් ඉදිරිපත් වීමට තිබුණු වරප්‍රසාදයද ඉවත් කර තිබේ. මේ කටයුතු මෙලෙස සිදු වෙන විට උතුර සහ නැගෙනහිර පළාත්වල සියලුම අධිකරණ කටයුතු දෙමළ බසින් පැවැත්වේ. සිංහල පරිවර්තනයක් පවා ලබා ගත නොහැකිය. පසුගිය කාලයේ නැගෙනහිර පුරාවස්තු විනාශයන් සම්බන්ධව පැවති නඩු විභාග වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් පවා අපහසුතාවයට පත් වී තිබුණේ මෙම තනි දෙමළ ප්‍රතිපත්තිය නිසාවෙනි. 1961 දී බණ්ඩාරනායක රජය බාලපොරොත්තු වූ සමගිය සංහිදියාව වෙනුවට දෙමල ජාතිවාදය සහ මුස්ලිම් අන්තවාදය ක්‍රමානුකූලව හිස ඔසවා තිබෙන බව පෙනේ. දැන් සිංහල පමණක් නොව දෙමළද පසෙකට කරමින් ඉංග්‍රීසි බස රජ කරවීම අලුත් වටයකින් ජයටම සිදු වෙයි.වර්තමාන අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෑතකදී කළ ප්‍රකාශයකින් ඒ බැව් තහවුරු වී තිබේ. බාලංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධයාපනය ලබා දීමට පාසල් ඇති කරන බව ඔහු දක්වා ඇත.මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වෙනුයේ දැනට ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලැබා කොවිඩ් වසංගතය නිසා මුදල් ගෙවා අධයාපනය ලැබීමට නොහැකි වන සිසුන්ට මූලික පහසුකමක් සලසා නොමිලේ ඉගෙන ගැනීමටයි.

   සිංහල බස සිංහලයන්ගේ ආත්මීය භාෂාවයි. කුඩා කාලයේ සිට හසුරුවන එහි ලෙන්ගතු වදන් තුළින් සිංහලයන්ගේ ආත්ම විශ්වාසය කරුණාව මෛත්‍රිය පමණක් නොව කුසලතාවයද පිළිබිඹු කරයි. පාලි භාෂාව බුද්ධ ධර්මයේ ඉගැන්වීම් පිළිබඳව ප්‍රකාශ කළ හැකි හොඳම බස වන අතර සිංහල බසින් එය තේරුම් කර ගැනීම ට අවශ්‍ය අටුවා ටීකා ද ලියැවීම විශේෂිතය. සිංහල බුද්ධාගම යනුවෙන් අප හඳුන්වන විශේෂිතය තුළ මේ අන්‍යතාවය දක්නට හැකිය.ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා නිදහස් අධයාපනය බිහිකරමින් ගම්වල දූ දරුවන්ට සිය කුසලතාවය පෙන්වන්නට අවස්ථාව සලසා දුන්නේ මේ කරුණු සලකා බැලීමෙනි. එවැනි තත්වයක් තුළ පවතින සිංහල භාෂා ව්‍යවහාරය අඩපණ කිරීමට වර්තමානයේ පිඹුරුපත් සැකසීම සිංහලයාට මේ රටේ තිබෙන අයිතිය විනාශ කිරීමකි.

මතුගම සෙනෙවිරුවන්

 

No comments:

Post a Comment