පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, December 27, 2020

මැටි පුවරු ලේඛනයක් මුල් වරට පට්ටියපොළින් හමුවෙයි

 

 

 


                             

         ලංකාවේ ඉතිහාස තොරතුරු දැන ගැනීමට තිබෙන මූලාශ්‍රයන් අතර වංශකතා මුල්තැන් ගනී.දෙවැන්න නම් ශිලාලේඛන සම්ප්‍රදායයි.මහාවංශයේ අඩංගු තොරතුරු පවා තහවුරු කර ගැනීමට ශිලාලේඛන  භාවිත කර ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතිහාසයට පවා ආලෝකයක් සපයන ලද්දේ  බ්‍රාහ්මී අක්ෂර විග්‍රහ කරගැනීමට උත්සාහ කළ ප්‍රින්සෙප් ගේ ව්‍යායාමයෙනි.පසුව ටර්නර් ගොල්ඩ් ස්මිත් සහ ම්‍යුලර් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් ගේ උත්සාහය මත   මේ රටේ ශිලා ලේඛන   විශාල ප්‍රමාණයක් ගැන මනා හැදෑරීමක ආරම්භයක් ඇති කරන ලදහ. පැරණි බ්‍රාහ්මී අක්ෂර මගින් කරන ලද ශිලාලේඛන පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පළ කල Inscriptions of Ceylon (vol 1)  නම් ග්‍රන්ථය මේ රටේ ඉතිහාසයට විශේෂ වැදගත්කමක් සපයා දී තිබෙන්නේ මේ හැදෑරීම් වල ප්‍රතිඵලයක් වශයෙනි. ශිලා ලේඛන යනු ස්වභාවික පර්වතයක යට තිබෙන ගල්ලෙනක පිහිටි ගලක හෝ ගල් ටැඹක කොටන ලද විශේෂ වැදගත්කමක් උසුලන රචනාවකි. රාජ්‍ය ව්‍යවස්ථා දීමනාවන් පිළිබඳව තොරතුරු මෙහි අඩංගු වේ.තල් පත්‍ර වැටකෙයියා පත්‍ර සහ වෙනත් ශාකමය ද්‍රව්‍ය වල අකුරු ලිවීමද පුරාණ කාලයේ පටන් පවත්වාගෙන පැමිණි සම්ප්‍රදායකි.නමුත් මෙම ලේඛන කලකදී දිරාපත් වෙයි.නමුත් ලංකාවේ භාවිතා කරන තල්පත් බොහෝ කාලයක් පවතින බවද මෙහි සඳහන් කළ යුතුය.එයට හේතුව එහි පත්‍ර වල අඩංගු සිලිකා ප්‍රතිශතයයි. නමුත් වේයන් සහ දීලීර ආක්‍රමණයන් නිසා තල්පත්‍ර දිරාපත් වීමට තිබෙන ඉඩකඩ වැඩිය. එම නිසා පැරණි රාජ්‍ය පාලකයන් සිය ආඥාවන් නිතරම ගලේ කෙටූහ. ගලේ කෙටූ අකුරු වැනි යැයි වහරක්  ප්‍රවාද ගතව තිබෙන්නේමෙසේ කොටන ලද අකුරු වසර දහසක් ගියත් නොමැකෙන බැවිනි..

         මෙවැනි තත්වයක් මත ලංකාවේ ලේඛන සම්ප්‍රදාය පවත්වාගෙන යෑමට වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීම ගැන එතරම් සාධක හමු වන්නේ නැත. නමුත් මැටි බඳුන් වල අකුරු කෙටීම ගැන සාධක රාශියක්ම පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ.විශේෂයෙන්ම අනුරාධපුරය ඇතුලු නුවර කරන ලද කැණීම මගින් හමු වූ වළන් කැබැල්ලේ කොටා තිබූ බිය අනුරදි යන වැකිය ගැන සඳහන් කළ හැකිය. ඊට අමතරව තිස්සමහාරාම අකුරුගොඩ කැණීමෙන් හමුවූ අකුරු කොටූ වළන් කැබැල්ල ගැනද විද්වතුන් අතර වෙසෙස් සංවාද රාශියක් සිදු විය.යාපනයේ කදුරුගොඩ කැණීමෙන් හමු වූ වළන් කැබලි වලද මෙලෙස අක්ෂර කොටා තිබූ අතර මෙවැනි අක්ෂර වල කාලය ක්‍රි.පූ. 6 වන සියවස වැනි ඈත කාලයට දිවයව බව ද සොයා ගන්නා ලදී.ඒ අනුව මෙරට බ්‍රාහ්මී අක්ෂර වල විකාශනය දැනට ලිඛිතව දක්වා ඇති කාලයට වඩා පැරණි බවද සනාථ විය.මේ අතර දිවයිනේ විවිධ තැන් වලින් හමු වූ වෙනත් මැටි වළන් කැබලි වල දක්නට ලැබුණු අකුරු ගැනද තව තවත් සොයා බැලීම විද්වතුන් ගේ වගකීම වී ඇත. මෙවැනි මැටි ලේඛන අතර පුවරුවක කොටා තිබූ ලේඛන ලංකාවෙන් මෙතෙක් හමු වී නැත.  මොහෙන්දාජාරෝ හරප්පා නගර වලින් හමු වූ මෙවැනි මැටි පුවරු(මෘන්මය) ලේඛන නිසා ඉස්මතු වූ ඉතිහාසය ඉතා ප්‍රබල බව මෙහිදී මතක් කළ යුතුය.ඉන්දියාවේ බෝඝස්කොයි පෙදෙසින් සොයා ගත් 15 සියවසට අයත් මැටිතහඩු ලේඛනය ඉහතකී සම්ප්‍රදායේ විකාශයනයක් ලෙස හඳුන්වාදීමක් කර ඇත.මේ අතර ලංකාවෙන් හමුවූ  අංග සම්පූර්ණ ලේඛනයක්  ගැන මෙහිදී දැක්විය යුතුය.ඒ නම් හොරොව්පොතාන කපු ගොල්ලෑව විහාරස්ථානයෙන් හමු වූ මැටි පාත්‍රයයි. එහි සබ්බ පාපස්ස අකරණං යන ගාථාව සම්පූර්ණයෙන්ම කොටා තිබුණි. 

 


 ශිලා ලේඛන සම්ප්‍රදාය අභිබවා මැටි ලේඛන පිළිබඳ සාක්ෂි ලංකාවේ ඉස්මතු නොවුණද මෑතකදී දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පට්ටියපොළ ග්‍රාමයෙන් හමු වුණු මැටි ලේඛනය මගින් ලේඛන මාධ්‍ය පිළිබඳ අලුතින් කතා කරන්නට ඉඩහසර ලැබී තිබේ. ශිලා පුවරුවක ලියන පරිද්දෙන්ම ගඩොල් කැටයක ලියන ලද ලේඛනයක් පළමුවරට මෙහිදී හමු වී තිබේ.    මෙම ලේඛනය සොයා ගන්නා ලද්දේ දුමින්ද ජයවර්ධන මහතා විසිනි. ඔහු දැනට අගලවත්තේ පදිංචි වී සිටියද තම මවගේ ගම වන පට්ටියපොළට නිතරම යෑම් ඊම් කළ පුද්ගලයෙකි. එහිදී එම ගමේ ස්ථානයක  පැරණි ගඩොල් අවශේෂ තිබේ යැයි ලද ආරංචියකට අනුව ගිය විට කැලෑවෙන් යටවුණු පෙදෙසක තුඹසක් තුළ මෙම ගඩොල් ලේඛනය දකින්නට ලැබී තිබේ.

      පට්ටියපොළ ග්‍රාමය පිළිබඳ සැඟවුණු ඉතිහාසයක්ද තිබේ.දුටුගැමුණු මහ රජතුමාගේ යෝධ සේනාවට සෙන්පතියන් බඳවා ගන්නා කාලයේ දකුණේ තංගල්ලට නුදුරු නෙටුල්විටි නම් ගමෙහි සිටි ගෝඨ නම් තරුණයෙක් කල මහා විස්කමක් ගැන රජුට ආරංචි වී තිබේ. සද්ධර්මාලංකාර කතා වස්තුවේ එන පරිදි ගෝඨ තරුණයා විසින් විශාල ඉඹුල් (කොට්ට ) ගසක් තම්පලා ගසක් ගලවන්නා සේ ගලවා මහා කුඹුරක් අස්වද්දවා තිබේ.එසේම රාජ පුරුෂයන් නෙටුල්විටියට පැමිණ ගෝඨ තරුණයා කැටිව ආපසු යන විට සප්පඳුරු නම් විහාරයේ සෙවණට වන්හ.එහි මනරම් පොල් උයනක් විය.එහිදී ගෝඨයා විසින් පොල් ගස් කරකවා කුරුම්බා ගෙඩි බිමට ඇද හෙලා රාජපුරුෂයන්ගේ පවස සන්සිඳවීමට ලබා දී තිබේ.මේ ගෝඨ තරුණයා ගෝඨයිම්බර වූයේ එතැන් සිටයි. රාජ සේවයට ගිය ගොඨයිම්බර එළාරට එරෙහිව දුටුගැමුණු රජු ගේ සේනාවේ මහා වික්‍රමයන් කර රාජ ප්‍රසාද ලත් කාලයේ තම උපන් ගම සමීපයේ මහා වැවක් කරවාලූ බව ජනප්‍රවාදයේ එයි.ඒ තමන් විසින් ඉඹුල් ගස් ගලවා කුඹුරු අස්වැද්දූ ප්‍රදේශයේ බවද දැක්වෙයි. ඒ ගම අද හඳුන්වනු ලබනුයේ පට්ටියපොළ යනුවෙනි.පට්ටියපොළ වැව පාමුළ තිබෙන කැඳහැලියාවල නම් කුඹුර ට ඒ නම යෙදී තිබෙන්නේ කුඹුරු අස්වද්දන සමයේ  ගොවි සමූහයාට දීමට ගෙනා කැඳ හැළිය මෙම ස්ථානයේ තබා තිබූ හෙයිනි. මේ යෝධයා විසින් බඳවන ලද ගම් වැව පෝෂණය වනුයේ රක්වාන කඳුකරයේ සිට පහත් වන ජල ධාරාවන්ගෙනි. දුටුගැමුණු එළාර යුද්ධයෙන් පසු රජු සමග යම් අමනාපයක් ඇති කරගත්  ගෝඨයිම්බර යෝධයා විදේශ ගතව මහණදම් පිරූ බව සද්ධර්මාලංකාර කතා වස්තුවේ සඳහන්ය.

      පට්ටියපාළ ග්‍රාමය ආශ්‍රිතව අප විසින් කරන ලද සොයා බැලීම් වලදී දැනට එහි දක්නට ලැබෙන පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන කීපයක් පිළිබඳ කරුණු අනාවරණය විය. පට්ටියපොළ හැඩවින්න රජ මහාවිහාර භූමියේ තිබෙන ටැම්පිට විහාරය හා සීමාමාලකය නුවර යුගයට අයත්ය. ටැම්පිට විහාරයේ ව්‍යුහය පමණක් පැරණි ස්වරූපයෙන් දැනට ඉතිරිව පවතී. විහාරස්ථානයට නුදුරු ව විතාරන්දෙණිය මාර්ගයේ ස්ථාන දෙකකම ගඩොල් සහ මැටි උලු කැබලි සහිත ස්ථාන දෙකක් හඳුනාගන්නට හැකිය.එක් තැනක එළවලු කොරටුවකි. අනෙක් ස්ථානය කැළයට යටවී පවතී. මේ ස්ථාන දෙකම පෞද්ගලික හිමිකරුවන් සතුව පවතී.පෙර දක්වන ලද අකුරු කෙටූ ගඩොල් කැටය සම්මූඛ වූයේ මෙම ස්ථාන‌ය අසළිනි. වරින් වර මෙම ස්ථාන වලින් පස් ඉවත් කිරීම නිසා පැරණි බෞද්ධ ස්ථූපයකට හෝ පිළිම ගෙයකට හානි වී තිබෙන බව පෙනී ගියේය. ඒවායින් ඉවත් කරන ලද පස් වෙසෙසින්ම පාරවල්කැපීමේ දී ඉවත් කරන ලද පස් තැන තැන දැමීමෙන් පසු මේ වටිනා ලේඛනය සහිත ගඩොල වෙනත් ස්ථානයක තැන්පත් වන්නට අතැයි අනුමාන කළ හැකිය. 

 ( 1908 -1911) කාලයේ හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාර්ඩ් වුල්ෆ් මහතා පට්ටියපොළට පැමිණ එම වැවට පැමිණෙන අලි රංචු බැලීමට නැග හුන් යෝධ සියඹලා ගසද පට්ටියපොළට ‌ෙඑතිහාසික අගයක් එකතු කර තිබේ.එයට අමරතව පට්ටියපොළට නුදුරු මැදගම ග්‍රාමයද ‌ෙඑතිහාසික වශයෙන් වැදගත් බව හඳුනාගනන්ට හැකිය. එහි ජීවත් වන පැරණි ප්‍රභූවරුන් ගේ පරම්පරාවන් සතු වලව්ව යම් ස්මාරකයක් ලෙසට නම් කළ හැකිය. මැදගම ආශ්‍රිතව අනුරාධපුර යුගයට අයත් යම් ශිලාමය අවශේෂද දක්නට හැකිබව සඳහන් කල යුතුය.



           අක්ෂර කෙටූ ගඩොල් ගැබෙල්ල අඩියක් පමණ පළල ට සහ අඟල් දහයක් පමණ උසකින් යුක්තව තිබෙන්නට ඇත. මෙම ගඩොල දැනට දෙකඩ වී තිබේ. ඒ නිසා හඳුනාගත හැකි අක්ෂර සහ වැකි තිබෙන්නේ කීපයකි. මෙම ලිපියේ පේළි  පහකි. ගඩොලේ අනෙක් පැත්තේද එක් පේළියක් තිබේ. අකුරු විසිපහක් පමණ දැනට හඳුනාගන්නට හැකිය. අක්ෂර වල ලක්ෂණ අනුව මෙම ලිපිය දෙවන සියවසට පමණ අයත්ය.යම් අමාත්‍ය වරයෙකු විසින් ( අමෙතෙ ) මෙහි ඉඳි කරන්නට යෙදුණු  නව විහාරයකට කරන ලද කරිසයක් පමණ පූජාවක් ගැන මෙම ලිපියෙන් හෙළිදරව් වේ යැයි සිතමි. එම ලිපියේ පළමුවැනි පේළියේ අමෙතෙ යනුවෙන් ද අවසාන පේළියේ මෙවිහර යනුවෙන්ද අක්ෂර සටහන් වී තිබේ.වසභ රජතුමාගේ කාලයේ කරනලද  වල්ලිපුරම රන් සන්නස තුළ තිබෙන අක්ෂර මෙන්ම හැබැස්ස සහ පාලු මැකිච්චාව නම් ශිලාලේඛන වල අක්ෂරයන්ට මෙහි අක්ෂර සමාන කමක් දක්වයි.පාලුමැකිච්චාව ලිපිය ගජබාහු රජුගේ කාලයේ කොටවන ලද්දකි. ගජබාහු රජු නීලමහායෝධයා සමග ඉන්දියාවට ගොස් දොලොස් දහසක් සෙනග මෙහි ගෙනා බව ඉතිහාසයේ සඳහන්ය.එහිදී  ගම්වල සිටි  ගොවි වංශයට ( අසුර ගොවි කුල ) අයත් ජනතාව පට්ටියට ගියා යැයි  සඳහන්ය. පට්ටියපොළ ග්‍රාමයද විශාල ගව පට්ටි වලින් පරිපූර්ණ වූ ස්වයංපෝෂිත ප්‍රදේශයකි.මේ නිසා ගජබාහු රජුගේ කාලයේ (ක්‍රි.ව.112 -134) හෝ එයට පසු මෙම ගමෙහි නව විහාරයක් කරවන කල්හි මෙම ලේඛනය තැන්පත් කරන්නට අතැයි  මේ අනුව කල්පනා කල හැකිය.

     ශිලා ලේඛන මෙන් නොව මෙවැනි මැටි ලේඛන තැන්පත් වී තිබූ ස්ථාන වලින් බැහැර වූ කල්හි විනාශ වී යන්නට තිබෙන ඉඩකඩ බොහෝය. මෙම ලිපිය පුරාවිද්‍යා භාණ්ඩ අගයන මහත්මයෙකුට ලැබී තිබීම භාග්‍යයකි.මෙම ලේඛනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමට දැනට කටයුතු කරමින් ඇත.මෙම ලිපියේ අනෙක් කොටස ද මෙම ස්ථානයේ කොතනක හෝ  තිබේ යැයි අනුමාන කළ හැකිය. දැනට එළවලු කොරටුවකට යටව තිබෙන භූමියේ ගඩොල් කැට රාශියක්ම හමුවන හෙයින් එම බිම පළමුව සංරක්ෂණය කොට දෙවනුව කැණීමක් මගින් මෙම සාධක මතු කරගත හැකි වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

මූලාශ්‍ර -

1/ ලක්දිව සෙල්ලිපි - කොත්මලේ අමරවංශ හිමි (1969 )

2/ සිංහල ශිලා ලේඛන විවරණය - ධර්මබන්ධු අමරසේකර (1961 )

3/සිංහල ශිලා ලේඛන -  ඩබ්.එස්. කරුණාරත්න (1956)

4/ කඩයිම් පොත් විමර්ශනය -එච්.ඒ. පී අභයවර්ධන (1978 )

 

 

 

 

 

 

No comments:

Post a Comment