පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, September 18, 2020

ගුලවිට ආදි මානව ගල්ලෙන ගල් කොරියක් වේවිද

 

 

 


                               

            ලංකාවේ වැදි ජනතාව වරිග කීපයක එකමුතුවක් ලෙසට සලකන අතර ඔවුහු ආදි මානවයාගේ විකාශනයක් යැයිද සැලකීමක් ඇත. මොවුන්ගේ තොරතුරු සොයා මානව විද්‍යාඥයන් මහ ඝන කැලෑවල ඔවුන්ගේ චර්යා රටා අධ්‍යයනය කළහ.චායාරූපයට නැගූහ. සංස්කෘතික වටපිටාව සටහන් කොට තැබූහ. ගල් ගෙවල් සහ එළිමහන් ස්ථාන කැණීම් වලට ලක් කළහ. සැරසින්ස් පාකර් සෙලිග්මාන් හර්ට්ලි වේලන්ඩ් මෙන්ම පී.ඊ.පී. දැරණියගල මහතාද ඒ අතර විය. මේ ගවේෂණ මගින් පැහැදිලි වූයේ යුරෝපාදී රටවල වසර 12000 කට පමණ එහාදී දක්නා ලැබෙන ශිලා මෙවලම් වසර 28000 කට එහා සිට ලංකාවේදී හමු වීමයි. 1915 දී වේලන්ඩ් නම් විද්‍යාඥයා ඉරණමුඩු පස් ස්ථරවල වැදගත්කම පෙන්වා දී තිබුණු අතර 1972 දී ශිරාන් දැරණියගල මහතා විසින් කරන ලද පර්යේෂණ මගින් මෙම ක්ෂේත්‍රය පුළුල් කර ගැනීමට නව මාවතක් එළඹුණි. ඒ මග ගත් ආචාර්ය ඩබ්.එච්.විජේපාල මහාචාර්ය රාජ සෝමදේව ආචාර්ය නිමල් පෙරේරා  වැනි පුරා විද්‍යාඥයන් අතීතයේ පටන් ලංකාවේ හමුවන මානව ජනාවාස කරණයට නව අත්දැකීම් එකතු කර ඇත. මේ පර්යේෂණ අතර බලන්ගොඩ මානවයා නම් කිරීම පාහියන්ගල මානවයා විශිලේෂණය කිරීම සුවිශේෂි කඩයිම් දෙකකි. පාහියන්ගල පවතින වැදගත්කම ඉස්මතු වන්නේ එහි ගල් ඇන්ද හේතු කොට ගෙනය.වර්තමානයේ දී මහාචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මේ ගල් ඇන්ද පාමුළ කරන ලද පර්යෙෂණ මගින් සනාථවී තිබෙන්නේ පාහියන්ගල ජනාවාසයේ ඉතිහාසය වසර 48000 ඉක්මවා යන බවයි.. එලෙසම බෙලි ලෙන බටදොඹලෙන වැනි තැන් වලදීද එවැනි කාල වකවානුවක ඉතිහාසයක් හමුවන බව පෙන්වා දී තිබේ.

      ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් දක්නට ලැබෙන කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සීමාවේ පවතින මේ ආදි මානව ජනාවාස රාශියක්ම පහුගිය කාලයේ දැන හඳුනාගන්නට ලැබී තිබේ.  පාහියන්ගල සිට පැතිරෙන මේ මධ්‍ය ශිලා යුග මිනිසා මතුගම ආසන්නයේ කළුපහන ගල උඩ කන්ද ප්‍රදේශයට පවා පැතිර  ඇති බවට කරුණු හෙළි වී තිබේ. මේ ප්‍රදේශයේ මැණික් පතල් වලින් ලැබෙන යුග ගණනාවක තොරතුරු මත වරින් වර නාය යමින් වැළලෙමින් ස්ථර වෙනස් වෙමින් පැවති සංස්කෘතියක තොරතුරු ද හෙළි වෙයි.

         2017 වසරේ දී බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ ගවේශණ කණ්ඩායම විසින් පාලින්ද නුවර ප්‍රදේශයේ කරන ලද අධ්‍යනයේ දී හෙළි වූ කරුණු ද මෙහි බහාලීම උචිත යයි සිතමි. බදුරලිය නගරයට ආසන්නයේ නමුත් වඩාත් පැතිරුණු කඳු ස්ථරයන්හි සැඟවුනු ගල් ගුහා රාශියක් තිබෙන බවට එහිදී කරුණු හෙළි විය.අත්වැල්තොට බොල්ලුන්න රුසිගල හැඩිල්ල තවාන යකුපිටිය කලුගල මූකලාන මිරිහාන්කන්ද කලුගල ආරණ්‍ය වවුලුගල පූජාලෙන ආරණ්‍ය  යන ස්ථානයන්හි ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබුණු බව එහිදී පැහැදිලි වී ඇත. විශේෂයෙන්ම පාලින්ද නුවර ජලාශ්‍රිත භූමි කලාපයක් ලෙසට සැලකෙන අතර පානීය ජලය ලබා ගැනීමට පහසු වන පරිදි එම ජනාවාස සකස්ව ඇති බවද හෙළිදරව් විය.එම නිසා පාහියන්ගල මිනිසා සහ කලුපහන  මිනිසා  අතර ඇති සම්බන්ධය හෝ වෙනස් කම් හැදෑරීමට තවත් කාලයක් ගත වනු ඇතැයි මෙහිදී සඳහන් කළ යුතුය.ඒ සමගම පැවසිය යුතු වැදගත්ම කරුණ වන්නේ ඓතිහාසික යුගයන්ට එළඹීමට ප්‍රථම මේ ප්‍ර දේශයේ ජීවත් වූ ආදි මිනිසා සතුව වැදගත් සංස්කෘතියක්ද සොයා හෙළිදරව් කිරීමට හැකි බවයි.ක්‍රි.පූ. 3000 පමණ සිට ක්‍රි.පූ. පස්වන සියවස දක්වා කාලය තුළ මෙම මිනිසා ගේ පරිවර්තනය හැදෑරීමට දැන් අවස්ථාවක් පැමිණ තිබෙන බව සඳහන් කළ යුතුය.

 

         කලුතර දිස්ත්‍රික්කයේ නොහොත් පුරාණ පස්යොදුන් කෝරළයේ ආදි මානවයා ක්‍රමයෙන් සංවර්ධනයට ලක්  වෙමින් ගොවි ජීවන ක්‍රමකට හැඩ ගැසුණු ආකාරය ද මෙහිදී හමුවුණු ඇතැම් පුරාවස්තු වලින් ඉස්මතු කරගත හැකිය. පාලින්ද නුවර අවට මැණික් පතල් වල අඩි තිහක් පමණ යට ස්ථරයකින් හමු වුණු නගුල් තුන මෙයට හොඳ උදාහරණයකි. ලංකාව පුරා පැතිර සිටි ගොවි ජනතාව භාවිතා කළ නගුල් වලට වඩා ප්‍රාථමික බවක් මෙයින් හෙළි වේ.

   මේ කතාවේ ඊළඟ පරිඡේදය ලියැවෙන්නේ කලුතර වලල්ලාවිට ප්‍ර දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගුලවිට කන්ද පෙදෙසේද පාහියන්ගල මෙන් විශාල ගල් ලෙනක් පිළිබඳ තොරතුරු හමුවීමෙනි.2009 වසරේ දී මෙම ගුලවිට කන්දේ පවතින සින්නකර ඉඩමක ගල් කොරියක් පවත්වාගෙන යෑම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසරයක් ලබා දී තිබුණේ එම ගල්පර්වතය පිහිටි ස්ථානය පරීක්ෂා කරලීමෙන් පසුවයි.ඉන්පසු 2009 සිට 2018 වසර දක්වාම එම පර්වතය කැණීමකට ලක්වුණු අතර 2020 වසරේ දී එම ගල්වලේ බලපත්‍රය යළි අලුත් කරලීම පිණිස ඉල්ලුම් කෙරිණ.මෙම කාරණය උදෙසා එම ස්ථානයට ළගාවූ පුරාවිද්‍යා කණ්ඩායමට දිස්වූයේ ගල් කොරියට ඉස්මත්තෙන් වූ විශාල ගල්ලෙනකි.දැනට පවත්නා ගල් වලට ආසන්නයේ මීටර විස්සක් පමණ ඉහළින් මේ ගල්ලෙන පිහිටා තිබුණි.  කාලාන්තරයක් තිස්සේ මහා වනයෙන් වැසී තිබූ  මේ ගල්ගෙය ප්‍රාග් ‌ෙඒතිහාසික මානවයාට වාසය සැලසූ ගල් ලෙනක් ලෙසට  මහාචාර්ය නිමල් පෙරෙරා මහතා විසින් හඳුනාගන්නට යෙදුණී.  මහාචාර්ය වරයා පවසන පරිදි පාහියන්ගල මෙන්ම විශාල ගල් ඇන්දක් මෙහි පවතී. පාහියන්ගල කැණීමේ දී ගල් ආයුධ ඇතුලු මානවයා පරිහරණය කල බොහෝ අවශේෂ හමු වූයේ ගල් ඇන්ද අසල කරන ලද කැණීම් වලිනි.මේ නිසා ගුලවිට ගල්ලෙන පාහියන්ගල මෙන්ම ඉතා වැදගත් මානව ජනාවාසයක් බව ඔහුගේ නිගමනය විය.මෙම ගුහාවේ මතු පිට ස්ථරයේ පවා විශේෂ ගල් ආයුධ එනම් සත්ව ඇටකටු වලින් තනන ලද ගල් ආයුධ රාශියක් දක්නට තිබෙන අතර කලු මැටි වළන් ද තිබිය හැකි බව නීරීක්ෂණය වී තිබේ.මෙම ගල් ලෙන සොයා ගැනීම පිළිබඳ පුවත්පත් වල පළ වීමෙන් පසු විශාල ජනකායක් මෙම ස්ථානයට ළඟා වෙමින් තිබෙන අතර ගල්ලෙනේ මතුපිට පස්තට්ටුව මේ ජනතාවට පෑගීමෙන් ඉදිරි පර්යේෂණ කටයුතු වලට බාධාවක්  ඇතිවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මතයයි.

    මේ වන විට මෙම ගල්ලෙන ආසන්නයේ පවතින ගල්වල තාවකාලිකව අත්හිටුවා තිබේ.සැබවින්ම ගුලවිට කන්ද මෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ තිබෙන මෙවැනි ගල්පර්වත රාශියකම ජල උල්පත් බහුලව පවතී. ගල් ඇන්දෙන් මෙන්ම ගල යටින්ද ජල උල්පත් ගලා යෑම දක්නට ලැබේ. ඒවායේ ආගාර පාරවල් මගින් පහළ නිම්නය පෝෂණය කරයි. මෙවැනි ගල්පර්වත කැඩීම නිසා ජල උලපත් හිඳී යෑමේ තර්ජනයයක් ද ඇත. මේ නිසා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මෙවැනි ස්ථාන වලට බලපත්‍ර දීමේ දී වඩාත් සැලකිලලක් දැක්විය යුතු බව පරිසර වේදීන් ගේ පවසයි.

මතුගම සෙනෙවිරුවන්

    

 

2 comments: