පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, October 14, 2020

ඉපැරණි ගෝකණ්න විහාරය අභිබවා නන්දි ගවයා මතුවීම

 



             නැගෙනහිර පළාතේ පැරණි ගෝකණ්න වරාය ඉස්මත්තේ මහසෙන් රජු විසින් ඉඳි කළ ගෝකණ්න විහාරය සිංහල බෞද්ධයන් ගේ ගෞරවාදාරයට පාත්‍ර වූ වැදගත් සිද්ධස්ථානයක් විය. මානවම්ම සහ පස්වන අග්බෝ රජවරුන් එම ස්ථානය වැඩි දියුණු කරමින් තපෝවනයක් ලෙසට සංවර්ධන කල බව පෙනේ. අග්බෝ රජු විසින් මෙම විහාරය අසල පධාන ඝරයක් සකස් කල ආකාරය මහාවංශයේ දැක්වෙයි. මෙම ගෝකණ්න විහාරය සාදවන ලද්දේ මෙම ස්ථානයේ පැවති ජෛන තීර්ථකාරාමයක් ඉවත් කිරීමෙන් බවද පැවසේ. පසු කාලයේ දී චෝල ආක්‍රමණ සමයේ ඉපැරණි වෙල්ගම් වෙහෙර මෙන්ම ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරයද හින්දු බලපෑමට නතු විය.ගෝකණ්න විහාරය අසබඩ හින්දු දේවාලයක් නිර්මාණය වන්නේ මේ යුගයේදීය.පරංගීන් ලංකාවට කඩා වැදුණු දහහතරවන සියවසේ දී ඔවුන්ගේ ආක්‍රමණයට ලක්වූ මුල්ම ස්ථානයක් ලෙසට ගෝකණ්නය සැලකේ.

     පරංගීන් මෙම විහාරය සහ දේවාලය සුණු විසුණු කර දැමූහ.බුදු පිළිම ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් සියල්ල මුහුදට ඇද දැමූහ.ඉන්පසු වර්ෂ 1623 දී මෙම කඳු ගැටය ඔවුන් ගේ සුපුරුදු බල කඳවුරක් බවට පත් කරගත්හ.විහාරය සහ දේවාලය විනාශ කරලන්නට ප්‍රථම පරංගීන් විසින් මෙහි එකතු වන ධනයෙන් පණම් 1280 ක් කප්පම් ගත්හ.අනතුරුව දෙවන රාජසිංහයන් ලන්දේසීන් සමග එකතුවී ත්‍රිකුණාමල බලකොටුවට පහර දී අල්වා ගත්හ.

බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ -ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ යයි ජන කවියා සඳහන් කලේ මේ වික්‍රමය දැක්වීමටයි. වර්ෂ 1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහයන් ගිවිසුමක් ඇති කර ගෙන මුහුදු වෙරළේ සිට ගව්වක ප්‍රමාණයක් අත් හරින තෙක් මේ බල කොටුව උඩරට රාජධානිය සතු විය. ඉන්පසු ලන්දේසීන් ගේ යුධ මධ්‍යස්ථානයක්ව පැවත පැමිණ 1796 න් පසු මෙම බල කොටුව වැඩි දියුණු කරගත් ඉංග්‍රීසීන් නැගෙනහිර පළාතේ මර්මස්ථානය එය බවට පත් කරගත්හ. මෙම පේද්‍රික් බලකොටුවේ ඉහළ අන්තයේ පැරණි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව පැවති අතර බෞද්ධයන් එයට වන්දනාමාන කළහ. 1927 දී පමණ යලි මෙහි දේවාලයක් ගොඩ නැන්වෙන අතර  1964 වර්ෂයේ දී මෙහි පැවති ඉපැරණි බෝධින් වහන්සේ කෝවිල් කොමිටිය විසින් කපා දමා තිබේ. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයන් නැවත බෝධි රෝපණයක් කරලීමට සැරසුනද ත්‍රිකුණාමලයේ හිටපු දිසාපති වරයෙක් වන එම්.බී.සේනානායක මහතා විසින් එය වළක්වා තිබේ.

          1980 වර්ෂයේ දී ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට් කරන ලද්දේය. නමුත් 1987 න් පසු උපරිමයට පත් කොටි ත්‍රස්තවාදය හේතුවෙන් ත්‍රිකුණාමල නගරයේ බෞද්ධ බලය හීන විය. එසේම පුරාවිද්‍යා නිළධාරීන්ටද කලහැකි කිසිවක් නොවීය.මේ කලය තුළ බෞද්ධ නටබුන් තව තවත් විනාශ කරමින් කෝනේශ්වර කෝවිල වැඩි දියුණට පත් විට බෝධිය තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් දමා වේදිකාවක් තනා ඇති අතර විශාල ශිව පිළිමයක්ද සාදා ඇත. පුරාවස්තු ආඥපනතට අනුව  අවසර නොගෙනන කරන ලද ඉඳි කිරීම් සියල්ල නීති විරෝධීය.

 

 


  

   පසුගිය යහපාලන සමයේ මෙම ත්‍රිකුණාමලය දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ආකාරයට නැටවුණු නීතියක් සහිත කලාපයක් විය. කින්නියා ස්ථූපය සංරක්ෂණයට යන පුරාවිද්‍යා නිළධාරීන්ට තහනම් නියෝග ගැනීමද ගුරකන්ද විහාරයේ නාහිමියන් ගේ අදාහන ය සිදු කිරීමට විහාර භූමිය භාවිතා කීරීම තහනම් කරමින් උසාවි නියෝග ගැනීමද සිදුවන්නේ ඒ  සමයේ දිය.වෙඩිකිරිනා මලේ නොහොත් වඩ්ඩමාන පර්වතයේ ගල්ලෙන් වල කෝවිල් අටවනු වස් රංචු ගැසෙන්නේ එ සමයේ දීය.මුහුදු මහා විහාරයේ මායිම් කණු සිටවනු වස් යන පුරාවිද්‍යා නිළිධාරීන්ට මෙන්ම එහි වැඩ සිටින ස්වාමීන් වහන්සේට අඩන්තේට්ටම කරනුයේ එ සමයේ දීය. රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝග පනවමින් නැගෙනහිර පළාතේ ස්ථාන ගැසට් නොකරන ලෙස චක්‍රලේඛන එවන්නේ මේ කාලයේ දීය.ඉදින් සිංහල ජනතාව මේ ගැන කල්පනා කලහ. තුනෙන් දෙකක චන්දබලයක් ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කරනුයේ සිංහල ජාතියට සහ සම්බුද්ධ ශාසනයට කළ කෙනෙහිලිකම් ඉවසනු නොහැකිවමය.

         වර්තමාන රජය බලයට පත් වූ පසු ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වය නිසා පුරාවිද්‍යා කටයුතු සඳහා පත් කරන ලද නැගෙනහිර කර්ය සාධක බලකාය විසින් දියත් කරගෙනයන වැඩ පිළිවෙල වරින්වර අඩපණ විය.නමුත් දෙමළ ජාතිවාදීන් ගේ අභිප්‍රායන් නැවතී නැත. කොනේශ්වරම් කෝවිල කේන්ද්‍ර කොට ඊනියා ඊළාම් දේශයේ මහා පූජා ස්ථානය ගොඩ නැගීම ඔවුන් ගේ අරමුණයි. මේ කෝවිල වටා අද්භූත පුවත් පුබන්ධ නිර්මාණය කරමින් දෙමළ ජනතාව මුලා කරමින් මුදල් ගරා ගැනීම ඔවුන්ගේ බලාපොරෙත්තුවයි. ඒ සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ නවතම පියවර වන්නේ පැරණි ගෝකණ්න විහාර භූමියේ නොහොත් පේද්‍රික් බලකොටුව තිබූ පරිශ්‍රයේ නන්දි ගව රූපයක් තැන්පත් කිරීමයි. එය දැනටමත් ත්‍රිකූණාමලයට ගෙනවුත් තිබෙන අතර එය මෙම ස්ථානයේ ඇටවීම පිණිස ඔවුහු පුරාවිද්‍යා බලධාරීන් ගේ අවසර ඉල්ලා  ඇත. මේ සම්බන්ධව වාර්තාවක් සකස් කළ ත්‍රිකුණාමල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකරනුයේ  2020 /7/ 23 දාතමිනි. නමුත් 2020 /8/23 දාතම සහිතව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් එයට අවසර ලබා දී නොමැත. එහෙත් ඔවුහු දැන් උද්ඝෝෂණයන්හි නිරත වෙති . නිළධාරීන්ට බලපෑම් ඇති කරති.මේ සඳහා වන දේශපාලනයක්ද ක්‍රියාත්මකවන බව නිසැකය.රුවන් මැලි සෑ මලුවේ දිවුරුම් දුන් ජනපති වරයා ගේ වගකීම නම් ගෝකණ්න විහාරය පමණක් නොව උතුර සහ නැගෙනහිර සෑම බෞද්ධ සිද්ධස්ථානයකටම නිසි ආරක්ෂාව සලසා දී ඒවායේ අන්තවාදී ක්‍රියා ඉදිරියට යෑම වළක්වාලීමයි. එසේම ගෝකණ්න විහාරයේ පැරණි නටබුන් මුහුදු පත්ලෙන් ගොඩ ගෙන යලි තිබූ තැන්හි ස්ථාපිත කරමින් ඉතිහාසයට යලි පණදීමේ වගකීමක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇත.


No comments:

Post a Comment