පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, June 27, 2018

දෙමළ ජාතිවාදී කපුටන්ට ගොදුරක් වූ මන්නාරම් මිනී වල


                              

        කොටි ත්‍රස්තවාදයත් මනුෂ්‍ය ඝාතනත් ආරම්භ වූයේ යාපන නගරාධිපති වරයා වූ දොරේ අප්පා ඝාතනය කරමිනි.ඉන්පසු  1984 වර්ෂයේදී ඩොලර් ෆාම් වලට එල්ල කරන ලද ප්‍රහාරයකින් අහිසංක සිවිල් වැසියන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.එය පළමු සමූහ ඝාතනය විය.කොටි ත්‍රස්ත ප්‍රහාර වලින් වැඩිම පිරිසක් ඝාතනය වූයේ ශ්‍රී මහා බෝධිය වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙනි ඊට අමතරව කොටුව මධ්‍යම බස් නැවතුම් පොළ සහ කාත්තන් කුඩි වලදීද සියයකට අධික සංඛ්‍යාවක්  සිවිල් වැසියන් මරණයට පත් විය.දිගින් දිගටම කරන ලද මනුෂ්‍ය ඝාතන  වැලැක්වීම උදෙසා 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදාවන් විසින් කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කර රටේ සාමය උදාකරන ලදී.ඒ ප්‍රභාකරන් විසින් පුදුකුඩිඉරිප්පුවේ දී මිනිස් පළිහක් ලෙසට භාවිත කළ දෙමළ වැසියන් ද  වැඩි පිරිසක් බේරා ගනිමිනි.දැන් මේ වීරෝධාර හමුදාව අතින් දෙමළ වැසියන් අරභයා යුධ අපරාධ සිදු වූ බව ප්‍රකාශ කරමින් ජගත් තලයේ විශාල ගාල ගෝට්ටියක් දෙමළ ජාතිවාදීන් විසින් කරගෙන යනු ලැබේ. මේ කැණහිල් හඬට එකතුවුණු රනිල් සිරිසේන යහපාලන ආණ්ඩුව සිංහල හමුදවට විරුද්ධව තිබෙන යුධ අපරාධ චෝදනා පිළිගෙන ඇත. එපමණක් නොව දෙමළ ජනතාව 40000 ක් ඝාතනය කළ බවට ප්‍රකාශ කරමින් මේ ජාතිවාදීන් නගන අඳෝනාව තහවුරු කරමින් මේ පිරිස ගැන සෙවීමට අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක්ද පිහිටුවා තිබේ.ඔවුන්ගේ අළුත්ම තුරුම්පුව නම් මේ ඊනියා අපරාධ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් කොටි පවුල් වලට වන්දි ලබා ගැනීමයි. ඒ සඳහා ලක් රජයේම ඇමතිවරයෙකු වූ ස්වමිනාදන් මහතා පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරන ලදී.මෙයට සමගාමීව මෙකී ජතිවාදී කපුටන් ගේ අලුත්ම වෑයම නම් මන්නාරමෙන් මතුව තිබෙන සමූහ මිනී වලෙන් මතුව එන අපරාධය යුධ හමුදාවට බැර කිරීමට උත්සාහ දැරීමයි.
             මෙම මිනී වල සොයා ගන්නා ලද්දේ මන්නාරම උසාවිය අසල පිහිටි පැරණි ස.තො.ස. ගොඩනැගිල්ලක් කඩා පස් ඉවත් කිරීමේදීය.පසුව මන්නාරම් මහේස්ත්‍රත්වරයාගේ නියෝගය පරිදි වෝහාරික පුරා විද්‍යාව පිළිබඳ කීර්තිමත් පුරා විද්‍යඥයෙකු වූ මහචාර්ය රාජ් සෝමදේව මහතා වෙත මෙම මිනී වලේ කැණීම සහ ගවේශණය භාර කර තිබේ. මැයි 28 වන දින ආරම්භ වූ කැණීමට මේ වන විට දින  විසිඅටක් ගතව තිබේ.මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන පරිදි මෙම ඇට සැකිලි වර්ග කීපයකි. කැබලි කරන ලද පුද්ගල මළ සිරුරු අස්ථි කොටස් පමණක් දක්නට ඇති මළ සිරුරු සහ පූර්ණ වශයෙන් දක්නට තිබෙන මළ සිරුරු මේ කොටස් තනයි. මේ සියල්ලම ගැණ බැලූ විට මළ සිරුර තිහක් පමණ දැනට හඳුනා ගෙන ඇති බවද හෙළි වී ඇත. එසේම මළ සිරුරු දෙකක අත් වල පැළඳි සත්ව ඇට කටු වලින් තනන ලද මුදු දෙකක්ද වීදුරු පබළු කීපයක්ද ඕලන්ද සමයට අයත් භාජනයක කොටසක්ද මළ කෑ යකඩ කොටස් කීපයක්ද දැනට මතු කර ගෙන ඇති බව පැවසෙයි.  මෙම ඇට සැකිලි පිළිබඳ ස්ථීර නිගමනයක් දැනට නොපවතින අතර ඉදිරි සති දෙක තුළ මෙම ඇට සැකිලි ගොඩ ගෙන සුරක්ෂිතව තැන්පත් කර පුරාවිද්‍යාඥයන් ගේද සහාය ඇතිව කාල නිර්ණයකොට අවසාන වාර්තාවක් ලබා දීමට බලාපොරෙත්තු වන බව මෙම ස්ථානය භාරව සිටින මන්නාරම් අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.එම්.රාජපක්ෂ මහතා  පවසයි.
           අන්තර්ජාලයේ මෙන්ම දෙමළ පුවත් පත් වල ඉංග්‍රීසි පුවත් පත් වල පළව තිබූ වර්තා කියවා බැලූ කල්හි විද්‍යාඥයන් ගේ නිගමන වලටද කලියෙන්  දෙමළ ජාතිවාදීන් විසින් මේ මිනී වලේ වගකීම යුධහමුදාව වෙත භාර දී තිබෙන බව අපට පෙනී ගියේය. ඒ අනුව එම ස්ථානයට ගොස් ඒවා නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය විය.අපගේ නිරීක්ෂණයට අනුව මෙම ඇට සැකිලි වලින් පෙන්නුම් කරනුයේ කපා කොටා මරා දමා ඇති පුද්ගලයන්ය.කිසිම වෙඩි තැබීමක් මේ පුද්ගලයන්ට එල්ල කොට නැත. මෙම මළ සිරුරු අතර ස්ත්‍රීන් සහ පුරුෂයන් මෙන්ම කුඩා දරුවන්ද සිටින බව පෙනී යයි. ඇතැම් හිස් කබල් වල තිබෙන ළපටි බව අපගේ ඇස් මානයට හසු විණ. රත් පැහැයට හුරු ලබු ගෙඩි මෙන් දිස් වූ සමස්ත හිස් කබල් සියල්ලම තුළින් අපට දැනෙන සංවේගය කාහටත් පොදුවේ දැනෙනු ඇත. එහෙත් මෙම ස්ථානයට පැමිණි දෙමළ මාධ්‍ය වේදීන් ගේ උත්සාහය වූයේ හමුදාව විසින් මෙම ඝාතනයන් කළ බවට සාක්ෂි ඇත්දැයි විමසීමයි. ඒවා එක එල්ලේ අසන ලද ප්‍රශ්ණ නොවුවවද එහි සිටි ආගමික සහජීවනය පිළිබඳ රජ්‍ය නොවන සංවිධානයක මාධ්‍ය  අංශය විසින් අසන්නට යෙදුණු ප්‍රශ්ණ වලින් ඒ බැව් ගම්‍ය වුණි. මේ පුද්ගලයන් දිනපතා මෙහි පැමිණෙති. දියණු මාධ්‍ය උපකරණ භාවිතා කරමින් එම සැණින් අන්තර්ජාලය ඔස්සේ තම සංවිධාන මෙන්ම ද්‍රවිඩ මාධ්‍ය ආවරණය කරති. මේ අවස්ථාවේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට සමාගාමීව සිදු කරන සම්මන්ත්‍රණ වලට සහායක් වශයෙන් මේ ප්‍රකාශයන් කෙරෙන ආකාරය පැහැදිලි වෙයි.

           දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ සිටි දෙමළ ජාතිවාදීන්ගෙන් පෝෂණය ලත් දෙමළ තරුණයන් විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානය ආරම්භ කල පසුව ඉන් ගැලවී ගිය කීප දෙනෙකු විසින් ටෙලෝ ඊ.පී.ආර්.එල්.එෆ්. ඊ.පී.ඩී.පී. ප්ලොට් වැනි සංවිධාන පිහිටුවා ගත්හ.මේ සංවිධාන වල සියලුම කාඩරයන්ට අවි පුහුණව ලබා දෙන ලද්දේ දකුණ ඉන්දීය ප්‍ර දේශ වලදීය. ඉන්දීය රජයේ ඔත්තු සේවා වල සම්පූර්ණ ආශීර්වාදයෙන් සිදු වුණු මෙම කටයුත්ත තුළ පසු කලකදී මේ සංවිධාන එකිනෙක ඇණ කොටා ගත්හ.1986 මැය 07 වනදා ටෙලෝ සාමාජිකයන් 350 දෙනෙකු එල්.ටී.ටී.ය විසින් ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම තවත් උග්‍ර විය.මේ සංවිධාන සෘජුව හෝ වක්‍රව ඉන්දීය රහස් ඔත්තු සේවා විසින් නඩත්තු කරන ලද්දේ විය.ඊ.පී.ඩී.පී. වැනි සංවිධාන එක්සත් ජාතික පක්ෂය විසින් හදා වඩා ගත්තවුන් විය. කෙසේ වෙතත් අසූව දශකයේදී ප්ලොට් සංවිධානය සතු වධකාගාර 14ක වවුනියාව අවට තිබෙන බවට වාර්තා වූයේ ප්ලොට් නායකයෙකු වූ මාණික්කදාසන් ගේ ක්‍රියා කලාපය නිසාවෙනි. මේ සියළු දෙමළ සංවිධාන මුල් කාලයේදී කලේ වාර්ගික සංහාරයයි. ඔවුහු සිංහල ගම්මානයන්ට පැන ජනතාව කැති ගෑහ. මුස්ලිම් ගම්මාන වලට පැන ජනතාව කැති ගෑහ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ පසුව ඒ සංහාරය වේගවත් විය. සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු සහ නැගනෙහිර සහ මන්නාරම් ප්‍ර දේශ වලින් පලවා හරින ලදහ. මන්නාරම් ප්‍ර දේශයෙන් වාර්තා වන පළමු සමූහ ඝාතනය විල්පත්තුව අවටිනි. දෙවනුව මඩු පල්ලිය අසලිනි.මේ අය අතර කතෝලික වන්දනා කරුවන්ද විය. කොටි සංවිධනයේ  විවිධ කල්ලි විසින් මන්නාරමේ සිලාවතුර කොක්කු පඩයාන් මරිච්චකට්ටු මුරන්ක්න් වැනි තැන්වල පදිංචි ව සිටි සිංහල මුස්ලිම් අය වෙත භීතිය එල්ල කළහ.1981 ජන සංගණනය අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සිටි  සම්පූර්ණ සිංහල ජනගහනය අටදහස ඉක්මවයි. මන්නාරම් නගරයේ පමණක් පන්සිය පනස් හතක්ද මන්නාරම අවට පන්දහසක් පමණද සිංහලයන් ජීවත්ව සිට ඇත. වර්තමාන මාතොට රජ මහ විහාරය ඔවුන් ගේ ප්‍රධාන පූජ්‍ය ස්ථානයයි.මේ පිරිසෙන් වැඩි තරමක් එම ප්‍ර දේශ වලින් පළවා හරින ලදහ. ඇතැමෙක්  ආගිය අතක් නැත. මුස්ලිම් ජනතාවද මෙලෙසම පළවා හරින ලදහ.
    මන්නාරමේ සමූහ මිනිවල යයි කියැවෙන ස්ථානයෙහි ස.තො.ස. ගොඩනැගිල්ලක් පිහිටා තිබුණද කලින් කොටි සංවිධානයට සම්බන්ධ අතුරු සංවිධානයක කාර්යාලයකි. ප්‍ර දේශයේ ජනතාව පවසන පරිදි එහිද වධකාගාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. එසේ නම් මේ මතු වන්නේ කිනම් පිරිසකගේ යුධ අපරාධයන්දැයි ප්‍රශ්ණ කරන්නට අපට අවස්ථාව ලැබී තිබේ.  මෙම මිනී වලෙන් ලැබුණු ඕලන්ද සමයට අයත් භාජන කොටස් සහ වීදුරු පබළු වලින් සනාථ වන එක් සත්‍යක් ඇත.එනම් මෙම මිනී වල පිරවීම සඳහා වැලි හෝ පස් සපයා ගන්නට ඇත්තේ මාන්තායි වරාය අසල භූමියකින් බවයි.එසේ නම් මන්නාරම අවට සිටි සිංහල සහ මුස්ලිම් ජනගහනයත් ඔවුන් පදිංචිව සිටි ප්‍ර දේශත් පිළිබඳව සොයා බැලීම මේ පරීක්ෂණයට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සැලකෙන බවයි.  කාල නිර්ණයෙන්  පසු ඝාතන අවස්ථාව හඳුනාගත හැකි වුවද ඝාතනයට ලක් වූවන් කවුරුන්දැයි තේරුම් ගත හැක්කේ එවැනි සමාජ ගවේශණයකිනි.එම නිසා මෙම සමූහ මිනී වලෙන් මතුවන සත්‍යය තුළින් ජිනීවා පච වේදිකාව දෙදරිය හැකි බව අප පෙන්වා දිය යුතුය. එසේම මන්නාරම් වැනි ප්‍ර දේශ වල මිනී වලවල් හරන්නේ නම් තිරුකෝවිල් වල ඝාතනය වූ පොලිස් භටයන් ගැනද සෙවීමට අපට අවස්ථාව ලැබී ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මිනීවලවල් ගොඩගනිමින් ලක් වාසීන් ගේ සිත් පෑරීමට වඩා රටේ ජනතාවගේ සිත් සුවපත් කිරීමට රජය පැහැදිලිවම මැදිහත් විය යුතු බවයි. නියඟයෙන් ගං වතුරෙන් අන්ත දිළි ඳු කමින් පීඩාවට පත්ව සිටින රටේ සමස්ත ජනගහනයට තිබෙන ප්‍රශ්ණ මීනී වලවල් නොවේ.රජය තේරුම් ගත යුත්තේ එම සත්‍යයි.


No comments:

Post a Comment