පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, June 14, 2017

සිරිමා මැතිණියගේ දේශසීමා ගැටය මෝඩි ලිහයි ද

                                  


            ලංකාවත් ඉන්දියාවත් යා කිරීමට දුම්රිය මාර්ගයක්   ඉඳි කිරීමට 2007 වර්ෂයේ නිකුත් කරන ලද රජයේ භෞතික සැලැස්ම මගින් යෝජනා කර තිබේ. 2003 වර්ෂයේදී හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර් මහතා විසින් අත්සන් කරන ලද ආසියානු අධිවේග මර්ග පිළිබඳ ජගත් ගිවසුම අනුව මෙරට තැනෙන අධිවේග මාර්ග අවසාන වශයෙන් තලේ මන්නාරම හරහා ඉන්දියාවට සම්බන්ධ වෙයි. ගෝලීය ධනවාදයේ අඩුපඬු ආසියානු කලාපයේ සියලුම රටවල් හරහා දිගු කර ගැනීමට මේ සැලැස්ම බලවත් සේ උපකාරී වනු ඇත. මෙම ගිවිසුම් වලින් ලංකාවට අත්වන ප්‍රතිලාභ කෙසේ නමුත් ජගත් කෙළිබිමක් බවට ලංකාව පත් කිරීම එහි අවසාන අරමුණයි.වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සිය දේශපාලන හස්තය ලංකාවට දිගු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම් මගින් ඇති කළ පසුබිම ප්‍රයෝජනයට ගැනීමෙනි. ඉන්දියානු පුරවැසියනට නිදහසේ ලංකාවට පැමිණීමට හැකි පරිද්දෙන් සහ වතු දෙමළ ප්‍රජාව අතරට ඉන්දියානු දේශපාලනය රිංගා යෑවීම පිණිසද ඔවුන් ගේ මෙම සැලැස්ම දියත් වේ.
        ලංකාව ස්වාධීන රටකි. ප්‍රාග් එතිහාසික යුගයේදී ඉන්දියාවත් ලංකාවත් අතර තිබූ භූගෝලීය සබඳතාවය දැන් නැත. පැරණි දඹදිව ශාක්‍ය ජනපද වලින් පැමිණි කුමාරවරුන් විසින් ලංකාවේ රාජ්‍යත්වය සහ බලය අත්පත් කරගත් නමුත් ඉන්දියාවට පරිබාහිර වූ ස්වාධීන දේශපාලනයක් ගොඩ නගා ගැනීමට මෙරට ස්වදේශිකයන් දැක්වූ කැමැත්ත විශේෂ වෙයි.එම නිසා යුග ගණනක් ඉතිසාහස තුළ සිංහළයන් වශයෙන් විවිධ ඉන්දියානු ආක්‍රමණයන්ට එරෙහිව සිය ස්වාධීනත්වය උදෙසා සටන් වැදී තිබේ.පසුගිය සන්ධාන  රජය විසින් යෝජනා කරනු ලැබූ මේ භෞතික සැලැස්ම මගින් මේ ස්වාධීනත්වය අහිමි කිරීමට පිඹුරු පත් සාදා ඇත.රජයේ භෞතික සැලැසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ජේ.එම්.එල්. ජයසේකර මහතා  මෙම සැලැස්ම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි බව කියැවෙයි.වර්ෂ 2000 අංක 49 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පණතේ 5ඒ (බී) වගන්තිය අනුව ද එකී පණතෙහි 4බී(සී) වගන්තිය ප්‍රකාරවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාව විසින් 2011-01-03 දින මෙම සැලැස්ම අනුමත කර ඇත.  ඉන්දියාවත් ලංකාවත් යා කරනු ලබන පාළමක් සෑදීමට අවශ්‍ය පසුබිම මෙහි නිර්මාණය වෙයි. එවිට දේශසීමා සහ තම තම අනන්‍යතාවයන් ගෙන් යුක්ත අයිතිවාසිකම් භුක්ති විඳීමට සිදු වන්නේ එකිනෙකා කෙරෙහි බල පවත්වන බලය පාදක කොට ගෙනය.
       1974 වර්ෂයේ ජූනි මස 16 වන දින  ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි සිරිමා බණ්ඩාරනායක මහත්මියත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියත් දේශසීමා ගිවිසුමක් අත්සන් කළහ. මෙම ගිවිසුම 1974 වර්ෂයෙහි ජූනි මස 23 දින ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළහ. එය ඉදිරිපත් කරමින් සිරිමා මැති ණිය කළ කතාව මෙහිදී සිහිපත් කිරීම වටී. ඒ මන්ද ලංකාවේ ස්වාධීනත්වය උදෙසා ඉතා අසීරුවෙන් සහ කැපවීමෙන් කළ මෙහෙය අද දින බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති බැවිනි.සිරිමා මැතිණියගේ කතාවේ කොටස් කීපයක් මෙලෙසය.

     ගරු කතා කතානායක තුමනි. පෝක් සමුද්‍ර සන්ධියෙහි සිට ආදම්ගේ පාළම දක්වා ඇති මුහුදු තීරයේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර මුහුදු මායිම් සළකුණු කර ගැනීම සම්බන්ධයෙන් මා හා ඉන්දියානු අගමැතිණිය අතර ඇති කරගත් ගිවිසුම අද මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන මා ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ ගිවිසුම පසුගිය ජූනි මාසේ 16 වෙනිදා අත්සන් කිරීමෙන් පසුව අප දෙරටේ ආණ්ඩු විසින් ස්ථීර කර ඇති අතර එය ජූලි මස 8 වනදා සිට වලංගු වී ක්‍රියාත්මකව පවතිනවා. මේ ගිවිසුමෙන් අප රටත් අපේ අසල් වාසී රටත් අතර මුහුදු මායිම නිත්‍ය වශයෙන්ම සළකුණු වනවා පමණක් නොවෙයි. මේ ගිවිසුම නිසා අපේ රටත් ඉන්දියාවත් අතර සම්බන්ධතාවයන් පිළිබඳ අළුත් පරිඡෙදයක් ආරම්භ කරනවා. ඇත්ත වශයෙන්ම අපේ රටවල් දෙක අතර අනොන්‍ය සම්බන්ධතා පිළිබඳ ඉතිහාස ගතවන වැදගත් කරුණක් ලෙස මේ ගිවිසුම පිළිගත යුතු වෙනවා.
     රාජ්‍ය  සභා ගත කරන ලද ගිවිසුමෙහි වගන්ති අටක් අන්තර්ගතව ඇත.එයින් කීපයක මෙසේ සඳහන්ය.ශ්‍රී ලංකා ජන රජය සහ ඉන්දියානු සමූහආණ්ඩුව දෙපාර්ශවයටම සාධාරණ වූත් යුක්ති සහගත වූත් ආකාරයකින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික මුහුදු තීරයේ මායිම් නිශ්චය කිරීමේ සහ ඊට අදාළ කරුණු නිරාකරණය කිරීමේ අභිලාශයෙන් මුළු ප්‍රශ්ණයම සෑම අංශයකින් පරීක්ෂා කර ඒ පිළිබඳ ඓතිහාසික හා වෙනත් සාධක ද එහි නීතිමය මුහුණුවර ද සැලකිල්ලට ගැනීමෙන් පසු පහත සඳහන් පරිදි ගිවිස ගෙන ඇත්තාහ.
 1-පොක් සමුද්‍ර සන්ධියේ සිට ආදම් ගේ පාලම දක්වා වූ මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මායිම් පහත දක්වා ඇති අනු පිළිවෙල අනුව පහත සඳහන් අක්ෂාංශයන් හා දේෂාංශයෙන් නිරූපිත පිහිටීම් අතර වූ මහා වෘත්ත චාප වන්නේය.
2- 1 වන වගන්තියෙහි සඳහන් කර ඇති පිහිටීම්වල ඛණ්ඩාංක වන අතර ඒවා සම්බන්ධ කරන සෘජු රේඛා උභය ආණ්ඩු වල බලය ලත් මිනුම්දෝරුවන් විසින් පිළිවෙලින් අත්සන් කරනු ලැබ මීට අමුණා ඇති ප්‍රස්ථාරයෙහි පෙන්වා දී ඇත්තේය.
3 - ඉහත සඳහන් කරන ලද පිහිටීම් මුහුදෙහි හා මුහුදු පත්ලෙහි නියත වශයෙන්ම තිබිය යුතු තැන උභය ආණ්ඩු විසින් ඒ කාර්යය සඳහා පිළිවෙලින් බලය දෙනු ලබන මිනුම්දෝරුවන් විසින් එකඟ විය යුතු වන ක්‍රමයක් අනුව නිශ්චය කරනු ලැබේ.
4 - ඉහත සඳහන් මායිමෙන් තම පැත්තට අයත් වන මුහුදු තීරය දූපත් මහාද්වීපික තටාකය හා ඒවායෙහි යටිපස විශයෙහි පරමාධිපත්‍ය හා පරම අධිකරණ බලය හා පාලනය එක් එක් රට කෙරෙහි වන්නේය.
5 - ඉහත සඳහන් වගන්ති වලට යටත්ව ඉන්දියානු ධීවරයන්ට හා වන්දනා කරුවන්ට මින් පෙර මෙන් කච්චදූවට පිවිසීමට ඉඩ ලැබෙන අතර ඒ කාර්යයන් සඳහා ගමන් බලපත්‍ර හෝ වීසා බල පත්‍ර ලබා ගත යුතු යයි ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට නියම නොකරනු ඇත.
6 - එක් එක් රටට අයත් මුහුදු තීරයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ යාත්‍රා මෙතෙක් සාම්ප්‍රදායිකව භුක්ති විඳ ගෙන එමින් පැවති අයිති වාසිකම් ඉදිරියටත් බුක්ති විඳිනු ඇත.
     මෙම ගිවිසුමෙහි පවතින වැදගත්ම වගන්තිය වන්නේ සතරවන වගන්තියයි. එයන් ගම්‍ය වන්නේ එක් එක් රටවල ස්වාධීනත්වය දෙපාර්ශවය විසින් පිළිගෙන ඇති ආකාරයයි. එසේම ඉන්දියානු ධීවරයන් සහ ලංකාවේ ධීවරයන් සාම්ප්‍රදායිකව කුඩා යාත්‍රා මගින් දෙරටේ මුහුදු තීරයෙහි මසුන් මැරීමේ නිකුත්ව සිටියහ. එම කටයුතු මෙහිදී පිළිගෙන තිබේ.සිරිමා බණ්ඩාරනායක මැතිණිය අප රටට වාසි වන පරිද්දෙන් කච්චදූව පිළිබඳ ප්‍රශ්ණය ද මෙහිදී විසඳා ගෙන තිබේ.සාමාන්‍ය යෙන් අප රටට අයත් මුහුදු සීමාව තුළ තිබෙන ඛනිජ සම්පත් අති විශාලය එසේම දකුණු දිග මුහුදු තීරයෙහිද වපසරිය අති විශාල බැවින් ලංකාව රටක් වශයෙන් සිය ස්වාධීනතවයට මෙන්ම වත් පොහොසත් කමටද පසුබිම මෙම ගිවිසුමෙන් සකස් කර ගෙන ඇත. නමුත් අවාසනාවකට මෙන්ම සිරිමා මැතිණිය විසින් අවංකව රටට ඇති ලෙන්ගතු කමින් කළ මේ දූර්දර්ශී ක්‍රියාව බාල්දු කොට යටපත් කිරීමට පසුව පත්වූ ජේ.ආර්. ජයනර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට රටේ ස්වාධීනත්වය අහිමි කරගන්නට කටයුතු කර තිබේ. එසේම ලංකාවට වාසි දියක අයුරින් විසඳා ගන්නට තිබූ ඉන්දියානු පුරවැසියන් පිළිබඳ ගැටළුවද බල ලෝභය නිසා සම්පූර්ණයෙන්ම අවුල් කර තිබේ. වර්තමානය වන විට ලංකාව බෙලහීන රාජ්‍යයක් බවට පත් වී තිබෙන්නේ මේ හේතුවෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගු කලක් පැවති යුද්ධය නිමා කලා සේම සිරිමා මැතිණිය ගත් මග ගත්තේ නම් රටේ ස්වාධීනත්වය ට නව මාවතක් විවර කරගන්නට ඉඩ හසර තිබුණි. අවාසනාවකට ඔහු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ රීගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියයි. ඒ මත රජයේ භෞතික සැලසුම් සකස් ව තිබෙන බව පැහැදිලිය.නීතිමය තර්ක සහ සාධාරණත්වය අතින් ගත් කල්හි ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන පෙර ගවිසුම් වඩා බලවත්ය. එවිට ඉන්දු ලංකා ගිවිසුම අවලංගු වේ. එලෙසම ලංකාවේ ස්වාධීනත්වය අහිමි කරන එක්ටා වැනි ආර්ථික ගිවිසුම් වලටද පිවිසිය නොහැකිය.ඉන්දියාව ඉති ඉක්මනින් තව දුරටත් ලංකාවට අත පෙවීමට පළමුව මේ ගිවිසුම් වල ස්වභාවය පිළිබඳව පාර්ලිමේන්තු කතා බහක් ඇති විය යුතුය. සිය අතීත වැරදි අත් හැරීමට මහින්ද රාජපක්ෂ මහතා අවංකව කටයුතු කරන්නේ නම් ඔහු මත තිබෙන ජන බලය ඒ සඳහා යෙදවිය හැකිය.


5 comments:

  1. //සිරිමා මැතිණිය විසින් අවංකව රටට ඇති ලෙන්ගතු කමින් කළ මේ දූර්දර්ශී ක්‍රියාව බාල්දු කොට යටපත් කිරීමට පසුව පත්වූ ජේ.ආර්. ජයනර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට රටේ ස්වාධීනත්වය අහිමි කරගන්නට කටයුතු කර තිබේ//

    ඔබ ඉතා කාලීනා සහ අනර්ඝ මාතෘකාවක් ගැන ලියා තිබෙනවා. එහෙත් ඉහත වැකියෙන් වටිනාකම අඩුවී ඇති බව මඟේ හැඟීමයි. ඉන්දියාවේ බලපෑම් නොතකා කල වඩමරච්චි මෙහෙයුමෙන් පසු ඉන්දියාව දමිලයනේ 'කුස ගිනි නිවීමට' ලංකාව ආක්‍රමණය කිරීමට සූදානම් වූවා. එවන්නක් වුණානම් ඔවුන් ආපසු යනවිට සයිප්‍රසය බිහිවුණා වගේ තව රටක් බිහිවෙන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාවෙදී ප්‍රශ්ණය ඉන්දියාවේ ඇඟේ ගැසීමක් තමයි එම ගිවිසුමෙන් සිද්ධ වුණේ. මෙහිදී රටවල් දෙක එකඟ වූයේ අන් රටට විරුද්ධ දේවලට උදව් කිරීමෙන් වැලකීම. ඉන්දියාවේ ආරක්ෂාවට එය වැදගත්. ඒවගේම ඒක නිසා තමයි තමිල්නාඩුවේ කොටි පුහුණු කිරීම ඒ ගිවිසුමට අනුව නීති විරෝධී වුණේ. ගිවිසුමෙන් බලාපොරොත්තු නොවූ වාසි අත්වුණා. ප්‍රභාකරන් ඉන්දියානු හමුදා සමඟ යුද්ධයකට පැටලීමත් එහි ප්‍රතිඵලයක් ලෙස වූ රජිව් ගාන්ධි ඝාතනයත් තමයි මුළු බටහිරම එරෙහි වෙද්දී ඉන්දියාව සියළුම ජාත්‍යන්තර ආයතන වලදී ලංකාව ආරක්ෂා කරමින් යුද්ධය අවසන් වූ විදියට අවසන් කිරීමට ලෝක පසුබිම සකසා දුන්නේ.

    ReplyDelete
    Replies
    1. 1987 ගිවිසුමෙන් 1974 දේශ සීමා ගිවිසුමෙන් රට ලැබුණි දේවල් වලට හානියක් වූවා යැයි ඔබ කියනවනම් එසේ අවාසිය වූයේ 1987 ගිවිසුමෙ මොන වගන්ති වලින්ද සහ එසේ වූ අවාසිය කුමක්ද යන්න කියන්න.

      Delete
  2. සමහර කරුණු විවාදත්මකයි

    ReplyDelete