පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, May 17, 2017

උඩරට වතු කරය ගිනිතබන හනුමා කවුරුද

                                    

           ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ පැවැත්වූ ජගත් වෙසක් දින සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සාභාගි වූවා ඇරුණු කොට වෙනත් න්‍යාය පත්‍රයක් එහි නැතැයි ජනාධිපතිවරයා ඇතුළු රජයේ දේශපාලන අධිකාරිය පුන  පුනා පැවසූහ. නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙසක් දින සැමරුමට සමගාමීව ඉන්දීය අගමැතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය හෙළිදරව් විය. එයින් එක් ප්‍රධාන කාරණයක් වූයේ ත්‍රිමලයේ තෙල් ටංකි පිළිබඳ ගිවිසුමයි.කෙසේ වෙතත් නුවරඑළි දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් හි පැවැත්වූ දේශපාලන රැස්වීමක්ද නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා අමතනු දක්නට ලැබුණි.මෙම රැස්වීම සංවිධානය කරනු ලැබූයේ කවුරුදැයි පැහැදිලි නැති වුවත් ප්‍රචාරක දැන්වීම් වල ජනපති හා අගමැති දෙපළ ගේ චායාරූප සමග වතුකරයේ දේශපාලකයන් ගේ නම් ඇතුලත්ව තිබුණි.  රටේ උත්සවයකට ආරාධිත අමුත්තකු ලෙසට පැමිණි විදේශීය අගමැති වරයෙකු දේශපාලන රැස්වීමකට සාභාගිවීම ම ප්‍රශ්ණාර්තයකි.
          නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත වලපනේ කොත්මලේ සහ නුවරඑළිය මස්කෙළිය වශයෙන් මැතිවරණ ආසන කීපයකින් සමන්විතය. 1947 වර්ෂයේදී එහි පළමු මැතිවරණය පවත්වා තිබේ . ඉන්පසු 1977 වසර වන තෙක්ම නුවරඑළිය තනි මැති වරණ ආසනයක් විය. 1977 න් පසු නුවරඑළිය මස්කෙළිය නමින් බහුආසනයක් බවට පත් කළ පසු ගාමිනී දිසානායක අනුර බණ්ඩාරනායක මෙන්ම එස් .තොන්ඩමන් මහතා ද ජනතාව නියෝජනයට පත් විය. 1977 ට පෙර නුවර එළිය යනු වතු කාර සුද්දන් සහ වතු කරයේ දෙමළ කම්කරුවන් බහුතරය විසූ කලාපයක් විය. නුවර එළියට සිංහලයන් ගේ ආකර්ශනය සිදු වූයේ එහි පැවති වෙළෙදාමත් ඉන්පසුව සිදු වූ වානිජ වැවිලි ක්ෂේත්‍රයේ දියුණුවත් සමගින්ය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සිතියම ගත් කල්හි එය 1947 සිටම ඉහළ ධනපති පංතියේ දේශපාලනඥයන් ගේ පොරපිටියකි. මෙය පොදු ජනතාව අතරට මාරු වූයේ 1960 මැතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුත් රජයක් පත් වීමෙන් පසුවයි. එහිදී නුවරඑළියේ වතුකරයට මැකනික් වැඩට පැමිණි දකුණේ පුද්ගලයකු වූ ටී.විලියම් ප්‍රනාන්දු මහතා එම ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් විය. 1960 -65 කාලය තුළ නුවරඑළි ආසනය විශාල පරිවර්තනයකට ලක් විය.විලියම් ප්‍රනාන්දු මහතා ගේ මූලිකත්වයෙන් එහි පළමු සිංහල ජනපදය වූ ශාන්ති පුරය  බිහිවන්නේ බණ්ඩාරනායක මහතාගේ සහ මැතිණියගේ පූර්ණ ආශීර්වාදය සහිතවයි. සිරිමා රජය 1965 දී පරාජයට පත් වූ පසු විලියම් ප්‍රනාන්දු මහතාටද ආසනය අහිමි විය. නමුත් ඔහු 1970 නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබ සිය පළමු අභිලාශයන් ව්‍යාප්ත කරමින් නුවරඑළිය තුළ සිංහල ජනතාවගේ උරුමය තහවුරු කරවීය.ඒ පියවර මගින් මුඩුබිම් පණතෙන් ඉඩම් අහිමි වූ උඩරට සිංහලයන්ගේ අයිතිවාසිකම් යම් පමණකින් හෝ ස්ථාවර විය. 1960 දී නුවරඑළිය ආසනයේ තිබූ සමස්ත චන්ද දායක සංඛ්‍යාව දෙගුණයක් වන්නේ ඔහු විසින් පදිංචි කරන ලද සිංහල ජනතාව නිසාවෙනි. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නුවර එළි ආසනයේ වැඩි බලයක් හිමිව පැවතුණි.
        1977 වර්ෂයෙන් පසුව නුවර එළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බල කඳවුරක් බවට පත් කරවන ලදී. දිව්රුම් පෙත්සමට පවා වතු දෙමළ කම්කරුවන්ට පුරවැසි කම ප්‍රදානය කළ එක්සත් ජාතික පක්ෂය ලංකා කම්කරු කොන්ග්‍රසය මත සිය චන්ද පදනම ශක්තිමත් කරගන්නා ලදී.මේ නිසා කම්කරු කොන්ග්‍රසය සතු දෙමළ චන්ද  වෙන්දේසි කරමින් ජාතික දේශපාලනයට පවා අභියෝග කරන්නට තොන්ඩමන් මහතා සමත් විය. පසුව කම්කරු කොන්ග්‍රසයෙන් කැඩී ගිය තරුණ කොටස් කොටි සංවිධානය සමග සබඳතා පවත්වමින් 1999 දී පමණ කඳුරට ජනතා පෙරමුණ බිහිකළහ. වර්තමානය වන විට උඩරට වතු කරයේ මෙම දේශපාලන බලවේගය ඉදිරියට පැමිණ තිබේ. නමුත් ඔවුහු කණ්ඩායමක් ලෙසට දිගින් දිගටම අසාර්ථක විය. මෙම කරුණු නිසා කවදත් එ.ජාප. යට පිටින් යන බලවේගයකට නුවර එළිය දිස්ත්‍රික්කය ජය ගැනීම පහසු කරුණක් නොවීය. එම බල කඳවුර යම් තරමකින් දෙදරුම් කෑවේ 1994 සහ 1999 ජනාධිපතිවරණ වලදී චන්ද්‍රිකා මැතිණිය ලබා ගත් මනාප හේතු කොට ගෙනයි. විජය කුමරතුංග මහතාගේ ජනප්‍රියත්වයත් කොටි බෝම්බයෙන් ලද පීඩනයෙන් ලද ජනතා අනුකම්පාවත් නිසා චන්ද්‍රිකා මැතිණිය අනෙක් අය අභිබවා ඉදිරියට පැමිණියේය. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා රටේ ප්‍රධාන දේශපාලන චරිතය බවට පත් විය. මහින්ද රජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණ චන්දය ජයග්‍රහණය කරන කල්හි ඔහුට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වූයේ චන්ද 99550  ක් පමණකි. නමුත් ඔහුගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද 250428 ක් ලබා ගෙන තිබුණි. පසුව මහින්ද රාජපක්ෂ මහතා යුධ ජයග්‍රණයද ලබා ඔහුට ලබා ගත හැකි වූ චන්ද ප්‍රමාණය 2010 දී 151 604 ක් විය නමුත් ඔහුගේ ප්‍රතිවාදයා වූ සරත් ෆොන්සේකා මහතා චන්ද 180604 ක ගේ කැමැත්ත දිනා ගෙන තිබුණි. මහින්ද රජපක්ෂ මහාතා 2015 වසරේ පරාජයට පත් වන විට ඔහුගේ චන්ද ප්‍රමණය 145 339 දක්වා අඩුවී තිබුණි. නමුත් මෛත්‍රී පාල සිරිසේන මහතා චන්ද 272 600 ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිශතය වාර්තා කර ගෙන තිබුණි.
         සමස්ත නුවර එළිය දිස්ත්‍රික්කය තුළ වතුදෙමළ ජනගහනය 355830 කි.එයට ලංකා දෙමළ ජනතාවද එක්වූ කල්හි 401896 ක් දක්වා එය වර්ධනය වේ. නමුත් සිංහල ජනගහනය 282621 ක් පමණකි. වර්තමාන යහ පාලනය තේරුම් ගෙන තිබෙන්නේ මෙම යථාර්ථයයි.එම නිසා යහපාලන රජය පත්වූ පසු නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් ඇතිකර වතු දෙමළ ජනතාවට පමණක් ඉඩම් හා නිවාස පිරි නැමීමේ ජාතිවාදී ක්‍රියාදාමය දියත් කරන ලදී. සංහිඳියාව ගැන කුමන කතා කීවත් එක්සත් ජාතික පක්ෂය අන්ත දෙමළ ජාතිවාදී පිළිලයෙන් වෙලා ගෙන ඇත. ඔවුහු දෙමළ චන්ද කේවල් කිරීමේ සාර්ථකත්වවය මත 2020 ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරති.නරේන්ද්‍ර මෝඩි ලවා හැටන් දික්ඔය රෝහල විවෘත කරලීමට රැස්වීමක් යොදා ගත්තේ එම අභිලාශය ඉෂ්ට කර ගැනීමටයි.මස්කෙළිය ආසනයේ විශාල දෙමළ චන්ද ප්‍රමාණයක් තිබෙන බව එ.ජා.ප.යේ අය දනී. නමුත් මෙම කේවල් කිරීම නොසිතූ විරූ පැත්තකය දැන් හැරී ඇත. මෝඩි සිය අධිපතිවාදී චින්තනය යොදා ගනිමින් කඳුරට දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරන ලද්දේ රටින් බැහැර ඉන්දීය ඩයස්පෝරාවක් ලෙසට අර්ථ දක්වමිනි. එලෙසම දකුණු ඉන්දීය සංස්කෘතිය රකිමින් මෙතෙක් කලක් දිවි ගෙවීම සම්බන්ධයෙන්ද ඔහු සතුට පළ කර තිබේ.මෙයින් ගම්‍ය වනුයේ කඳුකර දෙමළ ජනතාව සිංහල සංස්කෘතියට ක්‍රමයෙන් අවශෝෂණය වීම වලක්වාලීමයි.මේ අභිලාශයන් පිටිපස කඳුරට ජනතා පෙරමුණේ පැරණි සාමාජිකයන් සිටිති. ඉදිරි කොටි නැගිටීමකදී ඔවුන්ට සහාය වන්නට සිටින්නේ මේ පිරිසය. මෝඩි බලා පොරොත්තු වන දෙකඩ වන ශ්‍රී ලංකාවක් උදෙසා මේ පිරිසගේ දායකත්වය ඉහළින් ලැබිය යුතුය. උතුරේ කොටින්ට උතව් කළ ගාන්ධිලා මෙන් මෝඩිද වතුකරයේ ගිනි අවුලවන්නට කැසකවයි. 
       ජගත් වෙසක් උත්සව සැමරුම් දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණ මෝඩ හමු වීම පරිණත දේශපාලන ක්‍රියාකාරිත්වයකට අයත් බව ඇතැමෙක් කියති. නමුත් මහින්ද වටා පෙළ ගැසී සිටින ජාතික බලවේගයන්හි ඇතැම් කොටස් මේ නිසා කළ කිරී තිබේ. මහින්ද රජය වැට්ටවීමට රෝ සංවිධානය හරහා කළ  මෙහෙයට නායකත්වය දෙනු ලැබූවේ නරේන්ද්‍ර මෝඩි  බව නිසැකය.එවැනි පුද්ගලයෙක් හමු වූයේ කුමකටදැයි බොහෝ අය ප්‍රශ්ණ කරති.පණහේ දශකයෙන් පසු සිංහල දේශපාලකයන් සියල්ල සිංහල ජනතාව රවට්ටමින් චන්ද වෙන්දේසියේ යෙදුණහ. පසුව දෙමළ සහ මුස්ලිම් චන්ද කේවල් කරමින් අවශ්‍ය දොල පිදේනි සපයමින් මේ ජුගුප්සාජනක කටයුත්තෙහි යෙදුණහ. වත්මන් පාලකයන්ද මේ කටයුතු  එළි පිටම කරන්නේ බහුතර සිංහල ජනතාව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. මහින්ද රජපක්ෂ මහතා මෝඩි අගමැති හමු වීම සහ කතාබහේ යෙදීම ප්‍රශ්ණයක් නොවේ. එහෙත් නරේන්ද්‍ර මෝඩි හැටන් හිදී කළ  බලහත්කාරකමට සහ ජාතිවාදය ඇවිස්සසීමට මහින්ද ඇතුළ පිරිස ගෙන් සවිමත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ලක්ෂ එකහාමාරකට ආසන්න සිංහල චන්ද ප්‍රමාණයක් නුවර එළි දිස්ත්‍රික්යෙන් මහින්දට හිමිය. මේ චන්ද පදනම වැඩි කරගතහොත් උඩරට වතු කරයේ දෙමළ ජාතිවාදයට හිස එසවීමට ඉඩ ප්‍රස්ථා නොලැබේ.එවැනි තත්වයක් යෝජනා කරනුයේ තවමත් සිංහලයන් ගේ වීරයා මහින්ද රාජපක්ෂ බව බහුතරය සිතා සිටින නිසාවෙනි. නමුත් කොළඹ දේශපාලනය සහ ජගත් දෙශපාලන අතර දෝලනය වෙමින්  මහින්ද කරන මේ සෙල්ලමින් අතරමංවන්නේ සැබවින්ම සිංහල ජනතාවයි.එහෙයින් දහසක් බලාපොරොත්තු මත ඔහු වටා රොද බැඳගත් සිංහල ජනතාව වෙනුවෙන් සිය වගකීම ඔහුට ඉටු කරන්නට ඉඩදී ජී.එල් පීරිස්ලා බැසිල් ජපක්ෂලා නිහඬ වනවානම් ඉතා අගනේය. එසේ නොවේ නම් සිංහලයන් නැවුම් නායකත්වයක් සොයා ගමන් කරනවා නිසැකය.

       

         

No comments:

Post a Comment