පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, September 15, 2013

දඹුලුත් ගොසින් සිත තුළ අභිමන් බැන්දා


                                       
             

      නිශ්ශංකමල්ල රජු ස්වර්ණගිරි ගුහා යයි නම් තැබූ රංගිරි දඹුලු රජ මහා විහාර ලෙන් සංකීර්ණය උයන්වත්ත පංසලට ඉහළින් දිස් වෙයි. බුලාගල පල්ලෙගම කිරිබණ්ඩා පොතුවිල නම් අව්‍යාජ ගැමියාගේ මං පුංචිකාලේ කෘතිය දොරට වැඩීමේ උත්සවයක් පසුගියදා මේ උයන්වත්ත රජමහා විහාර ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණ. දඹුලු පාර්ශවයේ මහනායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල මාහිමියන් මූලාසනයේ වැඩ සිටියහ. පේරාදෙණිය සරසවියේ මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ගේ හරබර දෙසුමක්ද විය.  අවසානයේ  මාතලේ දිශාවේ සිටින වයොවෘද්ධ අව්‍යාජ ගැමි සාහිත්‍ය කරුවන් හා මදක් සතුටු සාමිචියෙහි යෙදෙන්නට ද ඉඩප්‍රස්ථා ලැබුණි. මේ හමුවීම භාග්‍යකි. දනිමි හැඳින්නෙමි යයි කීවොත් නිවරදිය. ගමනේ ඵල ප්‍රයෝජනයක් තිබුණු බව සිතට දැනෙන්ට විය.

        දඹුලු ලෙන් විහාරයට තිබෙන රජ මාවත. මිට වසර එකසිය හැටපහකට ප්‍රථම1848 ජූලි 26 දින ගිරාණේගම ශ්‍රී ඉන්ද්‍රජෝති මහා නායක හිමියන් අතින් ගොංගාලේගොඩ බණ්ඩාට ඔටුණු පැලන්දවූයේ මෙම රජ මාවතට ප්‍රවිශ්ට වන ස්ථානයේ තිබෙන පෝය ගෙයි සිටයි.දැනට දඹලු ලෙන් සංකීරණයට උයන්වත්ත විහාර මාර්ගයේ නොව මේ ස්ථානය දැක බලා ගැනිමට දඹුලු පර්වතයේ බස්නාහිර පාර්ශවයේ තිබෙන වලගම්බා පිරිවෙන් භූමියට යායුතුය. මෙහි දැනට වැඩ වසන්නේ පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන්ය. ආවාස ගෙයට දකුණු දෙසින් පෝය ගෙයයි. එයට යාබදව ගල් ලෙනයි.මේ පෝය ගෙය දැනට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පිළිසකර කරගෙන යනු ලබයි. එදා බ්‍රිතාන්‍යයන් තමන්ගේ වතු වගාවට අවශ්‍ය මාර්ග තැනීමට  ධනය සොයා ගැනීමට බදු දෙතිසක් පැන වූයේය. මෙවායින් බලවත් සේ පීඩාවට පත් ජනතාව මේ සිද්දියනිසා කැරලි කෝලාහල ඇති කරගත්තේය. කොළඹින් පටන් ගත් උද්ඝෝෂණ පසුව උඩරටට පැතිර ගියේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිහළයන්ට කරන කෙණහිලිකම් වලට විරොධය පෑමටද මේ අවස්ථාව යොදාගත්තේය. මේ අවනඩුව මහා සංඝරත්නය වෙත සැළ කර සිටියේ ඉන් පසුවයි. භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පුරන් අප්පු හා ගොංගාලේගොඩබණ්ඩාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කැරැල්ල යි නම් තබා ඇති ජාතික විමුක්ති සටන ඇරඹෙන්නේ ඒ ලෙසිනි. එය සැබෑ ලෙසින්ම මාතලේ සිට නොව නාලන්දෙන් ආරම්භව දඹුල්ල කේන්ද්‍ර කරගෙන ශක්තිමත් වූ සටනක් විය.

        මහානායක හිමියන් සතු වූ සාම්ප්‍රදායික කාර්යය අනුව ගොංගාලේ ගොඩ බණ්ඩා රාජ අභිෂේකයට පත් කළ බව ගිරාණේගම ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන් පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ප්‍රකාශ කර සිටියේය.එය එකල අනුදත් පිලිවෙත විය. කෙසේ වෙතත් දඹුලුගල ට ප්‍රවිශ්ඨ වන රජ මාවත ඇරඹෙන්නේ ද මේ පෝයගෙය ආසන්නයෙනි. සමන් මල් පිරුණු ආරක්කුවක් යටින් වැටීතිබූ  ගල් පඩි පේළිය බෙහෙවින් හුදකලා වී ඇත.කිසිවෙකුත් ඒ මාර්ගය  තරණයට සූදානම් නොවන්නේ යයි සිතමි. උදෑසන අරුණැල්ල ගස් අතරින් එබී බලමින් පඩි පෙලේ ඇති කරන අව් සෙවණැලි පීඩා කාරී නැත. එදා රජ දරුවන් විසින් රෝපණය කරන ලද අරලිය කුසුම් උයන සිසාර පැතිර පවතියි. මෑත යුගයේ දී මේ දඹුලු විහාරය සොයා වන වැදි උල්පතේගම ශ්‍රී ඉන්ද්‍රජෝති උන්නාන්සේ නැවතී සිටි ගල් ගෙය පඩි පෙළ දිගේ මදක් පියමන් කරන විටදී හමුවෙයි. ඉතා දුෂ්කරව එහි දිවි ගෙවු උන්වහන්සේ නැවත දඹුලු විහාර සංඝ පරම්පරාව ආරම්භ කරන ලද්දේය.ඉතා සෙමින් සෙමින් උස්ව යන පඩිපේළිය කාලයකින් සුද්ද පවිත්‍ර කර නැත. පඩි පේළිය ඉස්මත්තේ තිබෙන කැලෑව ගල්පඩි ආක්‍රමණය කමින් සිටී. සංචාරකයන් විසින් භාවිතා කරන ලද හිස් වතුර බෝතල් සිය ගණනක් පර්වත බෑවුමේ කසල ගොඩට එක්කාසු වී පඩිපෙළ දෙසට පෙරළි ඇවිත් තිබේ.

      දඹුලු ලෙන්වලට ප්‍රවිශ්ට වීමට ආසන්නයේ ගලේ කපා ඇති පඩි කීපයකි. ඒ පඩි කැපූ බව කියා ලියා ඇති සෙල් ලිපි අටක්ද එක පෙළට දක්නට ලැබේ. ඒවා විවිධ යුග වලට අයත්ය. කූඨකණ්න අභය යුගයට අයත් එක් ලිපියක මේ පඩි පෙළ වල් කැපීම ගැන විස්තරාත්මකව ලියා ඇත. මෙහි ඇති ඇතැම් සෙල් ලිපි විනාශ මුඛයට යන්නට ඉඩහැර තිබීම ඛේදජනකය. මෑතකදී විහාරය ප්‍රතිසංස්කරණයට ගෙනා බදාම පහළට වීසි කරලිම නිසා මේ ලිපි වසා ගෙන සවි වී ඇත. රජ මාවත පාලුවට ගොස් ඇති බැවින් මේවා සොයා බලන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට අවශ්‍ය නැතිවා මෙන්ය.

          දඹුලු ගලේ පැරණි නාමය චාත පබ්බතය බව වලගම්බා පිරිවෙනට ප්‍රවිශ්ට වන මාර්ගයේ තිබෙන අනුරාධපුර යුගයට අයත් ස්ථුපය ආසන්නයේ ලෙනක පවතින සෙල් ලිපිය සාක්ෂි දරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් මේ පිළිබඳව දිග හරින ලද මතය කෙසේ වුවත් දේවානම්පියතිස්ස යුගයේ පටන් මේ ස්ථානය භික්ෂූන් වහන්සේලාට වාසස්ථානය ව ඇති බව සිතා ගත හැකිය.දඹලු පර්වතය වටා තිබෙන සෙල්ලිපි හතළිහකට අධික සංඛ්‍යාව ඊට සාක්ෂි දරයි. චාත පබ්බතයේ ශාන්ත රමණිය ස්වභාවය බවුන් වඩන රහතුන් වහන්සේලාට ඉතා ප්‍රියංකර විය. සසර දුකින් එතෙර වීමට වෙනත් මගක් නැත. බුදුන් වහන්සේ අනුදැන වදාළ මාර්ගයේ යායුතුමය. ඇතැම් අය සිතන පරිදි මේ විහාර ලෙන් මුල් කාලයේ අති දුෂ්කරව තිබෙන්නට නැත.  එයට හේතුව රාවණ යුගයේ පටන් දිග හැරෙන සභ්‍යත්වයක් මේ ප්‍රදේශය හරහා පැතිර ඇති නිසයි. නාඋල බිබිල ආසන්නයේ හමුවන යකඩ උදුන් ද ඉබ්බන්කටුව සුසාන භූමියද මීට සාක්ෂි සපයයි. ගල්ලෙන් වල කටාරම් කොටවා තමන්ගේ සනුහරේ තපස් වීන්ට  බවුන් වැඩීමට පූජා කල ලෙන් පසු කාලයේ දී වඩා දියුණුකර භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලද්දේය. අනුරාධපුර යුගයේ විවිධ රජවරුන් අතින් දඹුලු ලෙන් විහාරය පිළිසකර වන්නේ මේ පූජා සම්ප්‍රදාය නිසාය. නමුත් වට්ටගාමිණි අභය නොහොත් වලගම්බා එයට වෙනස්ය. ඔහු යක්ෂ රාක්ෂ ගෝත්‍රිකයින්ට සමීපය. සොමා දේවියගේ අභරණ නිදන් කොට දඹුලු ලෙනක දාගැබක් ද නිර්මාණය වන්නේය.දඹුල විහාර තුඩපතේ ද සඳහන් සැබෑ සෝමාවතී දාගෑබ කුමක් දැයි කිසිවෙක් අනාවරණය කරගත් හොත් මෙහි ඉතිහාසය අලුතෙන් ලිය වෙනවා නිසැකය.

         කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පිළිසකර කරන ලද  විහාර ත්‍රීත්වයට ප්‍රවිෂ්ට වූයෙමි. බලවත්වල සිල්වත් තැන විසින් නිර්මාණය කරන ලද මාර පරාජය මෙන්ම අනෝතත්තවිල සිත්තම් පදනම් කොට ගෙන ලංකාවේ සිතුවම් කලාව ගැන ලෝකයට කියන්නට කිසිවෙක් උනන්දු වී දැයි මට සැකයක් සිතේ. දඹුලු සිත්තර පරම්පරාවේ ජීවන් නයිදේ දක්වා මේ ඛේදවාචකය දිග ඇදී ඇවිදින් ඇත.. මේ සිත්තරුන් වානිජ වටිනාකම් පස්සේ හඹා ගිය වුන් නොවේ. බලවත්වල සිල්වත් තැන එකල තිබූ කුල සම්ප්‍රදාය අනුව  පැවිද්ද නොලැබුවද බුදුන් කෙරෙහි වූ අනන්ත ශ්‍රද්ධාවෙන් සකස්වුණු සිතුවිලි පරම්පරාවන් විසින් හැඩගැස්වුණු තෙලි තුඩකට පණ දෙන්නේ කුමන ආවේශයකින් දැයි කල්පනාවට ගත නොහැකිය. වර්තමානිකයින් මෙය දකින්නට වෑයම් නොකරති. එයට එක් හේතුවක් වන්නේ අපගේ සිල්වත් පරම්පරාවන් ගැන අධ්‍යනයට පාසල් තුල ඉඩකඩක නොමැති බැවිනි. දෙවැන්න දඹුලු විහාරය සංචාරකයන් ගේ ආකර්ශණයට පමණක් අද වෙන්ව තිබීමයි.පූජනීය වන්දනාවෙන් පසක් කර ගන්නා නිවීම කෙරෙහි සිංහල බෞද්ධයින්ට යොමු කරවීමට තිබෙන අවස්ථාව ඉන් ගිලිහීයන්නේ යයි කිව යුතුය.කෙසේ වෙතත් වසර එකසිය හැටපහකට ප්‍රථම සිංහලේ රාජාවලියට අභිෂේකය සැපයූ මේ පින්බිමේ නුදුටු තැන් දකින්නට වන්දනා කරුවන්ගේ සිත් නෙත් පහල වේවායයි කරන අදිටනින් යුතුව දඹුලු ලෙන් අතරින් නැවතත් රජ මාවතට පිවිසියෙමි. ලංකාවේ දිගම කන්ද කහල්ල රක්ෂිතය ඈතින් දර්ශණය වේ.  මේ තෙරක් නොපෙනෙන ඉම දඹුලු විහාරයට පූජාකරන්නට සිත් වූයේ කුමන් බලවේගයකින්ද. එය නැවත අවදි කරගැන්මට අපට තවමත් නොහැකිව ඇත්තේ ඇයිද යයි මොහොතකට කල්පනාවට නැගේ.

                                              
 

No comments:

Post a Comment