සුළඟට ලාලිත්‍ය දෙමින් වැඩෙන පඳුරු කුරහන්
අතර රෑන් ඇදී යමින් දිවෙන වට්ටක්කා වැළක
හැංගුණු නාඹර පුලුලුකුලකට තට්ටු කරන්නට නොකැමති ගොවියෙකු වන්නි කරයේ නැති
තරම්ය.බඩ ඉරුං ගස් මණ්ඩි ඔස්සේ දකින තියඹරා ගෙඩියක කැඳවුම ද ඒ තරමටම මිහිරිය. හේනේ
වනස්පති වෘක්ෂයේ මහ පැළට වී පාලුවේ සිටින්නෙකුට තමන්ගේ හේනේ සිරියාව විවිධාකාරයෙන්
අත් විඳිය හැක්කේ එලෙසය. පාලු නිකින්නියේ වල් බැදි කපමින් හෙලූ දහදිය ට මිහිමවගෙන්
ලැබෙන තෑග්ගක් බඳු හේන් භෝග හේඩාව එකින් එක අස්වනු දී සෙමින් සෙමින් තුනී වන විට
ගොවි ගෙදර අටුව සරි බර වෙයි. කුරහන් බඩ ඉරුං මෑ බටු මිරිස් තක්කාලි අසමෝදගම්
තම්පලා ආදී නොයෙකුත් භෝගයන්ට ක්ෂේම භුමියක්ව තිබූ හේන ඉන්පසු කැලෑවට යයි.මේ ළඳු
කැලෑවෙන් ද තිබ්බටු එළබටු පමණක් නොව නොයෙකුත් ඖෂධයන්ද ගැමියන්ට ලබා දෙන්නේ ස්වභාව
ධර්මයේ කරුණාව මෙතැකැයි කියමිනි.
මූකලන් හේන වල සිරියාවත් සමෘද්ධියත්
ගමෙන් ඉවතට ඇදී ගොසින් දැන් බොහෝකල්ය. හේන හේඩාව වෙනුවට ගමම හේ බා ගොසිනි.
සිදාදියේ අරුමෝසම් කෑම වලින් කඩපිල් පිරිලාය. වකුගඩු රෝගයෙන් ද පිළිකාවෙන්ද මැරෙන
ගම්මුන් ගේ විලාපය සුළං අතට හැරී හෝ හෝ ගා ගත් ගමන්ය.කුරහන් නැති රටට පැසිපික්
රම්බෝ වැනි දෙමුහුන් බඩ ඉරිඟු පැමිණිලාය. මේ බඩ ඉරිඟු වත්තේ මුරකරුවා වන්නේ රජරට
ගොවියයාය. කෘෂි රසායන ටැංකිය පිටේ බැඳ ගත් ගමන් සිටින මේ ගොවියාට ත් සෙක්කුවේ බැඳ
සිටින හරකාටත් නිදහසක් නම් නැත.
බ්‍රිතාන්‍යයන්
විසින්1840 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද මුඩුබිම් පණත් වල ප්‍රතිඵලයක් වශයෙන් හේන්
ගොවිතැනට අවශ්‍ය වූ මූකලාන් සහ කනතු සිංහලයින්ට අහිමි විය. ඒ ඉඩම් කෝපි වැවිල්ලට
යටකරන ලදී. වන්නිය හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් හේන් ගොවිතැනේ ශේෂ දක්නට ලැබුණි.
අනතුරුව ඉඩම් භුක්ති ක්‍රමයේ විකාශනය නිසාම ගොවීහු විනාශකාරී හේන් ගෙවිතැන් ක්‍රම
අනුගමනයට පටන් ගත්හ. ඉංග්‍රීසින් ඇතැම් විට මේ ක්‍රමය තහනමට ලක් කරනු ලැබූහ. එහෙත්
මාස් කන්නයට පමණක් වැසි ලැබෙන පළාත් වල වැසියන් තමන්ට ආයාසයකින් තොරව ලබා ගත හැකි
ධාන්‍ය වර්ග සඳහා හේන අත් නොහළහ.වී වගාවට ජලය නොලැබෙන කල්හි ගොවීහු හේන් වලට සංක්‍රමණය
වෙති. මාස් කන්නයේ වුවද නියන් ලකුණු දුටු කල්හි ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ හේන්
කෙටීමටයි. කුරහන් එහි ප්‍රධාන භෝගයයි.
හේන් ගොවිතැන අභාවයට යත්ම කුරහන් ගොවිතැන
ද අභාවයට ගියේය. වෙසෙසින්ම මහවැලි ව්‍යාපාර සංවර්ධනයත් සමග හේනට තහංචි පැනවුණි.
මෙම ආහාරයට තිබෙන ප්‍රිය මනාප භාවය නිසාම අතරින් පතර කුරහන් වගාව කළද ඒ සාම්ප්‍රදායික
ක්‍රමයට නොවේ. 1980 සිට 1994 දක්වා කුරහන් වගාවේ සංඛ්‍යා ලේඛන ගත හොත් මෙම වගාවේ
පරිහානිය තේරුම් ගත හැකිය. 1981 වර්ෂයේ දී හෙක්ටයාර් 19600 ක මෙම වගාව පැතිර
තිබුණි. 1982 දී එය හෙක්ටයාර් 20 400 විය. ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වී 1994 වන විට
එය හෙක්ටයාර් 7474 ක් දක්වා අඩුවුණි.2008
වර්ෂය වන විට මේ වගාව හෙක්ටයාර් 2000 කට පල්ලම් බැස ඇත. මේ නිසා දැන් වර්ෂ කීපයකම
සිට කුරහන් ඉන්දියාවෙන් මැලේසියාවෙන් සහ වියට්නාමයෙන් ගෙන්වති.
කුරහන් ශක්ති ජනක ආහාරයකි. ආහාරයක් වශයෙන්
එහි අඩංගු කැලරි ප්‍රමණයෙන් ඒ බැව් තේරුම් ගත හැකිය. මාංශ ජනක ධාතු කැල්සියම්
විටමින් බී වැනි පෝෂ්‍ය ගුණ එහි යහමින් අඩංගු වන බව නවීන පර්යේෂකයින් පෙන්වා
දී තිබේ.මහ මොර ගල් මොර කලු ගැටයා මෙන්ම නර මානෙල් නමින් තිබූ පැරණි සාම්ප්‍රදායික
කුරහන් වර්ග දැන් අභාවයට ගොසිනි. මාස් කන්නයට හේනට පිරිමහින ප්‍රධාන ගොවිතැනක් වූ
කුරහන් යල් කන්නයේ ද සරුවට වැඩුණි. කුරහන්
සකස් කරගන්නට නිවසක තිබූ කුරහන් ගල අපූරු උපකරනයකි. එහි අත් ගලේ මැද හිලට
දැමූ කුරහන් ඇට ඇඹරෙමින් ගල දෙපැත්තෙන් බිමට වැටෙන්නේ වන්නිකරයේ ගොවියාගේ අව්‍යාජ
සිනාව මතක් කර දෙමිනි. මේ කුරහන් පිටි ඉක්මනින් ආහාරයක් ලෙසට සකස් කර ගන්නට
ගෙවිලිය දනී. විග විගැහින් වතුර මුට්ටියක් ලිපේ තබන ඇය වතුර නටා ගෙන එන කල්හි ඉන්
වතුර භාගයක් පමණ වෙනත් බඳුනකට අයින් කර ගනී. අනතුරුව කුරහන් පිටි අවශ්‍ය පමණ
දමමින් පත්තෙන් පතු ගාන්නේ කවි දෙපදයක්ද කියමිනි.නටන උණු ජලයේ තිබෙන ගුප්ත තාපයෙන්
කුරහන් හොඳ හැටි තැම්බෙන අතර වෙන්කර ගත් වතුර මට්ටියේ උණු ජලය වරින් වර දැමීම නිසා
කුරහන් පිටි අහුර තලපයක් බවට පත් වී විශාල දොදොල් ගුලියක හැඩය ගනී. මේ තලපය
කටේ අලවා නොගෙන ගිලීමට සමත් හොද්දක් හෝ
ආනමක් දැන් අවශ්‍ය වේ. ඒ සඳහා කොල්ලු ආනම අගේට ගැලපේ. රටේ විවිධ පළාත්වලට එයට ගැලපී
යන ආනම් දකින්නට හැකිය. කෙසේ වෙතත් ගැඹුරු උණු දියේ තම්බන ලද මේ තලපය ඉතා ඉක්මනින්
දිරවන සුලු පොෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් බව
නොකියාම බැරිය.
මෝරන
උදරද ථූල පිලා ගෙඩි කැසි මුස වමනෙද මූල ගෙඩිත්
ජීරණ කර ඇඟ දිරවන කබරද ලාදුරු දස ගැට පරන්ගියත්
රෑ
කණ ඇඳිරිද මූල තිඹිරි දිය පසු උල්වාරම් ඇස් ගිලුමත්
කාරන
මේ සැම ලෙඩ වල් ගුණ වෙන උතුම් ගුලිය ඉන් නම කියවෙත්
කුරහන්
දියවැඩියාව සමනයට අගනා ආහරයක් යයි පැරණියන් අතර තිබූ මතය බිඳ හෙලන්නට දැන් වෛවාරන
නවීන මත ඉදිරිපත් කරන විට ආහාරයක් සකස් කර
ගන්නට නොදත් සමාජයක් නිතරම පැකිලේ. විචිකිච්චාවට පත් වේ. කුරහන් ගැඹුරු උණුදියේ
තම්බන්නට ඕනෑය කීවේ ඒ නිසයි. කුරහන් කැඳ මෝරු සමග බීම දියවැඩියා රෝගීන්ට පත්‍ය
ආහාරයකි. කුරහන් පිට්ටුවටද කෙට්ටුව මට්ටු කර ලිය හැකි බව පැරණි කවුරුත් දැන
සිටියහ. එයට ගැලපී යන හොද්දක් ඇඹුලක් ද තිබිය යුතුය. කුරහන් රොටිය ඉතා දුගී ආහාරයක් වුවද උණු අලු පල්ලේ දමා තම්බා
ගත් කුරහන් ගිනිපූ නමින් වූ සාම්ප්‍රදායික රොටිය රසවත් කමින්ද ගුණයෙන්ද ඉහළය. එයට
හාල් මැස්සන් රතු ලූණු කරපිංචා ආදිය එක් කර කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලක දමා
තම්බා ගැනීම නිසා ක්ෂණයකින් ලේ ධාතු ගත වන අගනා ශක්ති ජනක ආහාරයක් ලැබේ. සමහරක්
හේන් ගොවීන් හේනේ ගල් තලාවක් හොඳ හැටි පිරිසිඳු කර ඒ මත රොටිය වඩවා තබා දහවල් වන
තුරු වැඩ කර එතැනට යළිත් පැමිණෙන්නේ පදමට අව්වෙන් තැම්බී ඇති රොටිය ආහාරයට එක් කර
ගැනුමටයි.මේ සෑම ආහාරයක්ම තැනේ හැටියට වැඩයේ හැටියට පිරිමහින දේවල්ය. ශිත කාමර වල
සිටින දහදිය නොදක්වන හීල් වැඩ කරුවන්ට පෙර සඳහන් කළ කුරහන් තලපය තරම් අගනා ආහාරයක්
තවත් නැතිය. සෙම මේද වාත නසන එසේම බඩේ ආමය නිසි ලෙස සකස් කරන තව දුරටත් මුත්‍රා
ගල් දියකරවන කොල්ලු ආනමත් එක් වූ විට එයින් ඇති කරවන ප්‍රතිශක්තිය මෙන්ම රුධිර සීනි
සමබර තාවය විශිෂ්ඨය. මේ සියුම් තැන් නොදන්නා බටහිරයන් තම වියුක්ත දැනුමේ පිහිටා
සිටිමින් කුරහන් වලට අවමන් කරති. නමුත් සත්‍යය දන්නේ කුරහන් නිසා දිවි ගැට ගන්නා
රජරට ගොවියාම පමණකි. මී මල් පිපෙන කාලයට ඒවා අහුලා රේණු තලා වේලා කුරහන් පිටි සමග
එක් කර කිතුල් පැණි මුසු කර සාදා ගන්නා මී මල් හැලපය වාතය නසන මිහිරිතම අතුරු පසකි.කුරහන්
හේනේ හේඩාවට ගොවියා දෑත් එක් කර වඳින්නේ ඒ නිසයි.
No comments:
Post a Comment