උඩු නුවරත් යටිනුවරත් සිටින ගොවියන් මඩ සෝදා ගත් කළ රජකමටත් උචිතයයි රොබට් නොක්ස් එදා හෙළදිව නම් සිය දේශාටන වාර්තාවේ සඳහන් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාව ගැන නොවේ. ඒ ගම් පළාත් වල සිටි රදළ වරුන් ගැනයි. මේ ප්‍රදේශයේ එක් ගොවියෙකු සී සා මහන්සි වී සිය බිරින්දෑ ගෙනා ඇඹුල සප්පායම් වී මදක් ඇලවී සිටන විට සීනෙන් දුටුවේ සිය නගුල් කඳේ මීයක් බැඳ සිටින ආකාරයයි. මේ සිහිනය සැබෑ වී අප්පුවා රජවූයේ යයි ජනප්‍රවාදයක් පවති. කෙසේ වෙතත් සාමාන්‍ය ගොවියාට පවා මග පෙන්වා දී රට බත බුලතින් ස්වයංපෝෂිත කරවූවේ මෙවන් ගොවි රජවරුන්ය.
කුඹුරු ගොවිතැන ලෙහෙසි පහසු නැත. පූජාවලියේ මේ අසීරුව යස රඟට විග්‍රහ කර දී තිබේ. කෙසේ වෙතත් අව්වට වැස්සට පින්නට පීඩා ලබමින් බත සරි කර න්නට වෙහෙසෙන්නන්ට ශක්ති ජනක ආහාර අවශ්‍ය වේ. එසේම ඖෂධීය ආහාර ද අවශ්‍ය වේ. මේ සිරිත ලංකාවේ පළාතෙන් පළාතට වෙනස්ය. සීසාන දවසේ හීල සප්පායමට කිරිබත් කැවුම් ගෙනයන උඩරට වැසියන් මෙන් නොව වන්නියේ දී කුරහන් තලපයත් දඩමත් හොද්දත් බල වඩන ආහාරයන්ය. කමතට මුත්තෙට්ටුව ගෙනගිය ඔවුහු හීයට ඇඹුල ගෙන ගියහ. ඇඹුලට යස රඟට ගැලපෙන පොලොස් ඇඹුල පිරිමහින රසවත් ආහාරයක් විය. උම්බලකඩ කිරි හොද්දත් කැකුලු හාලේ බතුත් වට්ටක්කා මාලුවත් එක් වූ කල්හි ගොවියා රජ වන්නේ කුඹුරේ මයයි සිතේ. කලාගම් කෝරළයේ ගොවි ඇත්තන් මේ ඇඹුලට යොදා ගෙන ඇත්තේ අඟුණකොළ හෝ උඩත්තා පළා මැල්ලුමක් කැකිරි නියඹලාවක් සහ කිරි හොද්දක්ය. මේ හොද්දට මුරුංගා පොත්තක්ද මුහු කර ගැනීමට ඔවුහු වග බලා ගත් බව අප හිතවත් කේ.බී .මානෑව මහතා පවසයි. කෙසේ වෙතත් මුගුණ ගොටුකොළ වැනි පලාද පිළිහුඩු ද මේ මුත්තෙට්ටුවට හෝ ඇඹුලට ගෙන නොයාමට ගෙවිලියන් වග බලා ගත්හ. ඒ වප් මගුල මගුල් හීය කොළදිම ආදිය දවසටය.මේආහාර මගින් කුඹුරේ වැඩ කරන ගොවියාගේ වාතය පිත හා සෙම සමනය කළ අතර මුරුංගා පොත්තෙන් ජීවාණු නාශනයද සිදු විය.
එදා මෙන් නොව වර්තමානයේ ගොවිතැන කරන්නේ රජ වරුන් නොව බහු ජාතික සමාගම් වලට සහ වී මෝල් හිමියන්ට බැඳී සිටින කම්කරුවන්ය. එහිදී වස විස යොදා වැඩි අස්වනු පතා වියදම් කිරීම ගොවියන්ගේ සිරිතයි. පෙර ගොවිකම ජීවන රටා වක් ව තිබූ නමුත් අද එය රැකියාවක් පමණක් බවට පත්ව ඇත. දිනෙන් දිනම මේ ගොවිතැනද අතහැර නගරයට සංක්‍රමණය වන්නන් බහුලය. ඒ නිසාම උග්‍ර ශ්‍රම හිඟයක් මේ ගොවිතැන වටා අර්බුදයක් බවට පත් වෙමින් ඇත. ඒ මදිවාට වකුගඩු රෝග මී උණ ආදී රෝග නිසා බොහෝ ගොවි පවුල් පීඩාවටත් භීතියටත් පත්ව සිටිති. වර්ෂයකට කන්න දෙකක් තුල අවම වශයෙන් මාස දෙකක් වත් කුඹුරේ වැඩ කළ යුතුය. ඊට අමතරව එළවුලු කොරටුවලද හේන් වලද ගත කරන ගොවීන් සංඛ්‍යාව අති මහත්ය. මේ කාලය තුල දැඩි අව්වේ ගිනි මද්දහනේ කටයුතු කිරීමෙන්ද මඩේ ඉතා වෙහෙසකර අන්දමින් වැඩ කිරීමෙන්ද ඔවුහු පීඩාවට පත් වේ. මේ කාලය තුල ඇතැම් විට ඔවුහු රෝගී වෙත්. යල් කන්නයේ දී නම් සිංහල අවුරුද්දට ප්‍රථම සී සෑ යුතු යයි සම්මතයක් පැවතියේ සූර්යයා ලංකාවට මුදුන් වීමෙන් පසු අව්වට නිරාවරණය වන්නන් ඉතා ඉක්මනින් රෝගී වන නිසා විය හැකිය. කෙසේ වෙතත් උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟ පත රුදාව හමේ රතු බිබිලි ඇති වීම මේ කාලයේ දී සිදු වේ. ඒය කාහටත් පොදුය. වර්තමානයේ දී මී උණ නම් රෝගයක් සෞඛ්‍ය අංශ වලින් නම් කරලීම නිසා රෝහල් වලින් ප්‍රතිකාර ලත් සංඛ්‍යාව පිලිබඳව ජන මාධ්‍යයන් තුලින් අසන්නට හැකිය. බටු මීයා නියරවල ලැග සිටිම සාමාන්‍ය කාරණයකි. ඇත්තෙන්ම ගොවියා නියර කොටා නියර පිට දාන්නේ මීයා වඳ කිරීමට නොව කක්කුටු ගුල් වැසීමටයි. මේ මීයා ගෙන් එතරම් හානියක් ගොවියාට සිදු වන්නේ නැත. සිදු වූවත් කෙම් වලින් මීයන් ඈත් කර තැබීමට ඔවුහු වග බලා ගත්හ. නමුත් ඇතැම් කුඹුරු සහ වගුරු වල බැස වැඩ කිරීමෙන් පසුව උණ ගැනී ගොවීන් මිය යන වගක්ද අසන්නට ලැබී ඇත.
නවසිය තිහේ දශකයේ දී බෙලෙක් උණ නම් වසංගතයක් පැතිර ගියේය. බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවති යුගයක් බැවින් ගමක ඇති වන වසංගත රෝග ගැන අනිවාර්යයෙන්ම සැන්ටිපෝට් මහත්වරුන්ට දැන්විය යුතුවිය. මහජන සෞඛ්‍යය ඉංග්‍රීසි ආණ්ඩුවේ කාර්ය භාරයක් විය. නමුත් ඇතැම් ගම් වල වෙදමහත්වරු මේ නීති රීති නොතැකීය. ඔවුහු තමන්ට තිබෙන දැනුම අනුව යමින් ගම්මුන්ට වෙදකම් කොට සුවපත් කළහ. ඇතැම් විට මේ වෙදහෙදකම් නිලධාරීන්ට ආරංචි වූ විට මේ වෙද මහත්වරුන්ට නඩු පැවරූ අවස්ථාද විය. බෙලෙක් නම් වචනය (plague) නම් ඉංග්‍රීසි වදනින් බිඳී ආවකි. එය මහාමාරියට හෝ වසංගතය හැඳින්වීමට කියන්නකි.පසු කලකදී මී උණටද මේ වදන භාවිතා කර තිබේ. පණහේ දශකයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මේ රෝගය ආන්තික හා වගුරු කුඹුරු වල ඇති වන විස තත්වයකින් පැණ නගින්නකි. වර්තමානයේ දී එය වල් නාශක පරිහරණයෙන් ඇති වන විස තත්වය නිසා පැතිරෙන බවට ද විශ්වාස කළ හැකිය.
කෙසේ වෙතත් කුඹුරු වල බැස දවස පුරාවටම වෙහෙසෙන ගොවීන්ට ඇඟ පත රුදාව උණ තෙහෙට්ටුව ඇතිවීම ස්වභාවිකය. ඔහුගේ ශරීරයේ ප්‍රතිශක්තිය හොඳින් පැවතියහොත් ආගන්තුක විෂබීජ වලින් ආරක්ෂා වීම කළ හැකිය. පැරණි ගොවියා මේ අවස්ථාවලදී අත් බේත් කීපයක් භාවිතා කළහ. එයින් එකක් නම් තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු හා සුදු ලූණු වලින් සැකසෙන්නකි. මේ සියලු අඩු වැඩිය සම සමව ගෙන හොඳින් පිරිසිඳු කර මිරිස්ගලේ හෝ බෙහෙත් ගලේ දමා අඹරා ගන්නා අතර තුනපහ ගුලියක් මෙන් ගුලි කර ගනිති. එය අඹරන විට ලුණුකැට කීපයක්ද එක් කර ගැනීමට අමතක නොකරති.මෙම ගුලිය දින දෙක තුනක් නරක් නොවී කල් තබා ගත හැකි වන අතර තවා ගත් කෙසෙල් කොළයක ඔතා තැබීමෙන් එම තත්වය වැඩි දියුණු කළ හැකිය. වෙහෙස මහන්සි වී වැඩ නිම කර නිවසට පැමිණි පසු මේ ගුලියෙන් කොටසක් කඩා ගෙන නටන උණු වතුර කෝප්පයකට බහා වසා ටික වේලාවක් තබා පානය කරති. මුරුංගා පොතු ජීවාණු නාශක බලගතු ඖෂධයකි. ඒ මගින් ඇති වන ප්‍රතිශක්තිය බෙලෙක් උණට පමණක් නොව මී උණට අයත් විෂබිජද පලවා හරින්ට සමත්ය. තොටිල පොත්ත මේ සංයෝගයට එකතු වූ කල්හි මේ අවස්ථාවල ඇති වන බඩේ ආම ගතිය මග හැරීමට කටයුතු කරයි.එහි පවතින පිත්ත හා වාත සාමක ගුණයත් වේදනා හර ගුණයත් අමු ඉඟුරුද සුදු ලූණු ද එක් වීමෙන් වඩා ප්‍රභාමත් වේ. එම නිසා ඇඟපත වේදනාව පමණක් නොව ලේඩ රෝග වලට මූල හේතුවද ඉවත් කෙරේ. සමස්ත සංයෝගයම පැරසිටමෝල් වලට වඩා ප්‍රබලය. මීඋණ රෝගයට නියම කරන ඩොක්සිසයික්ලීන් නම් බටහිර ඖෂධයට වඩා පරිස්සම් සහගතය. අතුරු ආබාධ වලින් විනිර්මුක්තය. මෙම සංයෝගය ආහාරයක් වශයෙන් ගැනීමට අවශ්‍ය නම් හාතාවාරිය අල ද එක් කර හීනටි හාල් වලින් කැඳ සාදා බීම උතුම්ය.
කුඹුරේ වැඩ කරන විට යම්කිසි අයුරකින් සෙම් පිත් කෝපවී උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවුවහොත් කුප්පමේනිය කොළ ආඩතෝඩ කොළ ඔළිඳකොළ කුඹුරු දලු සම සමව ගෙන අමු ඉඟුරු හා සුදු ලූණු ද එක් කර කොටා එයට ඇඹුල් දොඩම්ගෙඩි භාගයක ඉස්මද මුහු කර කඩ පිම්මේ තම්බා ඉස්ම මිරිකා අඬු කෝප්පයකට පමණ සාදා ගෙන දෙවේලේට පානය කරති. මේ අත් බේතින් සෙම පමණක් නොව වාතයද පිතද සමනය වෙයි. කුඹුරු වැඩ නොමැති කාලයක වුවද මේ ඖෂධය ගැනීම යහපත් වෙයි. එය කුඩා දරුවන් ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන බෙහෙතක් ද බව මා හට කියා ඇත්තේ කරඬුපණ ජීවත්ව සිටි නිශ්ශංක ආරච්චිගේ අප්පුහාමි වෙදමහතාය. මීට වසර විස්සකට පමණ එපිට මේ ඖෂධ වට්ටෝරු මා අත පත් කළ ඔහු බෙහෙත් පමණක් නොව ගොවිතැනේ අපූරු පාඩම්ද මාහට කියා දුන් හැටි මතකයට නැගේ. මේ ලිපිය ඔහුටත් ඔහුගේ පුත් පුංචිබණ්ඩා නිශ්ශංක මහතාටත් ගෞරවයක් වශයෙන් සටහන් කරමි.
උබනම් දෙවියෙක් රටටම.තව තවත් දියුනුකරගන්න ස්ටාෆ් එකකුත් දාගෙන,ඩොනේට් කියලා ලින්ක් එකක් දාපන්
ReplyDeleteගමක් ගොඩක් වැනසෙන සැටි බලමින්න
ඇසක් කනක් අහුරුම් කල නිවටුන්න
දනත් බලත් වනසා උන් ගිනිලන්න
හිතැත් උබත් ඉතිකින් සහතික වන්න
----එස් මහින්ද හිමි----