මේ වන විට වන විට පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල හා කලාවැව යන විශාල වැව් සහ මධ්‍ය ප්‍රමාණයේ ග්‍රාමීය වැව් වල ධාරිතාව වැඩි කර ගැනීමේ වුවමනාවෙන් ඒවායේ තිබෙන පස් හා රොන් මඩ ඉවත් කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකව පවතී. ඒ අතර වැව් බැම්ම හා රළපනාව ශක්තිමත් කිරීමේ වේලි ආරක්ෂණ වැඩ සටහනක් ද ලෝක බැංකුවේ ප්‍රතිපාදන යටතේ වාරි මාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කර ඇත. වැව් හෑරීමේ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන තුන්දහසක මුදලක් යොදවා තිබෙන බව ද දැන ගන්නට තිබේ. වැව් ගැඹුරු කිරීමට හේතු වූ කරුණු ------- 2012 වර්ෂයේ යල කන්නයේ ලංකාවේ ඇති වූ නියඟය නිසා මධ්‍ය කඳුකරයේ වැසි ප්‍රමාණය බෙහෙවින්ම අඩු විය. මේ නිසා රජරට ප්‍රධාන වැව් වලට ජලය සපයන මහවැලි හැරවුම් පදධතියට අයත් අඹන් ගඟ ඇතුලු ජල මූලාශ්‍රයන් රාශියක් වියළි ගියේය. මහවැලි ජල හැරවුම් පද්ධතිය මගින් නිකුත් වන ජලයෙන් දැනට කියුබික් මීටර් දශලක්ෂ 683 ක් ඇළහැරටද අංග මැඩිල්ලට කියුබික් මීටර් දශලක්ෂ 333 ක්ද නිකුත් කෙරේ. වැසි වැටුණු විට ඇළ හැර ප්‍රදේශයට තවත් කියුබික් මීටර් දශලක්ෂ 1145 ක් ලබා ගත හැකිය. මේ ප්‍රමාණය පසුගිය නියන් සමයේ නොලැබී ගියේය. යෝජිත මොරගහ කන්ද ජලාශය ඉඳි කළ විට ඇළ හැරට නිකුත් කරන ජලය කියුබික් මීටර් දශ ලක්ෂ 603 දක්වා ද එකතු වන වැහි ජලය කියුබික් මීටර් දශ ලක්ෂ 661 දක්වා ද අඩු වේ. මේ තත්වය තුල ඇළ හැර ප්‍රදේශයෙන් උතුරා යන ජලය කියුබික් මීටර් දශලක්ෂ 462 සිට 59 දක්වා අඩු වේ. පොල්ගොල්ල වේල්ලෙන් අඹන් ගඟට හැරවෙන ජලය පාලනය කිරිමට ද ගිරිතලේ මින්නනේරිය වැව් පිරවීමට ඇළක් නිර්මානය කිරීමට ද අඹන් ගඟේ මොරගහ කන්ද ප්‍රදේශයේ ජලාශයක් තැනීමට යෝජනා තරන ලද්දේ 1948 -1968 දක්වා කරන ලද වර්ෂපතන දත්තයන් පදනම් කර ගෙනයි. මහවැලි ගඟ ඉහත්තාවේ තිබෙන්නේ කොත්මලේ ජලාශයයි. ඉන්පසු පොල්ගොල්ලෙන් හැරවෙන ජලය උමගකින් උකුවෙලට ගොස් ජල විදුලිය ලබා දී අඹන්ගඟේ අත්තක් වන සුදු ගඟට එක්වෙයි.ඉන්පසු බෝවතැන්න බෙදුම් ජලාශයෙන්වැටෙන් ජලය කලාඔය යාන් ඔය සහ අඹන් ගඟ යන නිම්න තුන පෝෂණය කිරීම සඳහා මුදා හැරේ. ලෙන දොර සිට සීගිරි වැව හරහා ගෙන යන ජලය හබරණ අසළ හිරි වඩුන්න වැවට වැටී හබරණ ඔය හරහා උතුරට ඇදී ගොස් යාන් ඔයේ තිබෙන හුරුලු වැවට වැටේ. බෝවතැන්නෙන් නැගෙනහිරට ගලන ජලය අඹන් ගඟ හරහා ගොස් ඇළහැර පැරණි අමුණෙන් හැරවී යෝධ ඇල දිගේ ගොස් එම ප්‍රදේශ පෝෂණය කොට ඉන්පසු ගිරිතලේ වැවටත් මින්නේරි වැවටත් දිය බෙදුමෙන් බෙදී යයි. මින්නේරියට එන ජලයෙන් කොටසක් මින්නේරි කන්තලේ යෝධ ඇළ ඔස්සේ කන්තලේ වැව යටතේ කුඹුරු පෝෂණය කරයි. තවත් කොටසක් කවුඩුල්ලට ගමන් ගනී. ඇළ හැර දී එක්වන ජලය ට අමතරව අඹන් ගඟ දිගේ ගොස් අංගමැඩිල්ලලේ දී පරණ අමුනෙන් පරාක්‍රම සමුද්‍රයටද එකතු වේ. මහවැලි ව්‍යාපාරයේ එක් යෝජනාවක් වූ මොරගහකන්ද ව්‍යාපතිය ආරම්භ කිරීමට ප්‍රථම මේ ප්‍රදේශයට වර්තමානයේ දී වැටෙන වැසි ගැන නිවරදි වාර්තාවක් විද්‍යාඥයින් විසින් රජයට ඉදිරිපත් කර තිබුණි. එම නිසා එම ව්‍යාපෘතිය එකල පටන් ගැනුණේ ද නැත. නමුත් පොළොන්නරු ප්‍රදේශයේ දේශපාලනඥයින් ගේ බලවත් වුවමනාව පිට වර්තමාන රජය විසින් එය නැවත ආරම්භ කරන ලද්දේ ප්‍රචාරයට පමණක් කොටි ගණනක් මුදලක් වියදම් කරමිනි. මොරගහකන්ද ව්‍යාපෘතිය තවමත් අවසන් කර නොමැති වුවත් මහවැලි මුල් සැලැස්මේ තිබෙන ජලය උතුරට හැරවීමේ ක්‍රියාවලිය පණ ගැන්වීමට ද මහවැලි අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ තත්වය තුල පොළොන්නරු දිශාවේ වැව් මහවැලි ජලයෙන් නිරන්තර ව පිරවීමේ අභියෝගයකටද මහුණ පා තිබේ.වැව් හෑරීමට පදනම් කර ගත් එක හේතුවක් වශයෙන් මෙය දැක්විය හැකිය.නමුත් වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාසයන් නිසා මහවැලි සැලසුම් සියල්ල නන්නත්තාර වී තිබෙන බවද කිව යුතුය. වැව් හෑරීමට පදනම් වූ අනෙක් කාරණය නම් පරාක්‍රම සමුද්‍රය කලා වැව තිස්ස මහාරාම වැව ගිරිතලේ වැව මින්නේරිය කන්තලේ ග්‍රෙගරි වැව නුවර වැව කන්දලම වැව වැනි මහා වැව් වලට සංචාරක ව්‍යාපාරයේ අවශ්‍ය තාවය සඳහා අහස් යාත්‍රා බැස්වීමේ වුවමනාවයි .මේ සඳහා දැනටමත් වැව්වල පැරණි රළපනා ගලවා වැව් බැමි ශක්තිමත් කරලීමට ගල් ඇතිරිම සිදු කරන අතර අහස් යාත්‍රා වලින් ගොඩ බට කල්හි බැම්මට ප්‍රවිශ්ඨ වීමට පඩි බැඳීම සිදු කර ඇත.නෑමට නුසුදුසු ස්ථාන වල පවා මේ පඩි බැඳ තිබෙන ආකාරය දක්නට හැකි බැවින් මේ කාරණය තවත් තහවුරු වේ.. මේ ක්‍රියාවලිය වැව් වල අනාගතය බරපතල විනාශකාරි ඉරණමකට ගොදුරු කරන බව කිව යුතුය.එය මෙසේය.
1/ අහස් යාත්‍රා වල ධාවන සීමාව තුල තිබෙන ගස් වැල් ඉවත් කිරිමට සිදු වීම. දැනටමත් එය ගිරිතලේ වැව ආසන්නයේ සිදු වේ. වැව් තාවල්ලේ ළඳු කැලෑ පවා මෙයින් ඉවත් කිරීමට යෝජිත විය හැකිය.මේ නිසා වැවේ පරිසර පද්ධතියට හානි ඇති වේ.
2/ අහස් යාත්‍රා බැස්සවීමේ දී ඇති වන දිය රළ පකුල නිසා ඉවුරු වලට හානි සිදු වේ. එය දීර්ඝ කාලීනව ඉවුරු ඛාදනය ඇති කරලීමට හේතු වනවා ඇත. වැව් බැම්මේ ගල් ඇතිරීමෙන් එය වළක්වා ගත නොහැකිය.
3/ අහස් යාත්‍රා වලින් නිකුත් වන අපද්‍රව්‍ය වැව් වලට එකතු වීම වළක්වා ගත නොහැකි කාරණයකි. එම දුව්‍ය මගින් අවට වායු ගෝලයද දූෂණය කරනු ඇත. මේ නිසා වැව අසල ජීවත් වන ජලජ ජීවීන් විනාශ වී යාමද වැවේ ජල දූෂණයට ද පදනම සකස් කරනු ඇත.
4/ විදේශීය රටවල ජලාශ සාමාන්‍යයෙන් පිටස්තර අයට විවෘත නොකෙරේ. එයට හේතුව ආරක්ෂක තත්වයයි. කොටි යුධ සමයේ දී වන්නියේ වැව් පුපුරුවා හැරීමට උත්සාහ කළ බව කවුරුත් දන්නා කරුණකි. මෙහිදී අපේ රටේ ප්‍රධාන වැව් විදේශකයින්ට විවෘත කිරීම ආරක්ෂක තත්වය පිළිබඳ බරපතල නොසලකා හැරිමකි. ඒ මගින් විදේශ වල සිට වුවද අහස් යාත්‍රා පැමිණ මේ වැව් පුපුරුවා හැරිමට ඉඩ පහසු කම් සැලසෙනවා ඇත.
වැව් හෑරිමට සහ ඒ අවට දියුණ කරලීමේ අනෙක් අරමුණ නම් වැව් තාවල්ලේ සහ බැම්මේ සංචාරක හොටල් නඩත්තු කරලීමයි. දැනටමත් ගිරිතලේ පරක්‍රම සමුද්‍රය වැනි වැව් වල මෙලෙස හෝටල් ඉඳි කර තිබේ. පරක්‍රම සමුද්‍රයේ එරමුදු වැව ආසන්නයේ එහි කලිඟු බැම්මේ ඉහත්තාවේ සකස් කර තිබූ පැරණි අරලිය හෝටලය වැවේ ගිල්ම දක්වා තවත් පුලුල් කර තිබේ. මේ නිසා වැව පිරුණු කල්හි හොටලයේ තණ තලාව ජලයෙන් යටවෙයි. මෙහිදී අදාළ හෝටලය හිමි කර ගෙන තිබෙන පුද්ගලයා විසින් ප්‍රදේශයේ වාරිමාර්ග බලධාරීන්ට දේශපාලන බලපෑම් ඇති කර ජලය අක්කර අඩි විසිදහසක් පමණ අඩුකර ලීමට ක්‍රියා කර තිබේ. පරාක්‍රම සමුද්‍රයේ වැව් ගිල්ම යටතේ තවත් හෝටලයක් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් දැනට ඉඳිකර ගෙන යමින් පවතී. ඒ අතර කලාවැවේ වැව් රක්ෂිතයේ ද තට්ටු හතරක හෝටලයක් අනුරාධපුර දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත් වීමෙන් ඉඳි කර තිබේ. එසේම එහි සාදා තිබෙන ධීවර ගම්මානය මගින්ද වැව රක්ෂිතයට හානි පමුණවා ඇත. මෙම හොටල් වල අපද්‍රව්‍යයන් සෘජුවම වැවට මුදා හැර තිබෙන අතර ඒ මගින් වැවේ ඇල්ගී ගහනය අනාගතයේ දී වැඩි විය හැකිය. ඒ නිසා පානීය ජලය ගැනීමට තිබෙන් බොහෝ වැව් විනාශ වී යා හැකිය. නෑමට පවා නොහැකි තත්වයක් අනාගතයේ දී උදාවිය හැකිය. ( කොළඹ බේරේ වැවේ තත්වය සැලකිල්ලට ගන්න )
වැව් හැරීමට වෙන් කර ඇති මුදල මැනීමක් කළ නොහැකිය. වැව් වල තැනින් තැන වල්වල් හාරා යට මැටි තට්ටුවටද හානි කර ඇත. මේ නිසා වැවේ ජලය රඳා සිටීමේ ශක්‍යතාය අඩු විය හැකිය. මේ පස් ගැනීම හා ගොඩ ඉඩම් පිරවීම සඳහා ප්‍රාදේශිය දේශපාලනඥයින් අතර තරඟයක් ඇති වී තිබෙනු දක්නට හැකිය.වැව් හෑරීමට පෙර නිවරදි ශක්‍යතා අධ්‍යනයක් කරලීමට නිළධාරීන්ට මෙහිදී ඉඩ දී නොමැති බව සඳහන් කළ යුතුය. වැව් හෑරිමට තිබෙන අනෙක් ඕනෑකම ගොඩ නැගී තිබෙන්නේ ජලය විකිණීමේ අවශ්‍යතාවයට පසුබිම සකස් කර ගැනීමටයි. ජගත් සංවිධාන වලට සම්බන්ධව සිටින නිළධාරීන් 1985 අංක 06 දරණ පණත යටතේ ජලය විකිණීමට උත්සාහ කළහ.මේ අය ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් මුදල් ලබා ගෙන අවශ්‍ය නීතිරිති සකස් කර ලීමට කැපවී සිටියහ.වර්තමාන වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය පැමිණෙන්නේ ද මේ සැලසුම් හරහාය. වාරිමාර්ග ජලයට මිළක් නියම කිරීම පානීය ජලය සඳහා මිළක් අය කිරිම මෙන්ම ජල පරිහරණයේ දී නීතිරීති සකස් කිරිම ද මෙයින් සිදු වේ. මේනිසා අනවසරයෙන් වැවකට බැසීම පවා දඩ ගැසුමකට ලක් වීමේ කාරණයක් විය හැකිය. එම දඩය රුපියල් විසිපන්දහසක් ලෙසට ද තක්සේරු කර ඇත. මෙහිදී වැවේ ධීවර ප්‍රජාව අවතැන් කරන අතර වැව සංචාරක හෝ සමාගම් වලට බදුදීම සිදු වනු ඇත. එහිදි ගොවීන් ධීවරයන් සමග මෙම ආයතන නිරන්තර ගැටුම්වලට යනු ඇත. මේ ගැටුම් නිරාකරණය කිරීමට ගැටුම් සමථ ආයතන පිහිටවීමට ද යෝජිතය.
වැව සහ එහි නිර්මිතය
ලංකාවේ වැව් නිර්මාණයව තිබෙන්නේ යුග ගණනාවක ඉතිහාසයේ මනුෂ්‍ය අවශ්‍යතාවයන් උදෙසාය. ලංකාවේ භූ විෂමතාවයන් මැනවින් සැලකිල්ලට ගෙන මෙම නිර්මාණයන් කර ඇති බව පෙනේ. අහස් වැවේ සිට මූකලාන් වැව දක්වාද එහි සිට කුලු වැව් දක්වාද පසුව ගම් වැව් හා නිවුන්වැව් දක්වාද විහිදී තිබෙන වැව් පද්ධතියක අවසාන ඉලක්කය මහා වැවයි. මෙලෙස විවිධ පරිසර පද්ධතීන් සමග සම්බන්ධ වන සේ වැව් සෑදීමේ අරමුණු රාශියක් තිබී ඇත. නිදසුනක් වශයෙන් අහස් වැව නොහොත් කඳු වැව නිර්මිත කර තිබෙන්නේ වර්ෂා ජලය ක්ෂණිකව මහ පොළවට බා ගැනීමටයි. වැහි කාලයට පොළවට ඉතා පහළින් ගමන් කරන වැහි වළාකුළු අහස් වැවේ තිබෙන ජලයට ආකර්ෂණය වේ. මේ සිද්ධාන්තය ක්‍රියාත්මකව තිබෙන වැව් කීපයක්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කඳු පන්ති වල තිබී පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.
අහස් වැවේ සිට මහ වැව දක්වා ජලය සංරක්ෂණය කරන වැව් පද්ධති ක්‍රමය එල්ලංගාව යනුවෙන් හඳුන්වා දී ඇත. මේ පද්ධති ක්‍රමයේ ප්‍රයෝජනයන් අති මහත් වේ. මහ වැව පිරවීමටද එහි තිබෙන ජලය දිගු කාලයක් භාවිතා කිරීමට ද මේ එල්ලංගාව අත්‍යාවශ්‍ය වේ. නමුත් පසු ගිය යටත් විජිත සමයේ දී මේ වැව් රාශියක් විනාශ වී තිබේ. නැතහොත් විනාශ කර තිබේ. හෑරීමට ලක් කෙරෙන පහත සඳහන් වැව් වල නිර්මිතයන් පරීක්ෂා කර බැලූ කල්හි මේ වැව් පද්ධති ක්‍රමය හා එහි වටිනාකම් අවබෝධකර ගත හැකිය.
මින්නේරිය වැව.----
ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට රජරට ප්‍රදේශයේ ඊශාන දිග නිම්නය දක්වා විහිදෙන භූ විෂමතාවක් සහිත විශේෂිත කඳු පන්තියක් ඇත. ඒවා සුදු කඳු යනුවෙන් පැරණියන් හඳුන්වති. පරාක්‍රම සමුද්‍රය මින්නෙරිය ගිරිතලේ මෙන්ම කවුඩුල්ල යන වැව් නිර්මිතව තිබෙන්නේ මෙම සුදු කඳු පන්තිය පදනම් කර ගෙනයි. මින්නේරිය නිර්මිතයේ දී එය මැනවින් භාවිතා කර ඇත. මේ නිසා වැවේ බැම්ම ඉතා ශක්තිමත් වන අතර ඒ මගින් විශාල ජල ධාරිතාවක් රඳා ගැන්මට අවකාශ ලැබී තිබේ. මින්නේරිය වැහිකාලයට පෝෂණය කරන්නේ බටු ඔයෙන් හා ඊරිගේ ඔයෙනි. නමුත් දීර්ඝ නියන් කාලයට මෙහි ජලය නොසිඳෙන ලෙසට ඇළහැර අමුණෙන් ජලය හරවා මෙයට ගෙන එන්නටද පැරණියන් සමත්ව ඇත. නමුත් ඇතැම් නියන් කාලවලදී කඳුකරයේ සිට ගලන මහා ජල ධාරාවන් පවා සිඳි යයි. මෙයට පිළියමක් වශයෙන් මින්නේරිය රක්ෂිතය ඉහළින් කුලු වැව් රාශියක් ඉඳි කර තිබේ. නිදසුනක් වශයෙන් ඕකුලුවැව රළපනා වැව අඹගස් වැව ඉහ කුලු වැව සහ කට කුලු වැව සඳහන් කළ හැකිය.මේ වායේ සොරොව් නැති අතර වැහි කාලයට ජලය රඳා පවතිමින් සෙමින් සෙමින් නිදහස් කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එසේම වර්ෂා කාලයේ දී ඇද හැලෙන ගං වතුරාව පාලනය කරමින් වැව වෙත ඇදෙන රොන් මඩ ද පාලනය කර ගැනීමේ හැකියාවක් ද මේ කුලු වැව් වලට පවතී.
පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ යන වැව්ද ජලයෙන් පිරී රඳා පවත්නේ මෙලෙසමයි. බාහිර ප්‍රභවයකින් ජලය රැගෙන ආවද අනෙක් කාලයට වැව පෝෂණය කිරිමට අවශ්‍ය පරිසර පද්ධතීන් මේ වැව වල පවතී. එසේම නුවර ගල් කන්ද මින්නේරිය කන්ද වැනි වන ගහනයන් තුලින් ද ඇළ හැර යෝධ ඇළ ද පොෂණය වේ. සෑම වැවකම කුලු වැව් දක්නට නැති අතර ඒ වෙනුවට රොන් මඩ පාලනය කර ගැනීමට යෝධ ඇලේ නැමි සකස් කර තිබේ. මේ නිසා වැහි කාලයට ඇලේ නැමි අතර රොන් මඩ තැන්පත් වන අතර නියන් කාලවලදී ඒවා පහසුවෙන් ඉවත් කළ හැකිය.( මේ පිළිබඳ වැඩි විස්තර උදුල බණ්ඩාර ඖෂධහාමි මහතාගේ වැව ග්‍රන්ථයෙන් ලබා ගත හැකිය. )
නවීන සංවර්ධනය නිසා වූ විනාශය -------
ලංකාවේ වැව කුමක්දැයි හරිහැටි හඳුනාගැනීමක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කර නැත. වාරිමාර්ග අංශයන් වැවේ නිර්මිතයන් දෙස බලා ඇත්තේ තවත් ඉඳි කිරීමක් දෙස බලන ආකාරයටයි. ඔවුන් විසින් පසු කාලයේ දී සකස් කරන ලද රාජංගන වැව වැනි වැව් නිර්මිත දෙස බලන කල්හි එය පැහැදිලි වේ. පැරණි සෙරොව් පවා ඉවත් කර ඇති අතර වැවේ මඩ ඉවත්කරන මඩ සොරොව් අතහැර දමා ඇත. එවැනි සොරොව් දෙකක් දැනට පරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව හා බූ වැව ආසන්නයේ ඇත.මහවැලි ව්‍යාපාරයේ දීද සිදු වූයේ කුඩා වැව් කපා දමමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් ගබඩා ජලාශ ලෙසට සකස් කරලීමේ ක්‍රියාදාමයයි. මේ නිසා නියන් කාලයේ දී වන සතුන්ට ගවයින්ට පවා බීමට ජලය පොදක් පවා ලබා ගැනීමේ අසීරු තත්වයක් ඇති වී තිබේ.මෙයින් අප තේරුම් ගත යුව තිබෙන්නේ විදේශ වල ක්‍රියාත්මක කළ සංවර්ධන ආකෘතීන් අන්ධානුකරණයෙන් ලංකාවේ සිදු කරලීමට ගොස් ඇති වී තිබෙන අන්ත අසරණ බාවයයි. එම වැරදි නිවරදි කර ගැනීමට නම් මහවැලි ව්‍යාපාරය හා වාරමාර්ග කේෂ්ත්‍රය පිළිබඳව නැවත සමාලෝචනයක් කොට රටට ගැලපෙන වාරිමාර්ග පිළිවෙතක් පැරණි සම්ප්‍රදාය අනුව සකස් කර යුතුයයි සිතමි. එහිදි තිබෙන එකම බාධකය වන්නේ මුදල් තණ්හාවෙන් විදේශ ආයතන මත යැපෙන නිළධාරීන් සහ කොමිස් කුට්ටි වලට වහවැටී සිටින දේශපාලනඥයින්ය. මේ බාධකය ජය ගැනීමට නොහැකි වුවහොත් වාරිමාර්ග බලධාරීන්ගේ ද විරෝධතා මත ක්‍රියාත්මක වන වැව් හෑරීමේ වැඩ පිළිවෙල නිසා මියෙම්වා රැකෙම්වා යයි සිතමින් සිත හදා ගැනීමට සිදු වනු ඇත.
No comments:
Post a Comment