පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, October 2, 2026

මහ බැංකු ගුල්ලා -විදී ගොවි බැංකු අල්ලා I M F බිල්ලා - සිටී පිටුපස සතුටු වෙල්ලා

 

                               

       ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් මේ වන විට වගා ආයෝජන සහිත ව්‍යාපාරික සමාගම් කීපයකම වත්කම් අත් හිටුවා තිබේ. මහා බැංකු පනත මගින් හෝ මුදල් ව්‍යාපාර පනත් මගින් මෙම ආයෝජන පිළිබඳ  නියාමනයක්  නොවීම මෙම අත්හිටුවීමට හේතු වශයෙන් දක්වා තිබේ.වැවිලි භෝග පළතුරු භෝග හෝ ධාන්‍ය භෝග මහා පරිමාණයෙන් වගා කිරීම උදෙසා ගොවීන් හවුල් කර ගැනීම අලුත් දෙයක් නොවේ.එසේම එම ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කොට ලාභයක් ලබා ගැනීමට දරණ උත්සාහයන් හි යම් කිසි නව්‍ය ලක්ෂණයන් දක්නට තිබෙන බව ප්‍රකට වෙයි.එහෙත් ඒ මගින් වින්දිතයන් නැතිනම් තම ආයෝජන නැති නාස්ති වී ගිය පුද්ගලයන් දක්නට නොවීම නිසා මෙම වත්කම් අත්හිටුවීම පීලිබඳ සමාජය ඉදිරියේ සංවාදයක් හටගෙන තිබේ. මහ බැංකු අධිපතිවරයා විසින් එල්ල කරන ලද එම ප්‍රහාරය කෙතරම් දුරකට සාධාරණද යන්න අප සළකා බැලිය යුතුය.මන්ද මහ පොළවට ආයෝජනය කිරීම අපේ රටේ ඉතිහාසයට ආවේණික සම්ප්‍රදායක් බැවිනි.එය වැරැද්දක් ලෙසට  නොව රටේ යහපතට යොදවා ගෙන තිබීම පිළිබඳ උදාහරණයන් රැසක් ඉදිරිපත් කළ හැකිය.

           මහ පොළවට ආයෝජනය කරනු ලබන්නේ නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියාය.ඒ ආයෝජනය නිසා ගොවියාට පොළියත් සමග අස්වැන්නක් ලැබේ.මිහි මව ඒ තරමට කාරුණිකය. කිසිදු ලෝභ කමක් නොමැතිව මහ පොළවේ දරුවන් පෝෂණය කරයි.මහ පොළවේ කොටස් කරුවන් ට බැංකුවක් ඇත. රජ රට පෙදෙසේ නම් එය වී බිස්සකි.කඳුකරයේ නම් අටුවකි.තෙත් කලාපයේ දී එය දුම මත්තේ තිබෙන බට පෙට්ටියකි. මේවා ධාන්‍ය බැංකු සහ බීජ බැංකු යනුවෙන් දෙකොටසකි. බීජ නැවත නැවත මහ පොළව වෙත ආයෝජනය වේ.ධාන්‍ය කොටසින් අවුරුද්ද පුරාවට ආහාර  ලබමින් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ද පෝෂණය කරති.සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය තුළ පැවති මෙම ජීවන පිළීවෙත රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා කෙසේ උපයෝගී වූයේ දැයි පහදන්නට තිබෙන හොඳම නිදසුන වවුනියා දිස්ත්‍රික්කයේ තිබෙන තෝනිගල ශිලා ලේඛනයයි.ගොවීන් විසින් සිය ධාන්‍ය තොගය  බැංකුවක තැන්පත් කර අස්වැන්න පොලී කොට වර්ෂය අවසානයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයේ දී අරියවංශ දේශනාව කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ සිරිත එහි සටහන් වී ඇත. එසේම රට පුරා පැවති ප්‍රධාන රාජ මහා විහාරයකම විශාල වී අටුවක් පැවතිණ.ගොවීහු කන්නය අවසානයේ මේ අටු පුරුවති.ශක්තිමත් දැව වලින් නිර්මිත මේ අටු වල වී මිටි 700 ක් 800 ක් තැන්පත් කළ හැකිය. කොත්මලේ පුසුල්පිටියේ දැනට ඉතිරිව තිබෙන මෙවන් අටුවක තැන්පත් කළ ධාන්‍ය සියල්ල විහාරයේ පෝෂණයට පමණක් යෙදී නැත. ඒවායින් උපයන පොළිය සඳහා රජු විසින් තඹ කාසි හෝ රන් කාසි අච්චු ගස්වන ලදහ.

     ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ අතීතයේ ග්‍රාමීය ආර්ථිකය සහ වෙළෙඳ පළ හැසිරවීම සදහා භාවිතා කළ එම ක්‍රමවේදයන් අද ඉතිහාසයට පමණක් සීමා වී තිබේ.රජවරු කාසි අච්චු ගසා සාර්ථකව විදේශ වෙළදාමේ යෙදුණු ආකාරය සාකච්ඡා කරන්නේ නැත.ගමේ වී බිස්සේ සිට විහාර අටුව සමග තිබෙන ආර්ථික හැකියාව ගණනය කිරීමක් නැත. කෘෂීකාර්මික රටක වර්තමානය වන විට දළ ජාතික නිෂ්පාදනය සියයට නවයක දායකත්වයකට සීමා වී ඇතැයි කියති.එය ද කෙප්පයකි.කෘතිම ගණනය කිරීමකි මෙයට හේතුව තිහේ දශකයේ සිට මෙරට පාලන අධිකාරීන් විසින් වැළඳ ගත් කේනේසියානු ආර්ථික මොඩලයයි.ඉන් අනතුරුව.මේ කාලයේ ලංකාවේ විදේශ මුදල වූයේ රන් පවුමයි. මහ බැංකුව සතුව තිබූ රන් සංචිත මගින් ආනයන අපනයන ආර්ථිකය හැසිරවීම සිදු විය.1944 ජූලි මස  දී අත්සන් කරන ලද බ්‍රෙටන්වුඩ් සම්මුතියෙන් පසු ලොව නොයෙකුත් රටවලට ඒ එකඟතා ආදේශ කිරීමේ පියවර ඇරඹිණ. ඒ අනුව 1950 දී මෙම එකඟතාවය ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එය 1950 අංක  20 දරණ ආඥා පනත යනුවෙන් හැඳින්විණ.මෙම පනත සම්මත වූවායින් පසුව මුදල් අමාත්‍යවරයා එහි බලධරයා බවට පත් විය. එහි 3(1) වගන්තිය අනුව රන්පවුම් වලින් සහ ලංකා රුපියල් වලින් ගනුදෙනු කිරිමේ හැකියාව මෙතෙක් ලැබුණද එහි පස් වන වගන්තිය අනුව රන් පවුම් සහ ඇමරිකානු ඩොලරයට මාරු වීම සඳහා අවකාශ ලබා දී තිබේ.  බ්‍රෙටන්වුඩ් සම්මේලනයේ දී ඇති කර ගත් එකඟතාවය අනුව අතීතයේ දී තඹ කාසියට සහ රන්කාසියට තිබුණු නෛසර්ගික වටිනාගකම අහෝසි කර තිබේ.ඒ වෙනුවට බ්‍රෙටන්වුඩ් එකඟතාවය මත ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තීරණය කිරීම සිදු වෙයි.මේ නිසා වෙළඳ පළ ආර්ථිකය ප්‍රසාරණය වී ඇත. ණය ගැනීම පුළුල් වී ඇත. ස්වයංපෝෂිත ආර්ථිකය හුදකලා වී තිබේ.දළ ජාතික නිෂ්පාදිතය බොරුවක් බවට පත් වී තිබේ.මහ බැංකුව හසුරුවන අධිපතීන්ට එය ප්‍රශ්ණයක් නොවේ.ඔවුහු අධික වැටුප් ලබමින් රටේ ආර්ථිකය සෘණ බවට පත් කරමින්  ලෝක බැංකු හාම්පුතුන් සතුටු කරති.         නූතනත්වය තුළ වෙළඳ පළ ආර්ථිකය ප්‍රසාරණය වන කල්හි දේශපාලන අධිකාරියද මහ බැංකුවද එහි එල්ලී අන්තවාදී ගමනක යෙදී සිටී.මහ බැංකු අධිපතිවරයා හෝ භාණ්ඩාරගාර ලේකම් වරයා සිය තීරණ දැනුම් දෙන්නේ යටත්විජිත ක්‍රමයේ ආර්ථික විද්‍යා ආභාෂයෙනි.ගොවියා සතු ඉඩම් ටික බහු ජාතික සමාගම් වලට විකුණා දමා එනම් මහ පොළව විකුණා දමා ණය ටික ගෙවීම ඔවුන්ගේ අභිමතයයි.ඒ වෙනුවට ගොවියා නගා සිටුවමින් ආර්ථිකයට දායක කර ගැනීමට  වුවමනාවක් නැත.නවසිය අනූව දශකයේ දී රජයක් වශයෙන් මේ පරස්පරය ජයගන්නට යම් සංකල්පයක් හඳුන්වාදෙනු ලැබිණ. එය හැඳින්වූයේ ගිවිසි ගොවිතැන යනුවෙනි.යම් කිසි භෝගයක් වගා කිරීම උදෙසා ගොවියා සමාගමක් සමග ගිවිස්නාවකට පැමිණෙයි.ඒ කාලයේ වගාවට අලුතින් එකතු වූ නොයෙකුත් භෝග මෙම ගිවිස්නාවට ඇතූළත් වූහ.ගොවියා ගේ අදායම නිශ්චිත වූ අතර සමාගම වෙළඳ පළ පංගුව දරමින් ඩොලර් ඉපයීම සිදු කළහ.යටත් විජිත වැවිලි ආර්ථික භෝගය වූ තේ සඳහා වුවද එදා සිටම සාර්ථක ගිවිස්නාවක් ඇත. එනම් සියයට හැට අටක් දළු හිමියාටද සියයට තිස් දෙකක් තේ නිෂ්පාදනය කරන්නාටද ලැබෙන ගිවිස්නාවයි. එය අදටත් ක්‍රියාත්මක වේ.

        ලංකාවට අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම සංකල්පය රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව භූමියේ වාසිය සලසා ගනිමින් මෑත දශක දෙක තුළ සාර්ථකව ක්‍රියාත්මක වී ඇත. අඩුපාඩු හඳුනාගනිමින් දුර්වලතා මග හැර ගනිමින් සමාගම් කීපයක් විසින් ඉදිරියට ගෙනැවිත් ඇත.මෑත කාලයේ දී සමාගම් කීපයක් TJC අඹ¸ කිලෝ පේර¸ අන්නාසි¸ ලෙමන් වැනි පළතුරු භෝග වගා කිරීම පීණිස ගොවින් සමග ගිවිසුමකට බැඳී සිටිති. එහිදී ගොවියා ද ජනතාව ද සමාගම වෙත යම් මුදලක් ආයෝජනය කරයි. ගොවීහු සමාගමේ කොටස් කරුවන් වෙති.ගොවියා භූමියේ කොටස සාර්ථකව ඉටු කරන අතර සමාගම වෙළෙඳ පලේ කොටසේ සිය වගකීම ඉටු කරයි.අනතුරුව ගොවියාට ද ආයෝජකයාට ද ඉසුරුමත් පොළයක් ලැබේ.දේශිය වෙළඳ පළ පමණක් නොව අපනයනය ඉලක්ක කොටද මේ නිෂ්පාදන ඉදිරියට ගොස් තිබේ.මෙය අතීත සාම්ප්‍රදායික ගොවි බැංකු ක්‍රමයේ නිර්මාණාත්මක නූතන ස්වරූපයයි.බ්‍රෙටන්වුඩ් එකඟතාවයන් මත ලෝක බැංකු  රාමුවක හිරවී සිටින රටේ ආර්ථිකය ඉන් ගලවා ප්‍රසාරණය කිරීම ද  කෘෂිකර්මයේ දායකත්වය පුළුල් කිරීම උදෙසා  ද සකස් කළ සාර්ථක සංකල්පයක් ලෙසට එය හඳුන්වා දිය හැකිය.. ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙම වැවිලි ව්‍යාපාර සංකල්පය ඉකා මැනවින් ක්‍රියාමක වන අතර ඒ රටවල තිබෙන  මහ බැංකු එම ව්‍යාපාර කඩාකප්පල් නොකරති.

        ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැටවෙන මහ බැංකුව රජයෙන් ස්වාධීන වුවත් ජාත්‍යන්තරයට බැඳී පවති.මහ බැංකු අධිපතිවරයා එහි වැඩ කළ පඩි ලැබූ පුද්ගලයෙකි. ඔහුට ස්වාධීනත්වයක් නැත. පුද්ගල වශයෙන් පමණක් නොව මතවාදීව ද ස්වාධිනත්වයක් නැත.පසුගිය දා සිනමන් ග්‍රෑන්ඩ් හි  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු දක්වා තිබූ දත්ත මෙහිදී වැදගත් වෙයි. 2024 දී කෘෂීකර්ම නිෂ්පාදන අපනයනයෙන් ලැබූ විදේශ විනිමය 2025 වන විට ප්‍රසාරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබුණි. එහෙත් එය කුමන අන්දමින් සිදු වුණි දැයි ඔහු පැහැදිලි කරන්නේ නැක. සැබවින්ම එය සිදු වන්නට ඇත්තේ වැවිලි ව්‍යාපාර ස්වාධීනව ඉදිරියට පැමිණීම නිසයි.  I M F   එකෙන් ණය රැගෙන ඔවුන්ගේ කොන්දේසි මත ඩොරලරයද එයට සාපේක්ෂකව රුපියල ද  පවත්වා ගෙන යෑම ඇරුණු කොට වෙන රාජකාරියක් මහ බැංකු අධිපතිවරයාට නැත. ලෝක බැංකුවේ න්‍යාය පත්‍රය අභිබවා  යන වැඩ පිළිවෙලක් එනම් ආර්ථික ව්‍යුහයක් ගොඩ නැගෙන විටම එය කඩාකප්පල් කිරීමට කලබල වන්නේ ඒ නිසයි. ගොවි ආයෝජන තහනම් කිරීම බරපතල කරුණකි. එක් අතකින් සිංහල ව්‍යාපාර කඩා වැට්ටවීමකි.කළ යුතු වන්නේ වැවිලි ව්‍යාපාර නියාමනයට කොමිසමක් හෝ අධිකාරියක් පිහිටුවීමට අණ පනත් ගෙන ඒමයි. ඒ මගින් ගොවි ආර්ථිකය ද වෙළඳ පළ පංගුවද ප්‍රසාරණය වනවා නිසැකය.එසේ නොමැති ප්‍රයත්නයන් සියල්ල  ආර්ථික ඝාතන ක්‍රියාවලියක් ලෙසට හඳුන්වා දිය හැකිය.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment