වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරභයා
මේ දිනවල රට තුළ විවෘත සංවාදයක් ඇතිව තිබේ. ඉතිහාසය විෂය සා.පෙ. විභාගයේ දී තෝරා ගත යුතු විෂයක් වශයෙන්
ඇතුළත් කිරීමට රජය තීරණය කිරීම ඊට හේතුවයි.ඉතිහාසය, භාෂාව ,ආගම මෙන්ම තාක්ෂණය අප උගත
යුත්තේ ඇයි ද යන්න පිළිබදව මූලිකව නිගමනයක් නොතිබීම මෙයට මූලික හේතුව යයැයි
කල්පනා කළ හැකිය. ලංකාව වැනි ඓතිහාසික ශිෂ්ඨාචරායක් හිමි රටක් ඉදිරියට පැමිණ ඇත්තේ
තමන්ගේ අනන්‍යතාවය මතින් බැවින් තවදුරටත් නූතනත්වය ඔස්සේ වර්ධනය වන්නට නම් අතීත
පදනම් මත නැගී සිටිය යුතු බව පැහැදිලිය.ඊට අමතරව ධ්‍යාපනය සහ අධ්‍යාපනය අතර තිබෙන
වෙනස තේරුම් ගනිමින් ඓතිහාසික වශයෙන් බුදු දහමෙන් පෝෂණය වූ ශික්ෂණ රටාවක් ප්‍රගුණ
කිරීමේ වැදගත් කමද මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. නමුත් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
සිදු කරනුයේ ඒ අරමුණින් නොවේ. විදෙස් අරමුදලකින් ලබා ගන්නා මුදල් මත ඒ අය යෝජනා
කරන ධාරාවන් අච්චු ලෙසට ගෙන එබ්බවීම මෙහි හැටියයි.ඒ නිසා ඉතිහාසය විශය හෑල්ලු
කිරීම පමණක් නොව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පීලිබඳව ද මෙහිදී යම් සංවාදයක් රට
තුළ ඇති විය යුතු බව පැහැදිලිය.
මෙරට පැරණි අධ්‍යාපනය සකස් වූයේ
විහාරස්ථාන ආශ්‍රයෙනි.පිරිවෙන මගින් උසස් අධ්‍යාපනය ලබා දෙන ලදී. අකුරු ශාස්ත්‍රය
හැදෑරීම මෙහි මූලික පියවරයි. වැලි පිල්ලේ අකුරු ලියැවීම පුරාණ ක්‍රමය විය. එහිදී
ඇඟිලි තුඩු වලට දැනෙන තෙරපීම ක්ෂණිකව පණිවුඩයක් ලෙසට මොලේ කරා යයි. මතක ශක්තිය, මතකය ගබඩා වීම ආදී කරුණු නිසා අධ්‍යත්මිකව
පුද්ගලයෙකු සතු ප්‍රාගුණ්‍ය එහිදී හොඳින් ප්‍රකට කරවන බව දැක්විය යුතුය. අකුරු
ඉගෙන ගත් දරුවා පොත් වන පොත් කරන අතර ඒ තුළින් ක්‍රමයෙන් භාෂාව, ව්‍යාකරණ, ඉතිහාසය ඉගෙනීමට පටන් ගනී.පංසලේ අකුරු කරවන
දරුවා නිවසට ගිය පසු සිය සාම්ප්‍රදායික ජීවන රටාව අනුව තවදුරටත් උගෙන ගන්නට වෑයම්
කරයි. විශේෂයෙන්ම ගොවිතැන පීළිබඳව එදිනෙදා ශිල්ප ක්‍රියාකාරකම් විශේෂ තාක්ෂණ
පරිචයන් පිළිබඳව දරුවාට දැනෙන්නට පටන් ගනී. ඒ පුද්ගලයා ඒ අතර ජීවත් වන බැවින් ඒ
ඉගෙනීම ආගන්තුක නැත. නීරසද නැත.වැඩිහිටියෙකු බවට පත් වන කල්හි පංසලෙන් ලැබූ
දැනුමත් සමාජයෙන් ගොවිපලෙන් ගමෙන් ලැබූ දැනුමත් එකතු කරගෙන පොත් පත්ද කියවමින්
පරිණත වැඩි හිටියෙකු බවට පත් වෙයි.මේ අධ්‍යාපනය එකල ජන ජීවිතයට ප්‍රමාණවත් විය.
බ්‍රිතාන්‍ය
පාලනයට රට පවරා දෙන කල්හි පිරිවෙන් හය දහසක් පමණ පැවති බව ප්‍රකාශ වේ.එසේම
විහාරස්ථාන ආහ්‍රිතව තිබෙන ශාස්ත්‍ර ශාලා විශාල ගණනකි. පැවති දේශීය අධ්‍යාපනය ක්‍රමය ඉංග්‍රීසීන්ට හිසරදයක්
විය. එම නිසා මිෂනාරි පාසල් ආරම්භ කිරීම පිණිස කොලඹ සහ යාපනය තෝරා ගැනුණි. යාපනය
ඇමරිකානු මිෂ්නාරීන්ට භාර දුන් අතර දකුණ අනෙකුත් ක්‍රිස්තියානි නිකායන් වෙත ලබා
දුන්හ. මෙම මිෂනාරි පාසල් වල අනුගමනය කරනු ලැබූයේ බ්‍රිතාන්‍ය සම්මත අධ්‍යාපන ක්‍රමවේදයයි.ඒ
මගින් ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතී සේවකයෙකු බිහි කරගැනීම අභිප්‍රාය විය. එය සාර්ථක
විය.මේ අතර පිරිවෙන් පාසල් වල ක්‍රමානුකූල බිඳි වැටීම සමගම විශේෂයෙන් 1818 සහ 1848 විමුක්ති අරගල වලින් පසුව භික්ෂූන්
වහන්සේලාට ශක්තිමත්ව නැගී සිටින්නට හැකි වූයේ ධනවත් වයාපාරිකයන්ගේ
සහයෝගයෙනි.විශේෂයෙන්ම දකුණේ දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ දී 1864 දී සරස්වතී මණ්ඩප
පිරිවෙන ආරම්භ කරමින් විහාල ආගමික හා ශාස්ත්‍රීය ප්‍ර බෝධයක් ජනිත විය. රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන
මගින් ද මේ කාර්යය වඩාත් පුළූල්ව ඉටු කරන ලදී.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1869 දී
පළමු බෞද්ධ පාඨ ශාලාව දොඩන්දූවේ දී බිහි විය.එම පාඨ ශාලාව ජින ලබ්ධි විශෝධක පාසල
යනුවෙන් නම් විය. ඒ අගනා කර්තව්‍ය ආරම්භ කරන ලද්දේ දොඩන්දූවේ පියරත්න තිස්ස
නාහිමියන් විසිනි.
පියරත්න තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය
සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය. අකුරු ශස්ත්‍රය ඇරුණු කොට උන්වහන්සේගේ
විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන
පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත් තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත්
සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත් පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත්
ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම් ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත්
ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන
කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති
ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර
තර තිබුණි. ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම
විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය
හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි
කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ
පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක්
කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට
සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට
පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින් එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.
දොඩන්දූවේ පාසලත් සමග පාණදුර උපාධ්‍යයා
පාසලත් අනතුරුව 1881 න් පසු ඔල්කට් තුමාගේ මෙහෙයවීම මත පරම විඥානාර්ථ පාසල් රැසක්
රට පුරා ඇති විය.1868 දී ආධාර ලබන පාසල් ලියාපදිංචිය ඇරඹීම මෙම ක්‍රියාවලියට හේතු
විය. මෙහීදී මිෂනාරි පාසල් අනුගමනය කරන අධ්‍යාපන ක්‍රමවේදයට නිතැතින්ම මේ පාසල්
වලට හුමමාරු වීම සිදු විය.මුල් කාලයේ දී දරුවාට ලබා දුන් බෞද්ධ අධ්‍යාපනය ක්‍රමානුකූලව
වෙනස් වී රජය අනුමත ක්‍රම වේදයකට පරිවර්තනය
විය. කෙසේ වෙතත් ඉතිහාසය, භූගෝලය ,සෞඛ්‍ය ආදී වැදගත් විෂයයන් එහිදී ඉගැන්වීම
අගය කළ යුතුය.මහාවංශය, දීප වංශය, පූජාවලිය, රාජාවලිය ,බෝධිවංශය, ථූප වංශය පදනම් කරගෙන ඇති කරන ලද ජාතික හා
ශාසනික අභිලාශයන් එස්.ජී.පෙරේරා, කොඩ්රින්ටන්,ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි ඉතිහාස
ග්‍රන්ථ කල අයගෙන් ඉටු නොවුණු නමුත් පිරිවෙන් වලින් බිහිවූ ශාස්ත්‍රීය උගතුන් නිසා
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස ඉතිහාස දැනුමන් මනාව සන්නද්ධ විය.
වර්තමානයේ තිබෙන්නේ නව තාක්ෂණික
යුගයකි.එයට සවිමත්ව මුහුණ දීමට දරුවන් පුහුණු කිරීම වැදගත්ය. එහෙත් විශිෂ්ඨ සම්ප්‍රදායක්
බිහි කළ ජාතියක අනාගත රැඳි පවතින්නේ සිය ඉතිහාසය සහ සම්ප්‍රදාය මත බව තේරුම් ගැනීම
වැදගත්ය. එසේම සාර්ධර්ම මගින් ලැබෙන ශික්ෂණය ඉතා වැදගත්ය. එය අපට ලබා දෙනනේ බුදු
දහමෙනි. එය තවත් ආගමක් නොවේ. අධ්‍යාපන අමාත්‍යංශයට එය තවත් ආගමක් වුවද එය ජීවන
දහමකි.අනාගත වැඩිහිටියා සිය ශික්ෂණයෙන් යුතු වගකීම ඉටු කරනුයේ කුසලානුකුසල
අවබෝධයෙනි. හොරකම්, දූෂණ, මංකොල්කෑම වැඩි සමාජයකට හොඳ නරක තේරුම් ගත්
මිනිසෙකු අත්‍යවශ්‍ය වේ. එසේම රටක් වශයෙන් ජාතික අභිමානයක් අවශ්‍ය වේ.ඒ සඳහා
තැනින් තැනින් අහුලා ගත් ඉතිහාස කෑලි ටිකක් පුරුද්දා සර්වාගමික පචයක් දරුවාගේ මනසට
කාන්දු කරවා සමරිසි සේවනයේ අගය කියාදීමෙන් පලක් නැත. දරුවා හොඳ මානවයෙකු විය
යුතුය.ඒ සඳහා යොමු කරන අධ්‍යාපනය සකස් කිරීමට අවශ්‍ය වීශය මාලා තෝරා සිදු කළ
යුත්තේ මෙරට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විද්වතුන් විසිනි. විදේශීය මුදල් වලට වහ වැටී
මෙරටට නොගැලපෙන උගෙනුම් රටා තව දුරටත් මෙහි පැලපදියම් කිරීමෙන් වනුයේ අදීන
මිනිසෙකු බිහි වීමට තිබෙන ඉඩකඩ නැතිවීමයි. ඉතිහාස විශය පිළීබඳ ප්‍රතිසංස්කරණ
කරුවන් සිතන ආකාරය අනුව අපට කිව හැක්කේ දේශීය මුල් උදුරා ගත් කලු සුද්දන් රැහැනක්
විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව සියතට ගෙන ඇති බවයි.
ඒ වෑයම පරාජය කළ යුතුයි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment