පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, December 2, 2024

මෙරට සල්ලි පිටරට රැඳවූ නීතියේ වෙනසකට කාලයයි

 

                           

           ලංකාවේ සිට විදෙස් වලට භාණ්ඩ අපනයනය කිරිමේ පුරුද්ද දුරාතීතයේ සිටම මෙහි පැවතුණි.ඒ නිසා  විදෙස් මුදල් සම්භාරයක් මෙරටට ලැබුණි.යුරෝපීයන්ගේ පැමිණීමත් සමගම වැවිලි ආර්ථිකයකට පදනම වැටුණු අතර බ්‍රිතාන්‍ය අනුදත් මුදල් ඒකක වලින් ගනුදෙනු කිරීම ස්ථාපිත විය.නිදහසෙන් පසු බ්‍රීතානය ආර්ථික ආධිපත්‍ය ඇමරිකාවට මාරු වෙන කල්හි බ්‍රිතාන්‍ය රන්පවුමට වඩා ඇමරිකන් ඩොලරයට ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් හිමි විය. 1944 බ්‍රෙටන්වුඩ් සම්මේලනයෙන් පසුව ලෝක ප්‍රාග්ධන ආධිපත්‍ය හැසිරවීම පිණිස ජගත් මූල්‍ය අරමදුල , ආහාර හා කෘෂීකර්ම සංවිධානය ,ලෝක සෞඛ්‍ය සංවීධානය ඇතුලු මූලායකන රැසක් බිහි වීමෙන් ආසියාතික රටවල ණය මත යැපෙන ආර්ථික තත්වයක් වර්ධනය වී තිබේ.මේ ණය උගුල සක්‍රීය කරනුයේ ලෝක දේශපාලනයේ බල තුලනය හරහා වීම විශේෂයක් වෙයි.  මෙම ලෝක දේශපාලන තත්වයේ වර්ධනයන් සිදු වීමට ප්‍රථම 1948 දී නිදහස ලැබෙන කාල වකවානුව තුළදී සහ තවත් දශකයක පමණ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ දුර්වල වීමක් නොවුණි.ඒ නිසා විදෙස් මුදල් ගනුදෙනු සඳහා 1953 අංක 24 දරණ විනිමය පාලන පනත යටතේ ක්‍රියාත්මක නීතියක්  බලාත්මක විය.

            මෙම පනත යටතේ ලංකාවෙන් අපනයනය කෙරෙන සියල්ල සඳහා අයවිය යුතු මුදල් ආපසු ලංකාට ගෙන ආ යුතු විය.ඒ පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් මහ බැංකුව සතු විය. විදේශ විනිමය සැඟවීම අපරාධමය වරදක් ලෙස සැලකිණ. ඒ නිසා අපරාධකරුවකු ඇරෙන්නට කිසිවෙකු විදේශ විනිමය වංචා කිරීමකට උත්සාහ නොගත් අතර විදේශීය ප්‍රේෂණ රට තුළට අපහසුවකින් තොරව  පැමිණියේය. විවෘත ආර්ථික ක්‍රියාවලිය රට තුළට හඳුන්වා දෙනු ලැබූවද මේ විදේශ විනිමය පාලන පනත යටතේ තිබූ රෙගුලාසි වල වෙනස්කමක් ඇති නොවීය.ඒ යුගයේ දී ආනයන දිරිමත් කරන වැඩ පිලිවෙලක් තිබුණද ණය ලබා ගැනිමේ නිරන්තර උත්සාහයක් තිබුණද අපහසුවකින් තොරව විදේශ ප්‍රේෂණ පැමිණි නිසා ආර්ථික අර්බුදයක් නිර්මාණය නොවීය.

           චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ යුගයේ දී රනිල් වික්‍රමසිංහ අගමැති වූ අතර ඔහුගේ නව ප්‍රතිසංස්කරණ හැඳින්වූයේ යළි පුබුදමු ශ්‍රී ලංකා යනුවෙනි.මේ යටතේ 2003 වර්ෂයේ දී අගමැතිවරයා විසින් විදේශ විනිමය කළමනාකරන පනතක් හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.මේ මගින් බලාපොරොත්තු වූයේ 1953 පනත සංහෝධනය කරමින් නව ප්‍රවේශයක් ගනිමින් මෙතෙක් අපරාධමය වරදක් ලෙස හැඳින්වූ විදේශ විනිමය වංචා සමාන්‍ය සිවිල් නීතියට යටත් කිරීමය.එසේම පනත අනුව තීරණ ගැනීමේ බලය මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් ඉවත්කර මුදල් අමාත්‍යංශයේ මුදල් ලේකම් වරයාට පැවරීමේ වුවමනාවක් ද විය. එහෙත් මේ පනතට විරුද්ධව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසා  පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකේ බලයෙන් සහ ජනමත විචාරනයකින්   සම්මත කිරීමට තීන්දු ලැබුණු හෙයින් අගමැතිගේ අභිලාශය ඉටු නොවිණ.

     2015 දී යහපාලන රජය පත්වූ පසු අග්‍රාමාත්‍යවරයා බවට පත් වූයේ ද රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ අමාත්‍ය මණ්ඩලයේ මුදල් ඇමති ධූරය රවි කරුණානායක මහත් විසින් හෙබවීය. මේ කාලයේ දී නැවත 2003 වසරේ ගෙනා විදේශීය විනිමය කළමනාකරන පනත නව මුහුණුවරින් එලි දක්වන්නට රජය කටයුතු කරන ලද්දේය. 2017 අංක 12 යනුවෙන් දක්වන ලද එම පනත විදේශ විනිමය පනත යනුවෙන් දැක්විණ. මේ යටතේ වූ ප්‍රමුඛ කාර්යය නම් විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුවක් පිහිටුවා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පාලනය කිරීමේ සහ තීරණ ගැනීමේ බලතල අමාත්‍යවරයා වෙත පැවැරීමයි. ඊට අමතරව මෙතෙක් විදේශ විනිමය වංචා අපරාධමය වරදක් ලෙස සලකන ලද අතර රේගු ආඥා පනත යටතේද දඬුවම් පැමිණවිය හැකි විය. මේ පනත මගින් ඒ නෛතික බලය දුර්වල කරන ලදී. අපරාධමය වරද සිවිල් වරදක් බවට පත් කෙරිණ. එමෙන්ම අතීතයට බලපාන ලෙසට නීති සංශෝධනය කෙරිණ. එනම් මාස පහළොවක් ඉකුත් වූ පසු නඩු පැවරිය නොහැකි විය.මේ නිසා මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායක විසින් අතීතයේ දී  කරන ලදැයි චෝදනා එල්ල වූ  යම් විදේශ විනිමය වංචා වලට නඩු පැවරිය   නොහැති වුණි. මෙම පනත විවාදයට ගත් අවස්ථාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අදහස් මෙසේය.

'ඒකාලයේ අපි ‌ගොඩක් භාණ්ඩ අපනයනය කලේ සමාජවාදී රටවලටයි. නමුත් ඉන්පසුව ආර්ථිකය නිදහස් වීමට පටන්ගත්තා. අපේ රටේ තිබුණු විනිමය පාලන ක්‍රමය යම් මට්ටමක සිර කර තිබුණේ. නමුත් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ විනිමය නිවහල්කරණයක් කළා. එහෙත් අපේ නීතිය. ඊට අනුකූලව සංශෝධනය කර නෑ. අපේ රටට සංක්‍රමණිකයන් එවන විදේශ විනිමය සම්බන්ධයෙන් ඔනෑම පුද්ගලයෙකුට පුළුවන් විදේශ විනිමය ප්‍රමාණයක් ගේන්න. ඩොලර් 10000 – 15000 අතර එය ප්‍රකාශ කළාට පස්සේ වරායේ දී හා ගුවන් තොටුපල දී ගේන්න පුළුවන් රටින් පිට ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් .රටින් පිට පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ගිණුම් පවත්වාගෙන යන්නත් පුළුවන්. අපි තව දුරටත් විනිමය නිදහස් ක්‍රමයක් කරනවා නම් එය අපේ නෛතික අණ පනත් වල තිබිය යුතුය. අපී කාලීනව පනත් සංශෝධනය කළ යුතුයි.අපි දැන් විදේශ විනිමය පාලනය කරන්නේ නෑ.පරිපාලනයයි කරන්නේ.විදේශ විනිමය කියන්නේ ධනපතියන් අතර පවතින දෙයක් නොවේ.විදේශ වලින් රටට ආයුතු මුදල් ගෙන්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඔවුන් අපරාධකරුවන් ලෙස සැළකිය යුතු නැහැ. සියයට 1% ක ප්‍රේෂණ ගාස්තුවක් අය කරලා මුදල් ලංකාවට ගේන්න අවසර දෙනවා. රාජ්‍ය මූල්‍ය පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි. අපි විදේශ විනිමය පාලනය කිරීම ලිහිල් කර තිබෙනවා.'

      මෙම පනත යටතේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතු බලතල එනම් විනිමය පාලනය කිරීමේ බලතල අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදු කිරීමට අවස්ථාව උදා විය. පරිසීමිත වෙලෙන්දන් යනුවෙන් විශේෂිත විනිමය වෙළඳ ප්‍රජාවක් නිර්මාණය විය. අපනයනය මගින් ලද මුදල් පිළිබද නිවැරදි දත්ත මහ බැංකුව වෙත නොලැබිණ. එසේම විදේශීය රටක විවෘත  ගිණුම් ආරම්භ කිරීමටත් විනිමය වෙළදාම් කිරීමටත් තිබෙන ඉඩකඩ පුළුල් පරාසයකින් වර්ධනය විය. විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මේ නව පනත හඳුන්වා දුන්නද ඉන් සිදු වූයේ කළු සල්ලි වෙලඳ පළක් නිර්මාණය වීමයි.එම නිසා මෙරටට පැමිණිය යුතු විශාල ඩොලර් ප්‍රමාණයක් විදෙස් බැංකු වල  තැන්පත් වීම සිදු විය.

     2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු මෙම පනත අහෝසි කොට නව විනිමය පාලන පනතක් හඳුන්වා දිය යුතුව තිබුණද ඒ වෙනුව යම් සංශෝධන කීපයක් පමණක් සිදු කළ බව පැහැදිලි විය.ඉන් එකක් නම් 2021 දී කරන ලද රෙගුලාසි පැණවීමයි. කෙසේ වෙතත් 2022 දී ගෝඨාභය මහතා අරගලය හේතුවෙන් ජනාධිපති පදවිය අතහැර ගිය පසු බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ගේ පාලන කාලයේ අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස රාජපක්ෂ මහතා මෙම පනත නිසා විදෙස් රටවල තැන්පත් කර ඇති ඩොලර් බිලියන පනස් තුනක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේය. මෙම පනත වෙනස් කොට විනිමය පාලන නීති නැවතත් ගෙන ඒමට විමල් වීරවංශ මහතා ඇතූළු මන්ත්‍රීවරු  කීප දෙනෙකු ඉල්ලා සිටි අතර පනත සංශෝධනය කිරීමේ යෝජනාව න්‍යාය පුස්තකයටද ඇතුළත් කර තිබුණි. නමුත් අවසාන මොහොතේ රනිල් වික්‍රමිසංහ එම තීරණය වෙනස් කරන ලද්දේය. ඔහුගේ පිළිතුර වූයේ IMF විසින් එම පියවරට විරෝධය පළ කල බවයි.  අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇර වෙනත් විකල්පයක් රටට නොවීය.IMF උගුල නිසා ලෝක ප්‍රාග්ධන වෙළන්දන්ට ලංකාව තුළ ව්‍යාපර කිරීමට අවස්ථාව සැලසෙයි. එසේම මේ පනත නිස ඔවුන් උපයන ධනය කිසිම බාධාවක් නොමැතිව රටින් පිට කිරීමට හැකි වෙයි. වර්තමාන මුදල් ඇමති ජනාධිපති අනුර දිසානායක මහතා සහ විජිත හේරත් විදේශ ඇමතිවරයා යහපාලන සමයේ දී විදේශ විනිමය පනත පිළිබඳ විවාදයේ දී ඒ පනතට විරුද්ධව දැඩිව අදහස් ඉදිරිපත් කරන ලද්දේය. ඒ අනුව දැන් ඔවුන්ට මේ පනත නැවත සංශෝධනයට බාධාවක් නැත.IMF මග අනුගමනය කළද මේ ප්‍රශ්ණයේ දී යම් කේවල් කිරීමක් කළ හැකි විය යුතුය.විදේශ විනිමය පාලන නීති වර්තමානයට ගැලපෙන පරදි හඳුන්වාදී විදෙස් රටවල තිබෙන මුදල් ආපසු සිය රටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එවිට ණය අර්බුදය පහසුවෙන් විසඳා ගැනීමට එක් මාර්ගයක් විවෘත වේ.

මතුගම සෙනෙවිරුවන්