පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, November 9, 2024

ගොවියාට කටුපන හාල් මෝලට ඔඩපන

 



       රජය විසින් සහල් සඳහා පාලන මිළක් නියම කිරීම නිසා සහල් වෙළෙඳ පළ උණුසුම් වි ඇත.  නාඩු වශයෙන් නාමකරණය වූ සහල් වර්ගයේ හිඟයක් තිබෙන අතර කීරි සම්බා මිළදී ගැනීමට නොහැකි වන හෝ රුචිකත්වයක් නොදක්වන පාරිභෝගිකයන් අසරණ වී තිබේ. ඒ අතර රටේ නොයෙකුත් තැන්වල තිබෙන ප්‍රධාන සහල් ගබඩා සහ කුඩා ප්‍රමාණයේ සහල් ගබඩා පරීක්ෂා කරමින් දත්ත පද්ධතියක් ස්ථාපිත කරලීමට රජය උත්සාහ දරමින් සිටී.ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලන විට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වී වලින් පුරවන බව ජනාධිපති තුමා පවසයි.මේ අතර ලංකාවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් පස් දෙනා අතරින් ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වලට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ඔහු පළ කරන මතවාදාත්මක අදහස් හේතුවෙනි.

          අතීත ලංකාවේ මෙවැනි සහල් ප්‍රශ්නයක් තිබුණේ නැත. ගොවියා වගා කරන්නෙකු වූවා සේම පරිභෝජනය කරන්නෙකුද විය.නමුත් ඔහු අලෙවිකරුවකු නොවීය. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල නාගරික ජනගහනයේ වර්ධනයත් සමගම විවිධ අවස්ථාවන්හිදී පැවති රජයන් ට සහල් පිළිබදව මිළ පාලනයක් ඇති කරන්නට සිදු විය.ඉංග්‍රීසි ආණුඩුවටද මේ සහල් මිළ සහ සහල් හිඟයට පිළිතුරක් නැති විය. ඒ නිසා 1942 දී පමණ සහල් සලාක ක්‍රමයක් ඇති කරන්නට සිදු විය. 1953 දී  හාල් සේරුවක මිළ ශත විසිපහේ සිට ශත හැත්තෑව දක්වා එක වරම ඉහළ ගිය අවස්ථාවක එම තත්වය දඩ මීමා කරගෙන හර්තාල් පවා ඇති විය.ඒ නිසා ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට ඉල්ලා අස්වීමට ද සිදු විය.

        1817 ජාතික විමුක්ති අරගලය දැඩි ලෙස මර්දනය කල බ්‍රිතාන්‍ය පාලනය  ඌව වෙල්ලස්ස ගොවිබම් දහස් ගණනක් ගිනි තබා විනාශ කිරීමෙන් අනතරුව 1848 අරගලයෙන් ද පීඩා විඳි ගොවි ජනතාව ආර්ථික වශයෙන් බෙලහීන විය. බිත්තර වී පවා සපයා ගනු නොහැකිව සිටි සමයක ඉංග්‍රීසි ආණ්ඩුව මැදහත්ව නුමුහුන් බිත්තර වී සැපයීමට රජයේ ගොවිපලවල් සූදානම් කිරීම නිසා හතළිහ දශකය වන විට රටේ ගොවි ජනතාව අතර ප්‍රබෝධයක් ඇති විය. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපරය, මින්නේරුය ,ඇල්ල කන්තලේ ව්‍යාපාරය, ගල්ඔය වැනි ගොවි ජනපද පිහිටුවීම මගින් සශ්‍රීකි ඉඩම් පරිහරණය කරමින් ගොවීන් රටේ වී නිෂ්පාදනය තර කළහ.ඒ සමගම වී අභිජනනය කිරීම සදහා මහඉලුප්පල්ලම ,බතලගොඩ ,බොම්ඹුවල වැනි පරියේෂණායතන පිහිටුවීමත් බිත්තර වී ගොවිපළවල් පිහිටුවීමත් නිසා නව හරිත විප්ලවයකට අඩිතාලම දැමිණ. ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගන් ලද ආධාර මත කෘෂීරසායන සහ රසායනික පොහොර පැකේජ ලබා දීමත් නෑඹුල් පොළවේ ඒ මගින් සරු අස්වනු ලැබීමත් හේතු කොට ගෙන පරිභෝජනයට එහා ගිය වී වෙළඳ පළක් නිර්මාණය විය.

       1972 දී පැවති රජය විසින් වී අලෙවි මණ්ඩලය පිහිටුවා වී මිළදී ගැනීම තුළින් ගොවියා ගේ ආර්ථිකය නැන්වීමට විශේෂ වැඩ සටහනක් ඇරඹීය. රට පුර නිෂ්පාදනය කළ වී මිලදී ගැනීමටත් ගබඩා කිරීමටත් විශාල වී ගබඩා ඉඳි විය.ඒවායේ ඇති කළ සහල් මෝල් මගින් වී සහල් බවට පත් කර සමූපකාර වලට නිකුත් කෙරිණ. මේ නිසා වී වෙලඳ පළ පිළිබඳ විශ්වාසයක් ගොවියා හට තිබුණි. සහල් වෙලෙඳ පළ පාලනය කිරීමට රජයට හැකි විය.විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග රජය සතු ව්‍යාපාර අධෛර්ය කිරීම සිදු විය. සමූපාකාර ව්‍යාපාරය කඩා කප්පල් කෙරිණ. වී ඇඹරීම සඳහා ලංකාවේ නිෂ්පාදනය කළ නව යන්ත්‍ර පවා දිරාපත් වීමට ඉඩ හැර තිබුණි. ඒවායේ තාක්ෂණය ඉන්දියාවට විකුණා දැමිණ. රටේ නව නිපැයුම් කරුවන් තැනක් නැති විය.   1995 වර්ෂයේ එවකට චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය යුගයේ දී දි.මු.ජයරත්න කෘෂිකර්ම ඇමතිව සිටි කාලවකවානුවේ වී අලෙවි මණ්ඩලය අහෝසි කරලීමට කෙටුම් පත් සකස් කළ අතර පසුව එය කළ නොහැකි වූ තැන මණ්ඩලය අක්‍රීය කර නිළධාරීන් කීප දෙනෙකුට පමණක් පඩි ගෙවමින් තාබා ගත්හ. එසේම වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දැමීමට කටයුතු කළහ.(එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ සිට එය සිදු විය) එහිදී ඉන් වැඩි ප්‍රතිලාභ ලැබූයේ  බහුජාතික සමාගම්ය.රජය විසින් ගොඩ නගා නඩත්තු කරනු ලැබූ රාජ්‍ය සම්පත් වන බිත්තර වී ගොවිපළවල් වල පරම අයිතිය පවා ලබා ගන්නට මේ සමාගම් සමත් විය.

    වර්තමාන සහල් අර්බුදය තේරුම් ගන්නට මේ අතීතයට යන්නට අපට සිදු වන බව කිව යුතුය. මන්ද බිත්තර වී සැපයීමේ සිට වී වපුරා අස්වැන්න ගෙන කර  සහල් නිෂ්පාදනය දක්වා ක්‍රියාවලිය ගැට ගැසී තිබෙන්නේ ඉහත දැක්වූ අතීතයෙන් උරුම වී තිබෙන විවිධ ගැටළු සමගින් බව තේරුම් ගත යතුය.  උදාරහරණයක් වශයෙන් නාඩු වශයෙන් අද හදුන්වන සහල් ප්‍රභේදය ට අදාළ වී වර්ගය ගොවියාට   හදුන්වා දී තිබෙන්නේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුවයි. විවිධ බී.ජී. වර්ග , බී.ඩඩ්. සහ ඒ.ටී. වී ප්‍රභේද වලින් මේවා නිෂ්පාදනය වේ.රටේ පාරිභෝගිකයා වැඩි රුචිකත්වයක් දක්වන සම්බා වර්ග අතරට කීරි සම්බා නමින් නව ප්‍රභේදයක් හඳුන්වා දී තිබෙන්නේ ද මෙම දෙපාර්තමේන්තුවයි.වෙළෙඳ පලේ දී එයට ඉහළ මිළක් ලැබුණි. මිළ වැඩියෙන් ලබෙන වී වර්ගය ගොවීන් විසින් වගා කරති. නාඩු හෝ රතු සහල් ලැබෙන වර්ග වගා කරනු ලබන්නේ හම්බන්තොට ගාල්ල මාතර වැනි පළාත් වලය. බිත්තර වී ගොවිපළවල් රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමීමත් සමග රජයේ ඒකාධිකාරය අහෝසි කරනු ලබිණ. පෞද්ගලික සමාගම් බිත්තර වී නිපදවන්නේ ලාභ ඉපැයීමටයි.රට පුරා රයිස් කඩ බිහිවීම නිසා කීරි සම්බා වලට විශේෂ ඉල්ලුමක් ඇති විය.සමාගම් විසින් කීරි සම්බා බිත්තර වී නිකුත් කර වැඩි වැඩියෙන් වගා කිරීමට ද දිරි දුන්හ. ඉතින් නාඩු රතු සහල් සහ රතු සහල්  වර්ග හිඟ වීම පුදුමයට කරුණක් නොවේ.

      මේ වන විට රජයේ නිළධාරීන් ප්‍රධාන වී මෝල් කරා ගොස් ඒවායේ තිබෙන වී ප්‍රමාණය පිළිබඳ දත්ත එකතු කරමින් සිටිති. එහෙත් වී මෝල් හිමියාගේ සැබෑ තොග සංචිතය තිබෙන්නේ ගොවියා ළඟ බව බොහෝ අය නොදනිති. අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, අනුරාධපුර වැනි ප්‍රධාන වශයෙන් වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන්හි ගොවින් විසිදාහක් පමණ ප්‍රමාණයක් ප්‍රධාන මෝල් හිමියන් සමග බැඳී සිටිති. මේ බැඳීම ඇති කරන්නේ ඔඩපන නමින් හඳුන්වන ණය දීමකිනි. මේ ණය ක්‍රමය මුලින් හඳුන්වා දුන්නේ ලංකා බැංකුව ,මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු විසිනි. ගොවියාගේ වී තොග නිවසේ රඳවා තබා ගැනීමට අඩු පොළියට ණය දීම මෙහි ක්‍රමයයි. වී මිළ ඉහළ යන විට වැඩි මිළකට වී විකිණිමට මේ මගින් හැකි වෙයි. අද වන විට මේ ඔඩපනය ක්‍රියාත්මක කරනුයේ වී මෝල් හිමියන්ය. ඔවුහු ගොවින් තෝරා ගෙන බිත්තර වී ලබා දී කෘෂීරසායනද ලබා දි තවත් ජීවන සහනාධාරද සපයමින් ගොවියා ඇද බැඳ තබා ගනිති. අස්වනු නෙලන කාලයට ගොවිපළට යන මොල් හිමියන්ගේ නියෝජිතයන් ඇප් එකක් මගින් කුඹුරේ තිබෙන වී ප්‍රමාණය මැන ගන්නා අතර ගොවියා තමන්ගේ වී ටික වේලා නිවසේ ආරක්ෂිතව ගබඩා කරයි. වෙලෙඳ පලේ සහල් මිළ ඉහළ යන කාලයට මෝල් හිමියා විසින් තවත් අමතර මුදලක් ගොවියා අත මිට මොලවා වී ටික රැගෙන යන අතර ඉන් අධික ලාබයක් ලබති. ඊට අමතරව ඇතැම් ගොවිබිම් වලදී  ඇප් එකක් මගින් අස්වැන්න පෙරසේම  මැන භූතයන් යොදවා ගොයම් කැපීමට මුස්ලිම් දෙමල කොන්ත්‍රාත්කරුවන් යොදවති. ඔවුහු කෙලින්ම මෝල හිමියාගේ ටැංකි වලට වී පුරවන අතර මෝල් හිමියා ඒවා සිය ගබඩාවට ගෙන වියළා ගබඩා කර ගනිති. මේ ක්‍රම දෙකින්ම අප ඉගෙන ගත යුත්තේ ගොවියා කෙරෙහි වන බැඳීම රඳවා තබා ගැනීමට මෝල් හිමියා සකස් කල ගිවිසි ක්‍රමයයි. එය එක් අතකින් මානුෂික වන අතර නව ගොවි වහල් ක්‍රමයක්ද නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

     වී අලෙවි මණ්ඩලය වසා දැමීමත් පසුව එය අක්‍රීය මට්ටමින් සිදු කරන අකාර්යක්ෂම ක්‍රියා පිළීවෙත නිසාවෙන්ද ගොවියාට රජය කෙරෙහි බැඳීමක් නැත. ලබා ගන්නා සහල් කෙදිනකවත් සමූපාකාරයට ලැබෙන්නේ නැත. ඒ නිසා අඩු ආදායම් ලබන අයට සහනයක් නැත. පහල මධ්‍යම පන්තියටද සහනයක් නැත. රජය කළ යුත්තේ සහල් මෝල් හිමියන් සමග රණ්ඩුවකට යෑමේ ක්‍රියාවලිය නොවේ. ඔවුන් මෙරට වෙළඳ පළ ආර්ථිකයට දක්වන දායකත්වය රජයට සපුරාලිය නොහැකිය. නමුත් රජයේ වගකීම විය යුත්තේ ‌ගොවියා සහ පාරිභෝගිකයා අතර සිදුවන ක්‍රියාදාමය සාධාරණව යුක්ති සහගතව සිදු වන්නේ යන්න පීළිබඳ විශ්ලේෂණය කොට එයට කලමනාකරණ ක්‍රියාවලියක් සැකසීමයි. රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ  විවිධ වර්ග වල බිත්තර වී නිපදවා  එකාධිකාරය පාලනය කර ඒ ඒ වර්ග ගලප්පා ගත හැකි දිස්ත්‍රික්කයන්ට සහන මිළට ඒවා බෙදා හැර පාරිභෝගිකයගේ රුචිකත්වය අනුව වෙළඳ පළට අවශ්‍ය සහල් නිපදවීමේ පදනම සකස් කිරීමයි. ඒ අතර කුඩා ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ටද වී මිළඳ ගැනීමට ණය නිකුත් කර මේ වෙලඳපල සමබර කර ගත හැකිය. කලින් කලට මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේ ප්‍රශ්ණ තොරොම්බල් කිරීමෙන් ගොවියාටවත් පාරිභෝගිකයාටවත් ආර්ථිකයටත් වැඩක් නොවන බව දැන්වත් වටහා ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්