පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, October 14, 2024

කපුගොල්ලෑවේ තුඩපත මගින් හෙළිවන ‌ෙඑතිහාසික උරුමය

 

                         


            උතුරු මැද පළාතේ යාන් ඔය නිම්නය අතිශයින් සංවේදී ජාතික උරුම සහිත ප්‍රදේශයකි. ප්‍රාග් ‌ෙඑතිහාසික සොහොන් වලින් හෙළිවන ආදී මිනිසා පිළිබඳ කතාව මෙන්ම අනුරාධපුර මහා ශිෂ්ඨාචාරයට සම්බන්ධ විශේෂිත සිද්ධස්ථානයන්හි නටබුන් විශාල වශයෙන් පැතිර පවතින ප්‍රදේශයකි.පදවිය වාහල්කඩ සහ නාම්බකඩ යන මහා වාපී ශිෂ්ඨාරයේ ඉහත්තාව වන මේ කලාපය තුළ ඉපැරණි වාරිමාර්ග නෂ්ඨාවශේෂයන් රාශියක නටබුන් ද හමුවන බව කිව යුතුය. යාන් ඔය හරස් කර තැනු ගල් අමුණු සහ ඒ සම්බන්ධ ව ලියැවුණු ශිලා ලේඛන පවා එහි දක්නට ඇත.හුරුළු වැව ජල පෝෂක ප්‍රදේශයෙන් ඇරඹෙන යාන් ඔය උතුරුදෙසට ගමන් කර නැගෙනහිර ට හැරී පුල්මුඩේ වෙරළ තීරයෙන් මුහුදුට එක්වන බැවින් රජරට සශ්‍රීකත්වය මොනවට කියා පෑ වටිනාකම් රැසක් ඉස්මතු කළ හැකි තෝතැන්නකි.

         අතීතයේ දී හොරොව්පතාන ආසන්නයේ බැඳි ගල් අමුණක් ආශ්‍රයෙන් දිය හරවා ගෙන ගොස් පදවිය ට දැමීම සඳහා විශාල යෝධ ඇලක් තිබුණි.  එවැනි යෝධ ඇළවල් හි සරළ තාක්ෂණයන් මගින්  ජලය ගෙන යෑම පිළිබඳ නිදර්ශනයන් මේ ප්‍රදේශයේ ඇත. හෙරොව්පතානෙන් පැමිණි ඇළ දුටුවැව තුලානේ කපුගොල්ලෑව වැවේ දිය කඩුල්ලෙන් පන්නවා ඉදිරියට ගෙන ගොස් ඇත.කපුගොල්ළෑව කුඩා කපුගොල්ලෑව වීරසෝලේ කුංචි කුළම මරදන් මඩුව වැනි ගම්මාන රැසකින් සමන් විත මේ කලාපය අතීශය සශ්‍රීක ය. දිය උල්පත් ගහන කලාපයකි. මේ නිසා ජනතාව ජීවත් කරවීමට මහත් ආයාසයක් දැරිය යුතු නොවේ. මෙම නිම්නයේ පැවති ‌ෙඑතිහාසික ගම්මානයක් වශයෙන් සැළකෙන කපුගොල්ලෑව නුවර යුගයේ දී ඉතා වැදගත් රාජකීය ගමක් බවට පත් වීමේ ඉතිහාසයක් මතු කර ගැනීමට හැකි තුඩපතක් නැතිනම් සන්නසක් එම ගම්මානයේ වර්තමානයේ ජීවත්වන මුදලිනායක වෙද මහතාගේ නිවසින් මතු කරගන්නට හැකි වුණි. සර්වාංග වෙද පරපුරක වර්තමාන පුරුක වශයෙන්සැලකෙන ඔහුගේ නිවසේ ඇඳක් යට ට්‍රන්ක පෙට්ටියක සැඟව තිබූ මේ තුඩපත මේ ප්‍රදේශයේ ඉතිහාසයට වැදගත් ආලෝකයක් සපයන බව පෙන්නුම කළ හැකිය.

       පදවිය සහ වාහල් කඩ යන මහා වැව් දෙකට ඉස්මත්තේ පිහිටා තිබෙන මෙම ගම්මානය අනුරාධපුර යුගයේ සිට ‌ෙඑතිහාසික පුවත් සැපයූ පෙදෙසක් වෙයි. කපුගොල්ලෑව ට නුදුරින් වූ තාමර වැව ටැම් ලිපිය  කුංචි කුලම ටැම් ලිපිය ඉරිපින්නියාව ටැම් ලිපිය ආදී ශිලා ලේඛන වලින් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ දී මහා විහාරය සතු පිරවෙන් සඳහා ප්‍රත්‍ය සැපයීමට මේ පෙදෙස් වෙන්ව තිබූ ආකාරයයි. කපුගොල්ලෑව පන්සල අසළින් හමු වූ කැඩී බිඳි ගිය ටැම් ලිපයෙන් ද අනාවරණය වන්නේ අනුරාධපුර යුගය අවසාන භාගයේ කුසලාන් කොට මේ ගම් දුන් වගයි.මහ කපු ගොල්ලෑව කුඩා කපු ගොල්ලෑව අසළින් ගලා යන යෝධ ඇළ වාහල් කඩත් පදවියත් අසල පැන්නුමකට ළගා වී ඒ මහා ජලාශ පෝෂණය කර ඇත. ඉතින් මේ ‌‌ෙඑතිහාසිකතත්වය පසුබිමේ සිට නුවර යුගයේ ලියන ලද කපු ගොල්ලෑව තුඩපත විශ්ලේෂණය කළ යුතුය.

       මේ තුඩපතේ හැටියට මහනුවර රාජ්‍ය සමයේ දී පුංචි රාළ නම් වෛද්‍යවරයෙකු රජ වාසලේ වෙදනාවන් වශයෙන් සහ මහ ගබඩාවේ නිලමේ වහයෙන් සේවය කර තිබේ. එකල උඩරට බෙහෙත් ගෙයි අත්පොත නම් ග්‍රන්ථයක් තිබුනේලු. රජ වාසලේ සිටින කුමර කුමරියන්ට රජුන්ට වැළඳෙන ලෙඩ රෝග සමනය කරදිමට මේ වෙදනාවන් අත තිබූ බලගතු ඖෂධ උපයෝගී වූ බව පැහැදිලි වෙයි. රජු ඉදිරියේ වෙදනාවන් කල දස්කම් ගැන අපේ රටේ එතරම් සාහිත්‍යයක් නිර්මාණය වී නැත. කොරියානු දේශයේ රජුන්ගේ මහ වෙදනා ගැන රචනා කළ කතාවක් ටෙලි නළුවක් විලස කලකට ඉහතදී ප්‍රචාරය විය. එහෙත් අප රටේ ඒ පිළිබඳව හෝ ඔවුන්ගේ පෞරුෂයන් ගැන ඉස්මතු කරන්නෙකූ දක්නට නොහැකිය. කපුගොල්ලෑව වෛද්‍යවරයා සෙංකඩගල මහනුවර රජ වාසලේ වෛද්‍යවරයෙකු වූ වා සේම රදළපවුලට නෑ කම් කියූවෙක් බව පැහැදිලිය. මේ වෙදකමෙන් කල දස්කම් නිසා ඔහුට ගම්වරයක්ලැබුණි. ඒ හුරුලු පළාතේ මහ පොතාන කෝරලයේ දුටුවෑ තුලානේ  පිහිටි කපුගොල්ලෑවයි.මේ ඒ තුඩපතේ ඇතුළත් විස්තරයයි.

ශකවර්ෂයෙන් එක්වා දහස් හයසිය දහයට පැමිණි මෙම වර්ෂයෙහි  පොසොන් මස ගුරුදින පංචවිතත තිතිය ලත් මේ හුරුලු පත්තුව බද දුටුවෑ තුලානේ කපුගොල්ලෑවෙ භූමි ප්‍රවේනි සැලැස්ම ගැන කපුගොල්ලෑවට සෙන්දු දුන්වත්තෙගොමත් සහා භූමි ප්‍රවේනි සැලැස්ම පිණිස මහ වාශලට පුන්චි රාළ නිලමෙ වෙදකන් කරපු බවට ලියාදෙන තල්පොත.

මා ඉන් නැගෙනඉරට කිරවනාහින්නද බස්නාඅතට ඔයද ශවුමට මුන මල ගහද වුතුරට ගොඩවලද මෙම මයින් සහ ගොඩ මඩ ඇතුළුව කොරලේ ගමට පුන්චි රාල නිලමේට ගැබඩැ රාකාරිය අත්හැර මෙගන්දෙක ලැබුනා ඇත.මීට වගත් මෙගෙම සළු වඩන නිලමෙද මහතැන පෙනගෙ මුහන්දිරමද මහ අරමුදලෙ වන්නකු නිලමෙද රන් ආවුධ මණ්ඩප්පෙ ලෙකමද අතපත්තුවෙ මුරෙ සිටින මුහන්දිලමද වහල්කඩ මොහන්දිරමද වන්නි දෙදිශාවෙ නිලමෙද වුඩකට්ටුවෙ විදානෙද වුඩුනුවර රට දවටලෙ වඩිගත්තුනද නුවර කලාවිය දිශාව ඇතුළව මහනුවර මහඅදිකාරන් නිල මෙහෙවර වන පිලිමතලව්වේ  රාජකරුණා සෙනෙවිරත්න  අභය කෝන්  පණ්ඩිත රාළහාමි වම්හ.

   ශකිවර්ෂයෙන් 1610 යනු ක්‍රි.ව.යෙන් 1688 ලෙසට දැක්විය හැකිය.දෙවන රාජසිංහ රාජ්‍ය කාලය ක්‍රි.ව. 1687 න් අවසන් වන අතර දෙවන විමලධර්මසූරිය රජුගේ පළමුවන රාජ්‍ය වර්ෂය 1688 ට යෙදි ඇත. මේ රජුගේ පත්වීම ට තිබුණු බාධක බොහෝය. හිටපු රජුගේ යම් අයථා ක්‍රියා නිසා ඇතිවූ නිලඹේ කරැල්ලෙන් පසු රජුගේ අතිජාත පුත්‍රයා පවා මරණයට පත් වූ බව පැවසේ .ඉන්පසු වයස්ගත රජු සමග විවාහ වූ ලාබාල බිසවකගේ කුමරුවා දෙවන විමලධර්මසූරිය විය. මේ කලබලකාරී කාල පරිඡේදයේ රාජකීය වෛද්‍යවරුන්ට පැවරුණු රාජකාරි සුවිශේෂ වී යැයි සිතන්නට හැකිය. වෛද්‍ය කර්මයට අමතරව පුන්චිරාළ නිලමේට ගබඩාවද භාර දී තිබේ.ඒ රාජකාරියෙන් ඔහු මුදවා හුරුලු පළාතේ ගමක් අස්වැද්දුමට දී තිබෙන්නේ විශේෂ හේතුවක් නිසායැයි සිතන්නට හැකිය.මේ තුඩපතින් පුන්චිරාඝට බලය පවරා දී ඇත්තේ පිළිමතලව්වේ මහ අදිකාරන් තුමා බව පැහැදිලිය.මේ තුඩපත ද රැගෙන පුන්චි රාළ සමග තවත් සහෝදරයෙක්ද පැමිණි බව කියැවෙන අතර ඔවුන් සමග ගමට බහිරව පුද් සිරිත් ද බෝ වුණ බව පැවසෙයි..

     අනුරාධපුර යුගයෙන් පසු වල් වැදුණු මේ ගම් යලි ජනාවාස කිරීම මගින් ලන්දේසීන් ගෙන් වන තර්ජනයන් මගහැර ගැනීමට කල්පනා කලබවද සිතන්නට හැකිය. වර්ෂ 1688 න් පසු මහනුවර නායක්කර් යුගයේ දී එනම් 1788 දි කපුගොල්ලෑව අසල තිඹිරිවැව ගමේ ලේකම් විසින් වරාගන් දී මෙම ගම මිලට ගත් බව කියැවෙන තුඩපතක් ද දක්නට ඇත.කෙසේ වෙතත් මේ තුඩපතේ දක්වා ඇති සීමා මායිම් වලින් කීපයක් අදටත් දක්නට තිබෙන බව පෙනේ. කිරවනාහීන්න ඒ නමින්ම තිබෙන අතර ගොඩවල ගොඩවල මූකලාන යනුවෙන් සිටී.හල්මිල්ලාව ඔය බස්නාහිරට ඇත. ඉඩම් නිරවුල් කිරීමේ ආඥ පනත යටතේ 1975 වර්ෂයේ දී කපුගොල්ලෑව ගම නිරවුල් කිරීමේ දී මෙම තුඩපත පිළිගත් බවට මහනුවර ජාතික ලේඛනාගාරයේ පවතින මේ තුඩපතේ පරිවර්තනයෙන් පෙනේ.ඉඩම් නිරවුල් කිරීම අනුව පුන්චිරාල නිලමේ ගෙන් පැවතෙන සතරවන පරම්පරාවේ අයට ප්‍රවේනි ඉඩම් වශයෙන් අක්කර 136 ක්  ලැබී තිබෙන අතර අක්කර 2229 ක් රජයේ ඉඩම් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.

      පුන්චිරාල නිලමේ ගෙන් පසු ඔහු ළඟ තිබූ සර්වාංග වෙදකම ඔහුගේ දරුවන් අතර බෙදී ගොස් කහටගස්දිගිළිය අසල ගොම්මලෑව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වාගෙන ගොස් ඇති බව පෙනේ. ඒ අතර  උන්වහන්සේ ගේ සහෝදරයන් සහ ඥාතීන් සර්ප වෙදකම ඇස් වෙදකම සහ කැඩුම් බිඳුම් වෙදකම යන විශේෂඥතාවයන් රැකගෙන පැමිණ තිබෙන අතර වර්තමාන පරපුරේ මුදලිනායක වෙදමහතා ට පෙර කී ස්වාමීන් වහන්සේ මගින් වෙදකම සත්ත කොට භාර දී තිබේ.‌ෙඑතිහාසිකවෘත්තාන්තයක් පසුබිමේ පවතින මේ තුඩපත මගින් උතුරු මැද පළාතේ පුරාණ ගමක විත්තියද යටත් විජිත සමයේ දී ඇති වූ වෙනස්කම්ද පරම්පරික උරුමයන් හා වර්තමාන භාවිතයන් අතරවන ගැටීමද මනාව හෙළි කරයි.

මතුගම සෙනෙවිරුවන්