පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, August 11, 2024

මේ ගතවන්නේ පක්ෂ දේශපාලනයේ අවසාන සමය ද

 

                         


         ජනපතිවරණ සමය එළඹී ඇත.රටේ නායකයා තේරීම ට ජනතා රැළි ගොඩනන්වමින් තිබේ.ඉන් විශාලතම ව ඉහළට එසැවුණු රැල්ලෙන් නව ජනපතිවරයා පත් විය හැකිය.මේ රැළි බිහි කරනුයේ මුදල් යහමින් විසි කරමීනි.රැළි වලට එකතු වන ජනතාවට නිශ්චිත අරමුණක් ඇතැයි සිතිය හැකි නොවේ.රැළි බීහි කරන්නේ පක්ෂ විසින් බැවින් ඇතැම් විට පක්ෂයේ අරමුණ ජනතාවට ඇතැයි සිතිය හැකිය.නමුත් දැන් එයද වෙනස් වෙමින් පවතී.පොහොට්ටු පක්ෂ මානසිකත්වයේ සිටි බොහෝ පිරිසක් රනිල් ගේ බෝට්ටුවට එකතු වී සිටිති.පක්ෂයක් ගොඩ නැගෙනුයේ ප්‍රතිපත්ති සහ අරමුණු අනුව වුවද මෙතනදී ප්‍රතිපත්ති පසෙකින් තබා බලය පැවැත්ම සහ මුදල් වෙනුවෙන් එක පිළකට ‌ෙගානු වී සිටිති.

    1917 දී ලංකා ජාතික සංගමය පිහිටුවා ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයට නැඹුරු වූවද ලංකාවේ ප්‍රථම පක්ෂය වශයෙන් පිළිගනු ලබනුයේ 1935 දී බිහිවූ ලංකා සම සමාජ පක්ෂයයි.එවකට ඉන්දියාවේ බිහිවූ ස්වාධීනතා සහයෝගිතා ව්‍යාපරයෙන් ද රුසියාවේ ට්‍රොස්කි ප්‍රමුඛ සතරවන ජාත්‍යන්තරයේ ආශ්වාදයෙන් මෙරටට පැමිණි පිලිප් ගුණවර්ධන සහ කොල්වින් ආර්.ද සිල්වා වැනි විදෙස් ආයතන වල ඉගෙනුම ලැබූ විද්වතුන්ගේ නායකත්වයෙන්ද මේ පක්ෂය බිහි විය.1934 දී වැල්ලවත්ත රෙදිමෝල තුළ සිදු වූ වැඩ වර්ජනයට මූලිකත්වය දෙමින් වාත්තීය සමිති නායකයෙකු වූ ඒ.ඊ.ගුණසිංහ මහතාට අභීයෝගයක් එල්ල කිරීමට සමසමාජ නායකයන්ට හැකි විය.

    ලංකාවේ පක්ෂ දේශපලනයේ ආරම්භයේම ඇත්තේ විදෙස් අභාෂයෙන් ලැබූ ප්‍රතිපත්ති සහ අරමුණු බව මෙයින් පැහැදිලි වනු ඇත.1947 දී මුල්ම මැතිවරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂය ට අයත් වූවෝ නම් මිනිරන් අරක්කු රේන්ද සහ රජයේ ඨානාන්තර සහ ඉඩම් හිමියන්ගෙන් සමන්විත ජන බල‌ෙව්ගයකි.ඒ පක්ෂය මෙහයවීමට  මුල් තැන් ගත් ඩී.එස්. මිනිරන් වෙළෙදාමෙන් ඉදිරියෙට පැමිණ අමද්‍යප ජාතික සටන මෙහය වූ එෆ්.ආර්. ‌ෙග් අනුප්‍රාප්තියා විය.විදෙස් අධ්‍යාපනය නිසාවෙන්ද බ්‍රිතාන්‍යයන් සමග කළ ගනුදෙනු නිසාවෙන් ද ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්ති සහ අරමුණු ද පෙළ ගැසුනේ ජාත්‍යන්තතර ප්‍රතිපත්තීන්ට අනුකූලවයි.අනතතුරුව බිහිවූ වාමාංශික පක්ෂ ද එ.ජා.ප. ය වනුවට ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙහයවූවන් බොහෝ පිරිසක් වි‌‌ෙදස් අධ්‍යාපනයෙන් පෝෂණය වී ඒ මත අදහන්නන් වූහ.

      1815 වසරේ ලංකාව ගිවිසුමකින් බ්‍රිතාන්‍යයන්ට රට පවා දුන් පසු 1818 දී සිදුවූ පරාජය නිසා ද 1848 අසාර්ථක කෑල්ල නිසාවෙන්ද ලංකාවට යටත් විජිතයක් බවට පත් වන්නට සිදු විය. මෙයට එරෙහිව පැන නැගුණු පානදුරාවාදය සහ අමද්‍යප ව්‍යාපාරය නියෝජනය කරන ලද්දේ මෙරට ග්‍රාමීය ප්‍රභූ පන්තියයි. අනගාරික ධර්මපාලයන් විසින් කුළු ගන්වනු ලැබූ මේ පිරිස ඔහුගේ අභාවයෙන් පසුව ක්‍රමානුකූලව යට කී පක්ෂ තුන මත ‌ෙගානු විය.මේ පක්ෂ විසින් වරින් වර රාජ්‍ය බලය ලබා ගනිමින් සිය පාක්ෂිකයන් සැනසීමට උත්සාහ දරා ඇත. අනගාරික ධර්මපාල තුමා අනුදත් මතවාදී ප්‍රවේශය ‌‌හෝ වසර දෙදහස් පන්සීයයක ඉතිහාසයෙන් ලැබුණු පන්නරය මේ පක්ෂ වලට ඇතුළත් කර ගන්නා ලද්දේ යම් කිසි පමණකින් හෝ සිරිමා බණ්ඩාරනායක යුගයේ දී පමණකි.‌නූතන යුගයේ තාක්ෂණික දියුණුව සංනිවේදන මාර්ග වල දියුණුව නිසා ඇති වූ ගෝලීය ප්‍රවණතා මීට හේතු වන්නට ඇති නමුත් දේශපාලන ප්‍රගමනයට හෝ සමාජ ප්‍රගමනයට මේ පක්ෂ කිසිසේත්ම උපයෝගී නොවීය.මූලික පක්ෂ තුන බිහි වීමෙන් පසු සෑම මැතිවරණ අවස්ථාවකදීම නව පක්ෂ බිහි වීම නිසා පුද්ගලවාදී කල්ලි කණ්ඩායම් වල ග්‍රහණයට දේශපාලනය නතු විය.නූතන ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව තුල මෙම පක්ෂ ක්‍රමය නිසිලෙස හැඩ ගස්වා ගැනීමටවත් සංවාදයක් ඇති නොවීම ඛෙදවාචකයකි.ඒ වෙනුවට විධායක ජනපති ක්‍රමයේ අඩුපාඩු පිළිබඳව සිදුවන නිරන්තර සාකච්ඡා වල ප්‍රතිඵලය වූයේ සියලු ප්‍රශ්ණ වලට මුල එම ක්‍රමයේ ආඥාදායකත්වයයි මතයක් සමාජය තුළ පැතිර වීමයි.

   මෙරට අතීත සමාජය කුල වශයෙන් බොදී සිටියහ.ගම්වසම් යටතේ ශිල්ප ශ්‍රේණි වලට සිය සේවා රාජකාරි ඉටු කිරීමට සිදු විය.ඒ සමාජ බෙඳීම රාජ්‍ය ඒකීයත්වයට සහ සමාජ ඒකාග්‍රතාවයට බාධාවක් නොවීය.සමාජයේ ජීවත් වූ කොයි තරාතිරමකම කණ්ඩායමක් හෝ අනෙක් ජන කොටස් සමග සමගියෙන් වීසීමට අවශ්‍ය සහිඳියාව බිහි කරන ලද්දේ බුදු දහම විසිනි. ‌බුදුදහමේ ඉගැන්වීම් පදනම් කරගෙන රජු විසින් නීති පනවන ලදහ. සතරවන මිහිඳු රජු කළ අනුරාධපුර ශිලා ‌ෙල්ඛනය මගින් ගම්වාසීන් බෙදා හදාගෙන ජීවත් විය යුතු යැයි ආඥා පනවා තිබුණි.වර්තමාන පක්ෂ දේශපාලනය තුල පෙර පැවතී කුල ක්‍රමය පදනම්ව සහ විවිධ ජන කොටස් පදනම්ව බෙදීම් වර්ධනය විය. පක්ෂයේ අනුගාමිකයන් විශ්වාස කරන ප්‍රතිපත්ති  වෙනත් කණ්ඩායමක් අනුගමනය නොකරන්නේ නම් එතැන ගැටීමක් වර්ධනය විය.වාමාංශික පක්ෂ වල පවතින මාක්ස්වාදී මූල ධර්මයන් තුළ හැඩ ගැ‌සෙන්නවුන් ඇතැම් විට සමාජ වෛරකක්කාරයන් බවට පත් විය. ඔවුහු ධනවාදයට එරෙහි වුවද යම් කිසි අවස්ථාවක දී තමන් වෙත ධනය එක් රැස් වූ විගස ධනවාදියෙකු බවට පත් විය.ඉඩම් හිමි ධනවතුන් සහ විවිධ ව්‍යාපාර පන්තීන් අනුගමනය කරන පක්ෂ තුල වර්නය වූයේ වංචනික බලාපොරොත්තු පුද්ගල කේන්ද්‍රීය බල ආධිපත්‍ය සහ තක්කඩි කමයි.මෙවැනි තත්වයක් යටතේ පක්ෂ සාමාජිකත්වය දරන මතය ද එයම විය. කොමිස් දේශපාලනය අල්ලස් ගැනීම් වෙළෙඳ පළ ක්‍රමයේ අයථා ගනුදෙනුතුල ඇති වූ තරඟය නිසා රටේ සාමයට විශාල බාධාක් ජනිත වී ඇත. ජාතියක් වශයෙන් රට දියුණට ගෙන යෑමට තිබුණ ප්‍රධාන බාධාව වශයෙන් මේ පක්ෂ දේහපාලනය හඳුනාගන්නට හැකි වනුයේ ඒ නිසාය.

     වසර අනූවකට ආසන්න කාලයක් තුල පක්ෂ විසින් රටේ බිහි කළ චින්තන දරිද්‍රතාවය සුළු පටු නොවේ.මේ වන විට ප්‍රධාන පක්ෂ සියල්ල යැ‌පෙනුයේ විදෙස් මුදල් වලිනි. මහා පරිමාණ රැස්වීම් පැවැත්වීමට එවැනි මුදල් ගලා යෑමක් නැතිව කළ නොහැකිය.පක්ෂ වල අනුගාමිකයන් ගේ රැළි බිහිවන්නේ මේ මුදල් පොම්ප කිරීමේ සීඝ්‍රතාවය අනුවයි.රටේ මුදල් වංචනික ලෙසට අත්පත් කර ගැනීම මුදල් විශුද්ධ කරණය පාතාල සමාජිකයන් විසින් ඩුබායි වැනි ආර්ථික කලාප වල පවත්වාගෙන යන මාෆියා ව්‍යාපාර ආදී බෝහෝ දේ වලින් රට ආපස්සට ගොස් තිබේ.එහි අවසාන ප්‍රතිඵලය නම් ස්වදේශීය දේශපාලකයන්ට රට කරවීමට හැකියාවක් නැතැයි යන ආකල්ප වර්ධන වීමයි.ඉන්දීය දේශපාලනය සහ ඇමරිකන් යටත් විජිත දේශපාලනය රටේ අරක්ගෙන තිබෙන්නේ මේ නිසාය.මෙවර ජනපතිවරණයේ දී වෙනසක් ඇති කරන්නේයැයි පාරම්බාන සියලුම පක්ෂ මේ ඛේදවාචකයට ගොදුරුවී අවසන්ය.ජනතාවට පක්ෂ ක්‍රමය තිත්ත වී ඇත.රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවිනිශ්චිත මානසික තත්වය සිය බල ‌දේශපාලනයට යොදා ගනිමින් සිටී.ප්‍රජාතන්ත්‍රවාදයේ සියළුම යහපාලන මූල ධර්මයන් උල්ලංඝණය කරමින් ඔහු යෙදී සිටින රංගනය කුමන විපතකින් ‌ෙකළවර වන්‌ෙන් දැයි කිසිවෙකුත් නොදනිති.වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ති‌බෙන ‌ෙප්‍රෟඩ ජාතියකට ‌ෙමවැනි අභාග්‍ය සම්පන්න කාල පරිඡේදයකට මුහුණ දීමට සිදු වීම සමකළ  හැක්කේ සීතාවක යුගයේ සිදුවූ සිදුවීම් වලට පමණකි.නමුත් මේ අවසානය නොවේ. බුදුදහ‌ෙම් චිර පැවැත්ම උදෙසා රට වෙනස් විය යුතුය. පක්ෂ දේශපාලනයද ඒ නිසාම අවසන් විය යුතුය.පක්ෂ වල අනුගාමිකයන් නොවී මේ පිළිබඳව සබුද්ධිකව කල්පනා කරන පිරිසක් රට තුළ බිහි විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

         

 

2 comments:

  1. වෙන රටවල සුළු ජාතිකයො රටේ මහ ජාතියට අනුගත වෙනව ඒකට මෙහෙ ,මෙහෙ ඉන්න එවුන් මහජාතියට අභියෝග කරනව හරියාකාරව සිංහල බෞද්ධ නායකත්වයක් නැතිකම තමයි හේතුව

    ReplyDelete