පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, June 27, 2024

පුසුල්පිටි වෙහෙර අනතුරේ -පුරාවස්තු හොරුන්ගේ කල්ලමරේ

 

                           


             සම්බුද්ධ ශාසනය විනාශ මුඛයට පත් කළ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවූ කාලයේ ජාතියේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ සඟවා තිබූයේ කොත්මලේ පුසුල්පිටි රාජ මහා විහාර භූමිය තුළ බව ජන ප්‍රවාද ගතය.මේ ආරාජික සමයේ කීරවැල්ලේ ශ්‍රීමල් බණ්ඩාරයන් සතුව තිබූ දළදා වහන්‌ෙස් දඹදෙණියේ පුස්තකාලාධිපතිව වැඩ විසූ වාචිස්සර නම් මා හිමි පාණන් වෙත භාර කරන ලදුව   පුසුල් පිටියට වැඩම කර එක් අප්‍රකට ස්ථානයක නිදන් කර ඇත.  අනතුරුව උන්වහන්සේ  එතරෙ වැඩම කොට ජීවිත ආරක්ෂා කරගත් බව ඉතිහාසයේ සඳහන්ය.  මාඝ ආක්‍රමණය නිසා විනාශ වූ රටත් ශාසනයත් නැවත බැබළවීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ කාලිංග විජයබාහු නොහොත් ශ්‍රී මල් බණ්ඩාර දඹදෙණිය සිය රාජධානිය බවට පත් කර දළදාවහන්සේ කොහි වැඩ සිටින්නේ දැයි විපරම් කොට බැලීය.කොත්මලේ පුසුල් පිටියේ එය තැන්පත්ව ඇතැයි යන ආරංචිය ලැබ පස්වනක් ප්‍රීතියට පත් වූ රජු මහ පෙරහරින් පැරණි ශ්‍රීපාද ගමන් මාර්ගයේ ගොස් පස්බාගේ ගඟින් එතෙරව දිඹුලට පැමිණ දිඹුල කන්දේ (විජයබාහු කන්ද ) ගමන් මාළිගාවක් තනා එහි රැය ගත කර අනතුරුව සාමාන්‍ය පෙරහරකින් නියම්ගම් දොරට පැමිණ එහි සිට සූදානම්ව පුද සිරිත් සහිත පෙරහරකින් පුසුල් පිටිය රාජමහා විහාරස්ථානයට ගොස් සියලු පුද සිරිත් සිද්ධ කොට දළදා වහන්සේ නිශ්චිතවම දකින්නට කැමතිව ප්‍රාතිහාර්ය පාන ලෙසට සැදැහැ සිතින් සත්‍ය ක්‍රියා කළේය. දළදා වහන්සේ අහසට පැන නැග සවනක් රැස් විහිදුවා සපු ගසක් මත මද වේලාවක් වැඩ සිට රජතුමාගේ හස්තයට වැඩම කළ බව ජන ප්‍රවාදයේ සඳහන්ය. අනතුරුව රජු මහ පෙරහරින් පැරණි පෙත්මග ඔස්සේ අටබාගේට පැමිණ දළදා වහන්සේ දඹදෙණියට වඩම්මවා   විජයසුන්දරාමයේ තැන්පත් කර මහත් පුද සිරිත් පළ කළ බව ඉතිහාසයේ සඳහන්ය.

     නුවර එලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පිහිටි පුසුල්පිටිය රාජ මහා විහාරය දෙවන පෑතිස් රජ දවස ඉඳි කරන ලද රාජ අනුග්‍රහය ලද පූජ්‍ය ස්ථානයකි.අවස්ථා ගණනාවකදී මේ වෙහෙර රාජ සම්මානයට පත් විය. දඹදෙණි යුගයෙන් පසු අවස්ථා දෙකකදී දළදා වහන්සේ මෙහි වැඩම කොට ආරක්ෂා කරන ලද්දේය.ගම්පළ යුගයේ සතරවන බුවනෙකබා රජ දවස මෙන්ම කීර්ති හ්‍රී රාජසිංහ රජ දවසදී මේ විහාරස්ථානයට කරන ලද සත්කාරයන් අපමණය.මලියදේව මහ රහතන් වහන්සේ විසින් දඹදිව් තලයෙන් වැඩම කරවන ලද දඹරන් පිළිමවහන්සේ සිවුනම අතරින් එක් නමක් වැඩ සිටින්නේ පුසුල්පිටිය රාජ මහා විහාරස්ථානයේය.ඒ සමග කලාත්මක වටිනාකමකින් යුක්ත වූ දැවමය මකර තොරණ ඇත්දළ යෙන් සකස් කරන ලද කරඬු ආදී මහාර්ඝ පූජා වස්තූන් මෙහි තැන්පත්ව පිහිටියේය.



         මේ සා මහා වැදගත්කමක් උසුලන මෙම විහාරස්ථානය 1983 වර්ෂයේ දී නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් විය.නාවල පිටිය කොත්මලේ මාර්ගයේ පිහිටි කලපිටියෙන් හැරී කි.මි. තුනක් පමණ මග ගෙවා පැරණි පෙත්මගක පැමිණ  උස්කඳුමුදුනක පිහිටි මේ විහාරයට පැමිණිය හැකියි.ඒ පිහිටී‌මේ හුදකලා බව නිසාම මේ වන විට සත්වතාවක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත. 2009 ජනවාර් 17 දින මේ ස්ථානයට ලඟා වූ නිදන් හොරුන් තඹ හා පිත්තල බුදු පිළිම වහන්සේ නමක් සොරගෙන ගෙස් තිබේ. ඉන් පසු 2009 සැප්තැම්බර් පළවන දින ද මේ ලෙසම පෞරාණික බුදු පිළිම වහන්සේ නමක් සොරගෙන ගොස් තිබේ. අනතුරුව 2011 දෙසැම්බර් 14 දින මෙම විහාරයට පැමිණි නිදන් හොරුන් එහි තිබෙන කුඩා ‌ෛචත්‍යයේ හතරැස් කොටුව බිඳ නිදන් වස්තු ‌ෙසාරාගෙන ගෙස් තිබේ. ඉන්පසු 2015 අගෝස්තු මස 16 දින පස්වන වතාවටත් එහි පැමිණි පිරිසක් පෞරාණික බුදු පිළිම වහන්සේලා සොරාගෙන ගොස් තිබේ. 2016 අගොස්තු මස 16 දින මෙම විහාරස්ථානයේ තිබූ වටිනාම පූජා වස්තුවක් වූ ඇත්දළ මුවා දළකඩ තොරණ නමින් හඳුන්වන මතර තොරණ සොරගෙන ගොස් තිබේ.පුසුල්පිටිය රාජමහා විහාරාධිපති පූජ්‍ය අමුණුගම විපස්සී නායක හිමියන් විසින් මෙයට අදාළ පැමිණිල්ල පොලිසිය වෙත කළ පසු   සැක කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ. අවසාන වතාවට 2017 අගොස්තු මස 03 දින සිවුදෙනෙකු පැමිණ දුටු ගැමුණු කුමරුගේ කෙවිට රන් ආභරණ සහ පෙති පිළිම වහන්සේලා තැන්පත් කර තිබූ චේතිය ඝරයත් සහිත කුඩා චෛත්‍ය ගර්භය බිඳ නිදන් වස්තු පැහැරගෙන ගෙස් තිබේ.

        මෙම ප්‍රවෘත්ති වලින් කියැවෙන කාරණා කිසිවක් අලුත් දේ නොවේ.එහෙත් පුසුල්පිටය වැනි ‌ෙඑතිහාසික විහාරස්ථානයකට අත්ව ඇති ශෝචනීය ඉරණම සහ මෙරට ආරක්ෂාව භාර අංශ සහ පැරණි දේ සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමේ ගැටළු සහගත ස්වභාවය හෙළි කිරීමට මේ සිද්දි ඉවහළ වන ආකාරය පැහැදිලි කල හැකිය.මේ සිද්දි දාමයේ බරපතලම සොරකම සිදු වූයේ 2016 වර්ෂයේ දීය. එනම් විහාරස්ථානය සතුව තිබූ සතරවන බුවනෙකබාහු රජු විසින් පූජා කරන ලදැයි සැළකෙන දළකඩ මකර තොරණ සොරා ගැනීමට අදාළ ව ආරක්ෂක අංශ ගත් පියවර සහ නීතිමය කටයුතු වල වර්තමාන තත්වය තුළ අපට දක්නට හැකි වන්නේ සොරුන් නිදැල්ලේ පුරාවස්තු අනතුරේ යන්නයි.



             2016 දී සිදු කළ මේ පුරාවස්තු සොරකමින් පසු පොලිසිය විසින් සැක කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් කරගෙන ඇත. ඒ සාක්ෂි  අනුව නඩු අංක බී/181/ 16 යටතේ නාවලපිටිය මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලද සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ සම්බන්ධව පොලිසිය විසින් 2016/9/20 දින  යොමු කරන ලද ලිපිය අනුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක වරයාව සිටි ගුණතිලක බණ්ඩා මහතා ක්‍රියාත්මක වී පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයට දන්වන ලදුව 2016 ඔක්තෝබර් මාසයේ දී අවශ්‍ය ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ. අනතුරුව 2017 ජනවාරි මස 27 දින පොලිසිය විසින් යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදුව 2017 පෙබරවාරි 7 වන දින ගරු අධිකරණයට මෙම පුරාවස්තුවේ වටිනාකම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තාව අනුව සැක කරුවන් හට ඇප ලබා දිය නොහැකි  බව පැහැදිලි වේ.

       මෙම දළකඩ මකර තොරණ උසින් අඩි 3.5 කි. දැවයෙන් සහ ඇත් දළ වලින් නිම කරන ලද මේ මකර තොරණ සොරාගෙන යන දින විහාරයේ සවි කර තිබූ CCTVකැමරාවේ මෙම සොරකම කරන ආකාරය මනාව සටහන් වී තිබුණි.මකර තොරණ ගලවා කර තබාගෙන යන ආකාරය තුළින් ගම්‍ය වනුයේ ඒ ස්ථානයට තිබූ ආරක්ෂාවේ දුර්වල ස්වභාවයයි.    මේ මහා හොරකම සිදුව සැක කරුවන් අත් අඩංගුවට පත් කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළ නිළධාරීන් ගේ පක්ෂපාතීත්වය හෝ නොසැළකිල්ල මත අපරාධ කරුවන්ට ඇප ලැබී තිබුණි. එසේම සොරා ගත් මකර තොරණද ඔවුන් ගෙන් ලබා ගැනීමට හැකියාව මෙතෙක් ලැබී නැත . මේ හා සමානව දැදිගම කොට වෙහෙරෙන් හමු වූ රන් කරඬුවට ද අත්ව තිබෙන්නේ ද මේ ඉරණමයි. පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය නිසා මේ වටිනා පූජනීය වස්තූන් කිසිවක් මේ තෙක් නැවත ලබා ගැනීමට හැකියාව ලැබී නොමැත. අවසානයේ දී මේ ඇප දීමට එරෙහිව නඩු කීමට සිදු වූයේ  පුසුල් පිටිය රාජ මහා විහාරයේ භාරකාර තැන්පත් ලංකා තිලක විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතාටය. ඔහු  ඉහළ අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු කරය බෙහෙවින් ප්‍රබල විය.නමුත් නඩු වාර ගණනාවකට පසු 2024 මැයි මාසයේ31 වන දින  නැවත නාවල පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පවත්වන ලද නඩු විභාගයේ දී නැවතත් සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සැළ වී තිබේ.

      පුරාවිද්‍යා ආඥා පනතේ 15(අ) වගන්තිය අනුව පුරාවස්තු සොරකමකදී දෙපාර්තමේන්තුවට කළ හැකි දේ සීමිතය. එම පුරාවස්තුවේ වටිනාකම සහ එහි ‌ෙඑතිහාසික අගය සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා විනා එය නැවත ලබා ගැනීමට මැදිහත් වීමට හෝ නඩුකරය මෙහෙයවා ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපාදන නොමැත. සියලුම වගකීම පැවරෙන්නේ පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. පොලිසිය විසින් දණ්ඩනීති සංග්‍රහයේ 366 වගන්තිය අනුවනඩු පවරා ඒ අපරාධමය වරද ඔප්පු කර දඬුවම් ලබා දිය හැකිය. ලංකාවේ ක්‍රියාත්මක මෙවැනි නඩුකර වලදී ඔවුන් දක්වන උදාසීනත්වය බරපතල තත්වයකි. ‌ෙසාරකම සම්බන්ධව මාධ්‍ය වල වාර්තා පළ වී නඩු පවරා අනතුරුව කාලයක් ගත වුවහොත් කිසිවෙකුගේ අවධානය එයට යොමු නොවේ.ඒ කාලය තුළ පුරාවස්තුව ඇතැම් විට විදේශ වලට විකුණා අවසන්ය.පෞරාණික වස්තු වල අනුරූ සංචාරකයන්ට අලෙවි කරන බොහෝ පිරිස් මේ සොරකම් වලට සම්බන්ධ බවට සැක පහළ කෙරේ.ඒ නිසා ඔවුන් පිළිබඳ නියාමනයක් සහ පුරාවස්තු සොරකම් සම්බන්ධ නීතියේ සංශෝධනයක් කළ යුතුය.පාර්ලිමේන්තුව තුළ අණ පනත් පැටව් ගහන සමයක අත්‍යවශ්‍ය පනත් සංශෝධන කිසිවක් සිදු කෙරෙන්නේ නැත. ඒ උරුමය විනාශ මුඛයට යෑම පාලකයන්ට ප්‍රශ්නයක් නොවන බැවින් යැයි කල්පනා කළ හැකිය.

 

මතුගම සෙනෙවිරුවන්

Wednesday, June 26, 2024

( මාළත්ත ) මයිලත්තමඩු කොට උරුමයට ඔප්පු දෙන මහවැලි වික්‍රමය

 


                       

              මහවැලි බී කලාපයේ සිංහල ‌ෙගාවීන් හයසීයකට පමණ ඉඩම් අහිමිව තිබිය දී ජනාධිපති තුමා සිය මඩකලපු සංචාරයේ දී දෙමළ ජනතාවට උරුමය සින්නක්කර ඉඩම් බෙදාදුන් ආකාරය පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාවක් විය.මහවැලි බී කාලාපය තුළ සශ්‍රීක ඉඩම් වල පාරම්පරිකව වගා කරමින් උන් දිවුලපතාන ‌ෙගාවීන් හට සිය ඉඩම් වලට ඇතුලු වීම වළක්වමින් මහවැලි බී කාලාපයේ නේවාසික කළමනාකරු සුගත් වීරසිංහ මහතා  විසින් චක්‍රලේඛනයක් නිකුත් කරනලද්දේ ද මේ අතරවාරයේය.මේ පිළිබඳව ජනපතිතුමා හමුවී කරුණු කීමට උත්සාහ කළ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව මංගලගම පොලිසිය විසින් ඒරාවුර් උසාවියෙන් වාරණ නියෝගයක් ලබා ගත් ආකාරයද දිවයින පුවත්පත වාර්තා කරතිබුණි.දෙමළ ගොවීන් ට උරුමය ලබා දෙන අතර සිංහල ‌ෙගාවීන් නෙරපීම වාර්ගික පවිත්‍රකරණයේ තවත් අවස්ථාවක් ලෙසට හඳුන්වා දිය හැකිය.

      1815 දී සහ 1848 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළ වීරෝධාර සිංහල ජනතාව සමූල ඝාතනය කරලීම සඳහා ඇරඹි බිම් පාලු ප්‍රතිපත්තිය ඌව වෙල්ලස්ස පමණක් නොව බින්තැන්න කරාද තමන්කඩුව කරාද පැතිරුණේය.ඉන් නොනැවතුණු ඉංග්‍රීසි පාලකයන් පළමුව රට පළාත් පහකට ‌ෙබදා බින්තැන්න මඩකලපුවට එකතු කර මාදුරු ඔය ශිෂ්ඨාචාරය ද මඩකලපුවට මායිම් කරන ලද්දේය. මේවා කරන ලද්දේ හිතා මතාමය.ඉන්පසු නැගෙනහිර මුහුදු තීරයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව පදිංචි කොට ප්‍ර‌දේශයේ විසූ  මූදුකර වැද්දන් ගේ දරුවන් දෙමළ පාසල් වලට ගාල් කොට දෙමළ ජන කොටස් අතර දිය කර හැරි ආකාරය ඉතිහාසය සොයා බැලීමෙන් දත හැකිය. මඩකලපුවේ පදිංචි වූ දෙමළ ජනගහනය සිය රැකියාව වශයෙන් තොරා ගත්තේ ගව පාලනයයි. ඔවුහු මුස්ලිම් ගොවීන් සමග ඒකතුව ගව පාලනය කරමින් සිය ගවයන් තමන්කඩුව නොහොත් පොලෙන්නරුව දක්වාම දක්කවමින් තණ කැවීමේ නිරත වූහ.

    මඩකලපුව අම්පාර සහ පොලොන්නරුව යනුවෙන් දිස්ත්‍රික්ක වෙන් කර සිතියම් සකස් කළ පසු මාදුරු ඔය කලාපය පාලනය ‌ෙකරුණේ අම්පාර දිස්ත්‍රික්කයෙනි.1987 කොටි ත්‍රස්තවාදීන් දිවුල පතාන ගමට කඩා වැදී කැතිගා සිංහල ගොවීන් නව දෙනෙකු ඝාතනය කරන කල්හිද එය එසේ විය.පසුව මෙම පෙදෙස මඩකලපුව පරිපාලන ප්‍රදේශයේ චෙන්කලාඩි  වසමට අයත් කරන ලද්දේය.ආරංගොඩ  ඔය නැතහොත් හික්කාගල ඔයෙන් එගොඩ මෙගොඩ ජීවත් වුවද පරිපාලන ප්‍ර‌ෙද්ශ දෙකක් වුවද මේ ජනතාව එකම ඥාතීන් පිරිසක් වූහ.ගොයම් කපා ගැනීමෙන් පසු මඩකලපුවේ සිට දිවුල පතාන සීමාවට දක්කවන ගවයන් එහි පිටාර තැනිතලාවල සාරවත් තණ උලා කමින් සිටි ආකාරය මැත ඉතිහාසයේ දකින්නට හැකිය. දිවුලපතාන ගොවීන්ද  සංක්‍රමණික කිරිගව අයිතිකරුවන්ද සහයෝගයෙන් මේ ප්‍රදේශ වල ජීවත් වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

       දිවුලපතාන ගමට උතුරින් තොප්පිගල රක්ෂිතයයි.සිංහල රජකාල‌යේ මේ ප්‍රදේශය තුළ සශ්‍රීක ගොවිබිම් පැවති අතර සෑම කඳු ගැටයකම විහාරස්ථානයක් විය. මේවා අද නටබුන් වී තිබේ.ගොවිබිම් කැලෑවට යටව තිබේ. තොප්පිගල රක්ෂිතයට පහළින් දිවුලපතාන ගමට උතුරින් වලමණ්ඩිය පාරේ ඉහළට යන කල්හි මියන්කල්ලු කුලම හමුවෙයි. අතීතයේ දී මේ ගම හඳුන්වනු ලැබූයේ මීවන්ගම යනුවෙනි.මේ මීවන්ගමත් රජගලත් අතර විශාල සම්බන්ධයක් තිබේ. රජගල නොහොත් රාස්සහෙළ කඳුගැටය තිබෙන්නේ අම්පාර දිසිත්‍රික්කයේය. අතීතයේ රජගල ප්‍රසිද්ධියට පත් වූයේ අරිත්තරා විහාරය යනුවෙනි.ක්‍රි.ව. 787 කාලයේ රාජ්‍ය විචාල පළමුවන උදය රජු ගේ කාලයේ දී රෝහණ දේශය පාලනය කරන ලද්දේ දළසිව නම් පාලකයෙකි.ඔහුගේ අණින් මෙම අරිත්තරා විහාරයට විශේෂ ගම්බිම් පූජාවක් කර ඇත. ඒ ශිලාලේඛයේ  දක්වා ඇත්තේ මෙවැනි කරුණකි.

    ඈපායි දළ සිවයිහු වජනින් අප අරිත්තරා වෙහෙරැ වැසි වත්හිමියනට් මාළත්තෙ ගුළවැල්ලැ මිවන්ගමු සතර් පයල් දිනි.තෙල්කිරි මිසැ අන් වළජ් නොකරන කොට් වජාලම්හ. වත්හිමියන් වජාලෙයින් ලම්ජනවු දයිමියි ටිලියැවීමි.( අරිත්තරා වෙහෙර වාසී වත්හිමියන් වහන්සේට පරිභෝග පිණිස  දළසිව නම් ඈපා ගේ අණින් මාළත්ත ප්‍රදේශයේ ගුළවැල්ලේ මිවන්ග්‍රාමයේ පෑල්සතරක ඉඩම් ලබා දී තිබේ. මේ ඉඩම් වලින් කිරි සහ ගිතෙල් ඇර වෙනත් ගොවිතැනක් නොකරන ලෙස වත්හිමියන් වහන්සේ වදාළ බවට දිවුල්දනව්වේ දයිමි ප්‍රකාශ කරයි. )  මෙම ලිපිය දැනට රජගල පැරණි අරිත්තරා විහාර භූමියේ පවතින අතර මෙහි සඳහන් කරන මාළත්ත මිවන් ග්‍රාමය පවතින්නේ වර්තමාන මඩකලපු දිස්ත්‍රික්කයේ පෙරියවෙල්ලි වසමේ මියන්කල්ලු වැව ආශ්‍රිතවයි.

      දහනවවන සියවසේ මේ ප්‍රදේශ ඝන කැලවට යටත් වූ පසු සිංහල ශිෂ්ඨාචාරය අභාවයට පත් වූයේය.ඉංග්‍රීසීන් මේ ප්‍රදේශ ඉහත දක්වා ඇති පරිදි තොප්පිගල රක්ෂිතයට සහ ඔමුණුගල රක්ෂිතයට මායිම් කළහ.මඩකලුපවේ පදිංචි දෙමළ ගොවීන් තමන් සතු හරක් පට්ටි දක්කවමින් මාදුරු ඔය පිටාර තැන්තලාවල කරක් ගැසීමට පටන් ගැනුණේ විසිවන සියවසේ මුල් භාගයේ සිටයි.ඒ වන විට සිංහල කිරි ගොවීන් නැත. අරිත්තරා වෙහෙරට පූජා කළ ගම්බිම් මේ ගොවීන් හඳුන්වන ලද්දේ මයිලත්තමාඩු (මාළත්ත+මාඩු) යනුවෙනි. හරක් දැක්කවීමට ඔවුනට සීමා මායිම් තිබුණේ නැත. මාදුරු ඔයෙන් එගොඩටද දැක්කවීම සම්ප්‍රදාය විය.මහවැලි සංවර්ධනය සඳහා මේ ප්‍රදේශ 1979 දී ගැසට් කළ පසු මාදුරු ඔය වම් ඉවුර සංවර්ධනය කර දිඹුලාගල පිඹූරත්තෑව ආදී ප්‍රදේශ නැවත ගොවිබිම් බවට පත් කරන ලද්දේය.එහෙත් තිස්වසරක් පැවති කොටි ජන ඝාතක යුද්ධය නිසා දකුණු ඉවුර සංවර්ධනයට බඳුන් නොවීය. 2009 යුද්ධය හමාර වීමෙන් පසුව මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනයට සැලසුම් සකස් කෙරිණ. නමුත් යුද්ධය අවසන් වුවද උතුර සහ නැගෙනහිර දෙමළ ජාතිවාදය අවසානයක් වී නොතිබුණි .දිවුලපතාන අසළට පැමිණි කිරිගවඅයිතිකරුවන් සහ සිංහල ගොවීන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට මොවුන් උත්සුක විය. මේ ජාතිවාදී අන්තවාදී පෙළඹවීම් කරනුයේ පාර්ලි‌මේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් මිස සමාන්‍ය ජනතාව නොවේ. ඒ ප්‍රදේශ නියොජනය කරන පිල්ලෙයාන් කරුණා සහ රාසමානික්කම් වැනි දේශපාලනඥයන් සාමාන්‍ය ජනතාව අතර සිටින ඔවුන්ගේ නියෝජිතයන් බටට පත් ව සිටින පුද්ගලයන් උසි ගන්වමින් සිංහල දෙමළ දෙපිරිස අතරම ඝට්ටන ඇති කරන්නට සමත් වී තිබේ.

    මයිලත්තමඩු යනුවෙන් වර්තමානයේ හඳුන්වන ප්‍රදේශයේ කිරි ගොවීන් හා දිවුලපතාන ගොවීන් අතර විරසකයන් නිර්මාණය කරනුයේ දෙමළ දේශපාලඥයන්ගේ වුවමනාව පිටය. මඩකලපු කිරි ගොවීන් ගේ හරක් පට්ටි වල සිටින දහසක් පමණ වූ ගවයන් පෙර සිරිත අනුව ගොයම් කපා පා ගැනීමේ කාලයට නොව සෑම කාලයකම මේ ප්‍රදේශවලට දක්කවනු ලබති. මියන්කල්ලු වැවට පහළින් වූ ප්‍රදේශයේ වාඩි ගසා ස්ථිර ලෙස පදිංචි කර යලට මහට ගොවිතැන් කරනු ලබන දිවුලපතාන සිංහල ගොවීන් ගේ කුඹුරු වලට සහ හේන් වලට මුදා හරිති. මේ නිසා ඇති වන ගැටුම් වලදී මිය යන්නේ ගවයන්ය. ඒ අතර හොරට හරක් මරමින් මුස්ලිම් මිනිසුන්ට විකිණීමේ ජාවාරමක්ද දේශපාලඥයන්ගේ ගෝලබාලයන් විසින් කරවනු ලබති.  වැලි ජාවාරමක්ද ගජරාමෙට ක්‍රියාත්මක වෙයි. මේ සිද්දි කිසිවක් විමර්ශනය නොකර සිංහල ගොවීන් විසින් දෙමළ කිරි ගොවීන් ගේ හරක් 1400 ක් පමණ ඝාතනය කර ඇතැයි පසුගියදා පළ වූ ඩේලිමිරර් පුවත්පතක දක්වා තිබිණ.පරම්පරා පහක් දෙමල කිරිගව අයිතිකරුවන් විසින් පරිහරණය කළ මයිලත්තමඩු තණ බිම් සිංහල ගොවීන් විසින් ආක්‍රමණය කර ඇති බවද එහි දක්වා තිබුණි.යථාර්තය එය නොවේ.මාළත්ත මයිලත්මඩු කොට පාරම්පරික සිංහල ගම්මාන ආක්‍රමණය කර තිබෙන්නේ මඩකලපුවේ ඉන්නා දෙමළ කිරිපට්ටි අයිතිකරුවන්ය.මහවැලිය මේ ගැටුම් දඩමීමා කොටගෙන තමන්ගේ හිතවතුනට වැලි ජාවාරම් කරන්නට ඉඩ ලබාදෙන අතර මේ අයගේ ඩෝසර වලට පුරාවස්තු පවා ඉගිල්ලෙනෙ හැටි සංවේගයෙන් දන්වා සිටිය යුතු වෙයි. එදා ඉංග්‍රීසීන්  1818  විමුක්ති අරගලයේ දී සිංහලයන් මේ පෙදෙස් වලින් පන්නා දමා දෙමළ සහ මුස්ලිම් ජනයා පදිංචි කලා සේ. වර්තමාන මහවැලිය ද දිවුලපතාන වැනි ගම්මාන වල ජීවත් වූ සිංහල වැසියන් හට  උසාවි වාරණ පනවමින් ඇතුලු වීම වළක්වමින් හමුදාව යොදවා මාර්ග බාධක තබවමින් ගොවීන් ගේ පමණක් නොව හාත්පස ජීවත්වන ජනතාවගේද මූලික අයිතිවාසිකම් කඩකරමින් සිටී. මේ සම්බන්ධව දැනට ශ්‍රේෂ්ඨාධීකරණයේ නඩුවක් පවතින අතර මාළත්ත මයිලත්තමඩු කළ මහවැලි නිළධාරීන් පිළිබඳ හෙළිදරව් කිරීමට ද  අවස්ථාවක් උදාවෙනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

 

Monday, June 17, 2024

වැල් පාළමේ පැද්දීම ආර්ථික පරිවර්තනීය ගමනක් ද

 

                               


           ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සහ ඔවුන් විසින් නිර්දේශ කරන ලද ආර්ථික මග අනුගමනය කරනු වස් වර්තමාන ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනතක් ගෙනවුත් තිබේ.මෙම පනත ව්‍යවස්ථාවට එකඟද නැතිද යන්න මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සළකා බලා ඇති අතර එය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇත. විශේෂයෙන්ම එම පනතේ සඳහන් විදේශ ආයෝජකයා සහ දේශීය ආයෝජකයා  ට ලැබෙන සමාන ඉඩ ප්‍රස්ථා පිළිබඳ තත්වය අභියෝගයට ලක්ව ඇත.

     ලංකාවේ ආර්ථිකය ඉතා බෙලහීන තත්වයක තිබෙන බව කවුරුත් දන්නා කරුණකි.කාලයක් තිස්සේ අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති අයවැය සමතුලිත කිරීමට සහ යටිතලපහසුකම් සංවර්ධනයට ලබා ගත් ණය මෙන්ම නාස්තිය දූෂණය වැනි කාරණා නිසා මෙලෙස මෙරට ආර්ථිකයේ විශාල පසුබෑමක් වාර්තා වී ඇත.මේ සඳහා වන එකම විකල්ප මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය මත නිර්දේශිත මාර්ගය බව ආණ්ඩුවේ මතයයි. ණය ගෙවීම පිණිස ණය ලබා ගැනීම යනු බැංකු කටයුත්තකදී නම් මහත් අවදානම් කාරණයකි.පුද්ගලයෙකුට ඉන් ගොඩ යෑමට හැකි වන්නේ ඔහුගේ ව්‍යාපාරික වටිනාකම් එක පැහැර ඉහළ ගියහොත් පමණකි.ලංකාවේ ආර්ථිකය තුළ උදාව තිබෙන තත්වය අනුව එවැනි විශ්වකර්ම නැග්මක් දකින්නට බලාපොරොත්තු විය නොහැකිය.

        1833 දී ලංකාවට පැමිණි කෝල්බෘක් සහ කැමරන් සාමි වරුන් විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාව අනුව මෙරට ස්වයංපෝෂිත ආර්ථිකය උඩුයටි කුරු කරන ලද්දේය.ජනතාව භූමියෙන් බැහැර කොට මුදලක් ගෙවන සේවකයෙක් බවට පත් කිරීමේ අභිප්‍රායෙන් රාජකාරිය අහෝසි කොට ආර්ථික වික්ෂිප්ත තත්වයකට ඇද දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ ගැමි කෘෂි ආර්ථිකය කඩා වැටීමයි. වාර්මාර්ග බිඳ වැටීම සහ ඒ මතින් පැණ නැගුණු වසංගතතත්වයන් මත ඇතිවූ සෞඛ්‍ය පිරිහීම නිසා  ඉංග්‍රීසීන්ට විශාල අභියෝගයක් ඇති විය.ඊට වහා ප්‍රතිකර්ම යෙදිය  යුතු බව ඔවුන්ට වැටහී ගියේය.අනතුරුව විවිධ අණ පනත් මගින් ලංකා භූමිය අත්පත් කර ගැනීමට ඉංග්‍රීසීන් දක්ෂ විය.1840 අනවසර ඉඩම් ආඥා පනත 1889 බෞද්ධ විහාර ඉඩම් ආඥා පනත 1897 මුඩුබිම් ආඥා පනත ආදිය මේ අතර විය.ඒ ඉඩම් වැවිලි ආර්ථිකය සඳහා විකුණා දැමින. ඉඩම් අහිමි ගොවීන් ගේ දුක් අදෝනා අසන්නට කිසිවෙකු සිටියේ නැත. උඩරට හදබිම වනසා කෝපි තේ සහ පසුව පහතරට රබර් ආදේශ කිරීම නිසා මෙරට ජාතික ආර්ථිකය සහමුලින්ම බිඳ වැටුණි.එදා සිට අද දක්වා ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තීන් අතර මේ යටත් විජිත ආර්ථික ප්‍රභවයන් අඩු වැඩි වශයෙන් දක්නට හැකිය. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති පවා බ්‍රිතාන්‍ය කොලණි ආර්ථිකයේ දිගුවක් විලස හැඳින්විය හැකිය.         වර්තමාන ආර්ථික පසුබෑමට හේතු සාධක ඇති වන්නේ මෙකී යටත් විජිත ආර්ථිකය බරවා කකුළක් ලෙසට පවත්වා ගෙන යෑම මිසක එය පදනම් ව නිර්මාණය වූ වංචාව දූෂණය ආදී මානව ක්‍රියාකාරකම් නිසා  නොවේ.ඒ නිසා සැබෑ ආර්ථික පරිවර්තනය යනු මෙකී යටත් විජිත ආර්ථිකයෙන් බැහැර ව කල්පනා කරන ඒ පිළිබඳ සැලසුම් සකස් කරන ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව දීමක් විය යුතුය.ඒ පර්වර්තනයට පදනම් විය යුත්තේ මූලිකවම ලංකාවේ දළ ජාතික නිස්පාදනය යන යටත් විජිත මෙවලමයි. ඒ වාක්‍ය නැවත නිර්වචනය කිරීම තුළ අපට ගැලපෙන ජාතික ආර්ථික සැලැස්මක් සකස් කර ගැනීමට මාවත සැකසෙනවා නියතය. වසරක කාලයක රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකම දළ ජාතික නිෂ්පාදිතය ලෙසට සැළකේ. එනම් කිසියම් කාල සිමාවකදි යම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුළ නිශ්පාදනය කෙරෙන අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි . රට වැසියන්ගේ පරිභෝජන වියදම, ව්‍යාපාර වල ආයෝජන සහ රජයේ වියදම් වලට අපනයන වලින් ලැබෙන ආදායම යන සියළු අංශ එකතු කිරීමෙන් පසු ලැබෙන අගයට විදේශ වෙළඳාමේ වාසිය හෝ අවාසිය එකතු කෙරේ. විදේශ වෙළඳාමේ වාසිය හෝ අවාසිය සේ සලකන්නේ අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කරන ලද විට ලැබෙන උත්තරයයි. ගණනය කිරීමෙන් පසු ලැබෙන අගය සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය සේ සලකයි.

      1936 දී එළි දුටු කේනිසියානු ආර්ථික මූල ධර්ම සහ නව කේනිසියානු නිගමනයන් අනුව 1960 දශකයේ සිට ක්‍රියාත්මක මෙම ආර්ථික මූල ධර්මයන් සකස්ව පවතින්නේ වෙළෙඳ පළ ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට පමණි.ඒ මත යම් කිසි බලවත් රටක මූල්‍ය ඒකකය පදනම්ව ආර්ථිකය හැසිරවීම සිදු වේ. අතීතයේ දී ලංකාවේ ආර්ථිය හසුරුවන ලද්දේ පිරිවැය මූලික කරගත් නෛසර්ගික මූල්‍ය ඒකකයක් මගිනි. තඹ කාසි හෝ රන් කාසි ඒ සඳහා අච්චු ගසන ලදහ. රටින් බැහැරට යන අමුද්‍රව්‍ය මෙන්ම රටට පැමිණෙන අමු ද්‍රව්‍ය මිළ දී ගනු ලැබූයේ ඒ පිරිවැය මූලික කරගත් මුදල් ඒකක මගිනි. වර්තමානයේ  දී මහ බැංකුව විසින් අච්චු ගස්සවන කාසි වලට හෝ නෝට්ටු වලට එවැනි නෛසර්ගික මූල්‍යමය වටිනාකමක් නැත. ඒවා කඩදාසි වශයෙන් සහ ලෝහ කැබලි වශයෙන්ද ගණන් ගත හැකිය. නමුත් මහ බැංකුව විසින් සම්මතයක් නියම කර ඇති හෙයින් ඒවාට මූල්‍ය වටිනාකමක් ලැබේ. එහෙත් ඩොලර්යට සාපේක්ෂව මේ වටිනාකම් වෙනස් වන ආකාරය කවුරුත් දනී. වෙළෙඳපළ ක්‍රමය ට සාපේක්ෂව ක්‍රියාත්මක දළ ජාතික නිෂ්පාදනයට නොවැටෙන නොසලකා හැර තිබෙන ආර්ථික මූලයන් රාශියක් ලංකාවේ තිබේ. ධාන්‍ය එක් රැස් කිරීම එකකි. ස්වභාවිකව ලැබෙන ආහාර තවත් එකකි. අතීතයේ දී ධාන්‍ය රැස් කිරීමට සහ ඒ මගින් ආර්ථිකයට සවියක් වීම සඳහා ධාන්‍ය බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක විය. තෝනිගල ශිලා ලේඛනය ඊට උදාහරණ සපයයි.තැන්පත් කරන ලද ධාන්‍ය ප්‍රමාණය හුවමාරු කිරීමෙන් හෝ අලෙවි කිරීමෙන් ලැබෙන පොළිය අරියවංශ දේශනාව පැවැත්වීමට යෙදවීය යුතු යැයි එදා රජ අණ විය.තිඹිරිවැව ලිපිය සහ මිහින්තලා මහා සෑය ට පහළින් ඇති ලිපියක ලැබෙන ආදායම කොටස් හතරකට වෙන් කර බෙදා දෙන ආකාරය දක්වා තිබේ.මේ ක්‍රම එක්තරා ආකාරයක වෙළෙඳ පළ ක්‍රමයකි. පිරිවැය මත පදනම්ව ආර්ථිකය තීරණය කරන ක්‍රමයකි. මේ ක්‍රමයම වර්තමානයට ගැලපෙන සේ පරිවර්තනය කර ජනතාව සතු වත්කම් රටේ ආර්ථිකයට ප්‍රයෝජනවත් පරිදි යෙදවිය හැකිය. එවිට දළ ජාතික නිෂ්පාදිතයට කාෂිකර්මයේ දැනට තිබෙන දායකත්වය වන සියයට හයේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් වර්ධනය කර ශක්තිමත් මට්ටමකට පැමිණවිය හැකිය.දැනට තිබෙන සේවා ආර්ථිකයට ඒ සඳහා යටිතල පහසුකම් සැපයීමට මේවායින් පළක් නැතැයි යමෙකුට කියන්නට හැකිය.එහෙත් ඒ කොයිවත් කළමනාකරණය කර ගත හැක්කේ අලුත් ආකාරයකට සිතීමෙනි.

    ණය ගැනීම සහ පරිභොජ්නය පිළිබඳ මෙරට බෞද්ධ ආර්ථික ක්‍රමවේදයක් අවුරුදු දහස් ගණනක සිට අත්හදා බලා තිබේ. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි තමන් උපයන ආදායමින් එක්කොටසක් පරිභෝජනයටද කොටස් දෙකක් ව්‍යාපාර සහ ගොවිතැන් කටයුතු සඳහා යෙදවීමටද අනෙක් කොටස අපදාවකදී ගැනීමට ඉතිරි කර තබා ගත යුත්තේය යන උපදේශය දී ඇත. ගිහියෙකු ගේ මෙලොව දියුණුවට අවශ්‍ය උපදෙස් ද ව්‍යග්ඝ පජ්ජ සූත්‍ර දේශනාවේ ඇත. විශේෂයෙන්ම ආරක්ඛක සම්පදා සහ සම ජීවිකතා යන කාරණා දෙක සළක බැලුවහොත් ලබාගන්නා ආදායම ආරක්ෂා කර ගන්නේ කෙලෙසද ආදායම ඉක්මවා වියදම් නොකරන්නේ කෙසේද  ණයක් නැතිව වැය කර ගන්නේ කෙසේද යන්න උගන්වයි. මේ උපදේෂයන් අද නොසලකා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය රැගෙන රටේ එදිනෙදා වියදම් වලට වැය කර ආර්ථික දියුණුවක් ලබන්නේ යයි ප්‍රකාශ කරති.එය වැල් පාළමේ ගමනක් යයි උදම් අනති.අවසානයේ මුදල් නැති නිසා රට පුරා සුරාසැල් විවාත කර සුරාබදු ආදායමෙන් රට කරවන්නට සිතා ගනිති. මේවා මහා අපරාධයන්ය. සැබෑ ආර්ථික පරිවර්තනයකට යෑමට නම් අප අපගේ මූලය සොයා යා යුතුය. යටත් විජිත ආර්ථිකයෙන් ගැලවී ජාතික ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට උත්සුක විය යුතුය.උට්ඨාන සම්පදාව ඇත්තේ ඒ සඳහාය.

මතුගම සෙනෙවිරුවන්

 

 

 

Wednesday, June 5, 2024

පහත් බිම් වලින් ජලය ගලා යෑමට ඉඩ දෙන්න

                                    

         වෙසක් පෝය නිම වීමත් සමගම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව  මගින් ඒකතු වූ  පිටාර වතුරාව සහ ගං වතුරාව නිසා මේ වන විට දිස්ත්‍රික්ක කීපයකම විශාල විනාශයක් සිදුව අවසන්ය. විශේෂයෙන්ම ගම්පහ නගරය ,කඩුවෙල ,කොලොන්නාව ,අවිස්සාවේල්ල ,පුවක් පිටය ආදී ප්‍රදේශ යට කරමින් ගැලූ සැඩ පහර අති භයංකර විය.අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ නගරය යටවීම දේශගුණික විපර්යාසයන්ට ලඝු කරමින් සිටින අයුරු පෙනී යයි.සුපුරුදු පරිදි මේ වතුරාව නිසා පීඩාවට පත් වූ ජනතාව සොයා යමින් සහනාධාර බෙදමින්  රූපවාහිනී ප්‍රදර්ශන තබන දේශපාලකයන් රැසක් දක්නට හැකි විය. නියන් කාලයට ඇති වන දැඩි උණුසුම ද ගං වතුර කාලයට සිදු වන වර්ෂා විපත් වලටද එකම හේතුව වර්තමාන එල් නීනෝ තත්වය යයි තහවුරු කරන මතයට විද්‍යුත් මාධ්‍ය වල වැඩි ඉඩ කඩක් වෙන් වී පවතී.

          අක්වැසි ,නාකපන වැසි, ධාරානිපාත වැසි, මොර සූරන වැසි ආදී වශයෙන් වර්ෂාව පිළිබඳ සිංහල ජන වහරේ දිග හැරෙන වදන් සුලභය. එයට හේතුව වර්ෂාව විචිත්‍රත්වයට නන්වා එය තේරුම් ගැනීමටත් වර්ෂාව නිසා ඇති වන නොයෙකුත් විපත් වලට මුහුණ දීමටත් අපගේ පැරණි ජනතාව පුරුදු පුහුණු  වී තිබීම ය. උතුරේ පමණක් ඉන්දීය දේශය තිබියදී  ඉන්දියන් සාගරයේ  මහා ජල කඳකට මැදිව  දකුණේ ගොඩබිමක් නොදැක පවතින කල්හි රට වටා හමන සුළං ප්‍රවාහය සහ රට හරහා දෙපැත්තටම යනෙන සුළං ප්‍රවාහයන් නිසා ලංකා අහසේ එක් රැස් වන වළකුළු ගැබ්බරව වැහි බිත්තර බවට පත් වී නියමිත කාල වකවානුවකදී වර්ෂාව ලෙසින් පොළවට පතිත වේ.මේ කාලය පැරණියන් සැළකුවේ යල සහ මාස් කන්නය යන නාමයෙනි.සිංහල අවුරුද්දට ප්‍රථම උදාවන බක් මාසයෙන් ඇරඹි යල් කන්නය මුල් කාලයේ ත් ඇසළ මාසය ගෙවී ඇරඹෙන නිකිණි මාසපෝයත් සමග ඇරඹි මාස් කන්නය ආරම්භයේ ත් රටේ ගොවිතැනට යොදා ගන්නේ පසුව මහ වැසි බලාපොරොතුවෙනි.අලුත් සහල් මංගල්ලය, ගම්මඩු ,මුට්ටි මංගල්ලය ආදී පුද පූජා මධ්‍යයේ සොබා දහම සතුටු කිරීම තුළින් කලට වැසි ඇති වීම රටට සුගතියක් විය.රජු ධාර්මක වූයේ නම් වැසි කලට සිදු විය.රටේ මැද කඳුකරයෙන් පටන් ගැනෙන මහා ගංගා වියරු වී වැහි ජලය පුරාවා ගෙන ගම් බිම් යට කරගෙන යන දවසද මේ පැරණියන් දැන සිටියහ. ඒ සඳහා ඔවුන්ට හොඳ සූදානමක්ද විය. ජල පහරවල් වියරු වි යන දවසක පුරවා ගත් වැව් කොටු ද කඩාගෙන යන බවද ඔවුහු දැන සිටිහය. ඒ නිසා ඒවා නිසි කලට අලුත් වැඩියා කරමින් බැමි ශක්තිමත් කරමින් සොබාදහමට අනුකුලව ජීවත් වීම පෙර සිරිතක් විය.

          සියලුම් කාල වකවානුවල වූ යටත් විජිත පාලනය මේ සියල්ල වෙනස් කරන ලද්දේය.චෝලයන් පමණක් නොව කාලිංග මාඝයන්ද මේ පෙරසිරිත අවුල් කළහ. පරංගි ,ලන්දේසි ,ඉංග්‍රීසි නිල දරුවන් මේ පෙරසිරිත වෙනස් කොට රාජකාරිය අහෝසි කලහ. වැව් ඇළ දෙල නඩත්තුව තහනම් කළහ. ඒ හිතුවක් කාරී ක්‍රියා වල අවසන් ප්‍රතිඵලය වූයේ මහා ගං වතුර විනාශයයි.වාසනාවකට ඒ වූ සැණින් ඔවුහු ඒ නියාම ධර්මය තේරුම් ගෙන පිළියම් යෙදීමට උත්සුක වූහ.වාර්මාර්ග අංශ හක්තිමත් වූයේ ඒ නිසාය.නමුත් ලංකාට නිදහස ලැබීම සහ පාලනය ස්වදේශිකයන් අතට පත් විමේ වාසිය පසුගිය වසර හැත්තෑ හය පුරාවටම අප භුක්ති නොවින්ද බව සහිපත් කළ මනාය. නිරිත දිග කලාපය ජනාකීර්ණ වීම නිසා  විශාල නගර බිහි වීමත් සියලුම ආර්ථික මර්මස්ථාන ඒ වටා ගොනු වීමත් කරන කොට ගෙන සියල්ල උඩු යටි කුරු විය. බස්නාහිර තෙත් කලාපය සමස්තයක්  වශයෙන් ජල දුර්ග සහ වගුරු වලින් සමන්විතය ඒවා ගොඩ කර විසල් නගර බිහි වීම සුලභ සිදු වීමක් විය. එය හඳුන්වන ලද්දේ නවීන සංවර්ධනය යනුවෙනි. ඒ නාගරික ප්‍රදේශයන්ට යටිතල පහසුකම් බිහි කිරීම අනිවාර්ය කොන්දේසියක් විය. ඒ නිසා මාර්ග පුලුල් වීම සහ අධි වේග මාර්ග ජල අලුතින් බිහි වීම පිළිබඳ ඉතිහාසයක් මෑත කාලයේදී දකින්නට ලැබේ.දක්ෂිණ අධිවේගය තනන මුල් කාලයේ  නිරන්තර ජලගැලුම් වලට යටවෙන පහත් බිම් පිළිබඳ පරිසරවේදීන් කල අනතුරු හැඟවීම් බලධාරීන් තුට්ටුවකට මායිම් නොකළහ. වර්තමාන වැලිපැන්න පිවිසුම ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. විවිධ වංගු ගනිමින් ගමන් කරන ස්වභාවික ජල ධාරා සරළ රේඛාවක් දිගේ  තරමක් විශාල බෝක්කු කටවල් වලින් සහ පාලම් මගින් බැස්ස වීමට සැලැස්වීම ඔවුන් ගේ ක්‍රියාමාර්ගය විය. මහා පස් කඳු පුරවා සමතලා කොට සෑදූ පාරට යටවුණු  ප්‍රදේශයේ දෙපස ගං වතුරාවට යට වීම වසර දහයකට පමණ සැරයක් දැකීම අනිවාර්ය දර්ශනයක් විය. මේ අත්දැකීම් මත කඩවත දක්වා මාර්ගයේ දී කොන්ක්‍රීට් කණු යොදා ගැනීමට ඔවුනට සිදු විය. කෙසේ වෙතත් පහත් බිම් වලින් ජලය ගලා යෑමට ඉඩ නොදීම නාගරික මෙගා පලිස් ප්‍රතිපත්තිය විය. ඒ වෙනුවට විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින් වැඩි වතුර පොම්ප මගින් භූගත උමං පද්ධතියක් හරහා මුහුදට පිට කිරීම වැනි දේ අත්හදා බැලීම සිදු විය. ඒවා සියල්ල අසාර්ථක බව වර්තමාන  ගං වතුරාවේ දී අප දුටු සත්‍යයයි. නමුත් නවසිය විස්සේ දශකයේ දී දිවංගත පියදාස සිරිසේන මහතා විසින් සංකල්පීයව ඉදිරිපත් කරන ලද කොළඹ කුඩා ජලාශ නිරිමාණය කරමින් ගං වතුර ක්‍රමානුකූලව බැස්ස වීමේ සංකල්පය පසුගිය කාලයේ සිටි ආරක්ෂක ලේකම් වරයා අත්හදා බැලීමේ දී සාර්ථක වූ බව කිව යුතුය.

     අවශ්‍ය තන්හිදී  අප වර්ෂාවට ඉඩ දිය යුතුය. ග්‍රහ තුරු චලිතයේ දී, සංක්‍රාන්තියේ දී රජු අධාර්මික වීමේ දී පොළව කම්පා වෙයි. වළාකුලු රැස් වෙයි. සුළං ධාරා වේගයෙන් හමා යයි. ධාරානිපාත වර්ෂාව ඇති වන්නට හේතු කාරණා යෙදේ. ඒවා දේශගුණික විපර්යාසයන්ට  පමණක් ලඝු කළ නොහැතිය. එක් අතකින් පොළවේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ යම් වෙනසක් ඇති වෙමින් ඇත. පොලෝ තැටි එකිනෙක ගැටෙමින් කම්පා වෙයි. ඒ නිසා ඒවා ගැන කම්පා නොවී අප මේ විපර්යාසයන්ට අනුහුරු විය යුතුය. 2017 වර්ෂයේ දී බස්නාහිර පළාත සඳහා පහත්බිම් රෙගුලාසියක් සකස් කරන්නට යෙදුණේ ඒ නිසාය. එහි හඳුනාගත් කලාප එනම් තෙත්බිම් ආරක්ෂණ කලාපය, තෙත්බිම් සංරක්ෂණ කලාපය, තෙත් බිමි කෘෂිකාර්මික කලාපය සහ විශේෂ කුඹූරු වගා කලාපය වශයෙන් වෙන්ව හඳුනාගෙන තිබුණි.මෙයින් තෙත් බිම් කෘෂිකාර්මික කලාපය  සහ විශේෂ කුඹුරු වගා බිම් කලාපය මේ වන විට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් (ABC ) යනුවෙන් වෙන් කර ඇත.නමුත් ලංකාවේ පරිසර පද්ධතිය හසුරුවන විශේෂ ක්‍රියාවිලිය අනුව මේ වෙන් කිරීම විද්‍යාත්මක නොවේ. ඒ තත්වය තුළ මෑත දශක කිපය තුළ විශාල වශයෙන් පහත් බිම් ගොඩ කර ගොඩනැගිලි තැනවී නාගරික ප්‍රදේශ පුලුල් වී තිබේ. ගම්පහ නගරය අවටින් ගලා බසින කුඩා ඇළ මාර්ත හයක් ගොඩ කර හෝ කුඩා කර ඉඳි කිරීම් ‌කර ඇත්තේ යැයි මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු පවසා තිබේ. ඉතින් අත්තනගලු කොමළියට රිසි සේ හැඩි වෙමින් සාගර හිමියන් සොයා යන්නට ඉඩ හසර නැතිය. එවිට ඈ වියරු වැටෙයි. ගම්පහ නගරය පමණක් නොව හාත් පස ගම්බිම් ද යට කරමින් මේ මහා විනාශය ඇති කිරීම දෛවයේ ශාපයක් බඳුය.ඉතින් දැන්වත් පහත් බිම් වලින් ජලය ගලා යෑමට ඉඩ හරින්න.සියලු දෑ හිතකාමීන් එකතු වී අවශ්‍ය නිසි ප්‍රඥප්තියක් සකස් කිරීමට දැයක වන්න.

මතුගම සෙනෙවිරුවන්