පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, December 11, 2022

ශ්‍රැන්ග්‍රිල්ලා ගුනෝමයේ අරමුණ කුමක් විය හැකිද

 

 


                               

            නීතිඥ ජීවිතයට වසර පණහක් පිරීම නිමිත්තෙන් පසුගියදා ශ්‍රැන්ග්‍රිල්ලා හෝටලයේ දී උත්සවයක් පැවැත්විණ. ඒ ජනපති රනිල් වික්‍රමසිංහයන්ට සුභ පැතීම පිණිසය.අප දන්නා පරිදි නීතිඥයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ උසාවි වල පෙනී සිටින්නේ නැත.ඒ වෙනුවට ඔහු පාර්ලිමේන්තුවේ සිටිමින් නොයෙකුත් නීතිමය ගැට නිර්මාණය කරමින් දේශපාලන පෙරළි සාදයි. 2015 දී යහපාලන පෙරළිය එවැනි ගැටයකි.19 වන ව්‍යවස්ථා සංශෝධනයද එවැනි ගැටයකි.2022 දී අරගල ගුනෝමයෙන් ජනපති පුටුව කරා යන්නටද ඔහුට තිබූ නීතිමය ව්‍යවස්ථාමය අවබෝධය ඉවහල් විය.ඒ අතින් බලන කල්හි නීතිඥ වෘත්තිය කෙසේ වෙතත් සටකපට දේශපාලනඥයකු වශයෙන් නම් ඔහු අගැයීමට ලක් විය යුතුය.

        ගුනෝමය(Grundnorm) යනු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ආන්ඩුවක් පෙරළීම පිණිස පාර්ලිමේන්තුවෙන් පිට ඇති කරන නීතිමය ව්‍යවස්ථාමය අරගල ස්වරූපයක න්‍යායික මූලධර්මයකි. ඔස්ට්‍රියන් ජාතික හෑන්ස් කෙල්සන්  විසින් මෙවැනි ක්‍රියාවලියකට ගුනෝමය යන ජර්මන් වචනය යොදා ගෙන තිබේ.1972 ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ පාර්ලිමේන්තුවේ නොව නවරඟහල් පරිශ්‍රයේදීය.එයද එක්තරා විදියකට ගුනොමයකි. නමුත් එතැනදී සිරිමාවෝ මැතිණියට ලැබූ ජන වරම විශාල ශක්තියක් බවට පත් විය. විශේෂයෙන්ම යටත්විජිතකරණයෙන් පූර්ණ වශයෙන් නිදහස්ව ස්වතන්ත්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගැනීමටද එය සම්මත කර ගැනීමටද රැජිනගේ ආධිපත්‍යයෙන් මිදීමටද මේ ගුනොමය ඉවහල් විය.ඒ ක්‍රියාවලිය රටට හිතකර වූවක් බව ප්‍රගතිශීලීන් විශ්වාස කරති.1815 දී ගිවිසුමකින් පවරා දුන් රටෙහි නීතිය සහ දේශපාලන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරමින් ඉංග්‍රීසින් විසින් සිය ආණ්ඩු ක්‍රමය සහ නීතිය ආදේශ කරන ලද්දේය. එයද ගුනොමයකි. ඉන්දියාවේද මෙය අත්හදා බලා තිබෙන්නකි.

         අතීතයේ සිට දෙමළ රජවරු සහ සිංහල රජවරු ලංකාව දෙකට බෙදාගෙන පාලනය කළ බව දෙමළ ඉතිහාසඥයන් මෙන්ම වත්මන් දෙමළ ‌දේශපාලනඥයන්ද කියති. මෙය තනිකරම මිථ්‍යාවකි.මෙම සංකල්පය ගෙන එන ලද්දේ ප්‍රථම වරට හියු ක්ලේගෝන් වාර්තාවෙනි. ඉන්පසු 1819 දී ඇමරිකන් චර්ච්  ඇතුළු  මිෂනාරීන් විසිනි. ගාල්ලේ දී සිදුවූ මිෂනාරි සමුළුවකදී මෙම තීරණය ගත් බව (Notes on Jaffna) ග්‍රන්ථයේ ඇත.මෙම මිථ්‍යාව මෙතරම් කාලයක් රටේ මුල් බැස ගෙන ඔඩු දුවා තිබෙන්නේ යටත් විජිත අධ්‍යාපනය හා පාලනය නිසා අප වෙත ඇති කර දුන් හීන දීන මානසිකත්වය නිසාවෙනි.නිදහසින් පසුව වුවද මේ තත්වය වැඩි දියුණු වූවා මිසක තුනී වී ගියේ නැත. ඒ නිසා චෙල්වනායගම් වැනි අන්තවාදීන් පණහට පණහේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් බලය බෙදා ගැනීමට කැස කැවූහ.පසුව ඇමරිකාවේ සහ ඉන්දීය බලපෑම් මත රට දෙකඩ කිරීම උදෙසා සන්නද්ධ ව්‍යාපාරයක් ඇති කළහ. මෙරට ත්‍රිවිධ හමුදාව සිය ඇස් මස් ලේ සහ ජීවිත පුදකරමින් කුරිරු ත්‍රස්තවාදය අවසන් කර රටේ ඒකීය බව සුරකින ලදහ.නමුත් 1819 දී ඇති කරනලද බෙදුම්වාදී මානසිකත්වය මෙරට දේශපාලනඥයන්ගේ මනසින් බැහැර නොවීය. ජාතික ප්‍රශ්ණයට දෙශපාලන විසඳුමක් කියමින් ඔවුහු නිතර දෙමළ අන්තවාදීන් ගේ කප්පම් වලට යටවී බෙදුම්වාදී න්‍යයා පත්‍ර සම්මත කර ගැනීමට උත්සාහ කළහ. අන්තර් පාලනය ස්වයං පාලනය බෙදුම්වාදී පැකේජය ඔරුමිත්ත නාඩුව ආදී වශයෙන් ගෙනා සියලුම බෙදුම් වාදී මනස් ගාත  මෑත කාලයේ දී ජාතික සංවිධාන විසින් එකමුතුව පරාජයට පත් කරන ලද බව අපි දනිමු.

     ගාලුමුවදොර අරගලය මෙහෙයවූයේ තරුණ අරගල කරුවන් බව සැබෑවකි. එයට අවශ්‍ය අරමුදල් පොම්ප කිරීම කරන ලද්දේ කුවුරන්ද යන්න දැන් හෙළි වී තිබේ. 

වික්ටෝරියා නූලන්ඩ් ගේ ආගමනයත් සමගම ඒ අරගලය උත්සන්න වූ අතර ජනපතිවරයාට පලා යන්නට සැලැස්වීම දක්වා ඒ ක්‍රියාදාමය හොඳින් සංවිධානය විය.නමුත් අරගලයෙන් බලයට පත් වූයේ අරගල කරුවන් හෝ මේ රටේ දූෂිත ක්‍රමයට විරුද්ධව වූ තරුණ ගාමක බලවේගයන් නොවේ. කලින් සූදානම් කරන ලද රූකඩයකි.පෙරකී බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙය යා හැකි දේශපාලන රූකඩයකි. පැවති යහපාලන ආණ්ඩුව සමයේ දී මේ පුද්ගලයා ගේ මග පෙන්වීම මත විදේශ විනිමය පනත වෙනස් කරන ලද්දේය.අපනයන කරුවන් උපයන ආදායම සම්පූර්ණයෙන්ම රටට ගෙන ඒම කළ යුතුය යන නීතිය රවි කරුණානායක ලවා වෙනස් කරන ලද්දේය. එතැන් සිට මෙරටට ගලා එන විදේශ විනිමය ක්‍රමානුකූලව හිඟ වී ඇත. මේ වන විට තේ පොල් රබර් ඇතුලු කෘෂීකාර්මික ක්ෂේත්‍රයේ පමණක් නොව කර්මාන්ත ක්ෂේත්‍රය විසින් උපයන ලද ආදායමින් ‌ෙඩලර් බිලියන 40 ක් විදේශ රටවල බැංකු වල තිබෙන බව අසන්නට ඇත.අරගලයෙන් පසු බලයට පත් වූවන් විසින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නැවත විදේශ විනිමය පනත සංශෝධනය කළ යුතුව තිබුණද  එසේ නොකරති. ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන්නේ යැයි කියන බිලියන 03 ක මුදල් ගැන විශ්වාසය තබමින් සිටිති. එසේම ටෙලිකොම් ඇතුළු ලාභ ලබන ආයතන විකුණා ලැබිය හැකි බිලියන 03 ක මුදල ගැන විශ්වාසයෙන් පසුවෙති.විදුලි බල මණ්ඩලය පාඩු යයි කියමින් ජනතාව මත විදුලි බිල පටවමින් විදේශ සමාගමකට ඒ සම්පත් දීමට වලි කන්නේ අදාල සමාගම් වලට අධික ලාභයක් ලබා දීමේ චේතනාවෙන් ය. මේ සඳහා වන කොමිස් මුදල බලශක්ති අමාත්‍යවරයාට නොලැබෙන්නට හේතුවක් නැත.

       ආර්ථික ආපදාවන් නිර්මාණය කරලීම හිතාමතා කළ දෙයක් බව පැහැදිලිය.රාජ්‍ය සම්පත් විකිණීමේ පටන් රටේ බෙදුම්වාදය තහවුරු කිරීම දක්වා යටත් විජිත න්‍යාය පත්‍රය දැන් ක්‍රමයෙන් විවර වීමට පටන් ගෙන ඇත. මෙතෙක් කලක් බෙදුම්වාදී පැකේජයක් හෝ පනත් සංශෝධනයක් පාර්ලිමේන්තු ගැසට් ගත කිරීමට ලක් වුණු සැණින් මෙරෙට දේශප්‍රේමී නිතිඥයන් එකතු වී එම පනත‌් වල ව්‍යවස්ථාමය නොගැලපීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධීකරණය අභිමුවෙහි නඩු දමති. ඒ නිසා 13 වන සංශෝධනයෙන් එපිට කිසිම බලය බෙදීමක් මෙතෙක් කරගන්නට නොහැකි විය. නමුත් පසුගිය දා ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ 13 ට එහා ගිය බලය බෙදීමක් කොට රට එක්සත් කිරීමක් සඳහා සූදානම් බවයි. ඊට පොහොට්ටුවන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන් එකඟ කරවා ගත හැකි බවද එහිදී ප්‍රකාශ විය.

          ශ්‍රැන්ග්‍රිල්ලාවට නීතිඥයන් රැස්වූයේ මේ බෙදුම්වාදී ගුනෝමය පිළිබඳ සම්මුතියකට එක් වීමටයි. ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට අවශ්‍ය ආණ්ඩුකාරවරයෙකු පත් කරවා ඉඩම් වාරිමාර්ග පුරාවිද්‍යා ආදී පළාත් සභා ප්‍රඥප්ති කීපයක් සම්මත කර ගත් විට 13 ට එහා ගිය බලය බෙදීමක් ඉබේම නිර්මාණය වනු ඇත. උතුර සහ නැගෙනහිර රාජ්‍ය බස දෙමළ වන බැවින්  සියල්ල දෙමළ බසින් මුද්‍රණය වන බැවින් නීතිය බලාත්මක වන්නේ දෙමල බසෙහි අර්ථ නිරූපනය අනුවයි. පළාත් ප්‍රඥප්ති වලට එරෙහිව ඉහළ උසාවි වලට ද යා නොහැකිය.මේ සඳහා ජනපතිවරයාට ශක්තියක් ව සිටින්නේ සංස්ථාගත නීති අධ්‍යයන සභාවයි. හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් නීති ප්‍රවේශ විභාග වලට ලිවීම ඉංග්‍රීසි බසින් පමණක් කළ යුතු යැයි ගැසට් පත්‍රයක් පළ කලේ මේ නීති අධ්‍යන සභාව සමග එක් වී කළ කුමන්ත්‍රණයකට අනුවයි.ඒ නිසා ශ්‍රැන්ග්‍රිල්ලා ගුනෝමය යනු හුදෙක් සුභ පැතුම් උත්සවයකින් එහාට ගිය ඉංග්‍රීසියෙන් කරන ලද කුමන්ත්‍රණ සභාවකි.රට එක්සත් කරනු වස් එක්වන්නට යැයි ජනපතිවරයා එහි දී කළ ප්‍රකාශය මේ ගුනෝමයේ තරම වටහා ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment