පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, May 8, 2021

රබර් ගසෙන් හදන අඟුරු - පස සරු කර නසයි අතුරු

 

                                   


        කාර්මික විප්ලවයේ වත්මන් ක්‍රියාකාරීත්වය අති වේගවත්ය. කර්මාන්ත ශාලා වලින් පිටකරන නොයෙකුත් විෂ වායූන් නිසා ජෛව ගෝලය විශාල විපර්යාසයකට ලක් ව ඇත. කාබන්ඩයොක්සයිඩ්  වැනි වායු විමෝචනය සීඝ්‍ර වීම ගෝලීය උණුසුම වැඩි කිරීමට විශාල පිටුවහලක් සපයයි. ජෛව ගෝලයේ මේ විෂ වායු තත්වයන් සමහන් කරන්නේ ශාඛයන් විසිනි. වෙසෙසින්ම කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගනිමින් ඔක්සිජන් වායුව පරිසරයට මුදාහරින්ට ඒවා සමත් වේ. ශාඛයක ජීව කාලය තුලදී මෙලෙස ජීව ප්‍රතික්‍රියා සිදු කරමින් තැන්පත් කර ගන්නා කාබන් ප්‍රමාණය එහි අභාවයත් සමගම ක්ෂය වීමට පටන් ගනී. මහ පොළවේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මීට හේතු වේ. එවිට පරිසරයෙන් ලබා ගත් සියලු කාබන් ප්‍රමාණයන් නැවතත් පරිසරයටම මුදා හැරීමකට ලක් වේ යයි කිව හැකිය.

      දෙදාහ වසරේදී ඇමෙරිකන් විද්‍යාඥයින් කණ්ඩායමකට ඇමසන් වන්යේ දී අපූරු පස් ස්ථරයක් දක්නට ලැබුණි. එහි විශාල අඟුරු ප්‍රමාණයක් තැන්පත්ව තිබුණි. විමර්ශනය කිරීමේ හෙළි වූයේ මෙම වනයේ ජීවත් වූ වෙසෙසි ජන කොට්ඨාශයක් විසින් සිය කෘෂිකර්ම හා ජීවන කටයුතු වලදී භාවිතා කළ අඟුරු මෙලෙස තැන්පත්ව තිබූ බවයි. මේවා වසර හත්දහසක් පමණ පැරණි අඟුරු බවට  සොයා ගෙන ඇත. මේ නිසා2004 වසර වන විට විද්‍යාඥයින් ගේ අවධානය මීට යොමු වී පර්යේෂණ ආරම්භ විය. ශාඛයක  ජීවිත කාලය තුලදී තැන්පත් වන කාබන් වලින් සියයට පණහක් පමණ  ක්ෂය නොවී ජීව අඟුරු වශයෙන් ස්ථායිව  රැස් කරතබා ගත හැකි බව මෙහිදී සොයා ගන්නා ලදී.

     අගලවත්තේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ ශාක පෝෂණ හා පාංශු විද්‍යා අංශය විසින් මේ පිළිබඳව පර්යේෂණ ආරම්භ කරන්නේ 2005 වර්ෂයේ දී පමණය. එහි ප්‍රධාන පර්යේෂණ නිළධාරී සමන් ධර්මකීර්ති මහතා බතීගම විදුහලෙන්  දික්වැල්ල විජිත මහ විදුහලෙන් හා මාතර රාහුල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිය ලබා ගන්නේ 1991 වසරේ දීය.එම වසරේම රබර් පර්යේෂණායතනයට සම්බන්ධ වී 2002 වසර වන විට සිය ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ගැනීමට සමත් වන්නේ පාංශු විද්‍යාව පදනම් කොට ගෙනයි. සමන් ධරමකීර්ති මහතා රබර් පර්යේෂණායතනයට ඇතුලත් වන යුගය එහි ස්වර්ණමය අවධියෙකි. එහි අධ්‍යක්ෂ වරුන් වශයෙන් සිටි ආචාර්ය තිලකරත්න හා ආචාර්ය නුගවෙල යන මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ රබර් වගා කේෂ්ත්‍රයේ වෙසෙසි පර්යේෂණ කටයුතු දියත්ව තිබුණි.නව නිපයුම් රැසක් ම එකළ බිහිවූ බව කිව යුතුය. ඒ පසුබිම යටතේ සිය නව පර්යේෂණ දියත් කිරීමට ධර්මකීර්ති මහතාට හැකිවිය. පාංශු පෝෂණයට මෙන්ම ගෝලීය උණුසුම අඩු කිරීමට ජීව අගුරු වල දායකත්වය ලබා ගත හැකි බව ලොව පුරා කරන ලද පර්යේෂණ රබර් වගා කේෂ්ත්‍රයේ අත්හදා බැලීම ඔහුගේ බලාපොරොත්තුව විය.

        දහනව වන සියවසේ රබර්වගාව ලංකාවට හඳන්වාදීමත් සමගම ලංකාවේ කෘෂීකර්මයේ සිදු වූ විප්ලවය රටේ කාර්මික කේෂත්‍රයේ ද මහා පරිවර්තනයකට මග පෑදීය. රබර් වගාව තෙත් වනාන්තර පරසරයට ගැලපී යාම නිසා එහි දිගුකාලීන ප්‍රයෝජන රැසක් දක්නට හැකි විය.    වනාන්තරයක තිබෙන ස්වභාවික ශක්තිය මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. වනාන්තර වැඩි වශයෙන් තිබෙන ඝර්මකලාපීය රටවල් වලට මේ සඳහා කාර්මික රටවලින් ගෙවීමක් කිරීමට නීති රීති සැකසී ඇත. රබර් ද වැසි වනාන්තරයක් බැවින් අනාගතයේ දී එය පැතිර පවතින රටවලටද එම හිමිකම ලැබිය හැකිය. සමන් ධරමකීර්ති මහතාගේ පර්යේෂණ කේෂ්ත්‍රය පුලුල් කිරීමට මේ සංකල්පය ද ඉවහල් විය. රබර් ගස සිය ජීවිත කාලය පුරාවට උරා ගන්නා කාබන් ප්‍රමාණය දර වශයෙන් අලු බවට පත් වීමෙන් හෝ දිරාපත් වීමෙන් ශුන්‍ය වීම පාලනය කරන්නට නම් ජීව අඟුරු භාවිතය දිරි ගැන්විය යුතු බව ඔහුගේ අදහස විය.

   වසර තිහක පමණ ආයු කාලයකින් පසු රබර් ගස දර වශයෙන් ප්‍රයෝජනයට ගැනෙයි. රබර් කම්හල් වල බේකරි වල තේ කම්හල් වල ප්‍රධාන ඉන්ධනය වන්නේ රබර්මුල් හා දර කොටන්ය. රබර් පර්යේෂණායතනයේ රබර් කම්හලේ පෝරණුව තුල මේ පර්යේෂණ මගින් අඟුරු නිර්මාණයට කුටීරයක් තැනුණි. සෙන්ටිග්‍රේඩ් 600 ට පමණ උෂ්ණත්වය ඉහළ නැගීමක් සිදු වන කල්හි රබර් කම්හලට අවශ්‍ය තාපය ජනිත වෙයි. ඒ සමගම මේ නිර්වායු කුටීරය තුල සියයට විසිපහක පමණ ප්‍රමාණයක් ජීව අගුරු ඉතිරි වෙයි. සමන් ධර්මකීර්ති මහතාගේ නව නිර්මාණය වන්නේ මෙම ජීව අඟුරු තිර කරලීමේ තාක්ෂණයයි. ජීව අඟුරු සකස් කරලීමට ප්‍රශස්ථ උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 450 කි. එයට අඩු උෂ්ණත්වයක දී වුවද ජීව අගුරු සෑදිය හැකිය. දහයියා ලීකුඩු හා පරිසරයේ තිබෙන ශාක කොටස් රාශියක්ම මෙලෙස ජීව අඟුරු නිෂ්පාදනයට යොදා ගත හැකි බවට ධර්මකීර්ති මහතාගේ පර්යේෂණ වලින්  ඔප්පු වී ඇත.

  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින්  2010 වසරේ දී පවත්වනු ලැබූ වැවිලි භෝග සම්මණ්ත්‍රණයේ දී රබර් වැවිලි කේෂ්ත්‍රයේ හොඳම පර්යේෂණය ලෙසට මෙය සම්මානයට පාත්‍ර විය. රබර් තවාන් සඳහා මෙන්ම රබර් පැළ සඳහා පාංශු පෝෂක ද්‍රව්‍යයක් ලෙසට යොදා ගැනීමට තිබෙන හැකියාව විශාල බව මෙම පර්යේෂණය තුලින් තව දුරටත් සනාථ වී තිබේ. වසර දෙකක් පමණ වැඩුණු පැළයකට කිලෝ දෙකක් පමණ යෙදිය හැකිය. මෙම ජීව අඟුරු යෙදීමෙන් පොස්පරස් පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් යන පෝෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රබර් ගසකට ලබා ගත හැකි බව මූලික පර්යේෂණ වලින් තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.ඒ අනුව පොස්පරස් හා  පොටෑසියම් යෙදීම සියයට සියයකින්ම අඩු කර ගත හැකි වේ. එම දායකත්වය නිසා මෙම පර්යේෂණය රබර්වගා කරුවන් අතර ද කම්හල් හිමියන් අතර ද ඉක්මනින් ජනප්‍රිය වේ යයි විශ්වාශයක් ඇත

                             මතුගම සෙනෙවිරුවන්

   

 

 

No comments:

Post a Comment