පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, April 4, 2021

තෙල් වර්ග පිරිසිඳු කිරීම පිළිබඳ පාරම්පරික දැනුම

 



              ආහාරයට ලබා ගන්නා තෙල් වර්ග රාශියක් පිළිබඳ පාරම්පරික සූප ශාස්ත්‍ර ක්‍රමයන්හි දක්නට ලැබේ. ඒඅතර මී තෙල් තලතෙල් අබ තෙල් එළඟි තෙල් මෙන්ම පොල් තෙල් ප්‍රධාන වේ.මීගස් බහුල රජරට ප්‍රදේශයන්හි මී තෙල් සහ තල තෙල්ද පොල් ගස් බහුල පහත රට ප්‍රදේශයන්හි පොල් තෙලද භාවිතා වී ඇති බව පැහැදිලිය පස්ගෝ රස අතරට ගැනෙන එළඟි තෙල් දිවයින පුරාම ජනතාව අතර ආහාර සංස්කරණයේ දී මෙන්ම ඖෂධ සංයෝජනයේ දී ද භාවිතා වී ඇත. ගිතෙල් සහ දුන්තෙල් යනුවෙන් එහි ප්‍රභේද දෙකකි.ගිතෙල එළගවයාගේ කිරි වලින් ලබා ගන්නා අතර දුන්තෙල මී ගවයාගේ කිරි ලබා ගනී.මීතෙල් සහ තල තෙල සිඳ ගත්තේ පැහැ භාවිතයෙනි. වෙළෙඳාම සඳහා සෙක්කුව මගින් සිඳ ගනු ලැබිණ.පොල් තෙල සකස් කර ගත් ක්‍රම අතර අත් තෙල් සිඳ ගැනීම ගෘහස්ථවද සෙක්කුවෙන් හිඳ ගැනීම නාගරික පොදු භාවිතයටද සිදු කරනු ලැබිණ.අත්තෙල මෙන්ම සෙක්කු තෙලද ඉතාමත් පිරිසිඳු විය.රත් වීම අවම බැවින් තෙලේ පවතික පෝෂක කොටස් හානි නොවිණ.

          මී තෙල් සිඳ ගැනීමට මී ඇට කොටා කුල්ලෙන් පොලා ගත යුතු විය.පසුව වන්ඩුවේ තම්බා ගනී. අනතුරුව පැහැ භාවිතා කොට ලී දඬු දෙකක් ආධාරයෙන් තෙල් සිඳ ගැනීම කරති.මී තෙල ආහාරයට යොදා ගැනීමට ප්‍රථම  තෙල ලිප තබා බත් ගුලියක් එකතු කර නැවත සිඳ ගැනීමට ගෘහිණියන් උත්සාහ කර තිබේ. මෙවිට තෙලේ පවතින අමු ගතියත් යම් විස ගතියක් තිබේ නම් එයත් ඉවත් වේ. තෙල් භාවිතය ගැන මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර නම් ග්‍රන්ථයේ 97 කවියේ මෙලෙස සඳහන් වේ.

සේවන කළහොත් තලතෙල -වා සෙම් සමනය වෙයි බල

වා පිත් දෙක නාස ගිතෙල -මී පිත් සෙම් නසාලු බල

( තලතෙල සේවනය කළහොත් බලවඩයි. වා සෙම් සමනය වේ.ගිතෙල් වා පිත් දෙක නසයි.මී තෙල් පිත සෙම් දෙක නසාලයි. )

පොල් බහුල පෙදෙස් වල පොල් තෙල් ආහාරයට එක්කර ගැනීම පුරුද්දකි.සාමාන්‍ය පොල් ගෙඩි පහකින්  තෙල් බෝතලයක් පමණ සින්ඳවා ගත හැකිය.ගෘහිණියන් නිවසේදීම අත්තෙල් සාදා ගනිති.සිංහල අවුරුද්ද ලංවෙත්ම පොල් ගෙඩි පහළොවක පමණ තෙල් සිඳ ගන්නේ රස කැවිලි සාදා ගැනීමට ඒවා උපයෝගී වන බැවිනි.ගා ගත් පොල් පළමුව තම්බා හොඳින් මිරිකා ගැනීම පළමු පියවරයි.දෙවනුව ඉතිරි වූ පොල් රොඩු වට ජලය එක් කොට නැවත කිරි මිරිකා ගනිති.ඉන්පසු පොල් හොඳින් තම්බා ගැනීම කරති.අනතුරුව විවෘත අප්පල්ලයක බහා තෙල් සිඳ ගැනීම ආරම්භ කරති. යම් වේලාවක් ගත වූ විට තෙල් පෑදීමට පටන් ගන්නා අතර කිරි කොටස යටට ගමන් ගනී.අප්පල්ලයේ මතු වූ තෙල හැන්දකින් ඉවත් කරගන්නා අතර අවසානයේ ඉතිරි වූ කිරි සහිත තෙල මත්තේ හිල් සහිත පොල් කටුවක්  ගිල්වති. එහිදී කිරි කොටස පොල් කටුවට පැමිණෙන අතර තෙල් කොටස වෙන්වේ.කිරි කොටස කිරි කැඳ සඳහා භාවිතවේ.කිරිපණු අමාරුව සමනයට ඉතා ප්‍රත්‍යක්ෂ වේ.

සිඳ ගත් තෙල් නැවත අප්පල්ලයක බහා පදමට කකාරා ගන්නා අතර එහිදී තෙලේ අමු ගතිය ඉවත් වේ. අතැම් ගෘහිණියන් තෙල රත්කරන විට කරපිංචා එකතු කරති.මීතෙල සකස් කරන විට යොදා ගන්නා බත් ගුලියද යොදා ගන්නා ගෘහිණීයන් සිටිති. ඒසේම බුලත්කොළ දමා සිඳ ගැනීමද කරති.මෙලෙස සිඳ ගත් තෙල මුඩු වන්නේ නැත.පොල් තෙල් ආහාරය සඳහා භාවිත කරන්නේ බැදුම් කාරකයක් වශයෙනි. බැදීමෙන් ආහාරයට රසයක් එකතුවන අතර කල් තබා ගැනීමටද හැකිවේ. පොල් තෙල් වලින් බැදීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වන අතර වකුගඩු සහ මුත්‍ර රෝග වලක්වාලයි. පොල් තෙල් වල කාබනික අයඩින් ප්‍රතිශතයක් ඇති නිසා ගල ගණ්ඩය සෑදීමේ ප්‍රතිශතය අවම කරයි. ආමාශයේ සහ අන්ත්‍ර වල තුවාළ සුව කිරීමේ හැකියාවක් පවතී. සමේ පවතින දිලීර විනාශ කරලීමටද එයට හැකිය. මල බද්ධයද වළක්වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. මේ නිසා පොල් තෙල් ස්වල්පයකින් තෙමේපරාදු කර ගත් ලූණු කරපිංචා සමග ව්‍යංඡනය රසවත් කරගැනීමට උත්සාහ ගනී.පිරිසිඳු පොල් තෙල් ලබා ගත හැක්තේ පිරිසිදු කොප්පරා වලින් පමණකි. නිවසේ අත් තෙල් සාදා ගැනීමද සෙක්කුවෙන් තෙල් ගැනීමද විද්‍යාත්මකය. එහිදී විටමින් වර්ග හිඳී යන්නේ නැත.

තෙල් වර්ග  මූර්චජනය -

ගිතෙල අබතෙල තලතෙල මී තෙල මෙන්ම පොල් තෙලද ඖෂධ පිණිස බහුලව යොදා ගනී. තැඹිලි තෙල හිස ගෑමට යොදා ගනී.මෙවැනි තෙල් වර්ග මුඩු බවට පත් වීම සුදුසු නැත. ඖෂධ පිණිස යොදා ගන්නා බැවින් ඒවායේ අමු ගතිය මග හරවා ගත යුතුය. මේ නිසා තෙල් මූර්ජා කිරීමක් සිදු කරන බව දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල දක්වා තිබේ.තලතෙල් මූර්චජනයේ දී පළමුව කළ යුත්තේ තෙල කල්දේරමක බහා  මදගින්නේ පෙණ රහිත වන තුරු හැඳි ගෑමයි.ඉන්පසු වැල්මදට කහ කලාඳුරු අල අවරිය නෙල්ලි බුලු අරලු වැටකේ මුල් නුග අරලු ඉරිවේරිය ආදිය එක් කොට තෙල නැවත සින්දවා ගත යුතුය. මෙහිදී වැල් මදට තෙල මෙන් භාගයක්ද සෙසු ද්‍රව්‍ය වැල් මදට ප්‍රමාණයෙන් කාලක්ද එක් කර ගැනීම නියමයයි.

අබතෙල් මූර්චජනයේ දිද පලමුව තෙලේ පෙණ පහව යනතෙක් උණුකර නෙල්ලි කහ කලාඳුරු ඉරිවේරිය සැවන්දරා බුලු කලන් 03බගින් ද වැල් මදට කලන් දෙකක් ද යොදා සින්දවා ගත යූතුය ගිතෙල නැත්නම් එළඟි තෙල් මූර්චජනය විශේෂිතය.ගිතෙල සාදා ගන්නේ එළදෙනුන් ගෙන් ලැබෙන කිරි උණුකිරීමේදී මතුවන යොදය භාවිතා කරමිනි. අවශ්‍ය පමණට යොදය එක්කාසු කරගත් පසු එය ලිප තබා මත ගාන කල්හි තෙල වෙන් වේ.තෙල වෙන්වූ පසු ඉතිරි කොටස මෝරුය එයද ඔෂධ පිණිස යොදා ගනී.ගිතෙල හා දුන්තෙල ගෘහස්ථ පරිභෝජනයට යොදා ගන්නා අතර එහිදී  මුරුංගා කොළ එකතු කර සින්ඳවා ගනී.   අත්තික්කා ගෙඩි මාලුව සකස් කරන කල්හි ගිතෙල බෙහෙවින් ප්‍රයෝජනවත්ය.ඖෂධ පිණිස ගැනීමේ දී අරලු බුලු නෙල්ලි කළාඳුරු වියළි කහ පලම බැගින්ගෙන චූර්ණ කර ඇඹුල් දොඩම් යුෂින් අඹරා දමා ඊටම ජලය නැලි අටක්ද බහා පෙර කී අයුරින්ම සිඳ ගැනීම නියමයයි.

  තෙල් මුඩු වීම සිදු වන්නේ තෙල් වලට ගැනෙන අමුද්‍රව්‍ය මත පුස් බැඳීමෙනි.විශේෂයෙන්ම කොප්පරා නිසි පරිදි වේලා නොගතහොත් ඇපලොටොක්සීන් නම් රසායනිකය ඇතිවේ.මේවා ආහාරයට මෙන්ම ඖෂධයටද විස කාරකය.පාරම්පරිකව තෙල් සිඳ ගත් ආකාරයට මෙන්ම මූර්ජා විදි වලින් මේ මුඩු ගතියත් අමු ගතියත් විස ගතියත්  මග හැරේ.එය අපගේ ආහාර සංස්කෘතිය සතු විශිෂ්ට දැනුම් සම්භාරයෙන් අල්ප මාත්‍රයකි.

මතුගම සෙනෙවිරුවන්


No comments:

Post a Comment