පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, September 5, 2020

නවවන වගන්තිය අනුව රජයේ ඉහළ තනතුරු බෞද්ධයන්ට පමණයි

 


          ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජියක් බවට පත් වීමට පළමු මෙරට පාලනය වන ලද්දේ ලිඛිත ව්‍යවස්ථාවකට අනුව නොවේ.නමුත් ශිලා ලේඛන මගින් ප්‍රකාශ කරන ලද්දා වූ පෙර රජවරුන් විසින් පිළිගන්නා ලද ව්‍යවස්ථාවක් විය.වෙසෙසින්ම සතරවන පැරකුම් රජු කාලයේ රචනා කරන දළදා ව්‍යවස්ථාව මගින් දක්වන ලද කරුණු සිංහල බෞද්ධ පාලකකයෙකු ගේ යුතුකම් වශයෙන් සළකන ලදී.එසේම මෙරට නායකත්වයට පත්වන පුද්ගලයා බෞද්ධයෙකු බෝධිසත්වයෙකු ලෙස පැවතීය යුතු බවට සම්ප්‍රදායක්ද ගොඩ නැගී තිබුණී.1815 වසරේ අත්සන් කරන ලද සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුමේ පස්වන වගන්තිය ප්‍රකාරව බුද්ධාගම ආරක්ෂා කල යුතු බවට ලිඛිත පිළිගැනීමක් සිදු විය.ඉංග්‍රීසි පාලනය විසින් මේ පිළිගැනීම පසුව කඩ කිරීම නිසා යටත් විජිත ක්‍රමය තුළ අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් ගේ පාලනයට නතු වීමට අපට සිදු විය. නමුත් 1948 වසරේ දී යම් දේශපාලන නිදහසක් ලැබී තිබුණද සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තිය ප්‍රකාරව සිංහල බෞද්ධ අයිතිය තහවුරු කරගැනීමක් සිදු නොවීය.මේ අයිතිය නැවත තහවුරු කරන ලද්දේ 1972 සහ 1978 ව්‍යවස්ථාවන් පැනවීමෙන් පසුවයි.

        1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාව කරණ කොට සිංහල ජාතිය ශක්තිමත් වීම මෙන්ම දුර්වල වීම ද සිදු ව ඇත. වෙසෙසින්ම 1948 පුරවැසි පනතින් මෙරට පාරම්පරික වැසියන් භුක්තිවිඳි වරප්‍රසාදයක් ඉවත් කරනන්නට යෙදී ඇත. එම තත්ත්වය තුල සිංහල ජාතිකත්වය වෙනුවට ශ්‍රී ලාංකික ජාතිකත්වයක් ආරෝපණය කොට තිබේ. එසේම දිවයින පුරාම සිංහල භාෂාව භාවිතා කරලීමට තිබූ අයිතියද 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කොට තිබේ.නමුත් ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් බුද්ධාගමට බුද්ධ ශාසනයට තිබූ පිළි ගැනීම යම් ආකාරයකින් ශක්තිමත් කර තිබේ. ජේ.ආර.ජයවර්ධන මහතා මෙම ව්‍යවස්ථාව සම්පාදනය කරන කල්හි එක් අතකින් සිංහල බෞද්ධයන් තෘප්තිමත් කර ඇත. අනෙක් අතින් විදෙස් ගැති අන්‍යාගමිකයන්ද තෘප්තිමත් කරතිබේ.නවවන ව්‍යවස්ථාවේ සඳහන් පාඨය මෙලෙස දැක්වේ

ශ්‍රීලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙත් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ(1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

   ජයවර්ධන ජනපතිවරයා ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ කරන සඳහනින්.බුද්ධාගම මුල් තැන ලබා දෙන බැවින් බුදුදහම පිලිපදින බෞද්ධයාටද ප්‍රමුඛස්තානය හිමිවේ.ඒ අනුව ශ්‍රී ලංකා ජනරජය වන විධායකය ව්‍යවස්ථාදායකය මෙන්ම අධීකරණයද යන ආයතන තුනේම බෞද්ධයාට ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ. නමුත් ඉංග්‍රීසි පිටපතේ කරන ලද සුලු වෙනස්කමක් මගින් මේ ප්‍රමුඛස්ථානය නැවත නිෂේධනය වේ. එනම් මෙම වගන්තියේ වාක්‍ය අතර නැවතීමේ ලකුණ ඉවත් කිරීමෙනි. ඉංග්‍රීසි භාෂා පාඨය මෙලෙසය.

The republic of sri lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the state to protect and foster the Buddha sasana while assuring to all religious the rights granted by articles 10 and 14 (1)(e) මෙම ඉංග්‍රීසි වගන්තිය මෙලෙස යොදන්නට ඇත්තේ කලු සුද්දන් සහ අන්‍ය ආගමිකයන් සැනසීමටයි.

 

 

   ඉංග්‍රීසි පාඨය මගින් ලැබෙන අර්තයෙන් බුදු දහමට ලැබෙන ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය.නමුත්  යම්කිසි අර්බදුයක් ඇතිවූ අවස්තාවකදී සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බවටද නීතියක් ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබේ.(1978 මුල් ව්‍යවස්ථාවේ තිබෙන්නේ රාජ්‍ය භාෂා ඵාඨය යනුවෙනි. 13 වන සංශෝධනයෙන් පසු දෙමළ ද රාජ්‍ය භාෂාව වූ බැවින් සිංහල බාෂා පාඨය යනුවෙන් ඇතුලත් වී තිබේ.)     ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂාපාඨය අතර ඇතිවී තිබෙන මේ වෙනස්කම මත බුද්ධාගමටත් බුද්ධ ශාසනයටත් හිමි ‌ ‌ෙඑතිහාසික ස්ථානය ආරක්ෂා වී අති බව පෙනේ. මෙම කාරණය පිළිබඳව සැලකිලිමත් වූ නිතිඥ අරුන උණවටුන මහතා මේ වන විට ඉහළ අධිකරණයට නඩුවක්ද ගොනු කර තිබේ.

     පෙර ඉතිහාසය තුළ බුදු සසුන ආරක්ෂා කරලීමට රජවරු අපමණ මහන්සි ගත්හ.දළදා වහන්සේ ප්‍රාණය මෙන්රැක ගිනිමින් සතුරු ආක්‍රමණ පරදවමින් අඛණ්ඩව අවිච්ඡින්නව සම්ප්‍රදාය රැක ගත්හ.සෙනරත් රජතුමා රාජවංශිකයෙකු නුවූ බැවින් දළදා වහන්සේ රැක ගත් කීරවැල්ල පරපුරෙන් කුමරියක් ලබා ගත නොහැකි විය. පසුව අවාහ කරගත් දෝන කතිරිනා අවසාන රාජවංශික බිසව කතෝලිකකරණයට ලක් වීම නිසා බුදුසසුනට කළ යුතු මෙහෙය නිසි පරිදි ඉටු කරලීමට රජුට නොහැකි විය.මේ තත්වය මත දළදා වහන්සේ ගේ රැකවරණයට කීරවැල්ල ඥාතීන් අතරින් කෙනෙකු තෝරා පත් කර ගැනිණ(රඹුක්වැල්ලේ විත්ති පොත ) .නායක්කර යුගය දක්වාම මේ සම්ප්‍රදාය පැවති අතර නායක්කර් රජවරු වන කීර්ති ශ්‍රී රාජසිංහයන් දළදා වහන්සේ මහා සංඝ රත්නයට භාර කළහ.ඉංග්‍රීසි යුගයේ දී දළදා වහන්සේ රැගෙන පළාගිය භික්ෂූන් වහන්සේලා සැම දෙනම කීරවැල්ල පරපුරට ළඟම ඥාති සම්බන්ධකමක් දැක්වූ වන්ය.බුදුදහමත් දළදා වහන්සේ පිළිබඳවත් තිබෙන පැරණි සම්ප්‍රදායන් මෙලෙසය.

    ඉංග්‍රීසීන් 1818 සිදු වූ ජාතික විමුක්ති අරගලයෙන් පසුව උඩරට ගිවිසුම සංශෝධනය කොට අන්‍යාගමික පූජකයන්ට විශේෂ වරප්‍රසාද හිමිකර දුන්හ.මේ නිසා ලංකාවේ සෑම පළාතකම දේවස්ථාන ඉඳි කරලීමට මෙන්ම බෞද්ධයන් ගේ වරප්‍රසාද අඩු කරලීමටද පියවර ගැනුණි.1848 අරගලයෙන් පසුව දළදා වහන්සේ සම්බන්ධ රජයේ වගකීම මහා සංඝ රත්නයටත් දියවඩන නිලමේ තුමාටත් භාර දීමෙන් පසුව ශාසනික වගකීම් සියල්ලටම උර දෙන ලද්දේ සැදැහැති බෞද්යන් ය. 1948 වර්ෂයේ දී ලංකාවේ පාලනය නැවත භාරදෙන කල්හි උඩරට ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකලා පමණක් නොව ලංකා  නිදහස් රාජඥා පනතේ 29 වන වගන්තිය තුළින් බුද්ධාගමටත් අනෙක් ආගම් වලටත් එක ලෙස සැලකීමට නීතිමය ප්‍රතිපාදන ඇතුලත් විය.වලිසිංහ හරිස්චන්ද්‍ර  තුමා අනුරාධපුරයට ගොස් කල අරගලයේ දී ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තව සිටි බුක් මහතා කීප වතාවකදීම බෞද්ධයන් ගේ පූජා විධි කහනම් කරන ලදී. විශේෂයෙන්ම හේවිසි වාදනය තහනම් කොට හේවිසි කරුවන් උසාවියට ඉදිරපත් කොට සිරදඬුවම් ද පමුණුවා ඇත.කලුතර බෝධිය කැපීම සඳහා ද ආණ්ඩුවේ ඒජන්ත වරයා උත්සුක වූ ආකරයද ඒ සඳහා ඇති වූ අරගලයේ දී ඇතිවූ පෙරළියද වාර්තා වී තිබේ.

    පශ්චාත් නිදහස් සමයේ ද මේ තත්වය විශේෂයෙන්ම බෞද්ධයන්ට සිදු වූ කෙණෙහෙලිකම් ගැන වාර්තා රාශියකි. 1972 ජනරජ ව්‍යවෂ්ථාව සහ 1978 ව්‍යවස්ථා දිගුව තුළින් සිදු වූයේ මේ කෙණෙහෙලිකම් යම් පමණකින් අඩු වීමයි.නමුත් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තුළ බෞද්ධ අයිතීන් තහවුරු වී නොමැත.78 ව්‍යවස්ථාවේ 105 (4) ප්‍රතිපාදනය අනුව මේ වනු තුරුම සංඝාධිකරණයකට නීති පනවා නැත.වරින් වර ව්‍යවස්ථාදායකයේ සහ අධීකරණයේ මුල් පුටු වලට අබෞද්ධයන් පත් කර තිබේ.ඒ මගින් සිදු වූ හානියද සුලු පටු නොවේ.

 

 

 වර්තමානයේ දී 20 වන සංශෝධයක් ද කරළීයට පැමිණ තිබේ.පසුගිය යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 19 සඳහා හොර රහසේම කාරක සභා අවස්ථාවේ රටට අහිතකර වගන්ති ඇතුලත් කලා සේ 20 සඳහාද එවැනි අහිතකර වගන්ති ඇතුලත් කිරීමේ ඉඩකඩක් නැතිවා නොවේ.වෙසෙසින්ම නව වන ව්‍යවස්ථාව හෑල්ලු කිරීමට නැතිනම් ශූන්‍ය කිරීමට යම් ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීමට ඉඩ කඩක් ඇත. මන්ද අධීකරණයේ මුල් පුටුවට අබෞද්ධයෙකු පත් වී තිබෙන බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

1 comment:

  1. හොර රහසේම කාරක සභා අවස්ථාවේ රටට අහිතකර වගන්ති ඇතුලත් කලා //
    පට්ටම විහිළු කථාවක් ,,,
    අලුත් ව්‍යවස්ථාවට අනුව දිවිත්ව පුරවැසියන්ටත් ජනාදිපති වෙන්න පුළුවන් නේද

    ReplyDelete