පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, June 29, 2020

කලු සුද්දන්ට පාඩමක් කියා දුන් ගුණරුවන් වාර්තාව


                         
            සහස්‍රක අභියෝගතා සංයුක්ත යෝජනාව නොහොත් එම්.සී.සී.සඳහා ප්‍රවේශය ගත් ඇමරිකාව සහ හිටපු යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් මහත් අසීරුතාවයක්ට පත් වන වාර්ථාවක් දැන් ප්‍රසිද්ධියට පත් වී තිබේ.මේ වාර්තාව පළ වී තිබෙන්නේ සිංහල භාෂාවෙනි.දැනට එය අන්තර්ජාලයට මුදාහැර තිබේ.මේ නිසා පොදු මහජනතාවට පහසුවෙන් කියැවිය හැකි තත්වයක් උදා වී ඇති බව දැක්විය යුතුය.කොළඹ විශ්ව විද්‍යාලයේ  හිටපු ආර්ථික විද්‍යා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ඇතුලු විද්වතුන් කණ්ඩායම ඒ අතින් කර ඇත්තේ විප්ලවයක් යැයි සිතමි. වර්ෂ 1948 දී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව සහ 1972 ලංකාව ස්වාධීන ජනරජයක් බවට පත් වූ පසු පළකරන වාර්ථා කිසිවක් මේ ආකාරයට ජනතාව ඉදිරියේ විවර වන්නට කටයුතු යොදුණේ නැතැයි මම සිතමි.පසුගිය යහපාලන රජය විසින් නිකුත් කල බැඳුම්කර වාර්තාව පවා නිකුත්කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි.එලෙස ඉංග්‍රීසි බසින් පල කරන ලද වාර්තාවක සිංහල පරිවර්තනය මහජනතාවට  හෙළිදරව් වන්නේ සෑහෙන කාලයක් ඉකුත් වූ පසුවයි.
       අපට නිදහස ලැබුණු මුල් කාලයේ පාර්ලිමේන්තුවේ සිංහල බසින් අමතන ලද්දේ ඉතාමත් සීමිත මන්ත්‍රීන් සංඛ්‍යාවකි.පසුව 1972 දී එම තත්වය වෙනස් වුවද ඉංග්‍රිසි බසින් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරලීමද ඒවාට නිර්දේශ ඉදිරිපත් කරලීමද සුලභ විය.ඇමතිවරයෙකුට විසින්  අමාත්‍ය මන්ඩල සංදේශයක් බොහෝ විට ඉදිරිපත් කරන ලද්දේ ඉංග්‍රීසි බසිනි.මේ නිසා 1956 රටේ රජ්‍ය භාෂාව කරන ලද සිංහලබස තවමත් දෙවනි ස්ථානයක පවතින බව කිව යුතුය .රටේ පරිපාලනය හොබවන පිරිස ඉග්‍රීසි බසින් කටයුතු කරලීමට ඇති කැමැත්ත මේ මගින් නිතරම ප්‍රකාශයට පත් වේ. විශේෂයෙන්ම රටේ ප්‍රතිපත්ති පිළීබඳ තීරණ ගැනීමේ දී සකස් කරන ලියැවිලි ඉංග්‍රීසි බසින් අර්ථ ගැන්වීම කෙරෙහි දක්වන මනාපය පුදුම එළවන සුළුය.රටේ ග්‍රාමීය ජනතාවගේ ගැටළුවක් පීළිබඳ ඉංග්‍රීසි බසින් විස්තර කරනවාට වඩා සිංහල බසින් විස්තර කිරීමෙන් දැනෙන සිතුවිලිවලිය ඉංග්‍රීසි බසින් සකස් කරන ලියැවිල්ලකින් ලැබෙන්නේ නැත. අපි දන්නා පරිදි සිංහල භාෂාව සියවස් ගණනාවක් තිස්සේ විවිධ ජාතීන් ගේ වචන කෝෂයන් ගෙන් පෝෂණය ට පත් වී වර්ධනය වි තිබෙන ශක්තිමත් භාෂාවකි .ප්‍රකාශන මානයකි.එහි මිහිරි ලෙන්ගතු  බව මෙන්ම ගැඹුරුබවද බරසාර කමද අභිබවන්නට බොහෝ භාෂාවන්ට නොහැකිය.
        මහනුවර යුගයේ රජ්‍ය ලියැවිලි සකස් කරන ලද භාෂා ව්‍යවහාරයත් අද පවතින භාෂා ව්‍යවහාරයත් තුළ විශාල වෙනසක් ඇතිවී තිබේ.මහනුවර යුගයේ තිබූ සංස්කෘත මිශ්‍ර ගාම්භීර ශෛලියත් ගැමි කතා ව්‍යවහාරයත් දෙකම රජ්‍ය ලියැවිලි වලට අන්තර්ගතව තිබුණී. ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන් සකස් කරන ලද තෝම්බු ගැසට් නිවේදන ආදියෙහි භාෂා විලාශය පරීක්ෂා කර බලන කල්හි.ඒ බැව් පසක් කරගත හැකිය.විදෙස් බසින් ගත් මෙම පරිවර්තන නිසා එකල භාෂා විලාශය ගැන ආදරයක් අපට දැනුණේ නැත. නමුත් මහනුවර සහ කෝට්ටේ යුගයට පෙර ලියැවුණු බොහෝ සාහිත්‍ය කෘති වල භාෂාව වැළඳ ගැනීමේ සහ අර්ථ ගැන්වීමේ බාධාවක් තිබුණේ නැත. නමුත් ලංකාව නිදහස ලැබීමෙන් පසු රජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිටුවා කළ කැප කිරීම මධ්‍යයේ සිංහල භාෂාව වර්තමාන තත්වයට නැවත පරිවර්තනය වී තිබේ.එහි පැරණී රමණීයත්වයද ගැඹුරු බවද යළිත් මතුවී තිබේ.එවැනි තත්වයක් මත රාජ්‍ය ලියැවිලි තවමත් ඉංග්‍රීසි බසින්ම ලියවා පසුව වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම මහත් අපරාධයකි.පසුගිය කාලයේ දී මෙරට තාක්ෂණීක ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටු වාර ගණනාවකටම සාභාගි වීමට අවස්ථාව ලදිමි.එහිදී මෙරටේ පාරම්පරික දැනුම පිළීබදවද සාකච්ඡා කළෙමු.පාරම්පරික දැනුම ඉංග්‍රීසියෙන් විග්‍රහ කළ නොහැකිය. ගැමියන්ට ආවේණික භාෂා විලාශයෙන් එම තාක්ෂණික දැනුම විග්‍රහ කළ යුතුය.(පේෂකර්මය යකඩ තාක්ෂණය ආදී මානයන්) නමුත් අප ඉදිරියේ තිබුණේ ඉංග්‍රීසි බසින් සකස් කරනලද මග පෙන්වීමේ රාමුවකි. අපගේ විද්වතුන් අතින් සිදු වූයේ එම රාමුවට අවශ්‍ය පිරවීම සඳහා අපගෙන් අදහස් ලබා ගැනීම පමණකි. නමුත් එහිදී මා විසින් භාවිතා කළ අතැම් වචන සහ යෙදුම් නිසා මේ විද්වතුන් අසීරුතාවයට පත් ආකාරය මැනවින් දිටිමි.හේතුව එවැනි වදන් විග්‍රහ කිරීමට ඉංග්‍රිසි වචන නොතිබීමයි.බොහෝ අමාරුවෙන් ඉංග්‍රීසි වචන කීපයක් ගලපා වාක්‍ය සම්පූර්ණ කරලන්නට උත්සාහ කළද අවසානයේ ඉදිරිපත් වූයේ විකාරයක් බව තේරුම් ගන්නට ඇත්තේ මා පමණක්ම බව පසුව දැන ගන්නට ලැබිණ. මෙරට නිදහස් අධ්‍යාපනයෙන් හික්මවන ලද  බොහෝ පිරිස අද පත්ව තිබෙන අභාග්‍ය සම්පන්න තත්වය නම් දේශීයව සහ ජාත්‍යන්තරව තමන්ගේ භාෂාවෙන් ඇමතීමට සහ ලිවීමට නොහැකිවීමයි.එම නිසා ඉතා අවාසනාවන්ත ලෙස මෙ රටේ ජන ජීවිතයට අවශ්‍ය බොහෝ දේ රාජ්‍ය ප්‍රතිපත්ති වලින් ගිලිහී යති.එම් .සී.සී. යෝජනාවට පසුබිම් වූ රජයේ භෞතික සැලැස්ම දකින කල්හි පෙර සඳහන් කළ විකාරය හොඳින් බලා ගන්නට හැකිය.
       යම් රාජ්‍ය ගැටළුවකදී කමිටුවක් හෝ කොමිසමක් මාර්ගයෙන් ඉදිරිපත්වන වාර්තාවක තත්වය මීටත් වඩා බැරෑරුම්ය.ජනතාව වසින් සාක්ෂි ලබා දෙන විට ඔවුන් දැක්වූ අදහස් සම්පිණ්ඩනයේ දී විකෘති කිරීමක් සිදු වේ යැයි සිතමි.ඉංග්‍රීසි භාෂාවෙහි බර සාර වචන වලින් එය හැඩගස්වන්ට දරන තැත නිසා වාර්තාව කියවා තේරුම් ගත හැක්කේ කීයෙන් කී දෙනාටදැයි නොදනිමි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දී මෙවැනි වාර්තාවක් ගැන කරන විවාද අරුත්සුන් වන අවස්ථා බොහෝය. ආණ්ඩු පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයට පුද්ගලයන්ට බැණ අඩ ගැසීම හැරුණු කොට වාර්ථාවක හරය සියුම් ලෙසට විවේචනය කරලීමට බොහෝ මන්ත්‍රීවරුන්ට නොහැකිය.අමාත්‍ය මණ්ඩලයට ඉරිපත් වන නොයෙකුත් සංදේශ වලට නිර්දේශ ඉදිරිපත් නොවන්නේද මේ හේතුව නිසාවෙනි.( උදා-මද්‍රසා කෙටුම්පත)පසුගිය කාලයේ කරනු ලැබූ ව්‍යවස්ථා සංශෝධනයන් විග්‍රහ කර ගැනීමට පක්ෂ විපක්ෂ සැම දෙනාටම නොහැකි විය.කාගෙත් ඇස් වසා රනිල් වික්‍රමසිංහ මහතාට 19 සම්මත කර ගැනීමට හැකි වූයේ එනිසයි.(සභා මේසයේ පරිවර්තනද විකාරයක් යැයි සිතමි )
    අධිකරණයේ තත්වය තවත් බැරූරුම්ය.ශ්‍රේෂ්ඨධීකරයේ නඩු තීන්දු සියල්ල ප්‍රකාශයට පත්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.එලෙසම සුදදන්ගේ කාලයේ සිට පැවතෙන නඩු තීන්දු මෙන් ජාත්‍යන්තර අධීකරණ වල සාකච්ඡා කරනු ලැබූ නඩු තීන්දු ඉංග්‍රීසි බසින්ම තලු මැරීමට නීතිඥයන් දක්වනුයේ මහත්ම රුචියෙකි.අධීකරණ භාෂාව සිංහල නමුත් නඩු තීන්දුවක් සිංහල බසින් ප්‍රකාශයට පත් කිරීමට තිබෙන ඉඩකඩ අද අහුරා තිබේ. එසේම උතුර සහ නැගෙනහිර අධීකරණ භාෂාව දෙමළ වන බැවින් සිංහල නීතඥයන්ට එහි ගොස් කතාකරන්නට සිදුවන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.එවැනි අවස්ථාවන්හිදී දෙමළ බසින් කරන විග්‍රහයන් වැරදියට තේරුම් ගැනීමද ඉංග්‍රීසි බසින් කරන විග්‍රහයන් දෙමල බසින් වැරදියට විග්‍රහ කරන ආකාරය ගැන අමුතුවෙන් කියන්නට වුවමනාන නැත. දිස්ත්‍රික් උසාවි වල නඩු ඇසීමෙහි දී භාවිතා කරන නඩු තීන්දු වල සිංහල පිටපත් මෙතෙක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැත.  නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා  තමන්ගේ සේවාදයකයෙකු ගේ නඩුවකදී සිංහල භාෂාවෙන් පිටපත් ඉල්ලා ඇත. මේ පිළීබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි 15 දිනට යෙදී තිබේ. කෙසේ වෙතත් එම්.සී.සී. ගිවිසුම හොරට අත්සන් ගැසීමේ වෑයම සහ එයට මුදල් ලබාගෙන ගිණුම් වාර්තා ප්‍රසිද්ධ නොකිරීම සාකච්ඡා කරනවාටත් වඩා ගුණරුවන් මහතාගේ වාර්ථාව සිංහල බසින්ම මූලිකව නිකුත්ව තිබීම සාකච්ඡාවට ගැනීම අපට මනරම් අවසථාවකි. මන්ද මේ ගිවිසුම ගැසීමට එරෙහිව විශේෂයෙන්ම ඉඩම් පරිහරණය ගැන මා විසින් ද අදහස් කීපයක්  අදාළ කමිටුවට ඉදිරපත් කිරීමයි. මෙයට සාක්ෂි දුන් 181 දෙනා අතරින් සියයට හැත්තෑපහක් ගිවිසුමට විරද්ධත්වය ප්‍රකාශයට පත් කර තිබේ.ඔවුන් ගේ විරුද්ධත්වය සිංහල බසින්ම තියා ඇද්දැයි තවමත් මම නොදනිමි.නමුත් ගුණරුවන් මහතා ඇතුලු කණ්ඩායම මෙහි හරය ගෙන අපගේ විරුද්ධත්වය යම් කිසි ආකරයකින් නිර්දෙශ තුළ බහා තිබේ.කලුසුද්දන්ගේ බස ඉක්මවා යමින් පළ කල මේ වෑයම අපතේ නොයන්නට නම් සැබවින්ම එම්.සී.සී.ය සහමුලින්ම අහෝසි කල යුතුය.1951 දී කොඩි කාරක සභාව ට සාක්ෂි දුන් බහුතර පිරිසකගේ මතය වූයේත් පැරණි සිංහලේ ධජය ඒඅයුරින්ම තබා ගැනීම වුවද කලු සුද්දන් එයට බෙදුම්වාදී පටි ගැසූහ.මෙම වාර්ථාවෙන් පැණ නගින ජාතියට  විශේෂයෙන්ම බලපාන කරුණු පිළිබඳ එවැනි ඛේදවාචයක් නිර්මාණය නොවනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.


No comments:

Post a Comment