පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 3, 2020

පාර්ලිමේන්තු ගිය කුරහන් තොණ්ඩුව වෙනුවෙන් ගොවියා ගේ රණ්ඩුව


                    
             දකුණු ඇමරිකාව නිජබිම කරගත් දුම්කොළය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ශරීර උණුසුම් කරන ටයිපටියක්  වූයේ ස්වදේශිකයන් ගේ ඉඩම් සහ දේපළද සින්නකර ගනිමිනි. රතු ඉන්දියානුවන්ගේ ශිෂ්ඨාචාර සුන්නත් දූලිකරමින් තක්කඩි සුද්දන් ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑ ඉතිහාසය මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකළ ඉතිහාසයයි. මේ පරිවර්තනය තුළ පීරූ වැසියන්ගේ  අලභෝගය අර්ත්ඇපල් ලෙසින් ඒංගලන්තයේ රැජිනගේ කෑම මේසයට පැමිණියේය. රැජින ගේ රාජ භෝජන අනුකරණයට ගොස් නුවරඑළීයේ සහ වැලිමඩ අර්තාපල් සංස්කෘතිය විසින් සිංහලයන් බිලිගෙන ඇත. බෝ නොවන රෝග ලෙසින් දක්වන බොහෝ රෝග උත්පාදනයට මේ අර්තාපල් හේතු වී ඇතිවාට නිසැකය.
           පැරණි සිහළයාගේ ප්‍රධාන ආහාර භෝගයන් වූයේ වී සහ කුරහන්ය. වීබිස්සක් නැති කුරහන් අටුවක් නැති සාම්ප්‍රදායික නිවසක් එකළ නුවූයේය.කාලිංග ඹාඝ ගේ පටන් රොබට් බ්‍රවුන්රිග් ලා දක්වා වූ මහා ඝාතකයන් විසින් විනාශ කරන ලද සශ්‍රීක ගොවීබිම්හි පවා අක් වැස්සට ඉබේම  කුරහන් පැළවුණි. කුරහන් වලින් ශක්තිමත් වූ යකඩ දෑත් වලින් අස්වැද්දිය නොහැකි මහ පොළවක්ද එදා නුවූයේය. එහෙත් සුද්දාගේ යකඩ සපත්තුවට පෑගී සිටි සිංහලයා දිගේලි කොට නිදහස දුන් දා පටන් හේන් යායෙන් නැගුණු කුරහන් සීපදයත් වෙල් එළීයේ ගොවි අඩහැරයත් අකා මකා ගියේය. විසි එක්වන ශත වර්ෂයේ ආරම්භය වන විට කුරහන් රටින් ගෙන්වන ප්‍රධාන භෝගයක් බවට පත් වී ඇත. කුරහන් මාලය නැතහොත් සාටකය පාර්ලිමේන්තු තොණ්ඩුවක් වී ඇත.
           සුළඟට ලාලිත්‍ය දෙමින් වැඩෙන පඳුරු කුරහන් අතර රෑන් ඇදී යමින් දිවෙන වට්ටක්කා වැළක  හැංගුණු නාඹර පුලුලුකුලකට තට්ටු කරන්නට නොකැමති ගොවියෙකු වන්නි කරයේ එදා සිටියේ නැති තරම්ය.බඩ ඉරුං ගස් මණ්ඩි ඔස්සේ දකින තියඹරා ගෙඩියක කැඳවුම ද ඒ තරමටම මිහිරිය. හේනේ වනස්පති වෘක්ෂයේ මහ පැළට වී පාලුවේ සිටින්නෙකුට තමන්ගේ හේනේ සිරියාව විවිධාකාරයෙන් අත් විඳිය හැක්කේ එලෙසය. පාලු නිකින්නියේ වල් බැදි කපමින් හෙලූ දහදිය ට මිහිමවගෙන් ලැබෙන තෑග්ගක් බඳු හේන් භෝග හේඩාව එකින් එක අස්වනු දී සෙමින් සෙමින් තුනී වන විට ගොවි ගෙදර අටුව සරි බර වෙයි. කුරහන් බඩ ඉරුං මෑ බටු මිරිස් තක්කාලි අසමෝදගම් තම්පලා ආදී නොයෙකුත් භෝගයන්ට ක්ෂේම භුමියක්ව තිබූ හේන ඉන්පසු කැලෑවට යයි.මේ ළඳු කැලෑවෙන් ද තිබ්බටු එළබටු පමණක් නොව නොයෙකුත් ඖෂධයන්ද ගැමියන්ට ලබා දෙන ලද්දේ ස්වභාව ධර්මයේ කරුණාව මෙතැකැයි කියමිනි.සිංහල ගොවි සංස්කෘතියේ සශ්‍රීකත්වය එයයි.
         මූකලන් හේන් වල සිරියාවත් සමෘද්ධියත් ගමෙන් ඉවතට ඇදී ගොසින්ය.  හේන් හේඩාව වෙනුවට ගමම හේ බා ගොසිනි. සිදාදියේ අරුමෝසම් කෑම වලින් කඩපිල් පිරිලාය. වකුගඩු රෝගයෙන් ද පිළිකාවෙන්ද මැරෙන ගම්මුන් ගේ විලාපය සුළං අතට හැරී හෝ හෝ ගා ගත් ගමන්ය.කුරහන් නැති රටට පැසිපික් රම්බෝ වැනි දෙමුහුන් බඩ ඉරිඟු පැමිණිලාය. මේ බඩ ඉරිඟු වත්තේ මුරකරුවා වන්නේ රජරට ගොවියාය. කෘෂි රසායන ටැංකිය පිටේ බැඳ ගත් ගමන් සිටින මේ ගොවියාට ත් සෙක්කුවේ බැඳ සිටින හරකාටත් නිදහසක් නම් නැත.
           බ්‍රිතාන්‍යයන් විසින්1840 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද මුඩුබිම් පණත් වල ප්‍රතිඵලයක් වශයෙන් හේන් ගොවිතැනට අවශ්‍ය වූ මූකලාන් සහ කනතු සිංහලයින්ට අහිමි විය. ඒ ඉඩම් කෝපි වැවිල්ලට යටකරන ලදී. වන්නිය හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් හේන් ගොවිතැනේ ශේෂ දක්නට ලැබුණි. අනතුරුව ඉඩම් භුක්ති ක්‍රමයේ විකාශනය නිසාම ගොවීහු විනාශකාරී හේන් ගෙවිතැන් ක්‍රම අනුගමනයට පටන් ගත්හ. ඉංග්‍රීසින් ඇතැම් විට මේ ක්‍රමය තහනමට ලක් කරනු ලැබූහ. එහෙත් මාස් කන්නයට පමණක් වැසි ලැබෙන පළාත් වල වැසියන් තමන්ට ආයාසයකින් තොරව ලබා ගත හැකි ධාන්‍ය වර්ග සඳහා හේන අත් නොහළහ.වී වගාවට ජලය නොලැබෙන කල්හි ගොවීහු හේන් වලට සංක්‍රමණය වෙති. මාස් කන්නයේ වුවද නියන් ලකුණු දුටු කල්හි ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ හේන් කෙටීමටයි. කුරහන් එහි ප්‍රධාන භෝගයයි.
               හේන් ගොවිතැන අභාවයට යත්ම කුරහන් ගොවිතැන ද අභාවයට ගියේය. වෙසෙසින්ම මහවැලි ව්‍යාපාර සංවර්ධනයත් සමග හේනට තහංචි පැනවුණි. මෙම ආහාරයට තිබෙන ප්‍රිය මනාප භාවය නිසාම අතරින් පතර කුරහන් වගාව කළද ඒ සාම්ප්‍රදායික ක්‍රමයට නොවේ. 1980 සිට 1994 දක්වා කුරහන් වගාවේ සංඛ්‍යා ලේඛන ගත හොත් මෙම වගාවේ පරිහානිය තේරුම් ගත හැකිය. 1981 වර්ෂයේ දී හෙක්ටයාර් 19600 ක මෙම වගාව පැතිර තිබුණි. 1982 දී එය හෙක්ටයාර් 20 400 විය. ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වී 1994 වන විට එය හෙක්ටයාර් 7474 ක් දක්වා  අඩුවුණි.2008 වර්ෂය වන විට මේ වගාව හෙක්ටයාර් 2000 කට පල්ලම් බැස තිබුණි.වර්තමානය වන විට කුරහන් ඉන්දියාවෙන්  වයට්නාමයෙන් සහ මැලේසියාවෙන් ගෙන්වන ප්‍රධාන ආහාරයකි.
      කුරහන් ශක්ති ජනක ආහාරයකි. ආහාරයක් වශයෙන් එහි අඩංගු කැලරි ප්‍රමාණයෙන් ඒ බැව් තේරුම් ගත හැකිය. මාංශ ජනක ධාතු  කැල්සියම්  විටමින් බී වැනි පෝෂ්‍ය ගුණ එහි යහමින් අඩංගු වන බව නවීන පර්යේෂකයින් පෙන්වා දී තිබේ.මහ මොර ගල් මොර කලු ගැටයා මෙන්ම නර මානෙල් නමින් තිබූ පැරණි සාම්ප්‍රදායික කුරහන් වර්ග දැන් අභාවයට ගොසිනි. මාස් කන්නයට හේනට පිරිමහින ප්‍රධාන ගොවිතැනක් වූ කුරහන් යල් කන්නයේ ද සරුවට වැඩුණි. කුරහන්  සකස් කරගන්නට නිවසක තිබූ කුරහන් ගල අපූරු උපකරණයකි. එහි අත් ගලේ මැද හිලට දැමූ කුරහන් ඇට ඇඹරෙමින් ගල දෙපැත්තෙන් බිමට වැටෙන්නේ වන්නිකරයේ ගොවියාගේ අව්‍යාජ සිනාව මතක් කර දෙමිනි. මේ කුරහන් පිටි ඉක්මනින් ආහාරයක් ලෙසට සකස් කර ගන්නට ගෙවිලිය දනී.  වතුර මුට්ටියක් ලිපේ තබන ඇය වතුර නටා ගෙන එන කල්හි ඉන් වතුර භාගයක් පමණ වෙනත් බඳුනකට අයින් කර ගනී. අනතුරුව කුරහන් පිටි අවශ්‍ය පමණ දමමින් පත්තෙන් පතු ගාන්නේ කවි දෙපදයක්ද කියමිනි.නටන උණු ජලයේ තිබෙන ගුප්ත තාපයෙන් කුරහන් හොඳ හැටි තැම්බෙන අතර වෙන්කර ගත් වතුර මට්ටියේ උණු ජලය වරින් වර දැමීම නිසා කුරහන් පිටි අහුර තලපයක් බවට පත් වෙයි. මේ තලපය කටේ  අලවා නොගෙන ගිලීමට සමත් හොද්දක් හෝ ආනමක් දැන් අවශ්‍ය වේ. ඒ සඳහා කොල්ලු ආනම අගේට ගැලපේ. රටේ විවිධ පළාත්වලට එයට ගැලපී යන ආනම් දකින්නට හැකිය.
      කුරහන් දියවැඩියාව සමනයට අගනා ආහාරයක් යයි පැරණියන් අතර තිබූ මතය බිඳ හෙලන්නට විවිධ විශේෂඥයන් වරින් වර නොයෙකුත් මත ඉදිරිපත් කළහ. එවිට  ආහාරයක් සකස් කර ගන්නට නොදත් සමාජයක් නිතරම පැකිලේ. විචිකිච්චාවට පත් වේ. කුරහන් ගැඹුරු උණුදියේ තම්බන්නට ඕනෑය කීවේ ඒ නිසයි. කුරහන් කැඳ මෝරු සමග බීම දියවැඩියා රෝගීන්ට පත්‍ය ආහාරයකි. කුරහන් පිට්ටුවටද කෙට්ටුව මට්ටු කර ලිය හැකි බව පැරණි කවුරුත් දැන සිටියහ. එයට ගැලපී යන හොද්දක් ඇඹුලක් ද තිබිය යුතුය. කුරහන් රොටිය  ඉතා දුගී ආහාරයක් වුවද උණු අලු පල්ලේ දමා තම්බා ගත් කුරහන් ගිනිපූ නමින් වූ සාම්ප්‍රදායික රොටිය රසවත් කමින්ද ගුණයෙන්ද ඉහළය. එයට හාල් මැස්සන් රතු ලූණු කරපිංචා ආදිය එක් කර කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලක දමා තම්බා ගැනීම නිසා ක්ෂණයකින් ලේ ධාතු ගත වන අගනා ශක්ති ජනක ආහාරයක් ලැබේ. ඇතැම් හේන් ගොවීන් හේනේ ගල් තලාවක් හොඳ හැටි පිරිසිඳු කර ඒ මත රොටිය වඩවා තබා දහවල් වන තුරු වැඩ කර එතැනට යළිත් පැමිණෙන්නේ පදමට අව්වෙන් තැම්බී ඇති රොටිය ආහාරයට එක් කර ගැනුමටයි.මේ සෑම ආහාරයක්ම තැනේ හැටියට වැඩයේ හැටියට පිරිමහින දේවල්ය. ශිත කාමර වල සිටින දහදිය නොදක්වන හීල් වැඩ කරුවන්ට පෙර සඳහන් කළ කුරහන් තලපය තරම් අගනා ආහාරයක් තවත් නැතිය. සෙම මේද වාත නසන එසේම බඩේ ආමය නිසි ලෙස සකස් කරන තව දුරටත් මුත්‍රා ගල් දියකරවන කොල්ලු ආනමත් එක් වූ විට එයින් ඇති කරවන ප්‍රතිශක්තිය මෙන්ම රුධිර සීනි සමබර තාවය විශිෂ්ඨය. මේ සියුම් තැන් නොදන්නා බටහිරයන් තම වියුක්ත දැනුමේ පිහිටා සිටිමින් කුරහන් වලට අවමන් කරති. නමුත් සත්‍යය දන්නේ කුරහන් නිසා දිවි ගැට ගන්නා රජරට රුහුණු ගොවියාම පමණකි. මී මල් පිපෙන කාලයට ඒවා අහුලා රේණු තලා වේලා කුරහන් පිටි සමග එක් කර කිතුල් පැණි මුසු කර සාදා ගන්නා මී මල් හැලපය වාතය නසන මිහිරිතම අතුරු පසකි.කුරහන් හේනේ හේඩාවට ගොවියා දෑත් එක් කර වඳින්නේ ඒ නිසයි.
           ගිරුවා පත්තුවේ බුද්ධියාගම විදාන ආරච්ච් ගේ පුත් දොන් මැතිව්ස් රාජපක්ෂ මහතා එදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැලුනු පෑගුණු ගොවි ජනතාවගේ නායකයා විය. ඔහු 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ට ඉදිරිපත් වූයේ එවක එම පෙදෙස පාලනය කළ මුදලි වරු කෝරාළ වරු අතරින් පැන නැගුණු රදල මාන්නාධික පාලනය බිඳ හෙලන්නටයි. ඔහු නාම යෝජනා දෙන දිනයේ තිරික්කල  පෙරහරකින් දිසාපති කන්තෝරුවට පැමිණියේ ගොවීන් පිරිවරා ගෙනයි. දිසපති වූ පී .ජේ. හඩ්සන් මහතා රාජපක්ෂ මහතාට අවශ්‍ය පාට කුමක්දැයි විමසිය. තමන් පිරිවරා සිටි ගොවි ජනතාව දෙස බැලූ විට ඔහුගේ නෙත් එක්වරම ඇදී ගියේ කුරහන් ගල් පොත්තයායේ හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ කුරහන් පාට තුවායයි. එම තුවාය අතට ගත් රාජපක්ෂ මහතා තමන්ගේ පාට මෙලෙස විය යුතු යයි ප්‍රකාශ කර සිටියේය. මෙයින් කිපුණු හඩ්සන් දිසපති වරයා මදක් නැමී දෙපයින් සපත්තුව ගලවා මේකත් ඔය පාටම නේදැයි උපහාසයෙන්  විමසා සිටියේලු . ඒ එදා සුද්දන් ගේ කාලයේ දේශපාලනයේ රඟ සොබාවයයි. ගොවීන් ගේකර පිටින් ගිය මේ රාපක්ෂ වරු සැබවින්ම ඔවුන් ගේ නියොජිතයින් වූහ. කුරහන් සාටකය පළඳා ගෙන ගමේ දුක් විඳින ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ විසඳාලන්නට ඔවුන් කළ කැපකීරීම් අනන්තය. බණ්ඩාරනායක මහතා විරුද්ධ පක්ෂයට යන විට අවදානම නොතකා ඩී.ඒ.රාජපක්ෂ මහතා ඔහු පසු පස ගියේ පොදු ජන යුගයක් උදා කිරීමේ පවිත්‍ර චේතනාවෙන් බව පැහැදිලිය.
                   දශක ගණනාවක් ගෙවී ගොස්  ගිරුවායට නව ප්‍රවේශයක්  හිමි වී ඇත. හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ අධිවේගී මාර්ග වලින් ළඟා වීම ඇරුණු කොට කාපට් කරන ලද ග්‍රාමීය පාරවල් නිසා ගිරුවායේ ජනතාවට කුරහන් පාට දැන් අමතකව ගොසිනි.ඔවුහු බලාන සිටිනුයේ ගිරුවාය බදුගත් විදේශිකයන්ගේ දෑත් වලින් වැටෙන සල්ලි අහුලා ගන්නටයි බුද්ධියාගම විදානේ ආරච්චිගේ තවත් මී මුණුපුරෙක් දැන් මේ රටේ ජනාධිපතිවරයා වෙයි. ඔහු මෙවර කුරහන් තොණ්ඩුව ඉවතට ලා දුම්කොළ ටයිපටිය අතට ගෙන සිටී.   වසංගතයට බියෙන් මුලු රටම වසා තබා ඇති මොහොතක යළීත් ගොවියාගේ හිස මත කුරහන් මාලය පළඳවන්ට ඔහු සමත් වේද යන්න තවමත් අපට විචිකිච්චාවක් වන්නේ එහෙයිනි..
         කුරහන් ලංකාවට පිරිමහින ආහාරයකි. ගොවිතැනකි. ඉතා අඩු වියදමින් යෙදවුම් නොමැතිව කළ හැකි මේ භෝගය සරල පහසු ක්‍රමයන් මගින් ආහාරයට සකස් කර ගත හැකිය. අවුරුද්දක් පමණ බීජ කල් තබා ගත හැකි වන අතර වසර තුනත් පහත් අතර කාලයක් වුවද කරල් පිටින් අටුවේ කල් තබා ගෙන ආහාරයට ගත හැකිය. ඒ අතින් බලන කල්හි ආහාර සුරක්ෂිතතාවයට කුරහන් වැනි ශක්ති ජනක ආහාරයක තිබෙන වටිනාකම් වඩාත් ඉහළය.ස්වාධින ලංකාවකට අවශ්‍ය වන්නේ මේ සරල සංකල්ප හා වටිනාකම්ය.එළවලු භෝග වගාවෙන් අතරමං වී සිටින ගොවි රජවරුන් ඒ මග ගත යුතුය. එපමණක් නොව  කුරහන් සාටකයෙන් වසා සිටින දේශපාලන රඟපෑම් ඉවරකරන්නටද සුද්දාගේ දුම්කොළය එල්ලා ගෙන කරන දේශපාලන තක්කඩි කම්ද අවසන් කරන්නටද ඔවුන් පෙරමුණට පැමිණිය යුතුය.
  
        

No comments:

Post a Comment