පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, July 23, 2019

මහජන බැංකුවට ලෙඩක් දැමීම -මුදල් ඇමති ගේ අවමංගල වැඩක්


                        

             දිවංගත ටී.බී.ඉලන්ගරත්න මහතා විසින් නියෝජත මන්ත්‍රී මණ්ඩලයට 1961 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද අංක 29 දරණ පනතකින් මහජන බැංකුව ස්ථාපිත වී තිබේ.සමූපාකාර ෆෙඩරල් බැංකුව මහජන බැංකුව වශයෙන් පරිවර්තනය කොට රුපියල් පණහේ කොටස් 120000 කින් සමන්විත මුල් මුදල වන හැට ලක්ෂයක් යොදා එම බැංකුව ශක්තිමත් කරනු  ලැබිණ. මේ කොටස් වලින් හරි අඩක් රජය ලබා ගත් අතර ඉතිරි කොටස් මුදල සපිරීමට දිවයිනේ සියලුම සමූපාකාර සමිති දායක වී තිබේ. මෙම බැංකුව  සමූපාකාර සමිති මගින් සංවිධානය කරන ලද මජනතාව හා රජය එක්ව කරන ව්‍යාපාරයක් බැවින් මුල් මුදල වශයෙන් පුද්ගලික මුදල් යෙදවීමට ඉඩක් නොමැති විය. එම තත්ත්වය මහජන බැංකු පනතේ 13 වන ප්‍රතිපාදනයේ සඳහන්ව ඇත්තේ මෙසේය. සමූපාකර සමිතියක් හෝ නිල තත්වය අනුව භාණ්ඩාගාරයේ ලේකම් නොවන තැනැත්තෙකුට බැංකුවේ කිසිම කොටස් කරුවෙකු විසින් තම කොටස් නොවිකිණිය යුතුය.ඇත්ත වශයෙන්ම මහජන බැංකු පනතින් මෙම සීමාව යොදා ඇත්තේ කුමන් හේතුවක් මත දැයි පැහැදිල කර ගත යුතුය.
       මහජන බැංකුව පිහිටුවන ලැබූ කාල වකවානුවේ මෙරට ක්‍රියාත්මක වූයේ වානිජ බැංකු රාශියකි. මෙම බැංකු විසින් විදේශ වෙළඳාමට අවශ්‍ය මුදල් සැපයීම වැඩි වශයෙන් සිදු කරනු ලැබූ අතර ලංකා බැංකුවද ඒ මග අනුගමනය කරමින් සිටියහ. මේ රටේ සමස්ත ජනතාවගේන් බහුතරයක් ගම්බද ගොවි ජනතාව වූ අතර ඔවුහු හෙට්ටීන්ට සහ හම්බයන්ට ණය කාරයන් වී සිටියහ. ග්‍රාමීය බැංකු සමූපාකාර සමිති ක්‍රියාත්මක වීම සිදු වුණද ගම්බද ගොවිතැනට අවශ්‍ය ණය නිකුත් කරනු ලැබූවේද සීමා සහිතවමය. මේ නිසා සිරිමා බණ්ඩාරනායක රජයේ ජනහිතකාමී වැඩ පිළවෙලක් වශයෙන් එවකට වානිජ වෙළඳ කටයුතු  ආහාර සහ නැව් කටයුතු ඇමති වූ ඉලංගරත්න මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලද මහජන බැංකු පනත සුවිශේෂි වෙයි.එහිදී කරන ලද අරමුණු අතර තිබූ වෙසෙසි ඉලක්ක කීපයක් මෙලෙස වෙයි.
        මහජන බැංකුවේ ශාඛා මගින් දැනට ඇති සමුපාකාර බැංකු ඇතුළු සමූපාකාර සමිති සිය ණය දීමේ ඒජන්සි වශයෙන් යොදා ගැනීමටද මහජන බැංකු පනතේ විධි විධාන සලසා ඇත. ගොඩනැගිලි තැනීම හා අලුත් වැඩියා කිරීම සඳහා සමූපාකාර සමිති වලට හා අනුමත සමිති වලට ද පුද්ගලික අයටද කෙටි මධ්‍ය හා දීර්ඝ කාලීන අත්තිකාරම් මුදල් බැංකුවට දිය හැකිය. සමූපාකාර සමිති හා පුද්ගලික අයවලුන්ගේ යහපත සඳහා බඩු උකස් ගැනීමේද බැංකුව යෙදෙනවා ඇත. කුඩා වශයෙන් ගොවිතැන් කරන්නන් ද කම්කරුවන්ද යනාදී අයවලුන් අයුතු ලාභ ලබන පුද්ගලික උකස් බඩු ගන්නන්ගෙන් මුදවා ගැනීමට මෙය ප්‍රථම පියවර වෙයි.එසේම සමූපාකාර ව්‍යාපාරයට මුදල් සැපයීම සඳහා මෙය කාර්යක්ෂම ආයතනයක් වෙනවා ඇත.ඒ අතරම ගම්බද පෙදෙස් වල බැංකු ව්‍යාපාරයද ගොවිතැන් සඳහා ණය මුදල් දීමද සංවර්ධනය කිරීම සඳහා මහජන බැංකුව ණය මුදල් දීමේ විශෙෂ්වයක් දරන ආයතනයක් බවට පත් වෙනවා ඇත.මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ වින්සන්ට් සුබසිංහ මහතාය.ඔහු යටතේ ප්‍රධාන විධායක නිළධාරි වශයෙන් බඳවා ගනු ලැබූවේ සෙලමන්ස් නම් මහතෙකි.ඔහු මහජන බැංකුවේ ජනහිතකාමී අරමුණට බාධාවක් විය.එම නිසා පසුව ඩොනල්ඩ් කන්නන්ගර නම් මහතෙකු පත් කර නැවත අපේක්ෂිත අරමුණට යෑමට උත්සාහ දරා තිබේ.
     මේ වන විට මහජන බැංකුව රට පුරා ශාඛා738 ක්  පිහිටුවා ඉතා සාර්ථක ලෙසට බැංකු කටයුතු කරන පූර්ණ රාජ්‍ය භාරය උසුලන මූල්‍ය ආයතනයක් වේ.වසර පණස්  අටක් පුරා මහජන බැංකුව දිවයිනේ මහජනතාවට කරන ලද සේවය අති මහත්ය. නවීන තාකෂණයත් ලෝකයේ නව ආර්ථික ප්‍රවණතා ඉදිරියේ බැංකුව නවීකරණය වෙමින් තිබුණද එයින් ලබා දුන් සේවාවන් ගේ කිසිදු අඩුවක් වී නොමැත. සිංහල ජාතික වැඩ පිළිවෙලක අංගයක් වශයෙන් මහජන බැංකුව යනුවෙන් විශාල අකුරු පුවරුවක් සමග ඇරඹි මේ ආයතනයේ නම අද සිංහල බසින් කුඩාවට ලියා ඉංග්‍රීසි බස මුල් තැනෙ ලා සැලකූවද රජයේ වැටුප් ගෙවීම වශ්‍රාම වැටුප්  ගෙවීම. උකස් ගැනීම සමූපාකාර සමිති වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම වැනි සෑම දෙයක්ම තවමත් නොපිරිහෙලා  ඉටු කරයි. එසේම බැංකුව විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට වාර්ෂිකව බිලියන පහක් වැනි විශාල මුදලක් බැර කරන අතර අමරතව බදු වශයෙන්ද විහෘල මුදලක් ගෙවනු ලබන බව සැලකිය යුතුය.මහජන බැංකුව ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු මගින් පසුගිය වර්ෂය තුළ ලාභංශ හා බදු වශයෙන් බිලියන පණහකට වැඩි මුදලක් ගෙවා ඇති බවට සැළ වෙයි.
      මෙවැනි ලාභ ලබන තත්ත්වයක් තුළ මහජන බැංකුව සතු වත්කම වැඩි කරනු වස් කොටස් මුදල් එක්කාසු කර ගැනීමටත් ණය නිකුත් කරලීමේ සීමාව වැඩි කරලීමටත් බැංකු පණත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.දැනට ණය නිකුත් කරලීම සිදු වන්නේ රජය අනුමත කරන සීමාවන්ට යටත්වය. නමුත් සංශෝධයෙන් බලාපොරෙත්තු වන්නේ මෙම සීමාවන් ඉක්මවා ණය නිකුත් කොට බැංකුවේ ප්‍රාග් ධනය වැඩි කර ගැනීමටයි. මෙහි තිබෙන අවදානම නම් යම් ණය ගැනුම හිමියෙක් වස්තු භංගත්වයට පත් වූ කල්හි එම මුදල කොටසක් වශයෙන් බැංකුව තුළ තැන්පත් වූවහොත් ඇති වන විලම්බෑසියයි. පනතේ දහතුන් වන වගන්තිය ප්‍රකාරව කොටස් මුදල් හිමිවිය යුත්තේ කාහටදැයි පැහැදිලව දක්වා තිබෙන පරාසයක එසේ සිදු වීම ඉතා භයානකය.
       වර්තමාන මුදල් ඇමතිවරයා විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවේ. ඔහු ජිනීවා 30/1 යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වූ දේශ ද්‍රෝහියෙකි. විදේශ ඇමතිකම බල්ලාට දාමා මුදල් ඇමතිකම රැගෙන කරන නෙයියාඩගම් පිළිබද අපට බලවත් සැකයක් හට ගනී. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා විශාල වශයෙන් මුදල් නිකුත් කරමින් පවතී.එය කොතනින් නවතීදැයි කිව නොහැකිය. 2000 වර්ෂයේ සිටම මහජන බැංකුව ප්‍රති ව්‍යුහගත කිරීමේ සැලැස්මක් පිළිබඳ ඉඟි පළ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු වූ සාකච්ඡාව මත 2002 ජූනි මාසයේ දී එවකට සිටි රජය දිළිඳු භාවය අඩු කිරීම සඳහා උපාය මාර්ගයන් වර්ධනය සමග සම්බන්ධ කිරීම යනුවෙන් වාර්තාවක් පළ කළේය. මේ කාලයේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ගොස් එහි ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ සහ ලෝක බැංකු සභාපති ජේම්ස් වුල්ෆන්සන් හමු විය. එසේ යෑමට පෙර ජනාධිපතිනි චන්ද්‍රිකා සමග පැය නවයක් සාකච්චාවකද නිරත වූ බවට වාර්තා පළ විය. කෙසේ වෙතත් අමාත්‍ය ජී.එල් . පීරිස් කියා සිට ඇත්තේ පනත් 36ක් කඩිනමින් අගොස්තු සැප්තැම්බර්  මාස වලදී සම්මත කරගන්නා බවයි. මේ පනත් අතර බැංකු මුදා ගැනීමේ පනත යනුවෙන් පනතක් ද විය. මජන බැංකුව කොටස් තුනකට කැඩීමක් ගැන ඒ කාලයේ කතා බහ වූයේ මේ පනත් කෙටුම්පත් වල හරය ජනතාවට විවර වූ නිසාය.
    ඇමරිකාවේ සංවර්ධන සමුලුව මගින් දෙන ණය සඳහා කොන්දෙසි වශයෙන් මේ පනත් 36 සම්මත කළ යුතු බවට තිබූ බල පෑම එකල පහව ගියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කඩා වැටීම නිසාවෙනි. නමුත් මේ න්‍යාය පත්‍රය නැවතත් මහින්ද රාජපක්ෂ රජය කාලයේ කරළියට පැමිණියේ. මේ වාර්තා සැකසීමට සම්බන්ධ නිළධාරීන් එලෙසම බලයේ සිටි බැවිනි. කෙසේ වෙතත් ජනතා විරෝධය නිසා මහින්ද රජය මහජන බැංකුවට අත තැබීමට බිය විය.දැන් නැවතත් මෙම න්‍යාය පත්‍ර කොටස් වරින් වර කෙටුම්පත් වහයෙන් ඉදිරියට පැමිණෙයි.2002 වර්ෂයටත් වඩා භයානක ඇමරිකානු මැදිහත් වීමක් අභිමුවේ අද රට පවතියි. ඇමරිකානු තානාපතිනිය ලක් රජයට මෙන්ම රටේ සිවිල් පරිපාලනයට කරන මානසික බලපෑම සුලු පටු නෙවේ. මේ තත්ත්වය තුළ මහජන බැංකු පනත සංශෝධනය මගින් අපේක්ෂිත නව සැලැස්ම කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර ඇත. පසුගියදා මෙම කෙටුම් පත සම්බන්ධව ආණ්ඩුව මාධ්‍ය නිවේදන කීපයක් නිකුත් කලේය. එහි සඳහන් වන ආකාරයට කොටස්මිලට ගැනීම් සඳහා වන දහතුන්වන ප්‍රතිපාදනය අයින් නොකෙරේ. එහෙත් පාර්ලිමෙන්තු කාරක සභා අවස්ථාවල දී ප්‍රජාතන්ත්‍ර විරෝධිව පනත් කෙටුම්පත් වෙනස් කරන ආණ්ඩුවක් ගැන විශ්වාසය තැබිය හැකි නොවේ. මහජන බැංකුව පිහිටවූයේ සාමන්‍ය මහජනතාවගේ සල්ලි වලිනි. දුකසේ හරි හම්බ කරගත් ඒ ධනයට සැබෑ වටිනාකමක් ලබා දීමට එවකට පැවති සිරිමා රජයට අවශ්‍ය විය. අද ඒ අරමුණු මත මහජන බැංකුව ගමන් නොකිරීම ප්‍රශ්නයක් වුවද රජය සතු වානිජ බැංකුවක් වශයෙන් කරන සේවය ලඝු කර දැමීමද කළ නොහැකිය. එම නිසා මුදල් ඇමති ඇතුළු රනිල් ගේ රජයේ අවමංගල වැඩ තව දුරටත් වළක්වාලීම  පිණිස දැනුම්වත් වීම මේ අවස්ථාවේ දී කළ යුතුමය.


No comments:

Post a Comment