පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, February 2, 2017

රන් රිදී සෑදීම පිළිබඳ පාරම්පරික දැනුම

                                         
            ශ්‍රී ලංකාවේ කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිතා කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන් වල මිල ඉතා අධිකය. සියලුම භාණ්ඩ වලට වඩා එහි වටිනාකම ඉහළයයි සම්මතයක් පවතී. රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රන් කරුවන්ගේ ශ්‍රේණිය මෙන්ම රිදී වැඩ කරුවන් ගේ ශ්‍රේණියද පුරාණයේ කොට්ටල් බද්දට අයත් විය. ඔවුහු අභරණ පට්ටලය නමින් වූ ශ්‍රේණියක වසමින් රජුට රදළවරුන්ට ආභරණ සෑදූහ. දැනුදු ඔවුන්ගේ ශේෂ ගම්වල දක්නට ලැබේ. ඒ අතර ප්‍රකට රිදී කැටයම් කරුවන් වූ නීලවල පරම්පරාව  අඟුල්මඩුව පරම්පරාව මෙන්ම අඹන්පොල රන් කරුවන් ගේ පරම්පරාවද ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා දක්වති.
         රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. නගරයෙන් ඊසාන දිග තුන් යොදුන් තන්හි ආචාරවිට්ටි නම් ගමෙහි නානාවිධ රත්තරන් පහල විය. එයින් ලොකුම ඒවා වියතක් පමණද කුඩා ඒවා අඟලක් පමණද විය. වරින් දකුණු දිග අම්බට්ටකොල නම් ජනපදයෙහි ලෙනක රිදී පහළ විය.පුරයෙන් නැගෙනහිර දිග සත් යොදුනකින් එපිට ගෙඟන් එතෙර පිහිටි තඹ විට නම් ගමෙහි තඹ ලෝහ පහළ විය. ලංකා පුරා වෘත්ත සහ කඩයිම් පොත් වල දක්නට ඇති පරිදි සතරක් රිදී ආකාර ගම්ද සොළසක් රන් ආකාර ගම්ද සියයක් රුවන් ආකරගම්ද ලංකාව පුරා තිබී ඇත.යටත් විජිත සමයෙන් පසු ප්‍රථම වරට ලංකාවේ ඛනිජ සම්පත් ගවේශණයට ආයතනයක් පිහිටුවන ලදහ. යකඩ රන් රිදී ආදී ලෝහ වර්ග මෙන්ම මැණික් ගැනද ඔවුහු ගවේශණය කළහ.විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණී ජී.ජී.ඩික්සන් නම් රන් ආකර පිළිබඳ විශේෂඥයකු සහ ප්‍රකටගවේශකයෙකු වූ ආනන්ද කුමාරස්වාමී මහතා විසින් මෙම ඛනිජ සම්පත් ගැන වැදගත් වාර්තාවන් පළ කරනු ලැබ ඇත.
            රන් සහ රිදී මිශ‍්‍ර කොට රාජ්‍ය යෙහි මුදල් සඳහා කාසි නිපදවනු ලැබූහ. ඒවා කහවණු අඩ කහවණු සහ මසුරන් යන නමින් හඳුන්වන ලදහ.  පසු කාලයේදී තඹ මස්සටද මසුරන් යන නාමය භාවිත කොට ඇත. පළවන විජයබාහු රජු මේ තඹ මස්ස නිකුත් කිරීම අරඹන ලදී. බුදු පිළිම නෙලීම ආරම්භ කල පසු විවිධ ලෝහ වර්ගයන්ගෙන්ද ඒවා ඇඹීම සිදු කර තිබේ. තඹ සහ ලෝකඩ බුද්ධ ප‍්‍රතිමා රාශියක් ක‍්‍රි. ව. යෙන් පසු සියවස් වල හමු වෙය. ඒවා
අතර පැරණිතම බුදු පිළිමය( ක්‍රි.ව.358 -538) ගල් ගමුවෙන් හමු වී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි .එම පර්යේෂනය සිදු කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය මගිනි. මෙම හිටි බුදු පිළිමය රන්ආලේපිත ප‍්‍රතිමාවකි . පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශ යේ අනුෂා කස්තුරි ආරචිචි මෙනවිය පවසන පරිදි මෙම ආලේපන තාක්ෂණය  රත්තරන් වලට රසදිය එක් කිරීමයි . ඒ මගින් හොඳින් රන් ආලේපනය සිදු කර ඇත.
කටහඬ ඇති දෙන්න එක තරමට     ගන්න
සොඳදිය ගන්න මිතුරන් හට එක්     වන්න
බැට දෙන ඉන්න තුන් වෙලූමෙන් අඹරන්න 
තඹ සුණු ගින්න වෙයි මසුරන් දැන  ගන්න (මසුරන් )
     මෙම ජන කවියෙන් කියැවෙන්නේ රන් කරුවන් අතර තිබූ පාරම්පරික දැනුමයි. ඔවුහු මසුරන් මාත්තුව ගැන මතක තබා ගත්තේ කවියෙනි.
            අභයගිරි රන්කම්හල -   ක‍්‍රි . ව. අටවන සියවසට අයත් රන් සාදන කම්හලක් 1994 දී අභයගිරි විහාරය අසළ කළ  කැණීම්වලදි මතු විය. එහි උදුන් දොළසක් තිබී ඇත. මෙම ස්ථානයේ තිබී රන් පිණ්ඩ පහක් ලැබීම විශේෂයක් විය.            මෙම රන් පිණ්ඩ මත පිළිවෙලින් එක්සිය දෙකළන්දයි (102) එකුන් අනූවයි (89) අටාසූවයි (88) සහ එකානූවයි (91) යනුවෙන්  සඳහන්ව තිබුණි . මෙම රන් පිණ්ඩ පිළිවෙලින් බර ග‍්‍රෑම් 438 ක් 389 ක් 381 ක් 400 ක් සහ 370 ක් විය.            මෙම රන් පිණ්ඩ වලට අමතරව පුස්කොළ කම්බ රඳවනයක් මනරම් කැටයමින් යුතු රන් වලල්ලක් රන්මුදු සහ රන් කෙයුරක් හමු ව තිබුණි . රන් පිණ්ඩ සියල්ල ආභරණ සෑදීමට සූදානම් කරන ලද වත්මන් කැරට් විස්සට ආසන්න රත්තරන් යැයි මහාචාර්ය එස්. බී . හෙට්ටි ආරච්චි මහතා සහ මොහාන් අබේරත්න මහතා විසින් කළ පර්යේෂණ මගින් සනාථ ව ඇත. අවශ්‍ය අවස්ථාවලදී රන් පිණ්ඩ මකවා අවශ්‍ය භාණ්ඩ තැනීම සිදු වන්නට ඇත.
ගංගා වලින් රත්තරන් ගැරීම.
            රත්තරන් ගැරීම ගැන ආනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ මෙලෙසය.මෙය සිංහලයින් විසින් ගඟ අදිනවා යනුවෙන් හඳුන්වති. මෙම ක‍්‍රමය උපයෝගී කරගෙන ගංඟා පතුලේ ඇති මැණීක්  ගරන අතර රන් එක්කාසු වී ඇති පරිසරයක් නම් ඔවුන් විසින් රත්තරන් ගැරීම ද කරනු ලැබේ. මේ සඳහා අඩුම වශයෙන් පුද්ගලයින් හයදෙනෙකු හෝ අට දෙනෙක් යොදා ගනිති. මේ සඳහා යොදා ගන්නා විශේෂ උදලූ ගරන උදැල්ල හා පෝරු උදැල්ල යනුවෙන් හැඳින්වේ. මේ උදලූ මිටි සැහැල්ලූ රිටි වලින් සමන්විත වන අතර කෙටි මිටකින් ආරම්භ කර ගෙඟහි වැලි තමාගේ පාදය අසල තැන්පත් කර ගනු ලැබේ. ගඟේ සැඩ පහරට බර අඩු වැලි ගසා ගෙන යන අතර බර මැණික් සහ බර වැලි පාදය අසල තැන්පත් වේ. ඉන්පසු පුද්ගලයින් එතැනම සිට උදලූ මිට රිටි බැඳ ක‍්‍රම ක‍්‍රමයෙන් දික් කරනු ලැබේ. මේ ක‍්‍රමයට සතියක් පමණ කාලයක් ගඟ පතුලේ ඇති වැලි අදිනු ලැබේ. ඉතිරි වී ඇති බර වැලි වන ඉල්මනයිට් සහ මොනසයිට් පොල් කටු මගින් එකුත කර නෑඹිලියකට දමා ගරා එහි රත්තරන් කැබලි ඇත්දැයි බලනු ලැබේ.
    රත්තරන් සෑදීම ගැන පාරම්පරික ක‍්‍රම අපට හමුවන්නේ රන් කරුවන්ගේ භාවිතයෙනි. ලංකාවේ දැනට හමුවන රත්තරන් ගැන පර්යේෂණයක් කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ එස.ඩබ්.නවරත්න සහ ජී.එන්.විජේරත්න යන දෙදෙනා පළ කළ (Gold in Stream Sediments Of  Sri lanka ) නම් ලිපියේ සඳහන් පරිදි ලබාගත් සාම්පල විශ්ලේෂණයේදී පැහැදිලි වී ඇත්තේ රන් 78.24 % රිදී 17.04 % තඹ 03.17 % යකඩ 0.97 % සහ මැන්ගනීස් 0.007 % වශයෙනි. එම මිශ්‍ර ලෝහය මකවා අවශ්‍ය පමණට මාත්තුව දමා රන් ආභරණ හෝ රිදී ආභරණ සෑදීමට රන් කරුවන් අතර තිබූ මේ පාරම්පරික දැනුම ඉවහල් විය. වර්තමානයේ රත්තරන් වල පිරිසිදු තාවය මනිනු ලබන්නේ කැරට් වලිනි. කැරට් 24 (100 %) කැරට් 22(91.7 % ) කැරට් 18 (75% ) කැරට්14 (58.3% ) කැරට් 12 (50%) සහ කැරට් 10 (41.7% ) යනුවෙන් පිරිසිදුතාවය වර්ග කරයි.නමුත් පාරම්පරික වශයෙන් එය වර්ග කරනු ලබන්නේ සය මාත්තු රත්තරන් සත් මාත්තු රත්තරන් අට මාත්තු රත්තරන් නව මාත්තු රත්තරන් සහ දස මාත්තු රත්තරන් වශයෙනි.ඒ සඳහා තිබූ පැරණි ජන කවියක් මෙසේය.
සුද්ද තඹෙන් සය කළඳක්     අර ගන්න 
සුද්ද රනින් එක් කළඳක්       අරගන්න
තිත්ත අඟුණ කොල මල් ඉස්මේ ලන්න
සත්ත මිටක් කළ රන් මය   අට වැන්න   ( අට මාත්තු රත‍්‍රං)
     මෙම කවියේ එන පරිදි රන්කරුවන් විවිධ ඖෂධීය ශාක වර්ගයන්ද මාත්තුව ගැනීමට භාවිතා කර ඇත.වත්මන් රන්කරුවන් මෙම දැනුම බහුලව භාවිතා නොකරන නමුදු ඔවුන් අතර මුඛ පරම්පරාගතව තිබූ වට්ටෝරු කීපයක් මෙසේ දක්වමි.
            රත්තරන් පෑස්සීම -  රන් පොඩි
            තඹ සහ රිදී දෙකට එක අනුපාතයට රුගෙන අවශ්‍ය තන්හි පෑස්සුමට යොදා ගැනේ පෑස්සීමේදී පුස්කර ( බෝරික් අම්ලය ) මදක් ආලේප කරනු ලැබේ.
            පලිප්පු දැමීම  -
            පලිප්පු දැමීම යනු ආභරණයක අමු රත්තරන් පෙනුම මකා දිස්නයක් ලබා දීමය . එම කටයුත්තේ දී පල්මාණික්කම් එක බරයි . මේස ලූණු එක බරයි . ගෙන එම දෙබරට වෙඩි ලූණු එක් බරක් දමා පල්පයක් සාදා  අභරණය සෑදීමෙන් පසු එය මතුපිට තවරා දහයියා අගුරේ පිලිස්සීම කරති.
            රත්තරන් සුද්ද කිරීමට -            අක්කපාන කොළ යුෂ කෝවේ දමා රත්තරන් මකවා ගැනීමෙන් සුද්ද රත්තරන් ලැබේ .
      අමු රත්තරන් කැරට් 22 කිරීමට රිදී සහ තඹ මංචාඩි 02 බැගින් එකතු කල යුතුය. කැරට් 20 ලබා ගැනීමට මංචාඩි 04 ක් එක් කල යුතුය . ඒ අද පිළිවෙලයි.          පාරම්පරික රන්කරුවන් සිය කටයුතු වලදී සාම්ප්‍රදායිකව යොදා ගත් උපකරණ කීපයකි.ඉන් පළමුව ගැනෙන්නේ දහයියා සහ පොල් කටු අඟුරු වලින් ගිනිකරන උදුනයි.කෝව මිනිරන් මැටි මිශ්‍රණයකින් සාදා ග. වැඩ අරඹන සෑම අවස්ථාවකදීම නැවත උදුන සුද්ද කොට දහයියා සහ අඟුරු පිරවීම ද කරති.ගල් බදින කටු දුනු කියත සිදුරු පත කිණිහරය කාන්දම කම්බි තලනය පොඩි වෙට්ටුව චීනචට්ටි ගල බටගහ තහඩු තලනය සහ  මුදු කැරැල්ල මේ උපකරණ අතර වේ.      දහයියා උදුන සාදා ගන්නේ එහි යටට පස් අළුදමා ඊට උඩින් දහයියා පොල් කටු අගුරු එලීමෙනි.රන් තහඩු තලා ගැනීමට තලන යන්ත‍්‍රයක් භාවිතා කරති . මෙලෙස තලා ගත් තහඩු මගින් සිහින් කම්බි සහ රන් නූල්  ලබා ගැනීමට සිදුරු පත නම් උපකරණය යොදා ගනී .
   රත්තරන් සෑදීමේ විවිධ ක්‍රම  පිළිබඳව ද මේ රන්කරුවන් ගේ සාහිත්‍යයට එක් වී තිබේ.එම දැනුම පුස්කොළ වල ලියා තබා ගෙන ඇත.දැනට අප අතර ශේෂ ව ඇත්තේ දහනමවන සියවසේ ලියැවී ඇති පුස්කොළ කීපයකි. මේවා වෛද්‍යවරුන් සතුව තිබී ඇතැයි දැක්විය හැකිය.දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධන පුස්තකාලයේ තැන්පත්ව ඇති අංක 277070 දරණ සින්දූර ක්‍රමම් නම් පත් ඉරුව භෛෂජ කල්ප නම් වෙදපොතේ කොටසකි. එහි මෙසේ සඳහන් වේ.

n  සුදු පාසාණම් නුග කිරෙන් තුන් වරුවක් කුප්පමේනිය යුෂෙන් තුන් වරුවක්  නිමුතු යුෂෙන් තුන්වරුවක්ද අඹරා රොටි සේ තනා  තඹ තහඩුව උඩ තිබා අනික් තඹ තහඩුවකින් වසා දළුක් කිරි ගා සිලමාන් වෙලා දෙරියන් උස වැරටි පුටයක් දී තිස් පැයයි ගිය තැන ගෙන සුද්ද සුබල දහයට එකක් දී මකා ගනු තබක්කයි.යුෂයෙහි ඒ තබක්ක මකා කුප්පමේනිය යුෂයෙහි තුන් වරුවක් නිමුතු ඔසුයෙහි තුන් වරුවක් මකා වක් කර ලනු සුඬයි . රන් මිශ්‍ර කරනු පලිප්පු වේ.
   සිංහල පාරම්පරික වෙදකම වනාහි දේශීයව ප්‍රභින්න වූ ප්‍රතිකාර දැනුම මෙන්ම අසල්වැසි ඉන්දියාවේ සිද්ධ ආයුර්වේද යන වෛද්‍යක්‍රම මෙන්ම චීන පර්මපරික වෛද්‍යක්‍රමයන්ගෙන් සම්මිශ්‍රණව සැදුණකි.සින්දූර වෙදකම යනුවෙන් ප්‍රකටව පැවතියේ රන් රසදිය ආදී ලෝහ වර්ගයන් භාවිතා කොට කරන වෙදකමයි. ඒ මගින් ක්ෂණිකව ලෙඩ සුව කර ගත හැකි බව ඔවුහු දැන සිටියහ. රස වෙදකම නමින් ඇතැම් විට කියැවෙන්නේ එස රසදිය ප්‍රධනව කෙරෙන බැවිනි. රසරත්න සමුච්චය නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි රත්තරන් ධාරණය කිරීමෙන් සූර්යයා ආදී ග්‍රහයන්ගේ නිග්‍රහ වැලකේ. දීර්ඝායුෂ හා ආරෝග්‍ය ඇති වේ. සෞභාග්‍ය උදා වේ. භාග්‍යයට වසඟ වූ සම්පත් හා උත්සාහයද ලද හැකිය. ධෛර්ය වැඩී යෙයි. කාන්ති හීනතාව මෙන්ම ගල් දූවිලි ආදියේ සංසර්ගයෙන් ඇති වන දුර්භාග්‍ය ද විනාශ වේ. භූතදෝෂ ආදියද නිවාරණය වේ. සිංහල වෛද්‍යවරු මෙන්ම රන් කරුවන්ද අනුගමනය කරන්නට ඇත්තේ මෙම සින්දූරන් වෙදකමේ ආභෂයෙන් රත්තරන් රිදී රසදිය මෙන්ම ශාක වර්ග යොදාගෙන කරන වෙදකම හා කර්මාන්තයයි.  වර්ෂ 1853 දී ලියන ලද රාජපක්ෂ සමරකෝන් මුදියන්සේලාගේ කිරිහාමිගේ රිදී රත්‍රං සාදන පොත .නම් පුස්කොළ ග්‍රන්ථයක් මට හමු විය. එහි මෙසේ සඳහන්ය.
        නිදිකුම්බා කොළ කොට කෝවේ පල්ලට දමා ඊට උඩින් තඹ සුද්දකර දමා  ඊටත් උඩින් තුත්තනාගම් ටිකක් දමා ඒ පිට පළමු බෙහෙත් දමා මකා එළ ගොම වත් කරනු තනි රත්‍රං සෑදේ.
     රත්තරන් සහ රසදිය වල පරමාණුක ක්‍රමාංකයන් දැක්වෙන්නේ 79 සහ 80 වශයෙනි. ඒවා එක ළඟ ගුණ දක්වන ලෝහ වේ.පාරම්පරික රන් කරුවන් මේවා දැන සිටින්නට ඇත. ඔවුහු බෙහෙත් ශාඛ වර්ග භාවිතා කොට රසදියෙහි පරමාණුක ක්‍රමාංකාය වෙනස් කිරීමට තැත් කළහ. ඒ පිළිබඳ පර්යේෂණය කළහ. ඒවා සාර්ථක විය. එසේම විවිධ ශාක වර්ගයන්හි යුෂ භාවිතා කොට යම් යම් ප්‍රතික්‍රියාවන් ජනිත කළහ.බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පුස්කොළ පොත් අංක O R 6614  සඳහන් ලෙස එය මෙලෙස වෙයි. රසදිය කළන් එකයි සාදිලිංගම් කළන් එකයි තුත්තනාගම් කළන් එකයි රත්තරන් පාසානම් කළන් එකයි. මේ දේ කලූ අත්තන කොළ යුෂයෙන් අඹරා කෝවක දමා දහයියා වලින් දෙවරක් ගිනියම් කර ඉක්බිති හැර ගෙන තබා කළඳට මංචාඩි හතක බර දමා මකුනු.
         සිංහලයන්ගේ රසායන විද්‍යාව යනු මෙයයි.සොබාදහම කෙරෙහි බෙහෙවින් අනුගතව සිටි ඔවුහු බැහැරින් ලැබූ දැනුමද තමන්ගේ කෝවේ දමා මකවා ගත්හ. නමුත් යටත් විජිත සමයෙන් පසු විදෙස් වලින් ආනයනය කරන ලද නවීන විද්‍යාවන් අප මත බලෙන් පටවන ලදහ. නූතන රසායන විද්‍යාව (Chemistry )වශයෙන් එය අද අප අතර වැජඹෙයි.නමුත් බටහිර විද්‍යා දර්ශනය සහ දේශීය විදයා දර්ශනය අතර පරස්පරතාවයක් පවතින බවද මෙහිදී දැක්විය හැකිය.රන් කරුවන් ගේ පාරම්පරික වට්ටෝරු කියවා විශ්ලේෂණය කරන කල්හි. එය මැනවින් පසක් වෙයි.වර්තමානය වන විට රන් මාත්තුව ගැනීමට විදෙස් වලින ඇලෝයි මිශ්‍රණ ලංකාවට ගෙනඑයි. සැම විටම එය අපගේ ස්වාධීනතාවය නවතා ලන්නකි.එම නිසා රන්කරුවන් ගේ මෙම පාරම්පරික දැනුම පර්යෙෂණයට ලක් විය යුතුය. ඒ පදනමේ සිට ලංකාවේ රත්තරන් මගින් ශක්තිමත් වන ආර්ථිකයකට අපට යා හැකි යයි සිතමි.      




1 comment:

  1. වැදගත් පොස්ට් එකක්...
    මට මේ පිලිබඳව තිබුණු දැනුම ඉතා අල්පයි...
    නමුත් හෙළයෝ වෙනත් ලෝහ උපයෝගී කරගෙන රත්තරං නිපදවූ බව මම අසා තිබුනා...

    ReplyDelete