පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, November 22, 2016

ෆෙඩරල් වාදේ රට සුද්දේ - ඒකාබද්දේ මලබද්දේ

                                
             පොළොන්නරුවේ රජ බවට පත් වූ මහා විජයබාහු නොහොත් කිත්ති විජයබාහු දෙමළ බලමුළු දුරැරලා රට එක්සේසත් කළ බව  ඉතිහාසයේ සඳහන්ය.. රජ බවට පත් වීමෙන් පසු ඔහු වසර පණස් පහක් ලංකා රාජ්‍යය දරා ඇත.ඔහු විසින් පරාජයට පත් කරන ලද්දේ ත්‍රස්තවාදීන් නොවේ. දෙමළ සොළී සතුරන්ය.ඒ බැව් පනාකඩු තඹ සන්නසේ ලියා තිබේ. කලක් තිස්සේ දෙමළ අණසකට යටත්ව තිබූ ලංකාව නිදහස් කොට දෙමළ දරුපොතේ සිංහලයෙන් ව්‍යවස්ථා කරවූ මේ රජු අනුරාධපුරය හා සමානව පොළොන්නරුවද මහා රාජ ධානියක් බවට පත් කළේය. එසේම සසුන් කෙත අස්වද්දා සදහම් අස්වනු නෙලා ගැන්මට සමත් වූ බවට ඉතිහාසය දෙස් දෙයි.
               කිත්ති කුමරුන් ගේ රජ පවුල වසර ගණනාවක් සතුරන් සමගයුධ වැද රට සෙමෙහි තැබුවා යම් සේද දෙමළ කොටින්ගේ ග්‍රහණයට යටව තිබූ උතුරු නැගෙනහිර තර්ජනයෙන් මුදා රටම එකක් කළ වත්මන් නරපතියා වූයේ මහින්ද රාජ පක්ෂයි. නමුත් මහින්ද රාජ පක්ෂ මහතාට බලයේ සිටින්නට හැකිවූයේ වසර දහයක් පමණි.ඔහුගෙන් පසුව බලයට පත් අනුප්‍රාප්තිකයන් රට ලැබූ ජයග්‍රහණයන් එකින් එක පරාජයන් බවට පත් කරමින් ඇත. 1565 දී දකුණු ඉන්දියාවේ තලිකොට් සටනේදී මුස්ලිම් සේනා සිය කාලතුවක්කු වලට දැමූවේ  වෙඩි බෙහෙත් නොවේ. රන්කාසිය. රන්කාසි වලට ලොබින් ස්වදේශික සේනා සටන අත්හළහ. වත්මන් ආණ්ඩුවද ඩොලර් හෝ දිනාර් වලට ලොබින් ලංකාද්වීපය අත්හරිමින් සිටිති.අපගේ මුතුන් මිත්තන්  ගේ ලෙයින් කඳුලින් ලියැවී තිබෙන ඉතිහාසය තුළ දිවි පරදුවට තබා රැකගත් ලංකාභූමිය එහි පාලනය පිළිබඳ පරමාධිපත්‍ය පළාත් ආණ්ඩු සභාවකට දීමට ව්‍යවස්ථා කෙටුම්පත් කර ගෙන යති.
              ශ්‍රී වික්‍රම රාජසිංහයන් කළ දුර්දාන්ත වඩුග පාලනය ඉවසුනු නොහී රදළයන් අතින් ලක්දිව ඉංග්‍රීසීන්ට භාර දී වසර දෙසීයක් සපිරෙයි.මේ භාරදීමෙන් අනතුරුව සිංහළයෝ තමන් රැවටුණු බව ඉතා ඉක්මනින් තේරුම් ගත්හ. ඉංග්‍රීසීන්ට විරුද්ධව මහා කැරැල්ලක් ඇති කලේ එහෙයිනි. නමුත් මේ කැරැල්ල වසර දෙකකින් පරාජයට පත් විය.   අනතුරුව  තවත් වසර ගණනාවකට පසු දෙතිසක් බදු පැනවීයැයි කෝපයට පත්ව මාතලේ දිශාවෙන් ඇරඹූ කැරැල්ල මසක් ඇතුළත පරජයට පත් වුණි.සුද්දන්ට එරෙහිව නව ඇරඹුමකින් සන්නද්ධ විය යුතු බවට ඉඟියක් එහිදී සැපයුණි. නමුත් ඒ බැව් කිසිවෙක් තේරුම් නොගත්හ. වසර දෙසීයකට පසුවද ඓතිහාසික වැරදි සියල්ල එලෙසම කරමින් ඇත.  පසුගිය වසරේ ජනවාරි අටවනදා පෙරළා දමනු ලැබූවේ රට එකසේසත් කරනු ලැබූ රාජ්‍ය නායකත්වයයි.මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයට ආරාධනා කොට සාකච්ඡා කොට නික්ම ගියේය. මසක් යන්නට ප්‍රථම තමන් කරගත් ගොන්කම ජනතාවට වැටහී ගිය බව පෙනුණි. ඔවුහු බස් පිටින් පවුල් පිටින් පරාජිත මහින්ද බලන්නට තංගල්ලට ගියහ.පැත්තකට වී පරාජය තේරුම් ගනිමින් සිටි මහින්ද නැවතත් දේශපාලන පොර පිටියට ඇදී ආහ.ඔහු පෙරටු කොට නුගේගොඩින් අරඹනු ලැබූ ප්‍රතිවිප්ලවය පරාජය කරනු ලැබූවේ මහා මැතිවරණයෙනි. මේ පරාජයට මූලික හේතුව මහින්ද රාජපක්ෂ මහතා රටට වඩා පක්ෂයට ලොබ බැඳ සිටි බැවින් යැයි පැවසේ.
        මහින්ද ප්‍රතිරැල්ලෙන් බංකොලෙත්ව දේශපාලන පොරපිටියෙන් විසිව ගිය මහින්ද සමරසිංහ ෆයිසර් මුස්තාපා වැන්නවුන් ජාතික ලැයිස්තුවට දමා සිය බලය ස්ථාවර කරගනු වස් අලජ්ජිත ක්‍රියාමාර්ගයක නියැලුනු මෛත්‍රීපාල සිරිසේන මහතා ගම පොළෙන්නරුව වුවත් දෙමළ සතුරන් තම ඔඩොක්කුවේ දමා ගෙන සිටී.ඒ මදිවාට මහින්ද රජයෙන් සාරය උරා බී සිය මූලධර්මවාදය පුම්බාගත් මරක්කලයන්ද  උපදේශකයන් බවට පත් කරගෙන සිටිති. ජනපතිවරණයට පෙර තිස්ස අත්තනායක මහතා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ සත්‍යය එකින් එක තහවුරු වෙමින් ඇත. සිංගප්පූරු එකඟතාවය වචන පේළි වලින් මැන බැලිය හැකි නමුත් දෙමළ ඩයස්පෝරාවෙන් සහ ඉන්දීය ඔත්තු සේවා වලින් ලැබූ මුදල් ගණන් බැලිය නොහැකිය. එකම කොන්දේසිය උතුර සහ නැගෙනහිරට ස්වයං පාලනයක් නොහොත් සන්ධීය පාලනයක් ලැබ ගැන්මයි.එසේම ඉන්දියාව සමග ආර්ථික වහල් ගිවිසුමකට පැමිණීමයි. දැන් මේ කොන්දේසි වලට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් පැහැදිලි කරගනිමින් ඇත.
         පසුගිය මහ මැතිවරණයෙන් විශාල ආසන සංඛ්‍යවක් දිනාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් රනිල් මෛත්‍රීපාල සභාගයට එක්ව සිටිති. මේ සභාගයට විරුද්ධව සිටින බහුතරයක් පාර්ලිමේන්තුව තුළ එක්ව සිටී. මහජන චන්ද ලක්ෂ පහක් ලැබූ දෙමල සන්ධානයට විපක්ෂ නායක කම  ලැබුණේ ජනතාවට අවශ්‍ය නිසා නොව අගමැතිවරයාට අවශ්‍ය වූ බැවිනි. එම තත්ත්වය තුළ මන්ත්‍රී ආසන පණස්එකක් ඒකාබද්ධ විපක්ෂය ලෙසට නිල නොවන ලෙසට ක්‍රියා කරයි.විවිධ පක්ෂ වලින් සමන්විත මේ සන්ධානය රනිල් වික්‍රමසිංයන් ගේ ව්‍යවස්ථා මර උගුලට කර තබා ඇත. ඇතුලේ සිදු වන්නේ කුමක්දැයි තෙරුම් ගන්නට තතනන ඔවුහු තව තවත් මර උගුලේ පැටලෙමින් ඇත. පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී වරයා ගේ අත්සනින් ව්‍යවස්ථා දායක සභා කමිටුවකට ඉදිරිපත් වුණු යෝජනා වලියක් අපට දක්නට ලැබුණි. යෝජනා දාහතරකින් සමන්විත මේ ලියවිල්ල මගින් බෙදුම්වාදී ජයම්පතී කමිටුවට කිසිම බලපෑමක් නොකරන බව පෙනේ. ඉතිහාසය පුරාම රට බෙදීම සඳහා ෆෙඩරල් වාදී විසඳුමකට මාන බැලූ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සුපුරුදු පරිදි සිය ඉලක්කය සපුරමින් සිටී.නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තා වලින් ඒ බැව් පැහැදිළිය.නමුත් ඒකාබද්ධයේ ඉලක්කය නම් ජනධිපතික්‍රමයේ වෙනසක් කර  අගමැති තනතුරින් රටේ නායකත්වය ලබා ගැනීමයි.
           මගේ ලෝකය ග්‍රන්ථයට තිස්වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු සම්මන්ත්‍රණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් තබා ගෙන මහාචාර්ය නලින්ද සිල්වා මහතා පැවසූ වැදගත්ම කරුණ මෙහිදී මතක් කළ යුතුය. කොටි ප්‍රශ්ණයට දුන් දේශපාලන විසඳුම නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ බැවින් මහින්ද මහතා යලි ජාතිකත්වයට පැමිණිය යුතු බව මහාචාර්ය තුමා ගේ අදහස විය.මේ කියන්නේ කුමක්ද. යුද්ධය අවසන් කළ ද මහින්ද ජාතිකත්වයට නොපැමිණි බවයි. තමන් දේශපාලන විසඳුමක් දුන් බව නොදන්නාකමින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත් කරන ලද්දේය. ඒ ජිනීවා උගුලට  පය තැබූ අවස්ථාවයි.2014 දී ජාතික සංවිධාන රාශියක් එකතු වී පළත් සභාවල අහිකර වගන්ති වන 154 (අ) -154(ඩ) දක්වා ද 155(3) අනු ව්‍යවස්ථාවද  නව වන උපලේඛනයද පරිච්ඡින්න කිරීමෙන් අභ්‍යන්තර සවයංපාලනයක් ඇතිවීම වළක්වාලන ලෙසට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියහ. විධායක බලයත් තුනෙන් දෙකේ බලයත් හිමිව සිටි ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එසේම යුද්ධයෙන් පසු ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ 2002 ඇති කළ යලි පුබුදමු ශ්‍රී ලංකා ලියවිල්ලයි. උතුර නැගෙනහිර සංවර්ධන ක්‍රියාදාමයේදී මෙන්ම කොළඹ නගර සංවර්ධන ක්‍රියාදාමයේදී මේ ලියවිල්ල මත පදනම්ව කටයුතු කර ඇත.
        දැන් ඒකාබද්ධයේ යෝජනා දාහතරෙන් ඉල්ලන්නේ කුමක්ද. පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයට සහ එහි ආරක්ෂාවට තර්ජනයක් නොවිය යුතුය. පළාත් සභා තම බලතල පාවිච්චි කළ යුත්තේ මධ්‍ය යෙහි විධායක හා ව්‍යවස්ථාදායක බලයට යටත්වය. වැනි යෝජනාවන්ය. මෙසේ කී පමණින් ජයම්පතී වික්‍රමරත්න මහතා සිය ස්ථාවරය වෙනස් කරයිද. නැත.ඔහුගේ අරමුණ සමගාමී ලැයිස්තුවද ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ බලයද ඉවත් කරමින් පළාත් ආණ්ඩුවකට පළාත් විධායක බලයකට පිවිසීමයි. මේ යථාර්තය සංවාදයකට ලක්කොට ජනතාව අතරට ගෙන යෑම ඒකාබද්ධය සතු වගකීමයි. පාර්ලිමේන්තුව තුළ කුමන කතා විරුද්ධව කළත් මහජනතාව සහ මෙරට මහා සංඝරත්නය ඒවා නොදනී නම් මාධ්‍ය විසින් ඒවා වසන් ගන්නේ නම් ව්‍යවස්ථා මර උගුල පරාජයට පත් කල නොහැකිය.  ඒ සඳහා මල්පොහොට්ටු පුප්පන්නට අවශ්‍ය නැත.මල් පොහොට්ටු අතින් ගත් පණ්ඩිතයන් චන්ද්‍රිකා මැතිණිය සමග පැකේජ කරතබා ගෙන තිය හැටි අපට අමතක කළ නොහැකිය.සැබවින්ම ඒකාබද්දයට  මල බද්දය හැදී තිබෙන්නේ මේ අවස්ථාවලදීය.ඔවුන් තටමන්නේ කුමකටද. පක්ෂ පිහිටුවීම හෝ අගමැති තනතුර හෝ එකම ඉලක්කය බවට පත් කර ගත් කල්හි 1848 දී සිංහල ජනතාවට අත්වූ පරාජයට වඩා පරාජයක් ඔවුන්ට අත්වනු නිසැකය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් මේ දේශපාලන අඳ බාලයන් ගේ ඉරණමට වඩා රටේ ජාතියේ ශෝචනීය ඉරණම ඉතා දරුණුය.


No comments:

Post a Comment