පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, January 15, 2016

රාජ්‍යත්වය පෙර සිරිත සහ කතිකාවත්

                                        

                 ලංකාවේ රාජ්‍යත්වයට දිගු ඉතිහාසයක් ඇත. අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් එක් දහස් අටසිය පහළොවේ දී අත්අඩංගුවට පත් කොට ගෙන පිටුවල් කිරීමෙන් පසු මෙහි ගොඩ නැගී තිබූ රාජ්‍යත්වය අහෝසි විය. අනතුරුව උඩරට රදළයින් හා ගිවිසුමකට එළඹුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් කර ගන්නා ලදී. ලංකාවේ රාජ්‍යත්වය අහෝසි වී 2015 වසරට වසර දෙසීයක් ගත වෙයි. 1972 ජන රජ ව්‍යවස්ථාව අනුව ලංකාවේ ජනාධිපති තනතුරක් ඇති කරන ලදී.අනතුරුව 1978 ව්‍යවස්ථාව අනුව එය සංශෝධනය කරමින් විධායක බලැති ජනාධිපතිවරයෙකු ද පත් විය. මේ අර්ථයෙන් ගත් කල්හි ලංකාවේ වර්තමානයේ රාජ්‍ය පාලනයේ ප්‍රධනියා වශයෙන් කටයුතු කරන්නේ රාජ්‍යත්වයට සමාන කම් ඇති තනතුරකින්ද යන්න මතු කළ හැකිය. එයට හේතුව වර්තමානය තුල රටේ බොහෝ තීන්දු තීරණ තනිවම උසුලන්නේ ජනාධිපතිවරයා වීමයි. රටේ ඉඩකඩම් පවා අවශ්‍ය පරිදි අන්සන්තක කරලීමට අවශ්‍ය ගිවිසුම් වලට යන්නේද ජනාධිපතිවරයාය. ගාලු මුව දොර පිටියේ හමුදාව පදිංචි වී සිටි ඉඩමෙන් කොටසක් චීන සමාගමකට බදු දීම උදාහරණයක් ලෙසට ගත හැකිය. මෙය අපට සිහිපත් කරන්නේ කෝට්ටේ යුගයේ දී විදේශිකයින්ට නින්දගම් පවරාදීමයි. 
           ලංකාවේ පැවති රාජ්‍යත්වය පිළිබඳව වැටහීමක් වර්තමාන ජනතාව සතුව නැත. වැඩවසම් යුගයක පැවති නෂ්ඨවූ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක් ලෙසට ඇතැම් අය හඳුන්වා දී තිබුණද ලෝකයේ ප්‍රජාත්නත්‍රීය සමාජ අතරින් ප්‍රමුඛ යයි සැලකෙන බ්‍රිතාන්‍යයේ ද වඩා ධනවත් යයි සැලකෙන ජපානයේ ද රටේ ප්‍රධාන පුද්ගලයා ලෙසට සැලකෙන්නේ රජුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍යත්වය අතර ගැටුමක් ඇතිකර ගැනීමට ඒ රටවල් උත්සාහ නොගනිති. නේපාලයේ ද රජ්‍යත්වය මෑතක් වන් තුරු පැවතියද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එම ක්‍රමය පෙරළා දැමීමට රටෙන්ම පැන නැගුණු බලවේග සමත් විය. කලකට ඉහත සිකීම් රාජ්‍යයේ පැවති රාජාණ්ඩුව ද පෙරළා රට ඉන්දීය ප්‍රාන්තයක් බවට පත් කරලීමට ඉන්දීය රජය කටයුතු කළ ආකාරය ද මෙහිදී සිහිපත් කළයුතු වෙයි.
               රාජාණ්ඩුවක් යනු හිතුවක්කාර අත්තනෝමතික පාලනයක් ලෙසට වර්තමානයේ දී සැලකුවද එය එසේ නොවේ. රාජාණ්ඩු සම්ප්‍රදාය පිළිබඳව දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි ශ්‍රි ලංකාවේ ඉන්දියාවේ රාජ්‍ය පාලනයටද වඩා අනන්‍යතාවයක් තිබූ බව ප්‍රකටය. ඊට හේතුව එය සිංහල බෞද්ධ රාජ්‍යයක් වීමයි. මෙයට අභාෂය ඇතිකරගන්නා ලද්දේ අශෝක ධර්ම රාජ්‍ය පාලනයෙන් බව සැබවි. නමුත් ලංකාවේ සම්ප්‍රදාය එයම නොවීය. එයට සාක්ෂි සපයන වැදගත් ම ලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඕලන්ද ජාතික ආණ්ඩු කාරවරයෙකු වූ විලියම් ෆැල්ක්ය. 1769  වර්ෂයේ දී මල්වතු විහාරයේ සංඝ සභාව වෙත එම ආණ්ඩුකාරවයා  විසින් ඉදිරිපත් කරනු ලැබු ප්‍රශ්ණ මාලාවකට දුන් පිළිතුරු මෙම ලේඛනයට ඇතුලත් වේ. එය ලංකාවේ රජ සිරිත් හා  ලෝකචාරිත්‍ර යනුවෙන් හැඳින්වුණි. එම ලියවිල්ල බ්‍රිතාන්‍ය  පුස්තකාලයේ තිබි වියතුන් ගේ සැලකිල්ලට භාජනය විය. අනතුරුව මහාචාර්ය අභය ආර්යසිංහ මහතා විසින් එය සිංහලට පෙරළා 1985 වසරේ දී මුද්‍රණයෙන් පළ කර තිබේ.
            වර්තමානයේ රජය එක් අතකින් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් පත් කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ වුවමනාවෙන් සිටී. අනෙක් අතිකින් සංඝයා වහන්සේලා ගේ නොමනා ක්‍රියා නතර කරලීම උදෙසා යයි කියමින් කතිකාවත්  ලියාපදිංච කරලීමේ නීති රීති ගෙන එන්නට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කර තිබේ.මේ තත්ත්වය තුළ සංඝ සභා වල හෝ නිකායන්හි විනය නීති නොහොත් පෙර සිරිත් නීතිරීති ගැන ලියූ විවරණයන් සාකච්ඡා කිරීම වැදගත්යයි සිතමි. එයට හේතුව ජේ.ආර්.ජයවර්ධන රජයේ අගවිනිසුරු වරයාව සිටි නෙවිල් සමරකෝන් මහතා ඉහතකී අගනා ග්‍රන්ථයට ලියූ වෙසෙසි ප්‍රස්ථාවනාව තුළ අපට අවශ්‍ය ප්‍රවේශය සටහන්ව තිබීමයි. එහි මෙසේ සඳහන්ය.
    ‘ ආරෝවන් විසඳීම සඳහා අධිකරණයට සහාය දෙන නීතිවේදියෙකු වශයෙන් ද ගතවූ අවුරුදු නව තිසක් තිස්සේ දිවයින තුල යුක්තිය පසිඳලීමේ කාර්යයන්හි මම නිරත වීමි. අපේ කාර්යයන්හිදී  ශ්‍රී ලංකා වේ චිරාගත නීතියට හසුවන බොහෝ ආරෝවන් පිලිබඳ විනිශ්චය කටයුතු කළෙමි. එහෙත් එම නීති පද්ධතියේ සමූලාරම්භයවත් එහි වර්ධනයවත් දැක ගැනීමට අප ලැබූ අවස්ථා සුලභ නොවේ. නීති වාර්තාගත පෙර තීරණ විසින් නිරන්තරයෙන් අප මෙහෙයවන නිසාද අපට ඒවා මග පෙන්වන නිසාද එබඳු පර්යේෂණයක් ඉඳුරා අවශ්‍ය නොවීය. එසේ වුවද මහාචාර්ය අබය ආර්යසිංහ ඉදිරිපත් කර ඇති ලංකාවේ රජසිරිත් හා ලෝක චාරිත්‍ර නම් නිබන්ධානුගත පර්යේෂණ කෘතිය මා කිය වූයේ දැඩි ඇල්මකිනි. පැරණි සිංහල රජවරුන් අත්තනෝමතික වූද නීති ඒකාධිකාරය තමන් කෙරෙහි ම පවරා ගත්තාවූද පාලකයින් වශයෙන් හඳුන්වා දෙන ජන විශ්වාශය සාවද්‍ය වූවකි. ඔවුන් මෙහෙයවූ රාජ ධර්ම වශයෙන් නම්කර ඇති ඒ නිත්‍යාංග පමණින් දහයකි. ඇතැම් අවස්ථා වලදී රජතුමා වෙතම අභියාචනා එළඹියේය. සුසංවිධිත සමාජයක් ගොඩනැගීම සඳහා සියුලු අවස්ථා උදාවී තිබුණේය.’
        නෙවිල් සමරකෝන් මහතා මතු කරන වැදගත්ම කාරණය නම් වර්තමාන නීතිය පෙර වාර්තාගත තීන්දු තීරණ මත බලපැවැත්වෙන්නේය යන්නයි. වෙසෙසින්ම 1815 දී බ්‍රිතාන්‍යයන්ට ලංකාව පවරාගත්තාට පසුව ඇති කරන ලද වාර්තානුගත නීති මෙයට අසුවෙයි. එයට පෙර නීති සංග්‍රහ නීතිපොතේ පැවතියද වලංගු කර නොගනී. උඩරට ගිවිසුම එක් උදාහරණයකි. 1 948 න් පසුව වුවද එය එසේම වී ඇත. ඒ අනුව ලංකාවේ ඉඩම් වෙසෙසින්ම සඟසතු ඉඩම් හා බැඳි පැරණි නීති පිළිබඳව සැලකිල්ලක් නොදැක්වෙයි. එහෙත් ඕලන්දයින් විසින් සකස් කරන ලද තේසවලාමේ නීතිය හා ඒ හා සැබැඳිව පසුව ගන්නා ලද තීරණ අධිකරණයේ දි සැලකිල්ලට ගෙන ඇත.වාර්තා කර ගැනීමට නම් පණතකින් සම්මත කර ගත යුතු වෙයි.වර්තමාන නීති  පද්ධතියේ ස්වභාවය එසේ වුවද  ලංකාවේ පැරණි රාජාණ්ඩු සමයේ දී ක්‍රියාත්මක වී ඇත්තේ මීට වඩා යුක්ති ධර්මයට සමීප නීති රිති බව පැහැදිළිය. රජු වුවද වැරැද්දක් කරන්නේ නම් එයට දඬුවමක් හෝ දෝෂාරෝපණයක් කිරිමට ඉඩ තිබී ඇත්තේය උදාහරණයක් වශයෙන් ගත් කළ්හි. නරේන්ද්‍රසිංහ රජු එක්තරා බෙරවායෙකු ගේ රාජකාරියකට පැහැදී තම රාජ කංචුකය  සම්මානයක් ලෙසට පළඳවන්ට උත්සාහ ගත්තේය. මෙයින් රජ සිරිත් උල්ලංඝණය වව බව දැනගත් රම්මලක දිශාව එය ඇද දමා භේරිවාදයා දඟගෙයි ලවා රජුටද දොස් පවරා දඩයක්ද නියම කලේය.
      රාජ නීතියෙහි පදනම දශ රාජධර්මයයි.  ලංකාවේ රජ්ජුරුවන් වහන්සේ ගේ තනි කැමැත්තට ඕනෑ වූ දෙයක් කරන්ඩ පුලුවන්ද යන්න ප්‍රශ්ණයක් වශයෙන් ෆැල්ක් ආණ්ඩුකාරවරයා විමසූ කල්හි මල්වතු මහ නා හිමියන්  දුන් පිළිතුර මෙසේය. ‘රජ්ජුරුවන් වහන්සේ ලෝක නීතිය යන පුරාතන පැවති නඩු අනඩු සිරිත් චාරිත්‍ර දැනීමද ධර්ම නීතිය යන ආගම පුරාගම දැනීමද යන මෙසේ  මහත් වූ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් ය. තමන්ගේ කැමැත්තට තීන්දු කරන්ඩ පුලුවන් රාජ්ජේ කාරණාවලුත් ඇත. අමාත්‍ය මණ්ඩලයෙන්ද රට වාසීන්ගෙන්ද හොඳ හැටි විචාරා කරන දේත් බොහෝ දේ ඇත.   මේ රාජ නියමයට පදනම් වී ඇත්තේ දශ රාජ ධර්මයයි. එය එම ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ මෙසේය. දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් බවය තපස් ඇති බවය. ක්‍රෝධ නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය. දන්දීම නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යාචකයින්ට බත් පිළි ආදිය දීමය. සිල් රැකීම නම් නොකඩ කොට ආගම දැරීමය. ත්‍යාගි බව නම් කෙත්වත් ආදී උතුම් වස්තු දීමය.සෘජු බව නම් සිත වංක චාටු නැති බවය. මැදහත් බව නම් සියල්ලන්ම එකසැටි බවය. තපස් ඇති බව නම් රූප ශබ්දය ගන්ධය රසය ස්පර්ශය යන මෙකී ඇලුම් පසේ පැවති තෘෂ්ණාව මැඩ පැවැත්වීමය. ක්‍රොධ නොකිරිම නම් නිරපරාධ අයට වද නොයෙදීමය. ක්ෂමා වීම නම් නොවිචාරා වරදට නොකිපීමය. අවිරුද්ධ බව නම් සියලු අය විරුද්ද නැති බවය. ’
                 මෙහිදී පැහැදිලිවන්නේ රටේ නිතිය යුක්ති ධර්මය අනුව තීරණයවී ඇති බවයි. පෙර පූර්වාදර්ශ ද ගණන් ගන්නා නමුත් යුක්ති ධර්මය එහිදී ප්‍රධාන බවන බව පැහැදිලිය. රජු දේවත්වයෙන් සැලකීමද බෝසත් ගුණ යෙන් යුතු වීමද කල යුතු බව සම්ප්‍රදායක් විය. නුවර නාථ දේවාලය ඉදිරියේ පැවති රාජ අබිෂේකයේ දී දශ රාජ ධර්මය රකින්නට දිවුරුම් දීමෙන් ඒ බැව් සනාථ වේ. එසේ නොවුනහොත් තමන්ගේ හිස සත්කඩකට පැලේවා යයි ද රජු කියයි. මේ නිසා ලංකාවේ  රාජ්‍යත්වය වනාහි හිතුවක්කාර පාලනයක සංකේතයක් ලෙසට සැලකීම වැරදිය.
   වර්තමාන නීති සම්ප්‍රදායද  පවත්වාගෙන යන විධායක ජනාධිපතික්‍රමයද එයට වඩා අඩු ලුහුඬුකම් වලින් යුක්තය. හිටපු අගවිනුසුරුවරිය හැසිරුනු  ආකාරයද හිටපු ජනාධිපතිවරයා හැසිරුනු අකාරය දෙසද වඩා විමර්ශනාත්මක බැලීමෙන් ඒ බැව් පැහැදිලි වේ. ජනාධිපති වරයා රජෙකු විලාසයෙන් පිළිගැනීමට ජනතාව සූදානම් ව ඇතැයි මතයක් මේ වන විට ඇතිවී තිබේ. එයට හේතුව 2015 ජනාධිපතිවරණ දෙකේදීම අති මහත් බහුතරයක චන්ද පදනමක්  මහින්ද රාජපක්ෂ මහතාට හිමි වීමයි. මෙම ලැබීමට ප්‍රධාන හේතුව මහ ජනතාව පීඩාවට පත් කළ යුද්ධය ජය ගැනීමට නායකත්වය දීම බව කාගේත් පිළි ගැනීමයි. එහෙත් නායකත්වය විසින් තේරුම් කර ගෙන ඇත්තේ ඕනෑම දෙයක් හිතූමතයේ කිරීමට බලය ලබා දීමක් ලෙසටය. එම පිළිවෙත රජකම ඔලුවෙන් සිටවීමකි. ඔල්මාදය යයි ඇතැම් විට කියන්නේද මෙයටය.යටත් විජිත සමයේ සිටි ගමේ රාළහාමිලාට මෙවැනි ඔල්මාද තිබුණි. මෙහිදී විරුද්ද වාදියාට ක්‍රෝධ කිරීමද නිරපරාද වරදට පටලැවීමද යුක්ති ධර්මයක් ලෙසට කල්පනා කරති. සරත් ෆොන්සේකා මහතාගේ සිද්දියේ දී මේ වග ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කලේය. 1815 දී ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව පිටුවහල් කළ රාජසිංහ රජුද අවසාන කාලයේ ක්‍රියා කලේ මෙලෙසය. ඔහු රාජ ධර්මය තුට්ටුවකටවත් මායිම් නොකොට පරණාතල හිමි වැනි භික්ෂූන් වහණ්සේලාද රදළයින්ද සාමානය ජනතාවද ඝාතනය කරන්නට අණ දුන්නේ පළි ගැනීමේ චේතනාවෙනි. එයින් රටට අත් වූ ප්‍රතිඵලය නම් ස්වාධීනත්වය අහිමි වීමයි.
       අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේයයි වගන්තියක් ඇත.එහෙත් එය නීතිය ඉදිරියේ බලාත්මක නොවේ.නමුත් අන්‍ය ආගම් ඇදහීමට තිබෙන නිදහස පිළිබඳව තිබෙන වගන්තිය නීතිය ඉදිරියේ බලාත්මකය. එයට හේතුව 1806 වර්ෂයේ සිටම මහමත් වරුන් සහ දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ චාරිත්‍ර සම්බන්ධයෙන්  නීති සම්මතව තිබීමයි.වකුෆ්  පණත එයට තවත් උදාහරණයකි.නමුත් පෙරසිරිත පරිදි එන සිංහල නීතිය සහ සංඝ නීතියට අදාලව එන බහුතර සම්ප්‍රදායයන් බලාත්මක නොවේ. සංඝ සභාවක කතිකාවත් අනුව ක්‍රියාකිරීම බලාත්මක නොවීම එක් උදාහරණයකි.දෙමල හා මුස්ලිම් සිරිත් පණත් වලින් සම්මත කර ගත යුතු වුවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේ යයි කියවෙන් වගන්තිය නිසා සිංහල බෞද්ධයන්ට මෙහිදී යම් වරප්‍රසාදයක් හිමිව තිබේ.ඒ නම් සිංහල පෙරසිරිතට අර්ථ නිරූපණයට ඉඩක් එයින් විවර කර තිබීමයි. නමුත් එය නීතිය ඉදිරියේ බලාත්මක කර ගැනීමට මෙතෙක් කිසිවෙක් උනන්දුවී නොමැත. සැබවින්ම පෙර සිරිත නීති ගත කිරීමට නම් කළ යුත්තේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේ යයි තිබෙන වගන්තියට අනුවගන්ති කීපයක් එකතු කොට අර්ථ නිරූපණය කර ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමයි. එවිට කතිකාවත් සංඝාධිකරණ මෙන්ම වාරිමාර්ග සහ ඉඩම් පිළිබඳවද තිබෙන පෙර සිරිත් නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක් වෙයි. කතිකාවත් පණත් සංඝාධිකරණ පණත් වැනි දේ භාවිතා කර බුද්ධ ශාසනයට එරෙහිව  කුමන්ත්‍රණය  කිරීම නතර කරගත හැක්කේ මේ ක්‍රමයෙන් පමණකි.
          අඛණ්ඩව පැවති රාජ්‍යත්වය අහෝසි වුවද එය අද ජනාධිපතිවරයෙකුගෙන් සංකේතවත් වෙයි. නමුත් මහා විහාරය ඇතුළු සාම්ප්‍රදායික සංඝ සංස්ථාව අඛණ්ඩව පවතී.එහිදී  රටේ ව්‍යවස්ථා නීතිය සකස් විය යුත්තේ මේ බල මූල දෙක ආරක්ෂා වන පරිදිය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් සංඝ සංස්ථාව බෙලහීන කිරීමත් රටේ ස්වාධීනත්වයට හානි කරය. එම නිසා කතිකාවත් සම්බන්ධව අද ඇතිවී තිබෙන අර්බුදය විසඳිය හැක්කේ සිංහලත්වයට බුද්ධාගමට සහ පෙර සිරිතට තැන ලබා දෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කරගතහොත් පමණකි. 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන කල්හි මහානායක හිමි වරුන් මේ හා සම්බන්ධ අදහස් රාශියක් ඉදිරිපත් කර තිබේ.ඒවා එදා 1970 වර්ෂයේදී සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සභාගත කර ඇත. පෙර රජ වරුන් නම් මහනායක හිමිවරුන් ගේ බසට කන්දුන්හ. නමුත් අද එසේ නොවේ.  ලක්දිව නොබෝසත්හු නොරජ්හු විය යුතු යයි  අනුරාධපුරයේ ගලේ කොටවා තබා ඇත්තේ බෝසත් ගුණ ඇති දශ රාජ ධර්මයට හිස නමන මහා විහාරයේ අනුශාසනා පිළිගන්නා පුද්ගලයින් රජ විය යුතු නිසාය. එවැනි රජෙක් පිළිබඳ සිහිනයක් සිංහල ජනතාවට තිබේ. බෙදුම්වාදය ශක්තිමත් කරන විදේශ ගැති රනිල් මෛත්‍රී පාලනය පෙරළා දැමීමට පිඹුරු පත් සැකසිය යුත්තේ ඒ අරමුණිනි.
                 

        

2 comments:

  1. හරවත් ලිපියක් උනත් කියෙවුවේ තරමක් අපහසුවෙන්. මේක රතු පාටින් හයිලයිට් කරල තියෙන නිසා අකුරු කියවන්න ටිකක් අමාරුයි. ඒක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්නම් හොඳයි.

    ReplyDelete
  2. kiyaweemata itha apahasui rathu patanisa asata wehesa karai,,, lipiya kiyawuye naha.

    ReplyDelete