බඩගින්දර මතුව එන විට දුක් ගින්දර දෙගුණ තෙගුණව දැනෙයි. බීමට පැන් පොදක්
නොමැතිව වගාවට අහස් වැස්සක් නොමැතිව හූල්ලන මහ පොළවත් කේඩෑරි වූ මිනිස් සමූහයත් දකින්නෙකුට
සිහිපත් වනුයේ 1818 වසරේ සිංහලයන් අත්විඳි ප්‍රතිවිපාකයයි. සිංහල ජාතියේ
කොඳුනාරටියවන් ජල සම්පාදන ක්‍රම විනාශ කර දමමින් පවුල් පිටින් මහ මූකලාන් වල සැඟවූ
කැරලි දෙකකට මුහුණ දුන් ජාතියක ජීව රුධිරය තවමත් කකියයි. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන්
සියයට තිස්නවයක් තෙත් කරනු වස් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරය විසින් මේ දුක්
ගින්දර නිවා දැමුවේද. වසර තිහකින් නිම කිරීමට සැලසුම් කළ මහවැලියේ මහිමයෙන්
වන්නිකරයේ වියළී ගිය ජිවිත සැපවත් කලේද යන වග අප විමසා බැලිය යුතුව ඇත. ලංකාවේ
විශාලතම ගංගාව වන මහවලිය ඇරඹෙන්නේ හැටන් නගරයට ආසන්න කඳුකරයෙනි. සැතපුම් 42 ක් මග
ගෙවා ගලන කොත්මලේ ඔයට මේ ගඟ වැටෙන ස්ථානය මහවිල්ල නමින් හදුන්වයි. මහවිල්ලේදී එකට
එක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයට මහවිල්ල ගඟ යනුවෙන් නමක් ඇති වන්නට ඇතැයි සිතිය
හැකිය.
පැරණි රජවරු මේ මහවැලි ගඟ ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරය කල්පනා කළහ. ඒ සඳහා
හොඳම නිදසුන හමුවන්නේ මිණිපේ යකුන්දෑව නමැති ස්ථානයෙනි. හඳගනාවේ විසූ පුරාණ යක්ෂ
ගෝත්‍රිකයන්ගේ ද සහාය ඇතිව අමුණක් බැඳ මහවැලි ගඟ වක් වූ තැනක ස්වභාවිකව තිබූ ඇළක්
ප්‍රයෝජනයට ගෙන මිණිපේ යෝධ ඇළ නිර්මාණය කරමින් අගමැදිල්ල අමුණ උඩින් අඹන් ගඟ දක්වා
ජලය ගෙන ගිය විශ්මිත ජල කර්මාන්තයක් නිමවා තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය දියත්
කරලීමේ දී මෙම පැරණි ආදර්ශයන් උපයෝගී කොට ගත්තේද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතු
ව ඇත.
1965 -1968 වසර වල දී සකස් කරන ලද මහවැලි මහ
සංවර්ධන සැලැස්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මැදිහත්වීමෙන් යෝජනා කරන ලද්දකි.
වියළි කලාපය යයි සැළකෙන භූමි ප්‍රදේශයෙන් සියයට පණස් පහක් පමණ කලාපයක ජල සම්පාදනය
කළ හැකි වන පරිදි යෝජනා කරන ලද ඉලක්කයන් අවස්ථා දහතුනකදී සම්පූර්ණ කළ යුතුව
තිබුණි. සැබවින්ම යුරෝපීය ආර්ථික විද්වතුන්ට සහ ඉංජිනේරුවන්ට නම් මෙය මහා සංවර්ධන
සැලැස්මක් විය. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර විදේශවලින් ලැබෙන පරිදි සකස් කළ ව්‍යුහයක්
ඉදිරිපත් කිරීම ඔවුන් ගේ වෑයම වී තිබුණි. ලෝකයේ පැරණි ගංගාධාර ශිෂ්ඨාචාර සියල්ල
කාලයකදී අසාර්ථක විය. ස්වභාවික සම්පත් එලෙසම ප්‍රයෝජනයට ගැනීමේ විපාක නිසා ඇතැම්
ජාතීන් වඳව ගියහ. ලංකාවේ ආර්ය ජනපද බිහිවීම තුළ අපට දක්නට ලැබෙන්නේද එම පැරණි ක්‍රියාවලියයි.
නමුත් ඒ වන විටත් ලංකාවේ බොහෝ තැන්වල ඉඳි වූ ජල සම්පාදන ක්‍රම වලින් ස්වදේශිකයන්
වූ අසුර ගෝත්‍රිකයන් වැඩ ගනිමින් සිටියහ. මේ ආදර්ශයෙන් මනා ලෙස ඵල ප්‍රයෝජන ගත් රජවරු
උතුරු දිගතැනිතලාවේ සෑම තන්හිම වැව් ඇති කළහ. ඇතැම් තන්හි ගංගා ඇළ දොළ ප්‍රයෝජනයට
ගනිමින්ද ඉඳිකළ වැව් මගින් සපයන ජලයෙන් ගෙවිතැන් කිරීම වඩා විද්‍යාත්මක විය.
පැරණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් තැනවූ වැව් අතර කඳු වැව් ලදු වැව් මූකලාන්
වැව් ආදිය ප්‍රධාන විය. කන්දේ මුදුනතේ තැනූ වැව කඳු වැවයි. ඉහළ ගමන් කරන තෙත බරිත
වැහි වළාකුල් ජලය බා ගන්නට සමත්කඳු වැව් මගින් කන්දේ වන මූකලාන ජලයෙන් පෝෂණය කරන
ලද්දෙය. වැවෙන් බේරී යන ජලයෙන් තෙත් වන දිය කදුරු වලින් පහළ නිම්නයේ ඇළ දොළද පෝෂණය
කරන ලද්දේය. ලන්දේ නොහොත් ලඳු කැලෑවේ ඉඳි කරන ලද ලඳු වැව නිසා ගවයන් සහ වන සතුන්ට
අවශ්‍ය ජල පහසුව උදා කෙරේ. ජලයෙන් පිරී ගිය
මේ විල්ලු වල සැරිසරන වන සතුන්ගේ ප්‍රයේජනය ලැබූයේ මිනිසා විසිනි. මූකලාන්
නොහොත් මහ කැලයේ ඉදි කරනු ලැබූ මහ වැව මූකලාන් වැවයි. මිනිසාට පමණක් නොව වන
සතුන්ටද මහ කැලය අවශය වෙයි. කන්දේ කැලය පෝණය කරමින් පහළ බසින ජලය මූකලාන් වැවේ සහ
ලඳු වැවේ රඳවා වන සතුන්ද ගහකොළ ද රැක ගනිමින් මිනිස් ජීවිත ගතකිරීම පැරණියන්ගේ
අගනා සිරිතක් විය. ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජනයා මේ අසුරයන්ට අමුත්තන් නොවූහ.
දකුණු ඉන්දියාවේ වැඩි භූමි ප්‍රදේශයක් පැතිරී සිටි අසුර ගෝත්‍රකයන් ගේ සොබා දහම
පිළිබඳ දැනුම ආර්ය ජනතාවටද ආගන්තුක නොවුණි. එම නිසා මලල ජනපද බිහි වීමේදී පැරණි අසුරයන්ගේ වැව් ඉඳි කිරීමෙන්
ආදර්ශය ලබා ගම් වැව් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තුළින් ඉතා මැනවි සුසංයෝගයක් ඇති
විය.
ගම් වැවේ ප්‍රධාන කාර්යය වූයේ වී ගොවිතැනට ජලය ලබා දීමයි. ඊට අමතරව වර්ෂයකට
වැව් අක්කරයකින් ඕළු හාල් බුස්ල් 400 ක් ලැබූ බව පැරණියෝ කියති. කෙකටිය කෑර සේරල
ඕළු නෙළුම් ආදී ජලජ පැලෑටි වලට නිවස්නය වූ ගම් වැව මිරිදිය මසුන් ගෙන් පිරී
පැවතුණි. ඒ නිසා ගම් වැව විසින් ගැමියාට ලබා දෙන ලද්දේ වී වගාවට අවශ්‍ය ජලය පමණක්
නොවේ. එය ආහාර ගබඩාවක් විය. එසේම වැව හිදෙන නිකිණි මාසයේදී වැව් පතුළ කළඹා මඩ
සොරොව්වෙන් පිටකර හරින ලද පොහොර කන්දරාව මගින් තෙත් බිම්වලට ගෙනයන ලද්දේ ඉතා අගනා
පොහොරකි. චන්ද්‍ර ගණයේ ගස් වලින් පෝෂිත ඉහළ වැව් තාවල්ල මගින් වැවට එක් කරන ලද මේ
පොහොර නොමිලයේම කුඹුරුවලට ලබා දුන් සම්පතක් විය.මේ ආකාරයෙන් ලංකාවේ භූමි ප්‍රමානයෙන්
සියයට පණස් පහක් නොව සමස්ත භූමි ප්‍රමාණයේම ඉඳි කරන ලද ගම්වැව් ප්‍රමාණය 35000 කට
අධික විය. එවිට මුළ වියළි තැනිතලාව පමණක් නොව ඇතැම් විට තෙත් කලාපයද තෙත් කරමින්
දිවයිනේ භූගත ජල මට්ටම ඉහළ නන්වන්නට සමත් වූ ගම් වැව තවතවත් පුළුල් කිරීමේ අදහසින්
නිවුන් වැව් සහ මහ වැව් ඉදිකරන්නට රජවරු සමත් විය.එක සමාන්තර මට්ටමේ වැව් නිවුන්
වැව් විය. ඒවායේ ජලය ගබඩා කරන ලද්දේ අසීරු අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නා ලෙසටයි.
එසේම ගංගා හරස් කර ගෙනඑන ලද ජලය මහ වැව් වල සිර කළහ. කලාවැව පරාක්‍රම සමුද්‍රය ආදී
මහා වැව් මගින් විශාල ඉඩම් ප්‍රමාණයක් අස්වද්දන්ට යෙදුණි. නමුත් එක ජලය බිඳකුදු
වැඩට නොගෙන මුහුදට එක් නොවන වැව් පද්ධති ක්‍රමය එලෙසම ආරක්ෂා වුණි.
වැව් පද්ධති වල අවසානය වූයේ බේරේ වැවයි. මුහුදින් ගලන කරදියෙන් ගොඩදිය
ආරක්ෂා වන පරිද්දෙන්ද ගොඩපස් සෝදා යමින් ගලන ජලය එම පස් රැගෙන මුහුද කරා යාම
වළක්වනු පිණිසද පැරණියෝ බේරේ වැව් ඉඳි කළහ. ජයවර්ධන පුරය සහ කොළඹ කුරුඳු වත්ත
මැදින් ගලා යන ජලය ඔස්සේ දියවෙන මඩ කන්දරාව වළකාලනු සඳහා ස්වභාවිකව සකස් කරන ලද
බේරේ වැව අදද දක්නට ලැබේ. 1818 වර්ෂයේ සිදු වූ උඩරට විමුක්ති අරගලය නිසා කුපිත වූ
ඉංග්‍රීසීන් කැරැල්ලට නායකත්වය දුන් රදළයන් ඝාතනය කළහ. ඇතැම් රදළයන් පිටිවහල් කළහ.
ගම් නායකයන් පවා විනාශ කළහ. නායකත්වයක් නොමැති ජනතාව වල්වැදුණි. ඔවුන්ගේ ගෙවල්
දොරවල් ගිනි තබන ලද්දේය. හරකාබාන විනාශ කොට ගවමස් කෑම ප්‍රචලිත කරන ලද්දේය. ගම්
වැව් සියල්ල විනාශ කිරිමට අවශ්‍ය නොවූ නමුත් ගමට නායකත්වය සැපයූ රදළයන් විනාශකර
දැමූ විට ජනතාව වල් වැදුණු විට ගම්වැව ඉබේටම වල් වැදුණි. ඒ වැව් කාලයකට පසු
පිට්ටනි බවට පත් විය. ඉංග්‍රීසීන් විසින් මහ මාවත් ඉදි කරනු ලබන විට ගම් වැව් සහ
නිවුන් වැව් විනාශ වන ලෙසට පාර ලකුණු කරන ලද්දේ වැව මැද්දෙනි. එවැනි දෙකඩවූ වැව්
රාශියක් අදත් කුරුණෑගල පුත්තලම් පාරේ දක්නට හැකිය.
කාලිංග
මාඝගේ සහ චෝල අක්‍රමණ වලින් වැව් ශිෂ්ඨාචාරයට එල්ල කරන ලද පහරට වඩා ඉංග්‍රීසීන්
විසින් එල්ල කරන ලද පහර දරුණු විය. වන්නිකරයේ පමණක් නොව සියලුම ගොවි බිම් හරහා
කුසගින්නේ දුක් ගින්දර පැතිරයන්නේ ඉන් පසුවයි. පිට්ටනි බවට පත් වූ වැව් මිලට ගෙන
ඒවා පොල් වතු බවට හරවා වැව් කලාපය පොල් ත්‍රිකෝණයක් කළ යුගයට පසුබිම් වූයේ පහත
රටින් සංක්‍රමණය වූ අලුත පොහොසත් වූ සිංහලයන්ය. ධනවත් ඉංග්‍රීසි පෙලැන්තියේ පිහිට
ලබා ගෙන ඔවුන් සිටි තැනට නැග ගන්නට ආසාවක් දැක්වූ මේ පිරිස විසින් ඇති කරන ලද පසු
පරපුරද සේ විය. අද රට කරවන්නේද මේ පිරිසයි. ඔවුහු ඉංග්‍රීසීන් සමග එකතු වෙමින්
රජරට ඇතැම් වැව් පිළිසකර කිරීමට එක් වූයේ ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරය පිලිබඳ දැනීමකින්
නොවේ. ගල්ඔය ජනපද ව්‍යාපාරය දෙස බලන කල්හි ඩී.එස්. සේනානායකතුළ තිබූ උදාර අරමුණ
අනෙක් පිරිස අතර නොතිබූ බව පැහැදිලිය.1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය
උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමල මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය.
චෝල ආක්‍රමණ වලදී සිංහලයන්ගෙන් කොල්ලකන ලද උතුරු දිග තැනිතලාවේ ඉඩම් සංවර්ධනය කොට
ගෙන සිංහල ජනතාව අභිබවා යෑමේ වුවමනාවක් මේ දෙමල ජාතිවාදීන් තුළ එදා පටන්ම තිබුණි.
සමස්ත මහවැලි සංවර්ධන සැලැස්මේ ජේ. කේ. එල්.එම්. යන පළාත් සංවර්ධනය කරන්නට හැකි
වූවා නම් තම නිජ භූමිය අහිමි වූ සිහලයන්ට පමණක් නොව දෙමල මුස්ලිම් ජනතාවට පවා
සාධාරණයක් ඉටු වන්ට තිබුණි. නමුත් මහවැලි ව්‍යාපාරය මුලසිටම ක්‍රියාත්මක කරන ලද්දේ
විදේශ අදිසි හස්තයන්ගේ වුවමනාව පිටය. මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව තිබෙන
පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව තිබුණි.
ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව තිබුණි.එසේම
අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම් භාරදීමට පළමු
සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all
crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා
කරන ලද අනෙකුඒ ක්‍රියාකාරකම් අතර වෙසෙසි දෙයක් විය. ඒ නම් ගුරුත්ව බලයෙන් යුතු ජල
සම්පාදනය වෙනුවට පිරිසෙයින් දියයෙදුම ( sprinkler Irigation ) ක්‍රමය යෝජනා
කිරීමයි. මේ සඳහා විදේශීය ආයෝජන රැසක් යෙදිය යුතුව තිබෙන බැවින් තාවකාලිකව අත්
හැරියද අනාගතයේදී එම ක්‍රමය සලකා බැලිය යුතු යයි නිර්දේශ කර තිබුණි.
මේ ආකාරයට යෝජනා කරන ලද මහවැලි සැලැස්ම
කිසිසේතම අතීතයෙන් ආදර්ශය ගෙන සකස් කරන ලද්දක් නොවීය. දේශීය අත්දැකීම් අතර යහපත්
විද්‍යාත්මක පසුබිමක සංවර්ධනය වූ වැව් ඉදි කිරීම තුට්ටුවකට මායිම් නොකොට බොහෝ ගම්
වැව් උළුප්පා දමන ලදී.වැව් සහ කුඹුර එක මට්ටමකට සමතලා කරමින් භූවිෂමතා සම කරමින්
එහි අඩංගුව තිබූ කැලෑ මූකලාන්ද විනාශ කර දමන ලදී. ඒ ව්‍යාපෘතිය පිටිපස සිටි දැව
හොරුන් සහ කොන්ත්‍රාත්කරුවන්ට මහවැලිය
අගනා ඉල්ලමක් විය. 1995 දී පමණ මා විසින් විමසුමට ලක් කරන ලද මහවැලි ප්‍රදේශ වලට
අතරින් කණ්ඩලම ව්‍යාපාරය සඳහන් කළ යුතුය. උතුරු මැද පළාතේ කිරලව කෝරළයට අයත් දුනු
මදලාඔය තුලානට අයත් මේ පුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර 7280 ක් පිහිටා තිබුණි. මහවැලි
සංවර්ධන ව්‍යාපාරය අනුව දකුණු ඉවුර වශයෙන් බෙදා වෙන් කරන ලද කණ්ඩලම කලාපයේ අලුතින්
ඉඩම් අක්කර 17000 ක් වෙන්වී තිබූ අතර ඉන් සියයට 15% ක් ගෙවතු වලටද 22% පළතුරු සහ
පොල් වැවිල්ලටද 63% ක් හේන්වලටද වෙන්ව තිබුණි. ඒ ඉඩ කඩම් සියල්ල සමතලා කොට නව
සංවර්ධන ව්‍යාපාරයට ඇතුලත් කරගන්නා ලද්දේ 1969 1981 ආදී වර්ෂවල ඉදිරිපත් කරන ලද
ඉඩම් සංවර්ධන අණ පණත්වලට අනුව මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා නීතිගත කෙරුණු අණපණත්
වලට අනුවයි. සැබවින්ම මේ ප්‍රදේශය පුරා ගම් වැව් 70 කට වැඩියෙන් පිහිටා තිබූ බව
සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. බතලවත්ත බක්මීගහ උල්පත මඩාටුගම හැවැන්තැන්නේගම
මුරුංගහිටි කන්ද උඩහිඟුර උඩකොරසගල්ල මහ ඇළ ගමුව ආදී සුන්දර ගම්මාන වලින් යුතු මේ
පරිසරයේ ජීවත් වූ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන උරුමක්කාරයන් නිම්නයේ නිජභූමි
අයිතිය පමණක් නොව සොබාදහම පිළිබඳ උරුමයද කියාපෑවේ පුරාණ සිරිතට අනුව ජීවත් වීමෙනි.
කණ්ඩලම කොටසේ තිබූ වැව් හැත්තෑවෙන් මඩාටුගම සහ මහ ඇළගමුවට වැව්ඉතිරි කර ගත් අතර
අනෙකුත් සියළුම වැව් උළුප්පා දමන ලද්දේ නව යටත් විජිත වාදී ව්‍යුහය අනුව ජනපද
බිහිකරන්නට බව දැන් වටහා ගත හැකිය.
අද මහ වැලි ගොවීහු සිය නව නිෂ්පාදන විකුණා
ගත නොහැකිව උපවාස කරති. ඇතැම්හු වස පානය කරති.ඒ සිය කාසි වැවිලි වලට සරිලන මිලක්
නොලබීමේ හේතුවෙනි. රජරට පුරා පැතිර පවතින් වකුගඩු රෝගය මහවැලි සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයකි.ලොකු
ලූනූ මිරිස් එළවුලූ ආදී ආර්ථික බෝග මගින් ගොවි ජනතාවගේ අතමිට සරු වූ බව ඇත්තකි.
එහෙත් මේ ආර්ථික ඉදිරිගමනට දේශීය ජනතාව තල්ලු කරන ලද්දේ සිය නිජ භූමියේ අයිතිය
විදේශිකයන්ට උගස් කරලීමෙනි. ගම් වැව් නිවුන් වැව් ආදී වැව් පද්ධති ක්‍රමය තුළ
පැවති වරිග සම්මුතිය ආදී ජනතා බැදීම් ඉවත් කරලීමට සැලසුම් කිරීම මහවැලි සැලැස්මේ
එක අරමුණක් විය. කෙත් ඇළ මගින් බෙදා හැරෙන ජලයෙන් තෙත් වන ඒකක බිමක් යුනිට් එකක්
ලෙසට සැලකීම නවයටත් විජිතකරනය මූළධර්මයකි. පැරණි සමාජ සංවිධාන ක්‍රම සමතලා කොට ඒ
මත්තෙහි නව ගොවි සමාගම් බිහිකිරීම මගින් විදේශ ආයෝජන වලට මහවැලියේ දොරටු විවර
කරලීම දැන් සිදු වෙයි. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට අයත් බිත්තර වී
ගොවිපළවල් බොහොමයක් බහුජාතික සමාගමකට විකුණා දමා අවසන්ය. මහවැලි කලාප තුළ සහ ඉන්
පිටත ඇවිළෙන සමස්ත ගොවි අර්බුදය පුපුරා යමින් පවතී.
ගම් වැව් මගින් සහ නිවුන් වැව් මගින් බිහිකරන
ලද ආර්ථික පරිසරයත් වැව් පරිසරයත් මට්ටම් කරන ලද මහවැලිය විසින් තෙත් කරන ලද
වපසරිය නැවතත් කළමනාකරණය කොට පුරාණ වැව්ගම් සංස්කෘතිය තුළ නව ආර්ථික පිවිසුමක්
කළහොත් මේ විජාතික සැලසුම් පරාජය කළ හැකිය.ලංකාවේ ස්වදේශිකයන් වූ යක්ෂයන්ගේ පරිසර
කළමනාකරණය යම් කරමකින් වටහා ගත් ආර්ය ජනතාව උදාර සිහල ආර්ථිකයක් බිහි කරලීමට පදනම
සකස් කරගත්තේ යම් සේද අද අවශ්‍යව තිබෙන්නේ නව පිවිසීම් වලට ජාතිකත්වය ආරෝපණය
කිරීමයි.
No comments:
Post a Comment