පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, May 1, 2015

ජනපති තනතුර පිළිබඳ ජයවර්ධන මතය


                                   

 

         ශ්‍රීංලංකාවේ ජනාධිපති තනතුර හිසරදයක්ව තිබෙන්නේ කාහටදැයි  දැන් පැහැදිළිය.වේදිකාවේ අප දකින්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අනුර කුමාර දිසානායක මහතා වැනි පිරිසකි.ඔවුහු සිය අරමුණ වෙනුවෙන් ගෙනහැර පාන උපහැරණ බෙහෙවින්ම තර්කානුකූලය. ඒහෙත් එක් දෙයක් නම් ඔවුන් නොදකී. ඒ නම් ජනාධිපති තනතුරු අහෝසි කළපසු රටට වන්නේ කුමක්ද යන්නය.

                  1972 ට පෙර ලංකාවේ සිටියේ බ්‍රිතාන්‍ය ට වගකියන අග්‍රාණ්ඩුකාරයෙකි.1948 පෙර ලංකාව බ්‍රිතාන්‍යට යටත් රාජ්‍යයක් විය.1815 ට පෙර සිංහල රජ වරුන් විසින් පාලනය කරන ස්වාධීන රජ්‍යයක් ලෙසට ලංකාව නොහාත් සිංහලේ පැවතුණි.1978  ව්‍යවස්ථාව මගින් ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සම්මත කර ගන්නා ලද්දේ රජකමකට සමාන විධායක ජනාධිපති තනතුරකි. එවැනි තනතුරක් ඇතිකර ගැනීමට ඔහුට ඓතිහාසික හේතු තිබෙන්නට ඇත. එකක් නම් පිය පාර්ශවයෙන් කෙසේ වෙතත්  ඔහුගේ මව් පාර්ශවයෙන් වීදිය බණ්ඩාර පරපුරට නෑකම් කීමයි. අනෙක නම්1948 පෙර සිටම ඔහු සිංහ කොඩිය ජාතික කොඩිය බවට පත් කරගත යුතුය යන මතයේ මෙන්ම සිංහලය රජ්‍ය භාෂාව බවට පත් විය යුතුය යන මතයේ ද සිටි බැවිනි .නමුත් මේ සියළු සාධක වලට වඩා ඔහුට තත්කාලීන දේශපාන වටපිටාව බලපාන්නට ඇත. 1977 වසරේ ඔහු බලයට පත් වන විට කොටි ත්‍රස්තවාදය බලවත් තැනක නොතිබුණි. අනපේක්ෂිත ලෙස යාපනයේ මතු වූ ගැටුම් නිසා විධායක බලයකින් සියල්ල සමෝධානය කළ හැකියයිද ඔහු විශ්වාස කරන්නට ඇත. ජේ.ආර්. විසින් අනුගමනය කළ ඉන්දීය විරෝධී ආර්ථික ප්‍රතිපත්තිය කරණ කොට මේ  ත්‍රස්තවාදය නව මුහුණුවරකින් ශ්‍රී ලංකාව ගිල ගැනීමට මාන බලමින් සිටියේය. ජේ.ආර්.ජයවර්ධන මහතා මේ ප්‍රශ්ණය පැමිණෙන්ටද ප්‍රථම එය වටහා ගත්තෙකි.ඔහුගේ ව්‍යවස්ථාවේ ජනාධිපති තනතුර මහ ඉහළින්ම ඔසවා තැබුනේ එය නිසාවෙනි.

         විධායක ජනපති තනතුර පිහිටුවා 2018 වසරට වසර හතළික් සම්පූර්ණ වෙයි. ලංකාව ලෝකයේ ස්වාධීනතාව දරන ප්‍රබල රජයක් බවට ඒත්තු ගැන්වුනේ වසර තිහක ශාපලත් යුද්ධය මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා විසින්  පරාජය කිරීම හේතු කොට ගෙනය.එම පෞරුෂය එම අභිමානය අසියාතික කිසිම රටක රාජ්‍ය නායකයෙකු විසින් මෑතකාලීන ඉතිහාසය තුළ අත්පත් කර නොගත්තක් විය.ජේ.ආර්.ජයවධන මහතා විසින් ප්‍රාර්ථනා කරන ලද රජ්‍ය නායකත්වය පරිපූර්ණත්වයට පත් කරන ලද්දේ සැබැවින්ම එතුමා විසිනි. එවැනි මහා පෞරුෂයක් ඉන්දියාව වැනි බලගතු ඊර්ෂ්‍යා සහගත රටකට ඉවසුම් දෙන්නක් නොවේ. තමන්ගේ ජනතාව නියඟයෙන් ගංවතුරෙන් මෙන්ම දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටියදී සාක්ෂරතාව අහිමිව දාස භාවයේ ගැලෙද්දී ඉන්දීය ධනපති පන්තිය බමුණු කුලයක් ලෙසට නැඟි සිට රට න්‍යෂ්ටික බලවතෙක් බවට පත් කල බව සැබෑය. එහෙත් ලංකාව එසේ නොවේ. නිදහස් අධ්‍යාපනයෙන් පරීපූර්ණත්වයට පත් උගතුන් පිරි රටක සැමට එක හා සමාන ලෙස ජීවත් වන්නට නිදහස හිමිය. එලෙසම ආර්ථිකමය වශයෙන් නිදහසේ සැරසරන්නට ඇති නිදහස උදා කර දී තිබේ.

     ජයවර්ධන හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදරිපත් කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර් මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව ඊට  අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට විරුද්ධ විය.

       නමුත් 1977 වසරේදී ජයවර්ධන මහතා සිය ජයග්‍රහණයෙන් පසුව ඉතා සීඝ්‍රයෙන් සිය සැලසුම සඳහා කටයුතු සම්පාදනය කොට 1978 පෙබරවාර් 04 වන දා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙසට වැඩ භාර ගැනීම කරන ලද්දේය.මේ වන විට 1977 වසරේ යාපනයේ සිදු වූ දෙමළ කෝලාහලයට වසරක් සම්පූර්ණ වී තිබුණි.සමානුපාතික නියෝජන ක්‍රමයද ගෙන එමින් ජේ.ආර්. බලාපොරොත්තු වූයේ දෙමළ ජන කණ්ඩායම් වලටද සාධාරණයක් ඉටු කිරීමය. නමුත් මේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දෙමළ සමාජය සුභවාදීව බැලුවේ නැත. ඔවුහු ඉන්දීය සාධකය පෙරට ගෙන එමින් බෙදුම් වාදය ශක්තිමත් කර ගැනීම පිණිස කුමන්ත්‍රණකාරීව කටයුතු කළහ.ජයවර්ධන ජනාධිපතිවරයා 1978 මැයි 31 වන දින ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේදී ඉතා වැදගත් දේශනයක් කරන ලදී. එහි සාරාංශය මෙසේය.

          මම ඡන්දයෙන් තේරුණු පළමුවැනි විධායක ජනාධිපති රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා මම වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර එහෙයින් වගකීම් සහිත පදවියක්ද වේ. මට පසුව අන්‍යනයන්ද මෙම පදවිය දරණු ඇති  බැවින් මගේ පදවි කාලයේදි අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි. පළමුව මම නිරතුරුවම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව තුළින් කටයුතු කරන්නෙමි. ඒ සමග පෙර පැවති ලෙස කිසිදු අඩු වීමකින් තොරව පාර්ලිමේන්තු ක්‍රමය සංරක්ෂණය කරන්නෙමි.  ජනාධිපතිවරයාගේ මිනිස්සු හා ගැහැනු යනුවෙන් හැඳින්වෙන පරිදි ජනාධිපතිවරයා කෙරේ බලපාන පුද්ගලයන් කණ්ඩායමක් ගොඩ නොනගමි.ඒ අනුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයක් හෝ ප්‍රබල නිළධාරි මණ්ඩලයක් පිහිටුවා ගත්තේ නැත.

        1815 වසරේ දී ලංකාව බ්‍රිතාන්‍යයන්ට ලංකාව පවරා දීමේ ගිවිසුම අත්සන් කල පසු ලංකාවේ පාලකයා  බ්‍රිතාන්‍ය රජතුමා විය.එහෙත් රජු සිටියේ එංගලන්තයේය. ජනතාව රජු නුදුටුවහ. රජෙකුට යටත්ව එම මානසිකතවයට හැඩ ගැසුණු ජනතාවක් ඉන් ඉවත් කලකල්හි රාජ්‍යය පවත්වා ගෙන යෑම අසීරුය. බ්‍රිතාන්‍ය රජය සිය මුල් පරිපාලන කාලයේදී එම ගැටළුවට මුහුණ දුන්නේය. 1817 ජාතික විමුක්ති අරගලයෙන් පසුව රදළයන් ගේ බලයද ශූන්‍ය කළ හෙයින් එය තවත් අසීරු විය. එසේම රාජකාරිය තහනම් කිරීම හේතු කොට ගෙන  මහා වාරිමාර්ග බොහෝ ගණනක නඩත්තු ව ඇණ සිටියේය.ඒ නිසා වර්ෂිකව පැමිණෙන ගංවතුරාවන්ට ඒවා කැඩී බිඳී වල් බිහිව ගොස් මැලේරියා වසංගතයෙන් රජරට ආතුර විය. මේ නිසා පසු කාලයේදී යම් යම් ප්‍රතිසංස්කරණ මගින් රජු හා බැදුණු ජනතාව සම්බන්ධිකරණය කිරීමට යටත් විජිත රජයට සිදු විය. නිදහසින් පසුව ඇති වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් ග්‍රාමීය ජනතාව  අතර වූ තරුණයන් විශ්ව විද්‍යාලවලටත් රජයේ සේවයටත්  ප්‍රවිෂ්ට වන්නට විය. මෙතෙක් රාජ්‍ය සේවය තුළ ආධිපත්‍ය රැකගෙන සිටි යාපන දෙමළ උගතුන් සුළුතරයක් බවට පත් වීම නොවැලැක්විය හැකිවිය. සිරිමාවෝ රජය ප්‍රමිතිකරණය හඳුන්වා දීම නිසා එය තව දුරටත් සීමා විය. බිහිවූ සිංහල උගතුන් අවාසනාවකට මෙන් රටට හෝ ජාතියට ඇඟෑලිකමින් නොසිටියහ. මාක්ස්වාදය හෝ වෙනත් විදෙස් මතවාදයන් කරපින්නා ගැනීමත් සිංහල බෞද්ධ සංස්කෘතිය සමග තිබූ අක්මුල් නැති කර ගැනීමත් නිසා දෙමළ උගතුන් ගෙන් සිදුවූ හානියට වඩා හානියක් ඔවුන්ගෙන් සිදු විය.

         ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විධායක ව්‍යවස්ථාව හඳුන්වා දෙන ලද්දේ මෙවැනි සමාජ වටපිටාවකටයි.බ්‍රිතාන්‍ය මහ රැජන හිස් මුදුනින් පිළිගත් ඔවුන්ගේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය බරව කකුලක වැනිව තබා ගත් උගතුන් පිරි රටක එවැනි ප්‍රතිසංස්කරණයක් ඔරොත්තු දුන්නේ නැත. එම යෝජනාව මගින් බොනපාට්වාදය කරා රට ගමන් කරන්නේ යැයි වාමාංශිකයන් ප්‍රකාශ කලේ එහෙයිනි.එවැනි තත්ත්වයක් තුළ විධායකය හා ජනතාව අතර ගොඩනැගියයුතුව තිබූ හෘදයාංගම  සම්බන්ධය වර්ධනය නොවීය. ජේ.ආර්.ජයවර්ධන මහතා කළ වැරදි කීපයක් නිසා තත්ත්වය තවත් දරුණු විය. ප්‍රමිතිකරණය අහෝසි කිරීමත් දෙමළ භාෂාව ජාතික භාෂාවක් බවට පත් කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දෙමළ ජන අයිතිවාසිකම් ශක්තිමත් කිරීමත් නිසා සිංහල ජාතික ව්‍යාපාරය ඔහුගෙන් ඈත් විය. දෙමළ ජන සමාජයට සාධාරණයක් ඉටු වුවද ඔවුන් එය සලකන ලද්දේ ඊළාම් දේශය කරා යන ගමනට ලැබුණු වරදානයක් ලෙසිනි. අවාසනාවකට 1983 දී ඇති වුණු දෙමළ සිංහල කෝලාහලය නිසා ඉන්දියාවේ මැදිහත් වීම මත රටත් රජයත් අස්ථාවර විය. ඒ මගින් සිදු වූයේ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම සම්මත කරගැනීමත් පළාත් සභා ඔස්සේ ස්වයංපාලන ක්‍රමවේදයකට රට තල්ලුවීම යාමත්ය.නමුත්  පළාත් සභා ක්‍රමය තුළ  විධාකය සතු බලතල හීන නොවීම නිසා රට අස්ථාවර වීම වැලකුණි.

           ඉන්දියාව සහ බටහිර බලවේග විසින් පෝෂණය කරන ලද කොටි ආක්‍රමණය විසින් ලංකාව ගිල ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මහින්ද රාජ පක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාව දැක්වූ රාජ්‍ය පෞරුෂය රටෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරලීමට සමත්විය.එහෙත් යුද්ධයෙන් පසුව සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළ සිදුවූ පරිහානිය පිළිකාවක් වැනිව වර්ධනය විය. ජේ.ආර්.ජයවර්ධන පලන සමය තුළ ඇති කළ අයහපත් ප්‍රතිසංසකරණ ඊට සෘජුවම බලපෑ බව කිව යුතුය. විධායකය සහ ජනතාව අතර තිබිය යුතු සම්බන්ධය රදළයෙකු සහ දාසයෙකු අතර වන සම්බන්ධයට වඩා පරිණත විය යුතු බව දේශපාලකයන් අවබෝධ කර නොගැනීම ඛෙදවාචයකි.ලංකා ජන සමාජ්‍ය සීඝ්‍රයෙන් මධ්‍යම පන්තික රාමුවකට තල්ලු වී යෑම සිදුවන බැවින් බ්‍රිතාන්‍ය මහ රැජින කෙරෙහි ඇති වන භක්තියට වඩා තම රටේ විධායකයට තිබෙන භක්තිය දෙවනි තැනේ ලා සැලකීම පදුමයක් නොවේ. අද මේ රටේ උගතුන් විධායකය අහෝසි කරන්නට සැමතින්ම පෙළ ගැසී තිබෙන්නේ එහෙයිනි.එහෙත් දෙමල ජන සමාජය සිය ගෝත්‍රික ආශාවන් ගෙන් විනිර්මුක්තව නැත. ඔවුහු බෙදුම් වාදය උදෙසා විධායකය බිඳ වැටීම අපේක්ෂා කරති.දැන් ටිකක් පසුව කවත් ටිකක් යනුවෙන් දෙමළ අභිලාශයන් ඉටු කරගැනීමට ඔවුන්ට හැකියාව තිබේ.වෙනම පාලනයක් ලබාදීම සඳහා කොටි සමග ගිවිසුම් අත්සන් කළ රනිල් වික්‍රමසිංහ මහතා විධායකය සතු බලතල තමන් වෙතට ගෙන යුරෝපයේ සුවචයෙකු ලෙසට සිටින්නට සපථ කර ඇත්තේ ඊනියා දෙමළ ප්‍රදේශ වෙන්කර රටේ ඉතිරි කොටස් ලිබරල් ක්‍රමයකට පාලනය කිරීමටයි.

           පෙර ලංකාවේ පැවති රජකම දශරාජ ධර්මයට යටත්ව තිබිණි.රජු දේශයේ භාරකාරුවා විය. සැබවින්ම යම්කිසි සුළු ශංශෝධනයකට යටත්ව විධායකය පැවතීම මගින් රටේ ඒකීයත්වය සුරැකේ.නමුත් එම තනතුර සහ ජනතාව අතර තිබෙන බැඳියාව ශක්තිමත් නොකළහොත් එය තව දුරටත් රදළ පිළිරුවක් පමණක් වනු ඇත. එම රදළ පිළිරුව ඕනෑම බටහිර බලවතෙකුට මැතිවරණය නමැති බැකෝයන්ත්‍රයක් යොදා ඉවත් කළ හැකිය.පසුගියදා සිදුවූයේ එයයි. තවමත් සිංහල ජන මනස තුළ නොදැනුවත්වම හෝ පැලපදියම්ව පවතින සිංහල රාජ්‍යත්ව නම් බැඳීම නූතනත්වයට ගැලපෙන පරිදි සංවර්ධනය කොට රටේ ඉදිරිගමනට යොදා ගැනීම අප සැමගේ යුතුකමකි.එසේ නොකොට බලය අත්හැරීම සහ ජාතිවාදී වශයෙන් බලය බෙදා හැරීම මගින් සිදු වන්නේ රටේ ස්වාධීනත්වය නැතිවීමයි.


 

No comments:

Post a Comment