පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, February 17, 2015

කටුපොල් වැවීමට දිරි දීම තව දුරටත් කල යුතුද


                                  

 


              ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නගා සිටුවීමේ නව වැඩපිලිවෙලක් ආරම්භ කරන බවද ඒ යටතේ කටුපොල් තවත් හෙක්ටයාර් 50000ක් වගා කිරීම තමගේ අරමුණ බවද 2013 වර්ෂයේදී පොල් පර්යේෂණායතන අධ්‍යක්ෂක වරයා පවසා තිබුණි. ඒ සඳහා ඔයිල් ෆාම් බීජ ලක්ෂ අටක් ආනයනය කර දෙන මෙන් සමාගම් හයක් ඉල්ලා ඇතැයි තව දුරටත් ඔහු දක්වා තිබුණි.අප දන්නා පරිදි මෑතකදී ඉන්දියාවෙන් කොප්පරා මෙට්රික් ටොන් විසිපන්දහසක් ගෙන්වීමට සිදු වූයේය. එයට හේතුවී තිබුණේ දිසිඳි පොල් අපනයන තත්ත්වයන් වැඩි වර්ධනය වීමත් පසුගිය කාලයේ දී ඇති වූ නියඟයෙන් කොප්පරා කිරීමට පොල් ප්‍රමාණය අඩුවීමත්ය.මේ වන විට පොල් ගෙඩියක මිළ රුපියල් හැත්තෑව දක්වා වැඩවී ඇත. එසේ නම් කළ යුතු වන්නේ පොල් මිළ අඩු කිරීම පිණස අවශය ක්‍රියාමාර්ග ගැනීමයි. ඒ වෙනුවට තවදුරටත් කටුපොල් වගාව ප්‍රවර්ධනයට රජය දිරි දෙන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්ණයකි.

          රටක් වශයෙන් ආහාර අවශ්‍යතාව සඳහා පොල් වැඩිමනත්ව පරිභෝජනය කරන රටක් වශයෙන් ප්‍රශ්ණයකට මුහුණ දෙන විට පොල් ගැන වගකිව යුතු ආයතන එක්ව අඩුපාඩුසොයා බලා ප්‍රතිකර්ම යෙදවීම කල යුතු වෙයි. පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණායතනය මේ සඳහා මැදිහත්ව කටයුතුකිරිම අත්‍යවශ්‍ය වෙයි. පොල් පර්යේෂණායතනය පිහිටවනු ලැබූයේ 1971  අංක 46 දරණ පනත අනුවයි.(An Act To provide for The Development And Regulation Of The Coconut  industry And The Utilization Of Land For Coconut Plantations.) එහි කාර්යභාරය විස්තර කර දී තිබෙන්නේ මෙසේය.

1/ පොල් වගා කිරීම සම්බන්ධයෙන් සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවීම සහ ඒවා වැඩි දියුණු කිරීම.

2/ පර්යේෂණ මධ්‍යස්ථාන පර්යේෂණ ආයතන සහ තවාන් ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම.

3/ පොල් නිෂ්පාදන සැකසුම් සහ උපයෝගීතාවය ආශ්‍රිත විද්‍යත්මක පර්යේෂණ දියත් කිරීම සහ වැඩි දියුණු කිරීම.

4/ පොල් නිෂ්පාදන සැකසුම්  ආශ්‍රිත නියාමක පර්යේෂණ ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීමත් පොල් සැකසුම් පර්යේෂණ දුෂ්කරතා හඳුන්වාදීම.

5/ පොල් කර්මාන්තය ආශ්‍රිත උපදේශන හා ව්‍යප්ති නිළධාරීන් පුහුණු කිරීම සහ මග පෙන්වීම.පොල් කර්මාන්තයට අදාල සියලුම තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් උපදේශනය හා මග පෙන්වීම ලබා දීම.

    මේ පණතේ කිසිම තැනක කටුපොල් වගාව ගැන සඳහනක් කර නොමැත. පොල් පර්යේෂණායතනයට හා පොල් පර්යේෂණ මණ්ඩලයට අවසර ඇත්තේ පොල් පිළිබඳව පර්යේෂණ කිරීම සහ වැඩි දියුණු කිරීම බව අදාල පණතේ පැහැදිලිව විස්තර කර දී තිබේ. නමුත් 2010 ජූනි මස 23 දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ දී පොල් පර්යේෂණායතනය තුළ කටුපොල් පර්යේෂණ අංශයක් ඇති කිරීමට අවසර ලැබී ඇත. සැබවින්ම අදාල පණතට අනුව මෙය නීති විරෝධි ක්‍රියාවකි.

            පොල් යනු කප්රුකකි. එම වෘක්ෂයෙන් ලැබෙන සම්පත් කිසිවක් ඒ හා සමාන වෙනත් ගසකින් නොලැබේ. ලංකාවේ පොල් වගාවේ වැඩි දියුණ කිරීම් පිණිස පොල් පර්යේෂනායතනය විසින් පසුගිය කාලවකවානුවේ විශේෂ කාර්ය භාරයක් ඉටු කර ඇති බව පැවසිය යුතුය. වෙසෙසින්ම ලංකාවේ පොල් වගා ක්ෂේත්‍රෙය් ව්‍යාප්තිය සඳහාද නඩත්තු කිරීම් දියුණු කිරීම උදෙසාද යම්කිසි මෙහෙවරක් ඉටු කර තිබේ. නමුත් මෙම මෙහෙවර සම්පූර්ණත්වයට පත් කිරීමට පසුගිය කාලයේ දී සමත්ව ඇත්දැයි  සොයා බැලිය යුත්තේ ඔවුන් විසින් පසුගිය වර්ෂවල පළ කරන ලද  ප්‍රගති වාර්තා කියවීමෙන් නොවේ. සැබවින්ම පොල් වලින් රට ස්වයංපෝෂිතව තිබේ යන්න සොයා බැලීමෙනි.එසේම පොල් ගසට වැලඳෙන  ලෙඩ රෝග සමනයට ඔවුන් දැක්වූ දක්ෂතාවයන්ද මෙහිදී ගෙන හැර දැක්විය හැකිය. නමුත් දකුණු පළාතේ හටගත් කොළ මැලවීමේ රෝගයට(ෆයිටොප්ලැස්මා) මේ ආයතනයට කිසිම විසඳුමක් නැත. ඔවුන් ගේ එකම නිර්දේශය පොල් ගස් කපා දැමීම පමණි. මේ රෝගය මුලින්ම හටගත් කේරළයේ පවා මේ ගස් නොකපති. එහෙත් ලංකාවේ ඒවා කපන්නට නියම කරති. ඒ මතුද නොව වසර  දහයක් පමණ ඉකුත්ව තරුණ වයසේ තිබෙන නිරෝගී පොල් ගස් කපන්නටද මේ යටතේ අවසර ලැබී තිබේ. අලුත්ගම මීගම නමුණුකුල වැවිලි සමාගමට අයත් හෙක්ටයාර් 07 ක් මෙලෙස කපා ඉවත් කර ඇත්තේ වගාව තරුණ වයසේදීමය. දැන් එහි කටුපොල් සිටුවා තිබේ. නමුත් වැලිගම ප්‍රදේශයේ සිටින නව නිපයුම් කරුවකු මෙම රෝගයට සාර්ථක විසඳුමක් දී ඇතිබව පසුගියදා පැවති සහසක් නිමැවුම් ප්‍රදර්ශනයේ දී දකින්නට ලැබුණි.

         රතු කුරුමිණි රෝගය පිළිබඳවද පොල් පර්යේෂණායතනයට විසඳුමක් නැත. ඒ සඳහා මැතකදී මොනක්‍රොටපස් කෘමි නාශකය ආනයනය කර පොල් සංවර්ධන මණ්ඩලයට ලබා දී ඇත්තේ පොල් පර්යේෂන ආයතනය මැදිහත් වීමෙනි.ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ළමුන් 23 දෙනෙකුට මරු කැඳවූ  මෙම කෘෂි රසායනය ලංකාවට ගෙන්වීම තහනම් කර ඇත. නමුත් යම් පර්යේෂණායතනයක කටයුත්තකට පමණක් සීමිත අවසරයක් ඇත. එහෙත් මෙම විස රසායනිකය ගෙන්වා පොල් සංවර්ධන මණ්ඩලයට නිදහස් කර හැරීමෙන් විශාල වරදක් කර ඇත. එවිට මේ අහිතකර කෘෂි රසායනයෙන් නිකුත් වන විස නිදහසේ පරිසරයට මුදා හැරෙන බැවිනි.  

     ලංකාවේ ජනතාව පරිභෝජනය කරන ආහාරමය තෙල් වර්ග අතරින්  පොල්තෙල විශිෂ්ඨතම ස්ථානයක පවතී. අතීතයේ දි මී තෙල් දුන් තෙල් හා තල තෙල් ආදිය භාවිත කළද පොල් වගාව ප්‍රචලිත වීමත් සමගම පොල් තෙල් පළමු ස්ථානයට පත්ව ඇත. එය ආහාරමය තෙලක් පමණක් නොව විශිෂ්ඨ ගණයේ ඖෂධීය තෙල් වර්ගයකි. පිලිස්සුම් තෙල් සඳහා එය අගනේය. නමුත් දිසිඳි පොල් අපනයනය  වැඩිවීමත් සමගම ලංකාවේ තෙල් නිෂ්පාදනය වරින් වර අඩු වැඩි වේ. දැනට පොල් ගෙඩි දශලක්ෂ 2800 සිට 3000 ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව ලැබේ යයි ගණන් බලා තිබේ. ගෙවතු වල වවා තිබෙන ප්‍රමාණය ගණනය කළහොත් තවත් ලක්ෂයක් පමණ එම ගණනට එකතු විය හැකිය. නමුත් නියඟය හා ඉඩම් කට්ටි වෙන්දෙසි කරුවන් ගේ ගස් කපා දැමීම නිසා පොල් වගාව ක්‍රමයෙන් අඩුවී යාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙයට කල යුතු පළමු ප්‍රතිකර්මය ගෙවතු මට්ටමින් පොල් වගාව වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීමයි. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලය දායකත්වයක් දුන්නද අලුතෙන් බිහිවන පොල් ප්‍රභේද ඒ ඒ පළාත්වලට නොගැලපීයාම නිසා ඉතා ඉක්මනින් ඵලදාව අඩුවන සැටිද රෝග වලට පාත්‍ර වන සැටි ද නිරීක්ෂණයකර ඇත්තෙමු. මේ නිසා ඉල්ලුමට සරිලන ලෙසට පොල්ගෙඩි හා කොප්පරා නිෂ්පාදනය ඇති වන්නේ නැත. මෙයට විකල්පය කටුපොල් වැවීමයයි පොල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයා නිරන්තරයෙන් කරන ප්‍රකාශයකි.  ඔහු පොල් පර්රේයේෂණායතනයේ අධ්‍යක්ෂක වරයා වුවද පොල් සහ කටුපොල් අතර තිබෙන ගුණාත්මක වෙනස හඳුනන්නෙකු නොවේ. මේ කටුපොල් ව්‍යපෘතියට ආසියානු සංවර්ධන බැංකුව ආධාර කරන අතර මේ ආධාර මුදලට ගිජු වූ සමාගම් රබර් වගාව හා පොල් වගාව ගලවා දමමින් කටුපොල් වගා කිරීමේ ක්‍රමය ව්‍යාප්ත කිරීමට පටන් ගෙන ඇත. මේ නිසාද ලංකාවේ පොල් ප්‍රමාණය අඩු වෙමින් ඇතැයි කිවහොත් එය මුසාවක් නොවේ.

                   පොල් සංවර්ධන රාජ්‍ය ක්ෆෂ්ත්‍රය දැන් නැවතත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට එක්ව ඇත. මෙතෙක් පොල් ඇමතිවරුන්ද පත්වී සිටියහ. අවසානයේ සිටි ඇමතිවරයාගේ අමාත්‍යකාර්ය භාරය වූයේ වැලිකන්දේ තමන්ගේ පුද්ගලික වත්තේ පොල් වැවීමට පොල් ආයතන වල සහයෝගය ලබා ගැනීම පමණකි. කටුපොල්  විස්මිත භෝගයක් යයි මවා පෙන්වා නීති විරෝධීව පොල් පර්යේෂණායතනය තුළ කටුපොල් පර්යේෂණ අංශයක් ආරම්භ කර තිබෙන්නේ මේ ඇමතිවරුන් නොමග යැවීමෙන් බව පෙනේ. එහිදී පොල් සංවර්ධනය යන තේමාව යට ගසමින් කටුපොල් ඉස්මතු කර ඇත. පොල් පර්යේෂණායතනය විසින් පළ කරන ලද  පොල් තාක්ෂණික  පත්‍රිකාවේ 2010 දෙවනි නිකුතුවේ කටුපොල්පර්යේෂන අංශය ආරම්භ කරමින් ලිපියක් පළ කර ඇත. එහිදී කටුපොල් පර්යේෂණ ස්ථානභාර නිළධාරියා ලෙසට ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා පවසා ඇත්තේ මෙවැනි අදහසකි.ලංකාවට එළවලු තෙල් මෙට්රික් ටොන් 160000 ක් වාර්ෂික ව අපනයන කරයි.  නමුත් පොල් තෙල් නිෂ්පාදනය මෙට්රික් ටොන් 79000 කි. මේ නිසා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් යෙදවීමට සිදුව ඇත.මෙම අඩුව නොහොත් එළවුලු තෙල් අවශ්‍යතාවය සඳහා කටුපොල් වගාව ලංකාව තුළ සිදු කිරීමෙන් මේ විදේශ විනිමය අපට නවත්වා ගත හැකිය..

     එළවුලු තෙල් වැඩි ප්‍රතිශතයක් ලංකාවට ආනයනය කරන්නේ හෝටල් සඳහාය. නමුත් දේශීය පරිභෝජනයේ දී පොල් තෙලට එහා තෙලක් නැත. හෝටල් සඳහා වුවද මීතෙල් හා තල්තෙල් වැනි දේශීය ශාකමය තෙල් ආදේශක යොදවා ගනිමින් එළවුලු තෙල් ආනයනය ක්‍රමානුකූලව නතර කරගැනීමේ හැකියාවක් ද ඇත. පොල්පර්යේෂණායතන අධ්‍යක්ෂවරයා පවසන පරිදි හෙක්ටයාර් පණස්දහසක් කටුපොල් වවනවාට වඩා තමන්ගේ ආයතනයේ අරමුණු වලට කැපවී පොල් හෙක්ටයාර් පණස් දහසක් වැවීම බෙහෙවින්ම හිතකාරීය. ඒ සඳහා ලංකාව වටා තිබෙන මුහුදුබඩ තීරය යොදවා ගත හැකිය. එදා දෙවනි පැරකුම් රජ දවස දී කලුතර සිට යොදුනක් පළල පොල් වගාවක් බෙන්තර දක්වා කර තිබූ බවද මෙහිදී සිහිපත් කළ මනාය.වර්ෂයකට ගසකින් පොල් ගෙඩි 1200 ක් පමණ කඩා ගත හැකි වන අතර ඉහත කී ඉලක්කය සපුරා ගතහොත් ලංකාවට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය හිඟයකින් තොරව සපයා ගත හැකිය. ඇරත් දැනටමත් ගෙවතු වල වගා කරන සහ පරිභෝජනය කරන එමෙන්ම ඒවා කොප්පරා කොට තෙල් හිඳින ප්‍රමාණය ගැන නිවරදි සංඛ්‍යා ලේඛන නැත. ගෘහස්ත තෙල් හිඳීමේ ක්‍රියාවලියට අද වැඩි ඉල්ලුමක් පවතින්නේ පිටරටින් ගෙන්වන ආර්.බී.ඩී. නම් වූ කටුපොල් තෙල් පොල් තෙලට කලවම් කරමින් වෙලෙන්දන් ජාවාරම් කරන නිසාය. එම නිසා ග්‍රාමීය වශයෙන් තෙල් නිෂ්පාදනයද වැඩි කිරීමට අප අවධානය යොමු කළ යුතුය. මේ තත්ත්වය මෙසේ වුවද පොල් වෙනුවට කටුපොල් ආදේශ කිරීමට හා ලංකාවේ පොල් වගාව ක්‍රමයෙන් තුනී කිරීමටද වෙසෙසින්ම දකුණු පළාතෙන් පොල් ඉවත් කිරීමට යම් කුමන්ත්‍රණයක් තිබෙන බව පෙන්වා දිය යුතුය. සමාගම් කීපයක අවශ්‍යතාවයද මෙයට දායක කර ගෙන තිබේ. පොල් පර්යේෂණායතනය තුළ නීති විරෝධිව කටුපොල් අංශයක් ආරම්භ වන්නේ මේ කුමන්ත්‍රණය දියත් කිරීමට අවශ්‍ය දීර්ඝකාලින වැඩ පිලිවෙලකට පදනම් වශයෙන් දැයි සැකයක් උපදී..

                                                                     
 

 

1 comment:


  1. ෆයිනස්, ටර්පන්ටයින් වගේ ගස් නිසා ලංකාවේ කඳුකරයේ ඔය වගාවන් තියෙන හැමපැත්තකම ස්වාභාවික දිය උල්පත් සිඳුනා. නමුත් නැවත වතාවක් ඔය ගස් ඉවත් කරලා දේශීය ගස් වවලා ඒ දිය උල්පත් නැවත මතුකරලා අපේ අය ඔප්පු කලා ඉහත කතාවේ තිබෙන් සත්‍යතාවය. ඔයගැන තිබ්බ විඩියෝ එහෙකුත් මම මීට අවුරුදු 10ට විතර කලින් දැක්කා.

    පොල්වගාව දේශයට හිතකරයි. ඒක විනාශකරනවා කියන්නේ මහ මෝඩ වැඩක්. තමන්ට කුට්ටිය ලැබෙනවනම් ඕනම ජරා වැඩක් කරන දේශපාලුවෝ ඉන්න රටක් මේක. දුර දිග බැලුවොත් මේ රටෙන් ඉවත් වෙන්න ඕන බෝගයක් තමයි තේ. සිලෝන් ටී ප්‍රසිද්ධයි ඒත් නැවත කිසිම පැළෑටියක් තේවතුවල වැවෙන්නේ නැහැ විතරක් නෙමෙයි අවුරුදු 200ක් විතර තේ වගාකල නිසා දැන් ඒ පසේ තේ වැවෙන්නේත් නැතිවේගෙන යන්නේ. ඒ වගේම ලෝකේ සිලෝන් ටී බොන මිනිස්සු දන්නේ නැහැ තේ ගහට දාන රසායනික පොහොරේ ආසනික් තියෙනවා කියන එක.

    ReplyDelete