වලල්ලාවිට කෝරළයේ
ඉස්මත්තේ කඳු සිඛර තෙරපාගෙන ඇදෙන බෙම් ගඟ කොමළියට සළු පළදන්නේ දෙගොඩ දෙකෝරළයේ අතු
ගංඟාවන්ය. මහාවන ලැහැබ් වලින් සඟවා ගෙන සිටින පිටිගල ඇළ ඕමත්ත ඇළ පැළවතු ඇළ වැලි
පැන්න ගඟ ගොරක දූ ඇළ යයි නම් ලත් අතුරු ජලදහරාවන් මගින් බෙම් ගඟ පෝෂිත වන්නේ යයි කියති. බෙම් ගඟ කලකදී
වියරු වෙයි.පිටාර ගලයි. හාත්පස කුඹුරු ගම්මාන යටවෙයි. බෙන්තර නැන්දගේ දූ වරු
හින්දයි දෙගොඩ දෙකෝරළෙ නැතිවන්නේ යයි ජන කවියා පවසන්නේ එහෙයිනි.
කිරල කඩොල් කළු මැදිරිය මිදෙල්ල වැනි ශාක
පද්ධතියකින්ද දිය හූනා කවාටි කඩොල් බෙල්ලා වැනි ජලජ සත්වයන්ගෙන්ද මඩාරා ලූලා වැනි
මසුන් ගෙන් සපිරි බෙම් ගඟ අතීතයේ දී හඳුන්වන ලද්දේ භීම ගංගා යනුවෙනි. මුවදොර අරක්
ගත් බිහිසුණු යක්ෂයෙකු නිසා ඒ නම් ඇති වී යැයි මතයකි. භීම ගංගා නමින් මහා කාව්‍යයක්
කල මුල්ලපිටියේ කේ.එච්.ද. සිල්වා මහතා ගේ වර්ණනාවට අසුවූ බෙම් ගඟ බඩ ලලනිය දිනකට
දෙවරක්ම කරදිය සලුවෙන්ද හැඩ වෙයි. එය හඳුන්වන්නේ වඩ දිය බාදිය යනුවෙනි. කළුවාමොදර කලපුවේ
උස්මහත් වීම නිසා සැතපුම් දෙක් තුනක් ඉහළට කරදිය ගලා යයි. මේ කරදිය පකුල නිසා ගොවිතැන්
වලටද හානි පැමිණෙයි.
1932 දී පමණ ගඟ අයිනේ කරදිය වේලි තුනක් දමන්නට යෙදුණි.වී කුරුණියට මළු
හතර බැගින් පාගන ගොවීන්ද එදා සිටියහ. මීගමත් ආඳාවලත් අතර අස්වද්දන ලද වෙල්යායන්
තුන් වර්ගයකි. අඳාවල කුඹුරු උදාහරණයකට ගත හොත් පියද්ද යනු එක් වෙල් යායකි.
ගොවිවැල්ඕවිට යනු තවත් වෙල් යායාකි. දොඹගහඔවිට යනු තවත් වෙල් යායකි. ගොවින්ගේ
වදනින් කිවහොත් මේ බිම් තුන එකිනෙකට වෙනස්ය.පළමුවෙන් කී යාය පියද්ද හැල් කූඹුරුය.
ඒවා වැඩිමල් බිම් ලෙසට සැලකේ. එහි වගාකරන ලද්දේ මුදලි වී ය. ඒ යල් කන්නයේ මාර්තු
මස ආරම්භයේ දීමය. දෙවැන්න මදක් හැල් සහිතය. එහි වගා කරන ලද්දේ යල් සම්බා කිරි හාල්
ඇල් වැනි වී වර්ගයන්ය. මාර්තු මස දහවන දා පමණ එයට දින අල්ලයි. තෙවැනි යාය ගොඩ කුඹුරකි.
ගඟ අයිනේ පිහිටා තිබේ. එහි වගා කරන්නේ කිරිනාරන් සුවඳැල් වැනි වී වර්ගයන්ය. අස්වැන්න
එහි අධිකය. ගං වතුර පිටාරයට යට වන බැවින් සාරවත් රොන් මඩින් එය වසා ගෙන සිටී. නමුත්
කරදිය වේල්ලේ ගේට්ටු අබලන් වීමත් නාගරීකරණය නිසා ගොවීන් ගම හැරදමා යාමත් නිසා මේ
කුඹුරු පුරන් වූහ. බෙන්තර ගඟ පාලම ළඟ තිබූ මහා ගල කඩා දැමීම හේතු කොට ගෙන කරිජ්ජ
ඉහළට ගලා යෑමේ වේගය වැඩි වී කුඹුරු පාළු වීම ආරම්භ වූ බව ඇතැමුන් පවසති.
. ප්‍රකට ලේඛකයෙකු වන එන් .ටී . කරුණාතිලක
මහතා බෙම්ගඟ බඩ විත්ති නමින් පළ කළ කෘතිය තුළ මේ ගඟේ පාරිසරක සුන්දරත්වය මෙන්ම ජෛව
විවිධත්වයද යස රඟේට වනා ඇත. එකල ගඟ බඩ තොටුපළවල් තුනක් විය. එකක් නිශ්ංගල සිට සිට
මිහිරිපැන්නට එතෙර වන තැනයි. මිහිරිපැන්න යනු රජුට මිහිරි ජලය සැපයූ ළිඳක් පිහිටා
තිබෙන ගඟ බඩ ගමකි.මිහිරිපැන්නේ ප්‍රබන්ධ යනුවෙන් රසවත් කවි පබැඳූ මිහිරිපැන්නේ
තෙරිඳුන්ගේ නිජභූමිය එහිය. අද එය මුස්ලිම් ගමකි. දෙවැන්න තුන්දූවේ සිට ලද්දූවට
එගොඩ මෙගොඩ වන තොටුපළයි. තුන්දූවද අද මුස්ලිම් ගමකි. තෙවැනි තොටුපළ ඉත්තෑපානයි.
එහි ද මෑතක් වන තුරුම තිබූ පාලම් පාරුව මතකයට නැගේ.මීගම දිය හොරඬුව ලද්දූව ආඳාවල වරා පිටිය පසුකර
අලූත්ගමට යන්නෙකුට ගගබඩ ජන ජීවිතය සෝදාපාලුවට ලක්ව ඇති බව පසක් වෙයි.වරක් එහි
ගුවන් තොටක් තනන්ට සූදානම් විය.කුඹුරු අතහැර නගරයට ගිය ගම්වැසියන්ම එම සැලසුම් වලට
දායක විය. නිදහස් අධ්‍යාපනයෙන් අපට ඉතිරි වූයේ ගමට වෛරකරන මිනිසුන්ය.
No comments:
Post a Comment