මහාවංශ ටීකාව කියන්නේ පාළි මහා වංශය ගැන ලියැවුණු වර්ණනාවක් අටුවාවක්.
බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කොට මෙහි සිටි යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බවටත්
සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මහගිර නොහොත් සමනල කන්දේ ශ්‍රීපාදය සලකුණු කළ බවටත් මේ
ටීකාවේ ඇති සඳහන ඉතා වැදගත්. එහෙම නම් එය සත්‍යයක් නම් බුදුදහම අවශෝෂණය කරගත් සංස්කෘතියක්
පැවතිය යුතුයි. මෙතෙක් කලක් මේ ගැන විවිධ මති මතාන්තර තිබුණු අතර විජයාගමනයට පෙර
සිටියේ ශිෂ්ඨාචාරවත් නොවූ රකුසන් පිරිසක් බව විද්වතුන් අතර පිළිගැන්මකට ලක්ව
තිබුණා. ඉතිහාසඥයන් මේ කතාන්තරය වෙනස් කිරීමකට ලක් කලේ නැත. පුරාවිද්‍යාඥයන් මේ ප්‍රවාදයන්
සනාථ කිරීමට ගියේද නැත. එම නිසා එම අඳුරු අතීතයට හිමිකම් කීමට ඊළාම් වාදීන්ද පසුබට
වූයේ නැති බව කිව යුතුයි.
මහාචාර්ය රාජ සෝමදේව මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ
පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයාව සිටිමින් මේ මති
මතාන්තර අධ්‍යනය කළ පුද්ගලයෙක්. ඔහු විසින් හල්දුම්මුල්ල ප්‍රදේශයේ රංචමඩම
හුණුගලාගල වැනි ස්ථානයන්හි කළ කැණීම වල ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ මානව ඉතිහාසය ක්‍රි.පූ. පන්දහස දක්වා ගෙන යන්නට
දැන් හැකියාව ලැබී තිබෙන බව කිව හොත් එය නිවරදියි. හල්දුම්මුල්ලේ සිට පැතිර පවතින
ලංකාවේ දක්ෂිණ වේදිකාව නොහොත් මලය කඳුකරයේ ආසනය මත පිහිටා තිබෙන කූරගලින්ද මේ හා
සමාන තොරතුරු වාර්තාවන්නට පටන් ගත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2012
වර්ෂයේ කරන ලද කැණීම් වල ප්‍රතිඵලයක් වශයෙන්. මහාචාර්ය නිමල් පෙරේරා මහාතා ගේ
අධීක්ෂණය යටතේ කරන ලද එම කැණීම් වල දත්ත අනුව කූරගලින් හමු වූ ඇට සැකිලි ක්‍රි.පූ.
8000- 10000 දක්වා කාල වකාවානුකට අයත් යැයි දැන් හෙළි වී අවසන්. එහෙම නම් මේ
මානවයා කවුරුද ඔවුන්ගේ සංස්කෘතිය කුමක්ද.
රාජ් සෝමදේව මහතා කූරගල අවට බුදුගල
දියවින්න හා කිරි මකුල්ගොල්ල ප්‍රදේශ වල විධිමත් ගවේෂණයක් ආරම්භ කරන්නේ මේ ප්‍රශ්ණයට
පිළිතුරක් සෙවීමේ අටියෙන්.ලංකාවේ කඳුකර මානවයා ගත කළ කෘෂිකාර්මික ජීවිතය හා
ඔවුන්ගේ යකඩ භාවිතය පිළිබඳව සාක්ෂි තහවුරුව තිබුණද සංස්කෘතික පැවැත්ම ගැන මුල් වරට
ඉඟියක් ලැබෙන්නේ හුණුගලාගලින්. මේ සංස්කෘතික පැවතුම් ගැන අපගේ ජනප්‍රවාද ගත
තොරතුරුද බොහොමයි. රාම රාවණ යුද්ධය මෙන්ම සීතා
ගුලි සීතා ලූණූ ගැන කියවෙන ජන ශ්‍රැති ජන ප්‍රවාද ආදී ඉතිහාස ගතසාක්ෂි තිබුණද ඒවායේ පූර්වාපර සන්ධි ගලපා පුරා විද්‍යාව අනුව
සහතික කිරීම පුරා විද්‍යාඥෙයකු ගේ කාර්ය භාරයක්. සම්පත් හිඟකමත් මූල්‍ය අනුග්‍රහයක්
නොලැබීමත් නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අකර්මණ්‍යව තිබෙන අවස්ථාවක පුරා විද්‍යා
පශ්චාත් උපාධි ආයතනය මෙයට මැදිහත් වීමෙන් පෙනී යන්නේ අවශ්‍ය නම් වුවමනාව තිබේ නම්
අදාළ අරමුණට යා හැකි බවයි. මේ ගවේෂණයේ දී මතු වූ වැදගත්ම සිද්ධි කීපයක් සටහන්කර
තැබීම අතාගතයට ඉතා වැදගත් වේ යයි සිතමි. එයට හේතුව ජනතාව ගේ විඥානයත් ශාස්ත්‍රීය
වෑයමත් අතර සහසම්බන්ධතාවයක් ඇති වීමයි.
ඓතිහාසික කූරගල පාමුළින් තිබෙන්නේ බුදුගලයි.
බුදුගල ට නුදුරින් බෙල්ලන්ගල රක්ෂිතයේ සිට ඇරඹෙන වන ගහනය කටුපත් ඔය දක්වාම
විහිදෙන්නක්. එක් පසෙකින් වලවේ ගඟත් අනෙක් පසින් කටුපත් ඔයත් අතර මේ පෙදෙස
තුළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙන්ම පූජ්‍ය
එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු
විද්වතුන් විසින් කරන ලද ගවේෂණ වලින් සටහන්කර තිබුණේ අනුරාධපුරයට සමකාලීන බෞද්ධ ශිෂ්ඨාචාරයක්
මෙහි පැතිර තිබූ බවයි. සෝමදේව මහතා මේ මූලාශ්‍ර පමණක් පරිහරණය කිරීමෙන් නොනැවතී මේ
කඳු වැටි පන්තිය තුළ පවතින සෑම ගල් ලෙනක් ගැනම අවධානය යොමු කරමින් ඉතා දුෂ්කර සොයා බැලීමක් කලා. ඇතැම් විට දියවින්නේ දිය ඉනි
ඇල්ලේ මහා බෑවුම් තරණය කරමින්ද කිරි මකුල් ගොල්ලේ ගල්ලෙන්වල අඩි හැටක් පමණ එල්ලයේ
පවතින සෙල් ලිපි පිටපත් කරමින්ද කරන ලද ගවේෂණය මගින් ලංකාවේ ඉතිහාස ගමන් මග යම්
කිසි හැරවුම් ලක්ෂයකට පත් වන්නේ කෙසේ දැයි මී ළඟට සාකච්ඡා කරමු.
සපරගමුවේ ලෙන්ලිපි ගැන පළමුවෙන්
සටහන් වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාතා සංස්කරණය කරන ලද සෙල්ලිපි සංග්‍රහයේ
පළමුවැනි වෙලුම තුළයි. නමුත් ඒවායේ ඇතැම්
ස්පර්ශලාංඡන ඉදිරිපත් වී තිබුනේ නැත. ඇතැම් ඒවා අසම්පූර්ණ ලෙසට සටහන් කර තිබුණි.
රාජ් සෝමදේව මහතාගේ අරමුණ වූයේ ගල් ලෙන් වල පවතින සෑම ලිපියක්ම පිටපත් කරමින් එහි
පිහිටීම ස්ථානීය අක්ෂාංස දේශාංස ආදිය නිවරදිව දැක්වීමයි. ඒ අනුව සෙල් ලිපි දහසයක්
පමණ දැනට පිටපත් කොට අවසන්. මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් නොකළ
බුදුගල ලිපියත් එහි වැදි චිත්‍රයත් ඊට ඇතුළත්. මේ ලිපි අතරින් දිය වින්නේ ලිපිය කලින්
දක්වා තිබුණද සපර්ශ ලාංඡනයක් නොවීය.මෙහිදී එය නිවරදිව සටහන් විය. එසේම දියවින්නට නුදුරු කිරිමකුල්ගොල්ලේ සෙල් ලිපි
හයක් පමණ පිටපත් කරන්නටද ඒවායේ නිවරදි මානයන් හෙළි කරගන්නට ද සමත් විය. කිරි
මකුල්ගොල්ලේ ලෙන් ලිපි අතර ඉතා වැදගත් ලිපි කීපයක් වෙයි. අඩි හැටක් පමණ ඉහළින්
කටාරම් කොටා ඇති බැවින් එහි තිබෙන ලිපිය දැක්මට ලැබෙන්නේ ආයාසයෙන් විමසුවහොත්
පමණකි. ඉතා උස පර්වත භිත්තියේ තිබූ ලිපිය පිටපත් කරන්නට මේ කණ්ඩායමට දිනතුනක් ගත විය. එයට හේතුව පලංචි සවි කරලීමට දුෂකර වෙහෙසක් දැරීමට සිදු
වීමයි. කෙසේ වෙතත් පලංචිය උඩ නැග අකුරු අතර තිබූ පෙඳ පාසි සුද්ද කරන විට අපූරු
සටහනක් දක්නට හැකි විය. ඒ ප්‍රධාන ලිපියට අමතරව කෙටවූවක් විය. එහි සඳහන්ව තිබුණේ
යගස යන නාමයයි. මෙවැනි අත්සනක් ලංකාවේ වෙනත් කිසිදු ලිපියක මෙතෙක් දක්නට ලැබී නොමැත. මෙම අත්සන යක්ෂ ගෝත්‍රික
නායකයෙකු ගේ විය හැකි යයි පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් පවසන බවද සටහන් කර තැබිය
යුතුය.
මේ සොයා ගැනීම ගැන සඳහන් කරන මහාචර්ය රාජ්
සෝමදේව මහතා පවසන්නේ මෙයයි. මහින්දාගමනය සිදු වී රහතුන් වහන්සේලා උදෙසා ගල්ලෙන්
පූජාව ඇරඹුණා යයි අප සිතන්නේ නම් ගල්ලෙන්
සකස් කිරීම පිළිබඳ තාක්ෂණය සපරගමුව වැනි ඈත පළාතකට පැතිරෙන්නට දිගු කලක් ගත විය
යුතුයි. එහෙත් මිහින්තලයේ ගල්ලෙන් පූජාවන්ට නොදෙවනි ලෙසට සපරගමුවේ කල්තොට නිම්නයේ දක්නට ලැබෙන ගල්ලෙන් පූජාවන් අප
විස්මයට පත් කරවනවා. මෙහි ලිපි වල තිබෙන පුද්ගල නාම දුර්ලභයි. කටාරම් කෙටවීමේ තාක්ෂණය වලවේ නිම්නයේ සිටි
ජනතාව හොඳින් ප්‍රගුණ කර යොදා ගත්තක්. දියවින්න ගල්ගේ තුළ කළ කැණිමකින් ගලින් කළ වළන් හමුවූ බව මීට
කලින් ආචාර්ය දැරණියගල මහතා සටහන් කර
තිබෙනවා. යගස නම් අත්සන් නාමය ගැන ඉදිරියේ දී අපට හෙළිකරන්නට හැකිවේවි. මෙය නිසැකවම
බුද්ධකාලය ට අයත් සංස්කෘතියක සුවිශේෂී පිහිටීමක් විය හැකියි. බුදුගල පවතින චිත්‍ර
සටහන මෑතකදී කල්තොටින් හමුවූ පිළිමය මේ සංස්කෘතිය විදහා දක්වන්නක්.
මහත්මයාණෙනි, 1818 විමුක්ති අරගලය පරාජය වූයේ මරක්කල ඔත්තුකරුවන් නිසාවෙන් ද? යන <>May 18, 2014 at 10:12 AM දාතමින් යුත් ප්‍රශ්නයට තෙසතියක් පමණ ගත වීත් පිළිතුරු නොදෙන්නේ ඔබ තුමාගේ අවිවේකී කම නිසාද නැතහොත් ඔබ තුමා ලියනා දේ ගැන ඔබ තුමාටම විශ්වාසයක් නැති නිසාදැයි දැන ගැනීමට කැමතියි.
ReplyDelete