පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, November 11, 2013

උතුරු මැද අලි ගාල නිසා ගම්වලට අලි කරදර


                           
 
          

 

         අලි ඇතුන් නිසා අපිට හරි කරදරයි. අපගේ වගාවන් විනාශ කරනවා. මිනිස්සු මරනවා. ඉතින් අපි වෙඩි බඳිනවා. මෙහෙම කියන්නේ අලි කරදර නිසා හෙම්බත්වුණු ජනතාවයි. අලි කරදර නිසා වන ජීවී එකටත් හරිම කාර්ය බහුලයි. අලි නිර්වින්දනය කොට වෙනත් පළාතකට ගෙනයාම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් කලට වේලාවට ඒවා නොකලහොත් ගම්මුන්ගෙන් විතරක් නොවෙයි. දේශපාලකයන්ගෙනුත් බැණුම් අහන්න වෙනවා සිකුරුයි. මේ නිසා අලි කරදරේ කියන්නේ අලි ජරමර වැඩක්.

        උතුරු මැද පළාතේ හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉහළ දිවුල් වැව කියලා ගමක් තිබෙන බව කවුරුත් දන්න කාරණයක්. වාහල් කඩ මහා වැව ඉස්මත්තේ තිබෙන පාරම්පරික ගම්මාන අතරින් ඉහළ දිවුල් වැව කපුගොල්ලෑව තාමර වැව දුටු වැව අලියා කඩ වාගොල්ලා කඩ  තවලම් හල් මිල්ලෑව වැනි ගම් විශේෂයි. ඒ මන්ද කොටි කලබල තිබෙන කාලෙදිත් මේ ගම්වල මිනිසුන් තමන්ගේ ගොවිතැනක් බතක් කර ගෙන ජීවිකාව ගෙනගිය නිසයි. සමහර ගමක් දෙකක් කොටි ත්‍රස්තයන් අතින් කැති ගෑවුණත් කිසි කෙනෙක් තමන්ගේ මුල් ගම් බිම් දාලා ගියේ නැත්තේ ඒ ප්‍රදේශය රත්තරන් පොළොවක් නිසයි. මේ කාලයක් තිස්සේ වහන් වෙලා තිබූ ගම්මාන නිසා  වාහල්කඩ වැව්  ඉස්මත්තේ ඇත්තේ ඝන කැලයක්. යාන් ඔයත් තවලම් හල් මිල්ලෑව ඔයත් මොර ඔයත් සීමා වන කලාපයේ තිබෙන ලොකු කුඩා වැව් සියල්ලම ආවරණය වන පරිදි මේ කැලෑ බූටෑව පැතිරී පවතිනවා. මේ නිසා මේ රටේ වතුර බොහොම පිරිසිදුයි. වකුගඩු රෝගීන් හිටියත් ඇත්තේ කලාතුරකින්. උල්පත් වතුරත් බොහොමයි. මේ පරිසරයේ සතා සීපාවත් බොහොමයි. කැලේ ඉන්න අලි ඇතුන් කැලේට වහන් වෙලා හිටියත් කාලයකට ගමට එනවා. ඒ හේන් භෝග ජාති තිබෙන කාලයටයි. ඉතින් ඒ කාලයට ගම්මු පැල් රකින්නට යනවා. කපුගොල්ලෑවේ සිටින පාරම්පරික වෙදහත්මයෙක් වන මුදලිනායක මහතා අලි ඇතුන් ගැන කිව්ව කතාවක් මෙහි ලියා තබතහොත් යසයි කියා කල්පනාවට පැමිණියා. ඒ කතාව මෙහෙමයි.

        එක් දවසක් මං ගොයම් කපලා මිටි බැඳලා ගෙදර ගියා. එදා රෑ පැල් රකින්න යන්න බැරි වුණා.  පහුවෙන්දා බැලින්නම් කොලේ අලි කාලා. කරන්නම්කො යස වැඩක් කියලා මං ගෙදර ආවා. එදා රෑ හෙනේ පැල් රකින්නට ගියා. අටවක හඳ තියන නිසා යාන්තමට වට පිට පේනවා නොපේන ගානයි. ඈත හේනේ බඩ ඉරිඟු හැදිලා දිලිසෙනවා පේනවා. මේ දවස්වල අලියා ගම් වදින නිසා වට පිට විපරන් කලේ පරිස්සමින්. දැන් දෙගොඩ ජාමෙත් පහුවෙලා. පාන් තිස් පැය ගෙවී යනවා. නිදමතක් ආවත් ඇහැ පියවන්නට නම් හිත දුන්නේම නෑ.  එක පාරටම අලියෙක් කුඹුරේ ලියැද්දට පය තැබෙව්වා. මම  ලෑස්තිවෙලයි සිටියේ. මැතිරුවා. බොහොම සීරුවෙන්ම  දැප මන්තරේ මැතිරුවා. වැඩි වේලාවක්  ගියේ නෑ. අලියා සිටි තැනම  ගල් වෙච්චි.පුරු පුරු ගෑවිල්ලේ ඌට මහ දිය යනවා. මගේ මන්තරේ වැඩ කරලා වගෙයි. ඔහේ හිටියා තවත් ටික වේලාවක්. දැන් පාන්දරට ළඟයි. අලියාට කර කියා ගන්න දෙයක් නෑ.පය උස්සන්න බෑ. හොඬවැලත් උස්සන්න බෑ වගෙයි. අනිත් අතට ආයේ පාරක් මැතිරුවා. අලියා ගල් හිටවපු එකෙන් නිදහස් වුණා. ඌ නොවෙයි අයෙත් කුඹුර දිහා බැලුවේ. එක් පිම්මට බැද්දට දිව්වා.

             උතරු මැද පළාතේ ගොවීන් එදා අලි එලෙව්වේ මෙහෙමයි. උන්ට හිංසාවක් කලේ නෑ . ගිනි බින්දේ නෑ. පොඩි දඬුවමක් දුන්නා විතරයි. එක දවසක් මෙහෙම කලාම කාලයකට ආයෙ තනි අලියා එන්නේ නැති බව ගොවීන් දැන සිටියා. මෙහෙව් රටේ තොටේ තමයි අලි ගාලක් හදන්න හිටපු වන ජීවි ඇමති තුමා 2012 වසරේදී මුල් ගල් තැබෙව්වෙ. ඊට ඉස්සරින් රණවිරු ගම්මානයක් හදන්න කියලා කපුගොල්ලෑව පාරේ එක් කොටසක් වෙන් කරලා ඒකේ තිබෙන වීර ගස් එහෙම කපා ගෙන ගිය බව කවුරුත් දන්නවා.  හැඳුණ රණ විරු ගම්මානයක් නෑ. ඊට ප්‍රති විරුද්ධ දිශාවෙන් තමයි දැන් අලිගාල හදන්න සේරොම මට්ටම කරන්නේ කියලයි ගම්මුන්ගේ අදහස. ඒක ඇස් මට්ටට පේනවා කැටපිලර් ගෙනල්ලා ගස් පෙරලලා පාරත් හලා තියෙයි. වැටත් ගහනවා. අලි සේරොම ටික පන්නලා .මෙතැන හිටවපු දැන්වීම් පුවරුවේ නම් තිබෙන්නේ අලි මිනිස් ගැටුම නැති කිරීමේ අදහසින් කරන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් සහ හරිත උද්‍යානයක් කියලයි. ඒත් දැන් අලි ඇතුන් අනාථ වෙලා ගම් වදිනවා. වෙනදට කුඹුරු හේන් පැහෙන කාලයට ගම් වදින අලි දැන් මේ කාලයටත් ගම් වදින්ටට පටන් අරගෙන කියලයි පෙනෙන්නෙ. මේ ප්‍රදේශයේ ඉන්න අලි රංචුව හරි සාමකාමියි. මිනිසුන්ට ජීවිත තර්ජන නෑ. උන් නිදහසේ දිනකට හැතපුම් දාසයක් පමණ ගමන් කරන බවයි ගම්මුන්ගේ අදහස. ඒ කියන්නේ නවරියන් ගෙයකට අවශ්‍ය ගස් වැල් දවසකට කනවා කියන එකයි. මේ අලි මංකඩේ තමයි මේ අලිගාල තනා ඇත්තේ. දැන් අලි බය වෙලා ඒ මදිවාට  දුනුවත්තේගම  වැව ඉස්මත්තේ ගල් ක්‍රෂරයක් සවි කරලා දවල් රෑ නොබලා වැඩ . පළාතටම සද්දේ ඇහෙනවා. අලි තවත් බය වෙලා . දැන් සී සී කඩ වෙලා. මේ ළඟදී මේ ලෙස අනාථ වෙච්ච අලි කීප දෙනෛක් පරංගියාවාඩිය පැත්තට ගිහින් කේන්තියට ගම්මුන්ගේ ගෙවල් කඩලා. එක ජරමරයයි. මෙයින් කුපිත වුණු මිනිස්සු මේ සතුන්ට හක්ක පටස් තියන්න පටන් අරන්. අනේ අපොයි. තරමක අලි පැටවෙක් මේ උගුලට අහුවෙලා වැවක මැරී හිටියේ නොවැම්බර් මාසයේ මුල් සතිය තුළයි.

       මේ අලි ගාලට අක්කර තුන්දහස් දෙසීයක් අයත් වෙනව කියල තමයි සඳහන් වෙන්නෙ. ඉහළ දිවුල් වැවත් තවලම් හල්මිල්ලෑව වන රක්ෂිතය තුළත් තිබෙන ප්‍රදේශය මෙයට අයත් වෙනවා. මේ අඩවියේ දුර්ලභ පැරණි නාඋයන් දෙකක් හමු වන අතර වලස්කුණු වැව නමැති ගල්ලෙන් තපෝවන ආරණය සේනාසනයත් හමු වෙන බව කිව යුතුයි.  මෙහි පැරණි ලෙන් ලිපි හතක් තිබෙනවා. තාම පිටපත් කරලත් නෑ. දැන් මේ සියල්ල අහු වන ලෙසට වටේට පාරත් කපලා ගස් ටික මෝලට පටවලත් ඉවරයි. ඒ අතර එක් පැත්තක සිට අලි වැට ඉඳි කරන්නට පටන් අරන්. මේ නිසා තමයි අලි මංකඩ අවහිර වෙලා අලි අනාථ වෙලා තිබෙන්නේ.මේ අලි රැඳවුම් මධ්‍යස්ථානය නිශ්ඵල වැඩක් කියල මොළය තිබෙනව නම් තේරුම් ගන්නට අපහසු නැහැ. එයට හේතුව අලි ඇතුන් එහෙම එක තැන ගාල් කරල තියා ගන්නට බැරි නිසයි. මේ ජරමරේ මදිවාට අලි ගාලට ප්‍රවිශ්ඨ වන තැන තිබෙන වැව හාරලා ජලචර යාත්‍රා බස්සන්න සැලැස්මකුත් තිබෙයි කියලා වාර්තා වනවා. දැනටමත් වැව පතුලේ වලවල් හාරලා විනාශ කරලා ඉවරයි.බලනකොට මේක අලි සංරක්ෂණ මධ්‍යස්ථායක් නොවෙයි. පනාමුරේ ඇත් ගාල වගේ අලි හිරගෙදරක්. විදේශිකයන්ගේ හිත සුව පහසුව පිණිස අටවා ගන්නා  සංචාරක නිකේතනයක්. මේ මර උගුල නිසා අලි ඇතුන් ගේ ජීවිත තර්ජනයට ලක් වෙනවා වගේම ගම්මුන්ගේ දේපළත් විනාශයි කියල තමයි අවසාන වශයෙන් සඳහන් කරන්නට තියෙන්නේ.

                    

No comments:

Post a Comment