පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 6, 2012

වී අර්බුදයට තිබෙන පිලියම් මොනවාද

                                               
          මාස් කන්නයේ වී අස්වනු නෙලමින් පවතින මේ කාල වකවානුවේ යලිත් වී මිල ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ. ඇතැම් පලාත් වල ගොවීන්  සිය දිවි නසා ගැනීමට පවා පෙළඹී ඇතැයි කියැවෙන සිද්දි දඩ මීමා කර ගෙන  දේශපාලන කලබගෑනි ඇති කරලීමේ උත්සාහයන් ද පවතී. මේ වන විට වී ගැණුම් මිල රුපියල් දාසයට බැස  ඇත. රජයේ මිල රුපියල් විසි අටත් තිහත් අතර ප්‍රමාණයක තිබුණද වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නේ සමස්ත වී අස්වැන්නෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක් පමණි.1995 වර්ෂයේ එවකට චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය යුගයේ දී වත්මන් අගමැති වරයා කෘෂිකර්ම ඇමතිව සිටි කාලවකවානුවේ වී අලෙවි මණ්ඩලය අහෝසි කරලීමට කෙටුම් පත් සකස් කළ අතර පසුව එය කළ නොහැකි වූ තැන මණ්ඩලය අක්‍රීය කර නිළධාරීන් කීප දෙනෙකුට පමණක් පඩි ගෙවමින් තාබා ගත්හ. එසේම වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දැමීමට කටයුතු කළහ.(එකසත් ජාතික පක්ෂ රජය කාලයේ සිට එය සිදු විය) එහිදී ඉන් වැඩි ප්‍රතිලාභ ලැබූයේ  බහුජාතික සමාගම්ය.රජය විසින් ගොඩ නගා නඩත්තු කරනු ලැබූ රජ්‍ය සමිපත් වන බිත්තර වී ගොවිපළවල් වල පරම අයිතිය පවා ලබා ගන්නට මේ සමාගමි සමත් විය.
     ලංකාවේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් දශලකෂ 3.8 ක් පමණ වේ. මේ අස්වැන්නෙන් රජය මිලදී ගන්නා පුමාණය ඉතාමත් සීමිතය. ගබඩා විකුණා දැමූ හෙයින් ඒ සම්පූර්ණ ප්‍රමාණය වුවද දැනට මිලදී ගත නොහැකිය. එම නිසා ගන්නා වී සමූපකාර වල ද ගබඩා කරන්නට දැනට සිදු වී ඇත. රජයේ නියම මිලට වී මිලදී ගැනීම පිණිස කළ යුත්තේ වී ගබඩා ප්‍රමාණය වැඩි කර ගැනීම නොවේ. එය දිගටම  කළ නොහැකි දෙයකි. නමුත් පෞද්ගලික අංශය මිලදී ගන්නා ප්‍රමාණය මගින් ගොවියාට සහන අත් කර දීමේ ක්‍රියාවලියට රජය ට සෘජුව මැදිහත් විය හැකිය. ඉන් එක් ක්‍රමයක් නම් වී සඳහා පාලන මිලක් ඇති කරලීමයි. දැනට රුපියල් විසි අටට තිහට තිබෙන මිල තව වැඩි කිරීමේ යම් කිසි සාධාරණත්වයක් ඇත. එයට හේතුව ඉන්ධන මිල වැඩීවීම හා ශ්‍රමයට ගෙවන මිල වැඩි වීම නිසාය. පොහොර සහනාධරය දුන්නද ඒ මගින් සමස්ත නිෂ්පාදන වියදම අඩු කරලීමට එතරම් බලපෑමක් සිදු වන්නේ නැත.
      දැනටමත් පාරම්පරික දේශීය සහල් වලට රුපියල් පණහේ සිට රුපියල හැට දක්වා ශක්තිමත් මිලක් ලැබෙන අතර එය ස්ථායිව පවතී. ඒ නිසා ඒ සහල් වල් මිලද රුපියල් සියයට වඩා ඉහලින් පවතී. සාමාන්‍ය වී වල මිල රුපියල් තිස් පහේ මට්ටමේ පැවතුනහොත් සහල් මිල රුපියල් හැත්තෑවකට ආසන්නයේ තබා ගත හැකිය. මෙහිදී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට එයින් ලැබෙන රුකුල සුලු පටු නොවේ. දැනට රජය සිදු කරනුලබන්නේ පිටරටින් ණය ලබා ගෙන ඩොලර් මුදා හැරීමයි. නමුත් ආනයනය සීඝ්‍ර ලෙසට ඉහළ ගොස් ඇති නිසා විශාල වෙළෙඳ ශේෂයක් පවතින බව කිව යුතුය. එවිට  ඩොලර් වලින් රුපියල ස්ථායි ලෙස තබා ගැනීමට  රුපියලේ අගය අඩු කර ගනිති. මෙම ක්‍රියාවලිය ආර්ථික විද්‍යාවේ නරකම පියවරකි.
      නමුත් සැබෑ ලෙසටම කළ යුත්තේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමයි.වී නිෂ්පාදනය ගත හොත් එය කළ හැක්කේ හාල් වශයෙන් රට පැටවීම නොව නිමි ආහාර වශයෙන් රට පැටවීමෙනි. එවිට අපනයනයන් වැඩිවී අපගේ ගිණුම් සංචිතයන් පොහොසත් කර ගත හැකිය. පාරම්පරික සහල් මගින් නිමි ආහාර නිෂ්පාදනය කරන්නේ නම් විශාල අපනයන වෙළෙඳපලක් ඇතිවනවා නිසැකය. 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවාලීමෙන් පසුව මේ අරමුණ උදෙසා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක විය.එහිදී වී තැම්බීමේ ක්‍රියාවලිය පෙන්වා දියහැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  නිර්මාණ කරුවෙකු විසින් සෑදූ එකවර වී තම්බන වියළන යන්ත්‍රය ඒ කාලයේ හැටියට විශාල පරිවර්තනයක් සිදු කලේය. නමුත් ආර්ථික ඝාතක නිළධාරීන් විසින් මේ වැඩසටන කලකදී කඩාකප්පල් කරන ලදී. වී අලෙවි මණ්ඩලයේ පර්යේෂණ අංශයක් විලසට ඇරඹු අනුරාධපුර සහල් සැකසුම් මධ්‍යස්ථානය සහල් ආශ්‍රිත නිෂ්පාදන ඇති කරලීමේ පුරොගාමීන් වෙයි. එම ආයත්නය 1991 වර්ෂයේ දී පමණ නිපද වූ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස් (සියයට සියයක්ම සහල් පිටි ) ලක් ජනතාව අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.එහෙත් මේ නිපයුම් අපනයනය සඳහා යොමු කරලීමට වැඩ සටහනක් ඇති නොවීය. එයට හේතුව වී අලෙවි මණ්ඩලය අක්‍රීය වීම විය හැකිය.
         එසේම චීන ආධාර යටතේ ලැබුණු එහි නිෂ්පාදන යන්ත්‍රයන් එම ආයතනය තුල තවමත් ක්‍රියාත්මක කරනවා විනා ලෝකයේ නව තාක්ෂණයට අනුව වැඩි දියුණූ වී නැත. එහෙත් එම ආයතනය විසින් ඔවුන්ගේ තාක්ෂණය නොයෙකුත් ව්‍යපාර ආයතන වලට ලබා දී තිබේ. සම්පූර්ණ කුරක්කන් යොදවා නූඩල්ස් නිෂ්පාදනය කිරීමටද ඒ තාක්ෂණය රටට දීමට ද ඔවුන් සමත් වතිබේ.      ඒ අනුව දේශිය ධාන්‍ය මත පදනම්ව ආහාර සකස් කරන විවිධ සමාගම් රාශියක් සහල් පිටි ආශ්‍රිතව ආහාර නිපදවීමේ ක්‍රියාවලියට දැනට අවතීර්ණ වි ඇත. නමුත් ලෝකයේ  ඒ සඳහා තිබෙන දියුණු යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමේ දී මේ ආයතන දැඩි දුෂ්කරතාවයන් ට මුහුණ දෙති. එයට වග කිව යුත්තේ  බාණ්ඩාගාරයේ ආර්ථික ඝාතක නිළධාරීන්ය. කොමිස් කුට්ටි වලට යටවූ බොහෝ නිළධාරීන් මෙවැනි දේශප්‍රේමී ක්‍රියාවලීන්ට කැමති නොවේ. ඒ නිසා සහල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තවමත් ලංකාවේ පවතින්නේ ළදරු තත්වයකය.
       අනුරාධපුර සහල් සැකසුම් ආයතනය ඇරුණු කොට කාර්මික තාක්ෂණ ආයතනය හා කාර්මික සංවර්ධන මණ්ඩලය ද මේ නව නිෂ්පාදනයන් ගැන විශාල වැඩ කොටසක් සිදු කර ඇත.ඇඹිලිපිටියේ කැතිරිච් ආයතනය තුලද මේ නිර්මාණ රාශියක් කළ එලි දක්වා තිබේ. ඒ අතර සහල් පිටි පාන් විස්කෝතු ළදරු ආහාර බීම වර්ග ආදී කෑම රාශියක් ඇත. පාරම්පරික සහල් පදනම් කර ගෙන නිෂ්පාදනය කරන ලද වියළි කැඳ චූර්ණය හා කුරුඳු සාරය අඩංගු සහල් බීම වර්ගය මෑතකදී කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ දී නිර්මාණය විය. එකස්කෘඩර් වැනි යන්ත්‍ර භාවිතා කොට මේ ආහාර නිෂ්පාදනය කෙරේ. එහිදී  පීඩනයකට ලක්වූ සහල්  පොරි බවට පත් වී ඉන් පිට වේ.මෙ වැනි ආහාර ශරීරය තුලදී ඉති ඉක්මනින් ජීර්ණයට පත් වන අතර ක්ෂණිකව සාදා දිය හැකිය. කැඳ සකස් කරලීම පිණිස සාදා ඇති චූර්ණය  ද විශේෂත්වයක්ගනී. එය රෝගීන්ටද ඉතා ඉක්මකික් සාදා දිය හැකි ආහාරයකි. මෙම නිර්මාණයන් අපනයනයට යොමු කරලීමේ කර්මාන්ත ඇති කිරීම කාලීන අවශ්‍යතාවයකි. රජය එයට තවමත් සූදානම් නොමැත.
       පාන් සෑදිම උදෙසා සහල් යො දා ගැනීමේ පර්යේෂණයන් ද ආරම්භ කර ඇත්තේ මීට දශක දෙකකට පමණ ඉහත සිටය. තිරිඟු පිටි වලට සහල් පිටි කලවම් කළ හැක්කේ සියයට විසිපහේ සිට පණහ දක්වා ප්‍රමාණයක් පමණි. පාන් නිපදවීමේ ප්‍රචලිත තාක්ෂණයන් වැඩි දියුණු කර එසේ කළ හැකිය.සහල් වල ගලූටන් නොමැති හෙයින්  සියයට සියයක් ම සහල් පිටි යොදා ගැනීම කළ නොහැකි බව ඇතැම් පර්යේෂකයින් ගේ මතයයි. එහෙත් සාම්ප්‍රදායික පාන් ගෙඩිය වෙනුවට පොෂ්‍ය දායි නිමි අහාරයක් හඳුන්වා දන් පුද්ගලයෙකු ගැන ද මේ අවස්ථාවේ මතක් කළ යුතුය. මාතර රීගල් බේක් හවුස් අධිපතිව සිටි වීරසේකර මහතා මේ නිර්මාණ කරුවාය. ඔහු දේශීය ධාන්‍ය වර්ග රාශියක් යොදා බනිස් හා පාන් අහාර වැඩි දියුණු කලේය. එහිදී යොදා ගත් තාක්ෂණයේ දී බහුලව පොල් කිරි යොදාගත් බව සඳහන්ය. අද මේ නිර්මාණ කරුවා ජීවතුන් අතර නැතත් ඔහුගේ වෑයම ආදර්ශයට ගෙන දේශීය පාන් ගෙඩියක් සෑදීමට උත්සාහයන් ගත හැකිය. අවශ්‍ය වන්නේ නව ආරකින් සිතන්නට පෙළඹීමයි. එසේම සුදු පාන් රුචිකත්වය වෙනස් කරලීමේ පරිවර්තන ක්‍රියාමාර්ගයන් ද රටට අවශ්‍ය වේ. වී නිෂ්පාදනය හා පරිභෝජනය සමබර කර ගත හැක්කේ එවිටයි.
                                                                                                                           

No comments:

Post a Comment